විසි එක් වන සියවසේ ජීවත් වන අපි ගත කරන ජීවිතය මීට අවුරුදු සියයකට දෙසියයකට පමණ කලින් ජීවත් වුණු අයට වඩා කොයි තරම් සංකීර්ණ එකක්ද? ඒ වාගේම ඔවුන් ඒ කාලයේ පාවිච්චි කළ උපකරණ, සේවාවලට වඩා කොයි තරම් දියුණු දේවල් මේ වෙනකොට අපි පාවිච්ච් කරනවාද? දැන් අපිට මේවා නැතිවම බැරි වෙලා. මේවායින් බොහොමයක් මිනිස්සු අවුරුදු ගණන් මහන්සි වෙලා කැප වෙලා ටිකෙන් ටික දියුණු කරගෙන ආපු දේවල්. නමුත් ඔබ විශ්වාස කරනවාද අද අපි ලෝකයේ පාවිච්චි කරන, එදිනෙදා ජීවිතයට අත්‍යවශ්‍ය යයි සැලකෙන සමහර උපකරණ, සේවා, භාණ්ඩ වැනි දේ ඉතාම අහම්බයකින් සොයාගත්ත හෝ නිපදවෙලා තිබෙන ඒවා කිව්වොත්? පර්යේෂණ අත්වැරදීම් වගේ හිතාගන්නවත් බැරි දේවල් නිසා ලෝකයට පහළ වුණ, අද අපට නැතිවම බැරි එවැනි දේවල් කිහිපයක් පහත දැක්වෙනවා.

ගිනි කූරු

(thegeorgiana.wordpress.com)

වර්තමානය වනවිට එක පැයක් විදුලිය විසන්ධි කළොත් අපි බොහෝ දෙනා ලක් වෙන්නේ ලොකු අපහසුතාවයකට. ඉතින් විදුලි බලය සොයාගෙන නැති කාලයේ මිනිස්සු ජීවත් වුණු හැටි ගැන අපිට හිතාගන්නවත් බැරි තරම්. ඉටිපන්දම් හෝ ලාම්පු දල්වලා රාත්‍රිය ගත කරපු හැටි අපෙ සීයලා ආච්චිලා නම් රහ කරලා තාමත් කියනවා. ගිනි කූරක් ගහලා ඉටිපන්දමක්, කුප්පි ලාම්පුවක්, ලාම්පුවක් දල්වන එක නම් ඒ තරම් අපහසු දෙයක් නොවුණට ගිනි කූරු කියලා දෙයක් නොතිබුණානම්?.. ඇත්තෙන්ම 1826 අවුරුද්දට කලින් ලෝකෙ ගිනි කූරු තිබුණේ නෑ. ඒ වගේම කාටවත් එහෙම එකක් හොයා ගැනීමේ උවමනාවක් තිබුණෙත් නෑ.

ක්‍රි.ව 1826 කාලයේදී බ්‍රිතාන්‍යයේ ජෝන් වෝකර් නම් බෙහෙත් ශාලා හිමියෙක් හිටියා. එක දිනයක ඔහුට අහම්බෙන් දැකගන්න ලැබුණා තමන්ගේ බෙහෙත් මිශ්‍ර කරන කූරේ අගිස්සේ රසායනික ද්‍රව්‍ය මිශ්‍රණයක් එකතු වෙලා තියෙන හැටි. මේ ඔහු එදා මිශ්‍ර කරමින් සිටි බෙහෙත් කොටස්වල එකතුවක්. ඔහු කූර සේදීමට පෙර එය හූරන්න උත්සාහ කරන විට ගිණි පුළිඟුවක් විසි වුණා. මෙහි වැදගත්කම වටහාගත් ජෝන් එම මිශ්‍රණය නැවත නිපදවා එය ‘ඝර්ෂණ එළි’ වශයෙන් නම් කර කාඩ්බෝඩ් මිටක් සහිතව විකිණීමට පටන් ගත්තා. ඉක්මණින්ම මොහු ලී මිටක් මේ වෙනුවෙන් හඳුන්වා දුන්නා. වැලි කඩදාසියක් අලවන ලද පෙට්ටියක පැමිණි මෙම ගිනි කූරු සඳහා ඔහු පේටන්ට් බලපත්‍රය නොගැනීමට තරම් පරාර්ථකාමී වුණේ එය සමස්ථ මානව ප්‍රජාවටම ප්‍රයෝජනවත් බව පවසමින්. නමුත් මේ නිසාම අනෙක් අය ඉක්මණින්ම ගිනි කූරු නිපදවීම පටන් ගත් අතර ජෝන්ට ඒවා නිපදවීම නැවත්වීමට සිදු වුණා.

