Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඇඩොල්ෆ් අයික්මාන් ඊශ්‍රායලයට ගෙන ඒම සහ දඬුවම් පැමිණවීම

මෙතෙක් කතාව

දෙවන ලෝක යුධ සමයේ නාසි වහල් කඳවුරු තුලට ගාල් කර සමූලඝාතනය කරන ලද මිලියන ගණනක් වූ යුදෙව් ජාතිකයන්ගේ ඉරණම තීරණය කිරීමට සෘජු දායකත්වයක් ලබා දුන් SS හමුදා නිලධාරි ඇඩොල්ෆ් අයික්මාන් සැඟවී සිටින ස්ථානය පිලිබඳ ඔත්තුවක් ඊශ්‍රායල මොසාඩ් රහස් ඔත්තු සේවයට ලැබෙයි. අසාර්ථක සහ අත් හැර දමන ලද ප්‍රයත්න ගණනාවකින් පසු නිවැරදි මාර්ගයට ප්‍රවේශවන රහස් ඔත්තුකරුවන් අයික්මාන් ලුහුබැඳ යාම අරඹන අතර ආර්ජන්ටිනාවේ බුවනොර්ස් අයර්ස්හි පෙදෙසකදි ඔහුව පැහැරගැනීමට සමත් වෙයි.

එතැන් සිට..

මේ අතර අයික්මාන්ගේ අතුරුදහන් වීමෙන් කැළඹුණු ඔහුගේ පවුලේ සාමාජිකයන් බුවනොර්ස් අයර්ස් හි රෝහල්, මෝචරි, පොලිස් ස්ථාන ඇතුළු සියළුම තැන්හි සැරි සරමින් ඔහු පිලිබඳ විපරම් කළ ද කිසිදු හෝඩුවාවක් සොයා ගැනීමට අපොහොසත් විය. අයික්මාන් ගේ පුතුන් එළඹි අවසන් නිගමනය වූවේ තම පියා ඊශ්‍රායල ග්‍රහණයට හසුවී ඇති බවයි. අනතුරුව අයික්මාන් සොයාගැනීම වෙනුවෙන් ආර්ජන්ටිනාවේ නාසි හිතවාදී සංවිධාන කිහිපයක උදව් ඉල්ලා සිටි පුතුන් පවසා සිටියේ ආර්ජන්ටිනාවේ ඊශ්‍රායල තානාපතිවරයා පැහැරගෙන සිය පියා නිදහස් කරන තෙක් ඔහුව රඳවා ගත යුතු බවයි. නමුත් පෙරකී සංවිධාන එම යෝජනාව ප්‍රතික්ෂේප කළෝ ය.

රහස් මෙහෙයුම ඡායාරූප ගත කළ කැමරාව/මොසාඩ් නිල වෙබ් අඩවිය

අයික්මාන්ගේ පුතුන් ඒ ආකාරයෙන් පියා සොයා නගරය පිරද්දී අයිසර් හැරෙල් අයික්මාන් රඳවා සිටින නිවාසය පොලිස් පරික්ෂාවට ලක් වුවහොත් කෙසේ ක්‍රියා කළ යුතු ද යන්න පිලිබඳ තම පිරිසට උපදෙස් දුන්නේ ය. යම් හෙයකින් පොලිසිය නිවස තුලට පැමිණියහොත් වෙනම රහස් කුටියකට ඔහුව මාරු කළ යුතු ය. පොලීසිය එම කුටිය කරා ද පැමිණෙන්නේ නම් එහි පිටුපසින් ඇති දොරින් අයික්මාන්ව පිටමන් කළ යුතු ය. ඒජන්තවරුන් කිහියක් එසේ අයික්මාන් හා නිවසින් පිටවන විට අනෙකුන් පොලිසිය කුටිය තුලට වැදීම හැකි තාක් පමා කිරීමට කටයුතු කළ යුතු ය.

