Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නාසි හමුදාව සමඟ සටන් කළ පෝලන්ත තැපැල් සේවකයන් ගේ වික්‍රමය

දෙවන ලෝක ‍යුද්ධය යනු රටවල් 30කට වැඩි සංඛ්‍යාවක් සක්‍රීය සහභාගීත්වයක් පෙන්නුම් කළ ඉතිහාසයේ සනිටුහන් වූ විනාශකාරී ම යුද්ධයක්. සහභාගීත්වය දැරූ රටවල ආර්ථික, සමාජීය සහ දේශපාලන බලපෑම නිසා එය ලෝකය පුරා පැතිර ගියා. 1939 දී නාසි හමුදාව පෝලන්තය ආක්‍රමණය කිරීමත් සමඟ එය ඇරඹුණු අතර, 1945 දී මිත්‍ර පාක්ෂිකයන් ජර්මනිය සහ ජපානය පරාජය කිරීමත් සමඟ යුද්ධය අවසන් වුණා. ජර්මනියේ නාසි හමුදාව පෝලන්ත‍ය ආක්‍රමණය කිරීම දෙවන ලෝක සංග්‍රාමයේ ආරම්භයට වඩාත් බලපෑ නමුත්, හිට්ලර් ප්‍රමුඛ ජර්මනිය යුද මාවතකට අවතීර්ණ වීමේ ලක්ෂණ ඊට පෙර පටන් පහළ වෙමින් තිබුණා.

පෝලන්තය ආක්‍රමණය කිරීමට ජර්මනිය තීරණය කළ මොහොතේ පටන් ගතවූ සෑම දිනයක් ම ලෝක ඉතිහාසයට එකතු වූ විශාල පරිච්ඡේද බඳු යි. ඒ පරිච්ඡේද අතර අදටත් ලෝක අවධානයට පාත්‍ර වූ සිදුවීම් මෙන් ම එතරම් අවධානයට ලක් නොවූ, ලෝකයට අමතක ව ගිය සිදුවීම් ද තිබෙනවා. පෝලන්තයේ තැපැල් කාර්යාලයක සිටි සේවකයන් සිදු කළ වික්‍රමයත් එවැන්නක්.

නිදහස් නගරය

1914 ජුනි 28 වැනි දින ඔස්ට්‍රියාවේ කිරුළ හිමි ආදිපාදවරයා ඝාතනය කිරීමත් සමඟ පළමුවන ලෝක සංග්‍රාමයේ ආරම්භය සනිටුහන් වුණා. වර්සායි සාම ගිවිසුම හරහා ජර්මනිය යටපත් කිරීමෙන් පසු පළමු ලෝක සංග්‍රාමය නිමා වුවත්, ගිවිසුමේ කරුණු දෙවැනි ලෝක සංග්‍රාමයකට අවශ්‍ය මූල බීජ වැපිරූ බව ඉතිහාසය අධ්‍යයනය කිරීමේ දී පෙනී යන කරුණක්.

මෙම ගිවිසුමෙන් පසු ප්‍රධාන වශයෙන් ජර්මානුවන් වාසය කළ “ග’ඩාන්ස්ක්” නගරය, නිදහස් නගරයක් බවට පත් කළා. වර්සේල්ස් ගිවිසුමට පෙර නගරයට වඩාත් හිමිකම් පෑ රාජ්‍යය වූයේ පෝලන්තය යි.

නගරයේ වර්තමාන පෙනුම – www.poland.travel

පෝලන්ත භාෂාවෙන් “ග’ඩාන්ස්ක්” යනුවෙන් නගරය නම් කොට තිබුණත්, ජර්මානු ජාතිකයන් නගරය හැඳින්වූයේ “ඩැන්සිග්” යන නාමයෙන්. නිදහස් නගරයක් බවට පත් වූ පසු ඩැන්සිග් හෝ ග’ඩාන්ස්ක් (මෙතැන් සිට පහසුව තකා “ඩැන්සිග්” යන නාමය ලිපියට යොදා ගැනේ) ප්‍රදේශය, ආර්ථික සහයෝගීතාව මත පදනම් වූ අර්ධ ස්වයං පාලන කලාපයක් ලෙස ක්‍රියාත්මක වුණා.

