Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සටන් 43ක දී එකදු නැවක් හෝ නැති නොකරගත් අද්මිරාල්

19 වන සියවසේ දී රුසියාව සහ තුර්කිය අතර කළු මුහුද ආශ්‍රිත ප්‍රදේශයේ ප්‍රබල බල අරගලයක් තිබුණා. මෙහි දී නාවික සටන් ද වැදගත් භූමිකාවක් ඉටු කළා. තුර්කිය පරාජය කර එම ප්‍රදේශයේ බලය තහවුරු කිරීමට රුසියානු නාවික සේනාංක දැක්වූයේ ප්‍රබල දායකත්වයක්. ඊට මූලික වූයේ අද්මිරාල් ෆියදෝර් උෂකෝෆ් නම් වූ කෘතහස්ත නිලධාරියා යි.

උෂකෝෆ් ඓතිහාසික නිලධාරියෙක්. සටන් 43ක දී ඔහු කිසිදු පරාජයක් නොලැබුවා පමණක් නොව, කිසිදු නෞකාවක් අහිමි කරගත්තේ ද නැහැ. ඔහු යටතේ වූ කිසිදු නාවිකයකු සතුරා විසින් අල්ලා ගැනුණේ ද නැහැ.

එමෙන්ම, මෑත කාලයේ දී රුසියානු ඕර්තඩොක්ස් පල්ලිය විසින් ඔහුව සාන්තුවරයට ද උසස් කෙරුණා.

එපමණක් නොවේ, රුසියානු නාවික හමුදාව නවීකරණය කිරීමේ ගෞරවය බෙහෙවින්ම හිමි විය යුත්තේ ද උෂකෝෆ්ට යි.

ගමේ ළමුන් සමග​

ෆියදෝර් උෂකෝෆ් උපන්නේ 1744 පෙබරවාරි 24 වන දා යරොස්ලාව් ප්‍රදේශයේ, බුර්නකෝව ගම්මානයේ යි. රදල පවුලක උපන් ඔහුගේ දෙමාපියන් ඉතා භක්තිමත් ඕර්තඩොක්ස් ක්‍රිස්තියානි ආගමිකයන් වූ අතර, පූජකයෙකු වූ ඔහුගේ මාමා කෙනෙකු ෆියදෝර් කෙරෙහි විශාල බලපෑමක් ඇති කළා. ඒ වගේම ඔහු බොහෝ රදල ළමුන් මෙන් නොව​, ගමේ ගොඩේ අනෙක් ළමුන් සමග ආශ්‍රය කළා. එසේ ක්‍රීඩාශීලී කුඩා කාලයක් ගත කළ ඔහු, ශරීර ශක්තියෙන් ද ඉහළ තත්ත්වයක සිටියා. ඔහු වයස අවුරුදු 14 වෙද්දී ගම්වැසියන් හා එක්ව වලසුන් පවා දඩයම් කර තිබෙනවා.

වයස අවුරුදු 16 වෙද්දී උෂකෝෆ්, සාන්ත පීතර්බුර්ග් නාවික විද්‍යාලයට ඇතුල් වුණා. ඔහු එහි දී අංක ගණිතය​, නාවික යාත්‍රා මෙහෙයවීම​, ඉතිහාසය ආදී විෂයයන් ඉගෙන ගත්තා.

1765 දී ඔහු නාවික විද්‍යාලයේ අධ්‍යාපනය හමාර කළා. මීළඟ වසරවල ඔහු බෝල්ටික් මුහුදේ සහ ආර්ක්ටික් සාගරයේ නැව්වල සේවය කළා. මෙම ප්‍රදේශයන් හි සාගරයේ සේවය කිරීම ඉතා අභියෝගාත්මක, කටුක අත්දැකීමක් වූයෙන්, එයම උෂකෝෆ් දක්ෂ නාවිකයකු කිරීමට හේතු වුණා.

අද්මිරාල් උෂකෝෆ් (Peter Bajanov)

1768 දී රුසියාව සහ තුර්කිය අතර යුද්ධයක් හටගත් අවස්ථාවේ උෂකෝෆ් දොන් නාවික බලකාය වෙත මාරු කර යැවුණා. කලක් තගන්රොග් නගරයේ සේවය කළ ඔහු ඉන්පසු, කුඩා නෞකාවක කපිතාන් ලෙස කළු මුහුදේ සේවය කරමින් පළමු වතාවට සටන් මෙහෙයුම් සඳහා ද සහභාගී වුණා. කලක් ඔහු මධ්‍යධරණියේ බ්‍රිතාන්‍ය මුහුදු කොල්ලකරුවන්ගෙන් රුසියානු නැව් ආරක්ෂා කරන මෙහෙයුම්වල ද නිරත වුණා.