“පොලිසිය අයික්මාන්ව සොයා ගතහොත් ඒ මොහොතේ ඔහු සමඟ සිටින කෙනා අයික්මාන්ගේ එක් අතකටත් තමන්ගේ එක් අතකටත් මාංචු දමාගෙන යතුර විසි කළ යුතුයි. එවිට යම් වෙලාවක් යනතුරු ඔවුන්ට ඔබව ඔහුගෙන් වෙන් කිරීමට බැහැ. ඔබ ඊශ්‍රායල ජාතිකයෙකු බව ඔවුන්ට කියන්න. ඔබේ උත්සාහය මේ නාසි අපරාධකරුවාව ඊශ්‍රායලය වෙත රැගෙන ගොස් නඩු විභාගයක් වෙත ඉදිරිපත් කිරීම බවත් කියන්න. ඉන්පසු පොලිසියට මගේ නියම නම ‘අයිසර් හැරෙල්’ සහ මම මෙහිදී භාවිතා කරන ව්‍යාජ නමත් දෙන්න. මම නැවතී සිටින හෝටල් කාමරය ගැනත් ඔවුන්ට පවසන්න. ඔවුන් ඔබව අත්අඩංගුවට ගන්නවා නම් ඒ සමඟ මාවත් අත්අඩංගුවට ගැනීමට සිදුවේවි.”

දින කිහිපයකට පසු තම ප්‍රකාශයක් අඩංගු ලියවිල්ලකට අත්සන් තැබීමට අයික්මාන් එකඟ වූවේ ය. තමන්ගේ නියම නම ඇඩොල්ෆ් අයික්මාන් බවත්, නඩු විභාගයක් සඳහා තම ඊශ්‍රායලය වෙත ගෙන යනවාට කිසිදු විරෝධයක් නොමැති බවත් එම ලියැවිල්ලෙන් ඔහු පවසා සිටියේ ය. නමුත් මෙම ප්‍රකාශයට කිසිදු නෛතික වලංගුභාවයක් නොමැති බව මොසාඩ්වරු දැනසිටියෝ ය.

අයික්මාන් විසින් අත්සන් තැබූ ප්‍රකාශයේ පිටපතක කොටසක්/Israel State Archive

‘කොඳුරන යෝධයා’ පැමිණෙයි.

මේ අතර ‘කොඳුරන යෝධයා’ ගුවන් යානය ඊශ්‍රායලයෙන් නික්මුණේ රාජ්‍ය තාන්ත්‍රික කණ්ඩායමට අමතරව තවත් සාමාන්‍ය මගීන් කිහිප දෙනෙකු ද රැගෙන ය. ඔවුන් ගුවන් මාර්ගයේ අතරමැදි නැවතුම්වලින් බැසීමට නියමිතව තිබූ අයයි. රෝම නැවතුමේ දී පුද්ගලයන් තිදෙනෙකු මෙම ගුවන් යානයට පිවිසුණ අතර ස්වල්ප වෙලාවකින් ඔවුන් ගුවන් යානා කාර්ය මණ්ඩල නිල ඇඳුමෙන් සැරසී සිටිනු දක්නට ලැබුණි. මේ තිදෙනා ඇත්ත වශයෙන්ම මොසාඩ් ඒජන්තවරුන් වූ අතර අයික්මාන් රැගෙන ඒමට බුවනොර්ස් අයර්ස් වෙත ගොස් සිටින අනෙක් මොසාඩ්වරුන්ට සහය දීමට එවන ලද්දෝ වූහ.