වර්ධනය වූ ජර්මානු දේශපාලනය

නගරයේ පරිපාලන කටයුතු යම් දුරකට පෝලන්ත රජය අතින් සිදු වුවත්, නගරයේ ව්‍යවස්ථාදායක සභාවේ සංයුතිය ඉහළ මට්ටමකින් තබා ගැනීමට ජර්මනියට හැකි වී තිබුණා. උදාහරණයක් ලෙස 1933 සහ 1935 වර්ෂ වල පැවති මැතිවරණ වල දී බහුතර සභා ආසන සංඛ්‍යාවක් දිනා ගැනීමට සමත් වූයේ ජර්මානු ජාතික සමාජවාදී (නාසි) පක්ෂය යි.

නගරයේ පිහිටීම රතු පැහැ සළකුණෙන් දැක්වේ – fedcsis.org

නිදහස් නගරයේ “ජර්මානු බලය” දේශපාලනික වශයෙන් වර්ධනය කර ගත් පසු නගරයට හිමිකම් පෑ යුතු බව ජර්මනිය තීරණය කළා. 1938 දී නගරය පූර්ණ වශයෙන් ජර්මනියට භාර කරන ලෙස ඇඩෝල්ෆ් හිට්ලර් පෝලන්තයට දැන්වූයේ එහි ප්‍රතිපලයක් වශයෙන්. පෝලන්ත රජය හිට්ලර් ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා. 1939 සැප්තැම්බර් 1 වන දින නාසි හමුදාව පෝලන්ත දේශසීමා ආක්‍රමණය කරන විට ඩැන්සිග් නගරයත් ප්‍රධාන ඉලක්කයක් බවට පත් වුණේ මේ ප්‍රතික්ෂේප කිරීම නිසා යි.

ස්වාධීන තැපැල් කාර්යාලය

ඩැන්සිග් නිදහස් නගරයේ තැපැල් කාර්යාල දෙකක් පිහිටා තිබුණා. ඉන් එක් කාර්යාලයක් නගර සභාවට යටතේ ඇති ආයතනයක් ලෙස ක්‍රියාත්මක වූ අතර, අනෙක් තැපැල් කාර්යාලය පෝලන්ත රජයට අයත් පිටස්තර දේපළක් වශයෙන් සැලකුණා. තානාපති කාර්යාල හෝ එක්සත් ජාතීන් ගේ ගොඩනැඟිලි මෙන් නගරය තුළ පවත්වා ගෙන ගිය නීති පද්ධතියෙන් නිදහස් වූ ආයතනයක් ලෙස එම තැපැල් කාර්යාලය ක්‍රියාත්මක වූ බවයි පැවසෙන්නේ.

වර්තමානයේ කෞතුකාගාරයක් ලෙසත් ක්‍රියාත්මක වන තැපැල් කාර්යාලය – www.inyourpocket.com

මෙම ස්වාධීනත්වය නිසා ඩැන්සිග් නගරය තුළ පෝලන්ත මූලස්ථානයක් මෙන් තැපැල් කාර්යාලය ක්‍රියාත්මක වුණා. නගර අභ්‍යන්තරයේ ක්‍රමික ව වර්ධනය වන ජර්මානු බලය සහ ජර්මනියේ යුද අවදානම හමුවේ තැපැල් කාර්යාලයේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් තර්ජන ඇති වීම ස්වභාවික යි. ජර්මන්-පෝලන්ත විරසකය උග්‍ර අතට හැරෙන විට තැපැල් සේවකයන් සහ සිවිල් වැසියන් ගෙන් සමන්විත ආරක්ෂක ඒකකයක් සංවිධානය කිරීමේ අවශ්‍යතාවක් පැන නැඟුණේ මේ නිසා යි.

තැපැල් කාර්යාලයේ ආරක්ෂක ඒකකය පුහුණු කිරීම සඳහා 1939 අප්‍රියෙල් මාසයේ දී (ආක්‍රමණයට මාස පහකට පෙර) උප ලුතිනන් කොන්රඩ් ගුඩර්ස්කි, ඩැන්සිග් වෙත ළඟා වුණා. එය ඩැන්සිග් ආරක්ෂා කිරීම සඳහා පෝලන්ත රජය ගත් ඉතා කුඩා උත්සාහයක් බඳු යි. තත්ත්වය එසේ වුව ද උප ලුතිනන්වරයා සිය රාජකාරිය උපරිමයෙන් ඉටු කිරීමට සැදී පැහැදී සිටියා.