උෂකෝෆ් සැමවිටම නව සටන් ක්‍රම සැලසුම් කිරීමට උත්සුක වුණා. එකල ප්‍රකට නාවික සටන් සැලැස්මක් වූයේ පෙළ සැදීම යි. 1770 දී චෙස්මා සටනේ දී තුර්කීන් එය අනුගමනය කළ අතර, අද්මිරාල් ස්පිරිදනෝෆ්ගේ රුසියන් නාවික සේනාංකය එය බිඳ හෙළමින් තුර්කීන්ට පහර දීමට සමත් වුණා. මෙම සටනට ද උෂකෝෆ් සහභාගී වුණා.

ක්‍රිමියාවේ සෙවස්තපෝල් හි රුසියානු කළු මුහුදු නාවික බල ඇණියේ මූලස්ථානය පිහිටුවීමේ කටයුතු සඳහා ද උෂකෝෆ් ඍජු ලෙසම සම්බන්ධ වුණා.

උෂකෝෆ්ගේ උපක්‍රමික දස්කම් වඩාත් හොඳින් දිස් වූ අවස්ථාවක් වූයේ 1788 දී තුර්කිය සමග පැවති යුද්ධය අතරතුර දී සිදු වූ ෆිඩොනිසි සටන යි. එහි දී ඔහු තමාගේ සේනාවට වඩා විශාල තුර්කි නාවික සේනාවකට මුහුණ දුන්නා. ඔහු මෙහි දී කළේ තුර්කීන් බලාපොරොත්තු නොවූ පරිදි සිය ප්‍රහාරය ප්‍රධාන තුර්කි නෞකාව වෙත යොමු කිරීම යි. මෙයින් තුර්කි සේනාව අඩපණ වුණා.

උෂකෝෆ් සැම අවස්ථාවකම පාහේ සිය නෞකාව සටනෙහි ඉදිරියෙන්ම ගෙන ගියා. එමෙන්ම, එය ඔහුට බොහෝ සාර්ථක ක්‍රමයක් බවට ද පත් වුණා.

1790 මාර්තුවේ දී උෂකෝෆ් රියර් අද්මිරාල් තනතුරට උසස් කෙරුණා. ඔහු 1790 ජූලි 8 වනදා කර්ච් සටනේ දී තුර්කීන්ට දරුණු ලෙස අලාභ හානි සිදුකර, ඔවුන් ක්‍රිමියාවේ ගොඩබැසීමට කළ උත්සාහය ව්‍යර්ථ කිරීමට සමත් වුණා. එයින් පසුව ඔහු සෙවස්තපෝල් වෙත පැමිණියේ වීරයකු ලෙස යි. එයින් පසු ද සටන් කිහිපයක දී ම ඔහු තුර්කීන්ව පරාජය කළා.

මෙවර රුසියානු- තුර්කි යුද්ධය නිම වූයේ 1792 දී යි. යුද්ධයෙන් පසුව කළු මුහුදේ රුසියානු නාවික හමුදාව ප්‍රතිසංස්කරණය කිරීම උෂකෝෆ් වෙත පැවරුණා. 1793 දී ඔහු වයිස් අද්මිරාල් ධුරයට උසස් කරනු ලැබුණා.

මධ්‍යධරණිය

තුර්කිය සමග වූ සටන්වලින් ස්වල්ප කලකට පසු 1798 දී, උෂකෝෆ්ට නව මෙහෙයුමක් සඳහා සම්බන්ධ වීමට සිදුවුණා. ඒ ප්‍රංශ නාවික හමුදාවට එරෙහිව යි. මෙහි දී ප්‍රංශ නාවික බලය පිහිටුවා තිබූ ස්ථාන කිහිපයකින්ම ඔවුන් ඉවත් කිරීමට උෂකෝෆ් සමත් වුණා.