මේ තිදෙනා අතරින් එක් අයෙකු සිටියේ ගමන පිළිබඳව එතරම් සතුටකින් නොවේ. ඒ, තමන්ව මෙම මෙහෙයුම වෙනුවෙන් යොදාගන්නේ තම දක්ෂතා නිසා නොව තමාගේත් අයික්මාන්ගේත් පෙනුමේ ඇති සමානකම් හේතුවෙන් බව දැන සිටීම නිසා ය. දින කිහිපයකට පෙර තම කාර්යාලයට ඔහුව කැඳවූ ඔහුගේ ප්‍රධානියා ඡායාරූප දෙකක් ඔහුට පෙන්වා සිටියේ ය. ඉන් එකක් ඔහුගේ වූ අතර අනෙක ඔහුගේ රුවට හැඩහුරුකම් කියූ පුද්ගලයෙකුගේ ය. ඒ පුද්ගලයා ඊශ්‍රායල ජනයාගේ පිළිකුලට හා වෛරයට පාත්‍ර වූ නාසි හමුදාවේ ඇඩොල්ෆ් අයික්මාන් බව දැනගත් පසු ඔහුට ඇති වූවේ මහත් කම්පනයකි. ඒ කම්පනය දෙගුණ වූවේ අයික්මාන් ඊශ්‍රායලය වෙත ගේන ඒමේ මෙහෙයුමේ දී නාසි නිලධාරියාගේ අනුරුවක් (dummy) ලෙස ඔහුව යොදාගැනීමට මොසාඩ් සංවිධානය තීරණය කර ඇති බව දැනගත් පසුව ය.

අයික්මාන් වෙනුවෙන් සැකසූ ව්‍යාජ ගමන් බලපත්‍රය/Jewish Telegraphic Agency

අයිසර් හැරල් මෙයින් බලාපොරොත්තු වූවේ අයික්මාන්ගේ පෙනුමට සමානකම් කියන මොසාඩ් ඒජන්තවරයා ව්‍යාජ අනන්‍යතාවකින් ආර්ජන්ටිනාවට පැමිණි පසු ඔහුගේ එම ගමන් බලපත්‍රය හා හැඳුනුම්පත මගින් ගුවන් යානා කාර්යමණ්ඩල සේවකයෙකු ලෙස වෙස් ගැන්වූ ඇඩොල්ෆ් අයික්මාන්ව ගුවන් යානයට නංවා ගෙන ඊශ්‍රායලයට ගෙන ඒම ය.

ඒ ප්‍රධාන සැලසුමට අමතරව තවත් උප සැලසුමක් (backup plan) සකස් කිරීමටත් අයිසර් අමතක කළේ නැත. තරුණ ඊශ්‍රායල ජාතිකයෙකු කැඳවූ අයිසර් ඔහුව පවසා සිටියේ හඳුනන වෛද්‍යවරයෙකු අමතා තමන් රිය අනතුරකට මුහුණ දුන් බව පවසන ලෙසයි. රිය අනතුරෙන් පසු කැරකිල්ල, ක්ලාන්තය, වමනේ යාම ආදියෙන් තමා පිඩා විඳින බව වෛද්‍යවරයාට දැනුම් දෙන ලෙස පැවසූ අයිසර් ඉන්පසු එම වෛද්‍යවරයාගෙන් උපදෙස් මත රෝහලයක ඇතුල් වී විවේක ගන්නා ලෙස අදාළ තරුණයාට උපදෙස් දුන්නේ ය.

“මැයි 19 පාන්දර රෝහල් බලධාරීන්ට කියන්න ඔබට සෑහෙන දුරට සහනයක් දැනෙන බව. ඔවුන් ඔබව රෝහලෙන් නිදහස් කළා කියා සහතිකයක් දේවි. ඒ සහතිකය සහ රෝග වාර්තාව ගෙනැත් දෙන්න.”

යම් හෙයකින් ගුවන් සේවකයෙකු ලෙස වෙස් ගන්වා අයික්මාන්ව පිට කිරීමේ සැලසුම වැරදි ගියහොත් රිය අනතුරකින් කම්පන තත්ත්වයට ලක්ව ප්‍රතිකාර ගත් රෝගියෙකගේ අනන්‍යතාවයකින් අයික්මාන්ව ආර්ජන්ටිනාවෙන් පිටකිරීම අයිසර් ගේ උප සැලසුම විය.

ගුවන් යානය බුවනොර්ස් අයර්ස් වෙත ගොඩ බස්වනු ලැබුවේ මැයි 19 රාත්‍රියේදී ය.