උප ලුතිනන් ගේ සැලැස්ම

අගෝස්තු මැද භාගයේ දී ජර්මනියෙන් තර්ජනයක් පැමිණීමේ වැඩි ඉඩකඩක් ඇති බව පෙනී ගිය බැවින්, ග්ඩින්‍යා සහ බිඩ්ගෝෂ්ච් යන ප්‍රදේශ වෙතින් තවත් සේවකයන් දස දෙනෙක් කැඳවනු ලැබුවේ පෙර සූදානමක් වශයෙන්. ඔවුන් සියලු දෙනා සහභාගී කරවා ගත් ආරක්ෂක ව්‍යුහයක් සැලසුම් කිරීමට උප ලුතිනන් ගුඩර්ස්කි තීරණය කළා. හදිසි ප්‍රහාරයක් එල්ල වුවහොත්, පෝලන්ත හමුදාවේ උපකාරය ලැබෙන තුරු ජර්මානු හමුදා පැය හයක් ඩැන්සිග් හි රඳවා ගැනීම සැලැස්මේ අරමුණ යි.

ග’ඩාන්ස්ක් හි පෝලන්තයට අයත් විශේෂ තැපැල් කාර්යාලය 1925 දී විවෘත කෙරුණා -www.local-life.com

ගුඩර්ස්කි ගේ දෙවැනි නිලධාරියා ලෙස කටයුතු කළේ හතළිස් හැවිරිදි වියේ පසු වූ තැපැල් සේවකයෙක්. සාමාන්‍යයෙන් මෙවැනි සහායක තනතුරක් සඳහා හමුදා සේවයේ යෙදෙන තැනැත්තකු අවශ්‍ය වුවත්, පෝලන්ත රජය එවැනි අත්දැකීම් සහිත පුද්ගලයෙක් එවා තිබුණේ නැහැ. ඊට හේතුව තරමක් අපැහැදිලි වුවත්, වර්ධනය වෙමින් තිබූ යුද බිය හමුවේ පෝලන්තයට සම්පත් සහ පිරිස් කළමනාකරණය සම්බන්ධයෙන් ප්‍රායෝගික දුෂ්කරතා මතුවීමේ හැකියාවක් ඇති බව උපකල්පනය කළ හැකි යි.

කෙසේ නමුත්, දෙවැනි නිලධාරියා ගේ භූමිකාව දැරූ ඇල්ෆොන්ස් ෆ්ලිසිකොව්ස්කි නම් තැපැල් සේවකයා ගුඩර්ස්කිට අනගි සහයක් ලබා දුන් බව සඳහන්. ඔවුන් එක් ව ගොඩනැඟිල්ල සහ කාර්යාලයට අයත් භූමියේ ආරක්ෂක විධිවිධාන සුදුසු පරිදි සකස් කළ අතර, ආක්‍රමණික හමුදාවට ආවරණය වීමේ පහසුකම් ඉවත් කිරීම පිණිස අවට ගස් කපා දැමුවා. පිටවීම් ද අවහිර කළා.

ප්‍රහාරය ඇරඹෙයි!

සැප්තැම්බර් 01 වැනි දින හිමිදිරි උදෑසන ඩැන්සිග් හි තැපැල් සේවකයන් බලාපොරොත්තු වූ ඒ අඳුරුත ම හෝරාව උදා වුණා. නගරයේ බහුතරය නියෝජනය කළ ජර්මානුවන් ඒ වනවිටත් පැමිණෙමින් සිටින නාසි හමුදාවට සහය ලබාදීම සඳහා සූදානමින් පසු වූ අතර, ඔවුන් වැටලීමක් සැලසුම් කොට තිබුණා.