නැගෙනහිර මධ්‍යධරණියෙහි ප්‍රංශ බලයට ප්‍රධාන වශයෙන් උපකාර වූයේ කෝර්ෆු දූපත යි. එහි ආරක්ෂක සංවිධාන තර කරමින් ප්‍රංශය එහි සිය බලය ස්ථාවර කරගත්තා. මෙම දූපත අල්ලා ගැනීම උෂකෝෆ්ගේ ප්‍රධාන ඉලක්කයක් වුණා.

මේ සඳහා අසල පිහිටි විඩෝ දූපත අල්ලා ගැනීම වැදගත් බව උෂකෝෆ් නිගමනය කළා. එහි බලය තහවුරු කරගෙන කෝර්ෆු වෙත ගොඩබැසීම යි, ප්‍රංශ විරෝධී සන්ධානයේ සැලසුම වූයේ. උෂකෝෆ් සිය සේනාව පෙරහුරු සඳහා යොමු කරමින් සූදානම් කළා. ඉන්පසු, සාර්ථක ලෙස විඩෝ දූපත අල්ලාගත්තා. කෝර්ෆු දූපත ද ඉන්පසු අල්ලා ගනු ලැබුණා.

උෂකෝෆ් දිගටම මධ්‍යධරණියේ මෙහෙයුම්වල නිරත වුණා. එහෙත් මෙහි දී ඔහු හා බ්‍රිතාන්‍ය නාවික සෙන්පති හොරේෂියෝ නෙල්සන් අතර ගැටුමක් ඇති වුණා. නෙල්සන්ට වඩා ඒ වෙද්දී උෂකෝෆ් නිලයෙන් උසස් වීම ඊට හේතුවෙන් උෂකෝෆ්ගේ විධානයන් නෙල්සන් අබිබවා යන හෙයින් මෙම ප්‍රශ්නය ඇති වූ බව සඳහන්.

දෙදෙනා අතර මතගැටුම් බරපතල වීමට පෙර රුසියාවේ දේශපාලන තත්ත්වය වෙනස් වුණා. 1801 දී පළමුවන අලෙක්සන්දර් රුසියාවේ සාර් බාවට පත් වූ අතර, ඔහු උෂ්කෝෆ්ව​ එතරම් රිස්සුවේ නැහැ. එහෙයින් අලෙක්සන්දර් උෂකෝෆ් ව නැවත කැඳවූවා.

සනක්සාර් දේවස්ථානය (Wikimedia Commons)

අලෙක්සන්දර් විසින් එතරම් සැලකීමට ලක් නොකළ උෂකෝෆ් කලකිරීමට පත් ව 1807 දී මොස්කව් සිට කිලෝමීටර් 500ක් නැගෙනහිරින් පිහිටි සනක්සාර් දේවස්ථානයේ වාසයට ගියා. 1812 දී නැපෝලියන් රුසියාව ආක්‍රමණය කළ අවස්ථාවේ එම ආක්‍රමණයට එරෙහිව සටනට සහාය දෙන ලෙස රුසියානු රජය විසින් කළ ඉල්ලීම් සියල්ල ඔහු ප්‍රතික්ෂේප කළා. ඔහු විවාහ වූයේ ද නැහැ. 1817 ඔක්තෝබර් 14 වන දා ඔහු මියගිය අතර, දේවස්ථාන භූමියේම වළලනු ලැබුවා.

සාන්තුවරය​

උෂකෝෆ් දැඩි ආගමික භක්තියෙන් වූ අයෙකු සේ ප්‍රකට යි. ඔහු නැවියන් අතර බීමත්කම අධෛර්යය කළා. සිය ධනය පුණ්‍ය කටයුතු සඳහා ප්‍රදානය කළ ඔහු දේවස්ථානවලට වී පැය ගණන් යාඥා කළා.

සාන්ත ෆියදෝර් උෂකෝෆ් (3lions.ru)

රුසියානු ඕර්තඩොක්ස් පල්ලිය විසින් ඔහුව 2000 දී සාන්තුවරයට උසස් කෙරුණා. ඉන් වසර කිහිපයකට පසුව උෂකෝෆ් රුසියානු නැවියන්ගේ ආරක්ෂක සාන්තුවරයා ලෙස ද නම් කරනු ලැබුණා.

කවරයේ පින්තූරය: අද්මිරාල් උෂකෝෆ් (russgreecefest.com)

Related Articles