20.05.1960

රාත්‍රී 09 වන විට රැඳවුම් නිවාසය තුල අයික්මාන් පිටකිරීමට අවශ්‍ය සියළුම දෑ සූදානම් කර තිබුණි. නහවා පිරිසිදු කළ අයික්මාන් ගුවන් සේවක නිල ඇඳුමෙන් සරසවා සිටියේ ය. ගුවන් සේවකයෙක් ලෙස වෙස් වලාගෙන ආර්ජන්ටිනාවට පැමිණි මොසාඩ් ඒජන්තවරයාගේ ව්‍යාජ හැඳුනුම්පත ඔහුගේ සාක්කුවේ දමා තිබුණි. ඔහුගේ මුහුණ පවුලේ සාමාජිකයෙකුට වුව එකවර හඳුනාගත නොහැකිවන සේ  මනා ලෙස හැඩගන්වා තිබූ අතර පිරිසේ සිටි වෛද්‍යවරයා මත් බෙහෙතක් අයික්මාන්ට එන්නත් කරන ලදී. මේ බෙහෙත එන්නත් කළ පසු ඔහුගේ පෙනීමේ සහ ඇසීමේ හැකියාව මෙන්ම ඇවිද යාමේ හැකියාව ද තිබූ නමුත් යමකට ප්‍රතිචාර දැක්වීම සහ කතා කිරීම ආදිය කළ නොහැක්කක් විය. තමා වටේ සිදු වෙමින් පවතින්නේ කුමක්ද යන්න වටහා ගැනීමට ඒ මත් බෙහෙත නිසා ඔහුට හැකියාවක් නොතිබුණි.

අයික්මාන් මෝටර් රථයක පිටුපස ආසන පෙළේ මැදට නංවා ගනු ලැබූ අතර ගුවන් සේවකයන් සේ සැරසුණ මොසාඩ් ඒජන්තවරුන් දෙදෙනෙකු ඔහුගේ දෙපසින් වූ හ. රථය පැදවීම සහ ඉදිරි අසුනේ හිඳගෙන සිටියේ ද මොසාඩ් ඒජන්තවරුන් දෙදෙනෙකි.

ඒ මෝටර් රථය පිටත් වෙනවාත් සමඟම නගරයේ හෝටලයකින් සත්‍ය ගුවන් සේවකයන් රැගත් තවත් මෝටර් රථ දෙකක් බුවනොර්ස් අයර්ස් ගුවන් තොටුපොල බලා නික්මුණි. ඔවුන්ගේ මුහුණු බුවනොර්ස් අයර්ස් ගුවන් තොටුපොළ පර්යන්තයේ සේවකයන්ට හුරුපුරුදු ඒවා බැවින් ඒ මෝටර් රථ දෙක අතරට මැදිවූ අනෙක් මෝටර් රථය ගැන එම සේවකයන් එතරම් සැලකිල්ලක් දැක්වූවේ නැත. ඒ අනුව අයික්මාන් ගුවන් යානය වෙත රැගෙන යාමේ මුල් සැලසුම සාර්ථක විය.

දෙපසින් වාරු කරගනිමින් අයික්මාන්ව ගුවන් යානයට නංවා ගත් මොසාඩ් ඒජන්තවරුන් පළමු පන්තියේ පිහිටා තිබූ කවුළුව අසල ආසනයක ඔහුව වාඩි කරවූවෝ ය. එම අසුන අවට තිබූ අනෙකුත් අසුන්වළ හිඳගත් ඔවුහු තමන් නින්දේ පසුවන බව ඇඟවූවේ යම් හෙයකින් ආර්ජන්ටියානු ආගමන විගමන නිලධාරින් ගුවන් යානයට ඇතුළු වී ඔවුන්ගේ ලියකියවිලි පරික්ෂා කිරීමට තැත් කළහොත් ඒ නින්දේ සිටින ගුවන් සේවකයන් තම දෙවන වැඩ මුරය තෙක් විවේක ගන්නා බව පැවසීමට ය.