මේ අවස්ථාවේ දී තැපැල් කාර්යාල ගොඩනැඟිල්ල සිටි සේවකයන් ගණන 57 ක්. ඒ අතර සිටි සිවිල් නොවන එකම වැසියා වන්නේ උප ලුතිනන් කොන්රඩ් ගුඩර්ස්කි පමණ යි. යුද අත්දැකීමක් නොමැති එහෙත්, යම් දුරකට පුහුණුවක් ලැබූ සේවකයන් පිරිසක් සමඟ ලෝක ඉතිහාසයේ දරුණුත ම යුද්ධයක ආරම්භක අවස්ථාවට මුහුණ දීමේ බලාපොරොත්තුවෙන් ගුඩර්ස්කි පිරිස සංවිධානය කළා.

සටන අතරතුර ජර්මානු හමුදා විවේකයක් ලබා ගන්නා අයුරු – www.warhistoryonline.com

අළුයම හතර වනවිට නාසි හමුදා සාමාජිකයන් තැපැල් කාර්යාලයේ විදුලිය විසන්ධි කිරීමට පියවර ගත්තා. නාසි හමුදා දිශා දෙකක් ඔස්සේ ප්‍රහාරය ආරම්භ කරමින් ගොඩනැඟිල්ලට ඇතුළු වීමට උත්සහ දැරුව ද තැපැල් සේවකයන් එය මැඬ පැවැත්වීමට සමත් වුණා. නාසි හමුදාවේ යුද ශක්තිය සසඳන විට ඩැන්සිග් හි තැපැල් සේවකයන් සතුව තිබුණේ පිස්තෝල, මැෂින් තුවක්කු කිහිපයක් සහ කුඩා අත්බෝම්බ සීමිත ගණනක් පමණ යි. ගුඩර්ස්කි ගේ උපායශීලිත්වය සහ සේවකයන් ගේ අප්‍රතිහත ධෛර්යය මධ්‍යයේ නාසීන් ගේ පළමු ප්‍රහාරය ව්‍යර්ථ වුණා. පළමු ප්‍රහාරයෙන් නාසි සොල්දාදුවන් දෙදෙනෙක් මිය ගිය අතර, සත් දෙනකු තුවාල ලැබුවා.

දෙවන ප්‍රහාරය

තැපැල් සේවකයන් ගේ සංවිධානාත්මක බව හමුවේ ජර්මානුවන් විස්මයට පත් වූ බව පැවසෙනවා. දෙවන ප්‍රහාරය වඩාත් සැලසුම් සහගත ව සිදු කිරීමට ඔවුන් තීරණය කළේ ඒ නිසා යි. දෙවැනි ප්‍රහාරය වෙනුවෙන් සන්නද්ධ රථ භාවිත කිරීමට පවා නාසීන් පෙළලැඹුණු අතර, ඩැන්සිග් හි වාසය කරන ජර්මානුවන් ගේ ස්වෙච්ඡා සේවය ලබා ගැනීමටත් පසුබට වූයේ නැහැ.

උදෑසන 11 ට පමණ මිලිමීටර් 75 කාල තුවක්කු සමඟ අමතර ආයුධ බලයකින් සන්නද්ධ වූ ජර්මානු බළ ඇණි දෙවැනි ප්‍රහාරය සිදු කළා. මෙහි දී ඔවුන් තැපැල් කාර්යාලයේ පැති බිත්තියක් ඉලක්ක කරමින් ගොඩනැඟිල්ලට ඇතුළු වීමට උත්සහ කළ බව සඳහන්.

තැපැල් කාර්යාලයට ප්‍රහාර එල්ල කරමින් – www.warhistoryonline.com

දෙවැනි ප්‍රහාරයේ බලවත්කම දරා ගැනීම කිසිසේත් පහසු වූයේ නැහැ. මෙතෙක් පෝලන්ත තැපැල් සේවකයන්ට නායකත්වය දුන් කොන්රඩ් ගුඩර්ස්කි ඉතා අසීරු තීරණයකට පැමිණියේ ඒ නිසා යි. ජර්මානුවන් ගේ ඉදිරි ගමන මන්දගාමී කිරීම සඳහා අත්බෝම්බයක් පුපුරවා ගනිමින් ඔහු ප්‍රාණ පරිත්‍යාගයක් සිදු කළ අතර, එතැන් පටන් සියලු දෑ තනිව ම සංවිධානය කිරීමට තැපැල් සේවකයන්ට සිදු වුණා. අණ දෙන නිලධාරියා මිය ගිය ද දෙවැනි ප්‍රහාරයත් වලක්වා ගැනීමට ඔවුන් සමත් වුණා. නාසි හමුදාවට තවදුරටත් මේ කුඩා තැපැල් කාර්යාලය අවතක්සේරු කිරීමට හැකි වුණේ නැහැ.