පෙනිසිලින්

(safebee.com)

මේ සොයාගැනීම වෙනුවෙන් ගෞරවය හිමිවෙන්නේ බැක්ටීරියා විද්‍යාඥ ශ්‍රීමත් ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමිං ට. මෙහි යම් මතභේද තිබුණත් 1929 දී තර්කානුකූලව එය නිෂ්පාදනය කරන ආකාරය මුලින්ම විග්‍රහ කළ හැකි වුණේ ඔහුටයි. පෙනිසිලින් පිළිබඳ ඉතිහාසය අමුතුම එකක්, එ් වගේම සියවස් ගණනක් ඈතට දිව යන්නක්.

පෙනිසිලින් කියන්නේ ලොව මුලින්ම සොයාගත් ප්‍රතිජීවකයයි. මෙය සොයා ගැනීමට පෙර ලොව පුරා ක්ෂුද්‍ර ජීවීන් මඟින් සිදු වන ආසාදන හේතුවෙන් බහුලව මරණ සිදු වුණා. ක්‍රි. ව 1929 දී තරුණ විද්‍යාඥ ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමිං සිය විද්‍යාගාරය අස්පස් කරමින් සිටියා. නිවාඩුවකට ගොස් සිටි ඔහු නැවත පැමිණියේ ටික දවසකට පසුවයි. ඔහු හදිසියේ දුටුවේ ස්ටැෆිලොකොකස් බැක්ටීරියාව රෝපණය කරන ලද පෙට්‍රි දීසියක් වැරදීමකින් විවෘතව දමා ගොස් ඇති බවයි. එය වැඩිදුරටත් පරීක්ෂා කරන විට ඔහු දුටුවේ එහිම සෑදී ඇති දිළීරයක් විසින් බැක්ටීරියා සෛල බහුතරයක් විනාශ කර ඇති බවයි.

ඔහු එම දිළීරය ‘පෙනිසිලම් නොටැටම්’ ලෙස නම් කළා. ඒ ගැන පරීක්ෂණ කිරීමේදී ඔහුට ප්‍රත්‍යක්ෂ වන්නේ මෙම දිළීරයෙන් පිට වන යමක් අනෙකුත් බැක්ටීරියාද විනාශ කිරීමේ සමත්කම් දක්වන අතර, සුළු ප්‍රමාණවලින් සත්ත්ව ශරීර වලට ඇතුල් කළ විට එයින් වෙනත් අතුරු ආබාධ පැන නොනඟින බවයි. ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කළද දිළීරයෙන් පිට වන බැක්ටීරියා නාශක සංඝටකය කුමක්දැයි හරිහැටි සොයා ගන්නට ෆ්ලෙමිං අපොහොසත් වෙනවා. එය සොයා ගන්නේ ඊට දශකයකට පමණ පසු හොවාර්ඩ් ෆ්ලොරී හා අර්නස්ට් චේන් යන විද්‍යාඥයන් දෙදෙනා විසින්. තිදෙනාම 1945 දී නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලබනවා.

කතාවේ රසවත්ම කොටස පටන් ගන්නේ ඊළඟටයි. පෙනිසිලින් විද්‍යාත්මකව නිෂ්පාදනය සොයා ගත්තේ 20 වන සියවසේ වුණත් එය රෝග නිවාරණයට සහ බැක්ටීරියා මර්ධනයට ක්‍රි. පූ කාලයේ පවා යොදාගෙන ඇති බව විද්‍යාඥයින් හා ඉතිහාසඥයින් සාක්ෂි සොයා ගෙන තිබෙනවා. මින් එක සාක්ෂියක් වශයෙන් ක්‍රි.පූ 2 වන සියවසේදී දුටුගැමුණු රජු එළාර සමඟ යුධ වැදී සිටියදී තුවාල ලබන සෙබළුන්ගේ තුවාල කුණුවීම වැළැක්වීමට සිංහල වෙදැදුරන් විසින් ‘මී පැණියෙහි ගිල්වන ලද පැරණි මස්වල ස්‍රාවය’ යොදාගෙන ඇති බව සඳහන් වීම සලකන්න පුළුවන්. මෙහි වර්ධනය වූ පෙනිසිලම් දිළීරය මෙසේ තුවාල කුණු වීම වළක්වන්න ඇති. මෙය එකල හෙළ වෙදකමේ මහිමය ගැන ශ්‍රී ලාංකිකයන් හැටියට අපට ආඩම්බර විය හැකි කාරණයක්.