ගුවන් යානය තුල බරපතල යමක් සිදුවන බව අනෙක් ගුවන් සේවකයන්ට මේ වන විට වැටහී තිබුණි. එහෙත් ඔවුන් කිසිවෙකු ඒ ගැන ප්‍රශ්න කිරීමට ගියේ නැත.

ඉන් ස්වල්ප වෙලාවකට පසු මෙහෙයුමට සහභාගී වන අනෙකුත් ඒජන්තවරුන්ට ද බාධාවක් නොමැතිව ගුවන් යානයට නැගීමට හැකි විය. ඒ ඔවුන් අතර සිටි ව්‍යාජ ලියකියවිලි සැකසීමේ නිපුණ ඒජන්තවරයා පිළියෙළ කළ ව්‍යාජ ගමන් බලපත්‍ර නිසා ය.

මධ්‍යම රාත්‍රී 12 පසුවී මිනිත්තු කිහිපයකින් සියල්ලන්ගේම සිතට සැනසුමක් අත්කර දෙමින් ‘කොඳුරන යෝධයා’ ආර්ජන්ටිනාවෙන් නික්මුණි.

හඳුනාගැනීමේ පෙරෙට්ටුව

ගුවන් යානය ඊශ්‍රායලයට ගොඩ බානු ලැබුවේ මැයි 22 උදෑසන ය. පෙරවරු 10 ට පමණ ජෙරුසෙලමේ පිහිටි අගමැති බෙන් ගුරියන් ගේ කාර්යාලයට ගිය මොසාඩ් ප්‍රධානී අයිසර් හැරල් තමා ඇතුළු පිරිස ඇඩොල්ෆ් අයික්මාන් ජීවග්‍රහයෙන් ඊශ්‍රායලය වෙත ගෙනා බව දැනුම් දී සිටියේ ය.

ඇඩොල්ෆ් අයික්මාන් සිර කඳවුර තුල (1961)/ Israel Government Press Office

අයිසර් ගේ විස්තරයට හොඳින් සවන් දුන් අගමැතිවරයා අනතුරුව පවසා සිටියේ ප්‍රසිද්ධ නිවේදනයක් නිකුත් කිරීමට පෙර අයික්මාන්ව හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කර ඔහුගේ අනන්‍යතාව තහවුරු කර ගත යුතුය යන්නයි. ඒ අනුව ඒ මොහොතේම ජර්මනියේ දී අයික්මාන් හමුවී කතා බස් කර ඇති යුදෙව් ජාතිකයන් දෙදෙනෙකු සොයා ගැනීමට අයිසර් සමත් වූවේ ය. අයික්මාන් රඳවා සිටි සිරකුටියට ගොස් ඔහු හා කතා බස් කළ එම දෙදෙනා ඒ සිටින්නේ සත්‍ය වශයෙන්ම අයික්මාන් බව තහවුරු කර සිටියෝ ය.

සවස 4 ට පමණ රස වූ කෙනැසෙට් (Knesset), එනම් ඊශ්‍රායල පාර්ලිමේන්තු රැස්වීමේදී විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අගමැති බෙන් ගුරියන් ඊශ්‍රායල රහස් ඔත්තු සේවය ඇඩොල්ෆ් අයික්මාන් සිර භාරයට ගෙන රට තුලට ගෙනා බවත්, ඔහු ඇතුළු නාසි හමුදාව යුදෙව්වන්ට එරෙහිව සිදුකරන ලද අපරාධයන් පිළිබඳ ලෝකයම දැනුවත් කිරීමේ අරමුණින් නඩු විභාගයක් පැවැත්විය යුතු බවත් දැනුම් දී සිටියේ ය.