“ස්ථාවරය” ස්ථාවර යි!

මේ වනවිට වටලෑම ආරම්භ වී පැය හයකටත් වැඩි කාලයක් ගත වී තිබුණා. ඩැන්සිග් හි බල‍ය තහවුරු කර ගැනීමට නම් පෝලන්තයට අයත් තැපැල් කාර්යාලය අත්පත් කරගත යුතුම යි. එවිට ඩැන්සිග් කෙරෙහි ජර්මානුවන්ට ඇති අයිතිය තහවුරු කිරීමේ වැදගත් ම පියවර සම්පූර්ණ වෙනවා. ජර්මානු පක්ෂයේ අණදෙන නිළධාරියෙක් වූ විලී බෙත්කි, තැපැල් කාර්යාලය පුපුරවා හැරීමට යෝජනා කළා. එහෙත්, නාසි හමුදාවේ ප්‍රධානියා වූ ඇල්බට් ෆොස්ටර් එම යෝජනාව ප්‍රතික්ෂේප කළ බව පැවසෙනවා.

වැඩි වේලාවක් ගත වීමට මත්තෙන් නාසි හමුදාවට “වේමාක්ට් කාලතුවක්කු බළ ඇණියේ” කොටසක් පවා එකතු වුණා. එවැනි දරුණු ප්‍රහාරයක් අබිමුව පවා තම ස්ථාවරය වෙනස් කිරීමට තැපැල් සේවකයන් සූදානම් වූයේ නැහැ. තවත් අසාර්ථක ප්‍රහාරයකින් පසු ජර්මානු හමුදාව පැය දෙකක සටන් විරාමයක් ප්‍රකාශයට පත් කළ අතර, පැමිණ යටත් වීමේ සහන කාලයක් තැපැල් සේවකයන්ට ලබා දීමට ක්‍රියා කළා. මේ අතර තැපැල් කාර්යාලයේ පැති බිත්තියක් ආසන්නයේ පුපුරණ ද්‍රව්‍ය සවි කිරීමත් සිදු වෙමින් පැවතුණා.

යටත් වූ තැපැල් සේවකයෝ -www.inyourpocket.com

පස්වරු පහ පමණ වනවිට පුපුරණ ද්‍රව්‍ය මාර්ගයෙන් කාර්යාලයේ පැති බිත්තියක් කඩා දැමුණු අතර, බිම් මහල හැරුණු විට මුළු ගොඩනැඟිල්ල ම අත්පත් කර ගැනීමට ජර්මානුවන් සමත් වුණා. බිම් මහලට පසු බැස සිටි තැපැල් සේවකයන් යටත් වීමට කිසිදු අදහසකින් සිටියේ නැහැ. ඔවුන් ඒ වනවිටත් මරණය තෝරා ගෙන තිබුණා!

පැය 15 ක රඳවා ගැනීමක්

පෝලන්ත සේවකයන් ගේ ස්ථාවරය හමුවේ ජර්මානු අණදෙන නිලධාරී විලී බෙත්කි සිටියේ දැඩි කෝපයකින්. ගොඩනැඟිල්ලේ සිටි පෝලන්ත ආරක්ෂකයන් තිදෙනෙක් පණපිටින් පුළුස්සා මරා දැමීමට තරම් එම කෝපය ප්‍රබල වුණා. බිම් මහලේ සිටි ඉතිරි අයත් පෙට්‍රල් පුරවා මරා දැමීමට මත්තෙන් යටත් වීමට මේ නිර්භීත සේවකයන් අවසානයේ දී තීරණය කළා. යටත් වීම සඳහා සුදු කොඩි රැගෙන පැමිණි පළමු දෙදෙනා මරා දැමීමට තරම් ජර්මානු හමුදාව සාහසික වූ අතර, හය දෙනෙක් ගොඩනැඟිල්ලෙන් පලා යෑමට සමත් වුණා. පලා ගිය පිරිසෙන් දෙදෙනෙකු පසු දිනයේ දී අත්අඩංගුවට පත් වුණා.