මයික්‍රොවේව් උඳුන

(lg.com)

මයික්‍රොවේව් උඳුනක් නිවසේ තිබීම ගෘහණියකගේ කටයුතු ඉතාම කාර්යක්ෂම කරනවා. මයික්‍රොවේව් උඳුන හඳුන්වා දීමට පෙර දැන් එමගින් කළ හැකි දේ සාමාන්‍ය මුළුතැන්ගෙයක කිරීම සිහිනයක් වෙලා තිබුණා. මේ මයික්‍රොවේව් උඳුනේ උපතත් හරිම අහම්බයකින් වුණු එකක්.

ක්‍රි.ව 1940 ගණන් වලදී ඇමෙරිකානු සමාගමක් වන ‘රේතියොන්’ දෙවන ලෝක යුද්ධය සඳහා හමුදාවට අවශ්‍ය වෙලා තිබුණු ‘මැග්නෙට්‍රෝන’ නළ නිෂ්පාදනය සඳහා අධ්‍යයන කටයුතු කරමින් සිටියා. මේ නළ රේඩාර් ප්ද්ධති සඳහා යොදාගත් අතර රික්තකයක් තුලින් ක්ෂුද්‍ර තරංග හෙවත් මයික්‍රොවේව් ගමන් කරවන සංකීර්ණ ක්‍රියාවලියක් මේවා තුළ සිදු කෙරුණා. මේ අතර සමාගමේ ඉංජිනේරුවෙකු වූ පර්සි ස්පෙන්සර් නිරීක්ෂණය කරන්නේ ක්ෂුද්‍ර තරංග වැදී තමන්ගේ සාක්කුවේ තිබුණු ලොසින්ජරයක් උණු වී දිය වී ඇති බවයි. මේ අනුව යමින් ඔහු කුඩා පෙට්ටියක් සාදා ඒ තුළ ආහාර තබා ක්ෂුද්‍ර තරංග වැදීමට සැලැස්වූ විට ඒවා ඉතා ඉක්මණින් පිසෙන බව දුටුවා.

පසුව රේතියොන් සමාගම මයික්‍රොවේව් උඳුන් සඳහා පේටන්ට් බලපත්‍රය ලබාගත් අතර මුල්ම පරීක්ෂණ මට්ටමේ උඳුන ඇමරිකාවේ නිව් ඉන්ග්ලන්ඩ් හි ආපන ශාලාවක ස්ථාපිත කරනු ලැබුවා. 1967 වර්ෂයේදී අමානා සමාගම (රේතියොන් හි උප සමාගමක්) විසින් පළමු ගෘහස්ථ මයික්‍රොවේව් උඳුන නිෂ්පාදනය කරනු ලැබුවා.

ප්ලාස්ටික්

(newsinfo.inquirer.net)

ප්ලාස්ටික් සාදනු ලැබූ මුල්ම යුගයේ ඒවා සෑදීමට කාබනික ද්‍රව්‍ය යොදා ගත් නමුත් සම්පූර්ණ කෘතිම ප්ලාස්ටික් සොයා ගනු ලබන්නේ ඉතාම අහම්බෙන්. එ් 1907 වර්ෂයේ ලියෝ හෙන්ඩ්‍රික් බේක්ලන්ඩ් අහම්බෙන් බේක්ලයිට් සොයා ගැනීමත් සමඟයි. ඔහුගේ අරමුණ වී තිබුණේ සත්ත්ව ප්‍රභවයකින් එන ෂෙලැක් නැමති ඉටි වර්ගය වෙනුවට ආදේශකයක් සොයා ගැනීමයි. ෂෙලැක් මිලෙන් ඉතා අධික වීම එයට අාදේශක සොයන්න ප්‍රධාන හේතුවක් වුණා.

ඔහු බේක්ලන්ඩ් හා ෆෝමැල්ඩිහයිඩ් ෆීනෝල් සමඟ මිශ්‍ර කොට රත් කර බලන්නේ ආදේශකයක් හමුවේ යැයි සිතායි. නමුත් ඉටි වැනි දෙයක් වෙනුවට ඔහුට ලැබෙන්නේ ඉතා අපූර්ව බහු අවයවිකයක්. එය තාපය හා ආතතිය හමුවේ විරූපී වූයේ නෑ.

අද වන විට තාපස්ථායි ප්ලාස්ටික් යොදාගෙන එදිනෙදා භාණ්ඩ සියල්ලක්ම පාහේ නිර්මාණය කරනවා, ජංගම දුරකථන, ශීතකරණ වැනි සියලුම භාණ්ඩවල ප්ලාස්ටික් කොටස් තිබෙනවා. එදා අහම්බෙන් බේක්ලයිට් සොයා නොගත්තා නම් අද අපිට පෙර කී උපකරණ පාවිච්චි කිරීම අපහසු වන්නට ඉඩ තිබුණා. ආවරණයට නිෂ්පාදනයත් මිල අධික වැඩක් වේවි.