නඩු විභාගය සහ අවසානය

නඩු විභාගය අතරතුර අයික්මාන් රඳවාසිටි වෙඩි නොවදින විදුරු කුටිය. මෙය දැන් යුදෙව් ජනතාවගේ කෞතුකාගාරය තුල තබා ඇත/Beit Hatfutsot

1961 අප්‍රේල් 11 වන දින අයික්මාන්ට එරෙහි නඩු විභාගය ආරම්භ විය. යුධ අපරාධ, මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ ආදී ලෙස වූ චෝදනා 15ක් යටතේ නඩු පවරා තිබුණි. මාස ගණනාවක් පුරා දිවුණු මේ නඩු විභාගයේ දී යුදෙව් සංහාරයෙන් ජිවිත ගලවාගැනීමට සමත් වූ ඊශ්‍රායල ජාතිකයන් 112 දෙනෙක් සාක්ෂි ලබා දුන්නෝ ය.ඊට අමතරව ‘අවසන් විසඳුමට’ ඔහු දුන් දායකත්වය ගැන පැවසෙන ලියවිලි 1500කට අධික ප්‍රමාණයක් අධිකරණය හමුවේ තබනු ලැබිය.

තම ආරක්ෂාව උදෙසා අයික්මාන් ඉදිරිපත් කළ තර්කය වූවේ තමන් කළේ තමන් වෙත ලැබුණ නියෝග පිළිපැදීම පමණක් බව ය. එහෙත් එය නොපිළිගත් සාක්ෂි විමසූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල එල්ල කර තිබූ සියළුම චෝදනාවලට වැරදිකරු කරමින් ඔහුට මරණීය දණ්ඩනය නියම කළේ ය. ඒ 1961 දෙසැම්බර් 15 වනදා ය.

එම තීරණයට එරෙහිව අයික්මාන් විසින් ඊශ්‍රායල ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළ ද 1962 මැයි 29 දින එය නිෂ්ප්‍රභ විය.

අයික්මාන් විසින් සිය අත් අකුරින් ලියා ඉදිරිපත් කළ අභියාචනය. මෙය 2016 මැයි මස ප්‍රසිද්ධ කරන ලදී/European PressPhoto Agency

ඒ අනුව ඇඩොල්ෆ් අයික්මාන් 1962 මැයි මස 31 මධ්‍යම රාත්‍රියේ දී එල්ලා මරා දමනු ලැබී ය. ඊට ප්‍රථම සම්ප්‍රදායට අනුව යමින් අවසන් වචන ප්‍රකාශ කිරීමට ඔහුට අවස්ථාවක් ලැබුණ අතර ඔහු පවසා සිටියේ මෙපමණකි.

“අපි නැවත හමුවේවි. මම ජිවත් වුණේ දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය තබමින්. මම හැම වෙලේදීම නීතියට ගරු කළා, මගේ ධජයට පක්ෂපාතී වුණා..”

ඇඩොල්ෆ් අයික්මාන්ගේ සිරුර බන්ධනාගාරයට යාබදව පිහිටි ආදාහනාගාරයක් තුළදී ආදාහනය කළ අතර ඔහුගේ අළු ඊශ්‍රායල මුහුදු සීමාව තුළ විසුරුවා හැරුණි.

අයික්මාන්ගේ සිරුර පුළුස්සා දමන මොහොත පිළිබඳව ඇමරිකානු පුවත්පත් වාර්තාකරුවෙකු මෙසේ ලියා තිබුණි.

“කළු පැහැති දුමාරය අහස දෙසට නැගුණි. කිසිවෙකුගේ මුවින් වචනයක් හෝ නොනැගුණ මුත් ඒ සියල්ලන්ටම අවුෂ්විට්ස්හි ආදාහනාගාර තුලින් අහසට නික්මුණ කළු දුමාරය සිහිපත්වන්නට ඇත..”

(Michael Bar-Zohar හා Nissim Mishal විසින් රචිත Mossad – The Great Operations of Israel’s Secret Service කෘතිය ඇසුරෙන් මේ ලිපි පෙළ සකස් කරන ලදී)

Cover Photo : ඇඩොල්ෆ් අයික්මාන් නඩු විභාගය අතරතුරදී/AP

Related Articles