පැය 15 ක් මුළුල්ලේ නාසි හමුදා රඳවා ගැනීමට ඔවුන් සමත් වුණත්, පෝලන්ත රජයෙන් නිසි වේලාවට ආධාර ලැබුණේ නැහැ – www.inyourpocket.com

දිවි බේරුණු ඉතිරි තැපැල් සේවකයන් වහාම සිර භාරයට ගැනීමට ජර්මානුවන් ක්‍රියා කළා. තුවාල ලැබූ සේවකයන් ගෙස්ටපෝ රෝහලට යවනු ලැබුවා. ඉන්පසු ඉතා අසාධාරණ නඩු විභාගයක් පැවැත්වූ අතර, සියලු දෙනාට ම මරණ දණ්ඩනය නියම කිරීමට ජර්මානු බලධාරීන් ක්‍රියා කළා. තුවාල ලබා ගෙස්ටපෝ රෝහලට මාරු කළ සේවකයන් 16 දෙනා ද මරු දුටුවා.

පිරිස් බලයෙන් සහ ආයුධ බලයෙන් ඉතා සීමිත වූ ඩැන්සිග් හි තැපැල් සේවකයන්, පැය 15 කට ආසන්න කාලයක් නාසි හමුදා නගරයේ රඳවා ගැනීමට සමත් වුණා. දෙවන ලෝක යුද ඉතිහාසයේ සිවිල් වැසියන් පිරිසක් සිදු කළ මේ සටන එතරම් කතාබහට ලක් වන්නේ නැහැ. නාසි හමුදාවට ප්‍රථමයෙන් මුහුණ දුන් ප්‍රතිවාදී බළමුළුවක් ලෙස ඩැන්සිග් හි තැපැල් සේවකයන් හැඳින්විය හැකි යි.

වීරත්වයේ මතකය

පැය 15 ක් වැනි දීර්ඝ කාලයක් නාසි හමුදාව ප්‍රමාද කිරීමට සමත් වුණත්, ඔවුන්ට නිසි ආධාර පෝලන්ත රජයෙන් ලැබුණේ නැහැ. ඊට පැහැදිලි හේතුවක් සඳහන් වන්නේත් නැහැ. ඇතැම් වාර්තාවලට අනුව එම අවස්ථාවේ දී පෝලන්තයට අයත් “ටුචෝලා” වනාන්තරයේ සිදු වූ ජර්මානු ආක්‍රමණයකට පෝලන්ත හමුදා මැදිව සිටි බැවින්, අවශ්‍ය උපකාර ඩැන්සිග් වෙත ලබා දීමට නොහැකි වූ බව සඳහන් වෙනවා. 

තැපැල් සේවකයන් ගේ වීරත්වය සිහි කරමින් ගොඩනැඟූ ස්මාරකය – www.inyourpocket.com

ඩැන්සිග් ප්‍රදේශය දැන් අයත් වන්නේ පෝලන්තයට යි. පෝලන්තයට අයත් වූ පසු නැවතත් මෙම ප්‍රදේශය “ග’ඩාන්ස්ක්” යනුවෙන් හැඳින්වීම ඇරඹුණා. නගරය ආරක්ෂා කිරීමට ප්‍රාණ පරිත්‍යාගයෙන් කැප වූ නිර්භීත තැපැල් සේවකයන් සිහි කිරීම වෙනුවෙන් ස්මාරකයක් ද එහි පිහිටුවා තිබෙනවා.

කවරයේ ඡායාරූපය: දෙවැනි ලෝක යුද්ධය පැවතුණු කාල පරාසයේ සෑම දිනයක්ම ඉතිහාසයට එක් වූ මහා පරිච්ඡේද බඳු යි. ඒ අතර එතරම් අවධානයට ලක් නොවූ කුඩා වාක්‍ය ද තිබෙනවා. ඩැන්සිග් තැපැල් සේවකයන් ගේ සටනත් එවැන්නක්.
www.facebook.com
මූලාශ්‍ර:
www.local-life.com
Libcom.org
www.britannica.com

Related Articles