X – කිරණ

(pulsemedicalimaging.com.au)

X කිරණ අහඹු ලෙස සොයාගන්නේ 1895 වර්ෂයේදී ජර්මානු භෞතික විද්‍යාඥයෙකු වන විල්හෙල්ම් කොන්රඩ් රොන්ජන් විසින්. ඔහු කැතෝඩ බටයක් බටයක් යොදාගෙන වෑද්දුම් කරමින් සිටියා. මේ අතර ඔහුට දකින්නට ලැබුණේ අසල තිබුණු බේරියම් ප්ලැටිනොසයනයිඩ් ගැල්වූ කොළ කැබැල්ලක් දිදුලන්නට පටන් ගත් බවයි. මෙය කිසි ලෙසකින් කැතෝඩ කිරණ නිසා සිදු වූවක් නොවන බව ඔහුට වැටහුණේ ඒවා එ් තරම් දුර ගමන් නොකරන නිසාවෙන්. මෙම සංසිද්ධිය ඇති කළේ කුමන කිරණ වර්ගයක්ද, එහි ප්‍රභවය කුමක්ද යන්න සිතා ගැනීමට නොහැකි වූ නිසා ඔහු එය X කිරණ ලෙස හැඳින්වූවා.

පසුව පර්යේෂණ කිරීමේදී ඔහු සොයා ගත්තේ මෙම කිරණ බොහෝ දේවල් විනිවිද යන බව සහ සේයා පටලවල සංයුතිය වෙනසකට බඳුන් කරන බවයි. රොන්ජන් සිය බිරිඳගේ අතෙහි X – කිරණ ඡායාරූපයක් ගත් විට පැහැදිළිව ඇගේ අස්ථි හා මුදුව දකින්නට ලැබුණා. මෙම සොයා ගැනීම නිසා 1901 දී භෞතික විද්‍යාව සඳහා රොන්ජන්ට නොබෙල් ත්‍යාගය හිමි වුණා. අද X – කිරණ වෛද්‍ය ක්ෂේත්‍රය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවකටම නැතුවම බැරි දෙයක්.

වල්කනයිස් කළ රබර්

(foxnews.com)

ක්‍රි.ව 1830 දී පමණ ස්වභාවික රබර් ජලය කාන්දු නොවන පාවහන් හා බූට්ස් සාදන්නට බහුල ලෙස යොදා ගැණුනා. නමුත් මෙවායේ පැවති ප්‍රධාන ගැටළුවක් වූයේ මෙලෙස සාදන පාවහන් අධික ශීතලට හා රස්නයට ඔරොත්තු නොදීමයි. සමහරු උපකරණ සෑදීමට රබර් යොදාගත් කාලය අවසන් යැයි හිතුවා. නමුත් චාල්ස් ගුඩ් ඉයර් නැමති විද්‍යඥයා ඊට එකඟ වුණේ නෑ. ඔහු ස්වභාවික රබර්වල තත්වය දියුණු කරන්නට විවිධ පරීක්ෂණ කළා.

1839 දී එක් දිනයක වුණු අහඹු සිදු වීමක් ඔහුගේ ඉරණම වෙනස් කළා. ඔහු පරීක්ෂණයක් කරමින් සිටියදී වැරදීමකින් රබර් කොටසක් දාහකයක් මතට වැටුණා. එය අතට ගත් ඔහුට දකින්නට ලැබුණේ එය හමක් මෙන් ඝන වී ඇදීමට පටන් ගෙන ඇති බවයි, එය ඉහළ තාපයකදීත් දිය වුණේ නෑ.

මෙහි වටිනාකම වටහා ගත් ඔහුට තව දුරටත් පරීක්ෂණ කිරීමේදී තේරුණේ මේ ආකාරයෙන් රබර් සකසා ගතහොත් ඕනෑම කාලගුණික තත්වයකට ගැළපෙන ලෙස උපකරණ නිෂ්පාදනය කළ හැකි බවයි. නමුත් අවාසනාවකට මේ සොයාගැනීමෙන් ඔහුට මූල්‍යමය වාසි සැලසුණේ නැහැ. ඔහු ණයකරුවෙකු ලෙස මියගියා.

පසුකලෙක ඔහුගේ නමින් ටයර සමාගමක් බිහිවුණා. එය අදටත් ටයර නිෂ්පාදන සමාගම් අතර ප්‍රධාන තැනක තිබෙන අායතනයක්.

කවරයේ පින්තූරය (madison.com)

මූලාශ්‍ර:

  1. geniusstuff.com
  2. mnn.com
  3. did-you-know-that.com
  4. popularmechanics.com