අගදීර් අර්බුදය සහ පළමු ලෝක යුද්ධය

පළමු ලෝක යුද්ධය 1914 දී ඇරඹුණේ කලක් තිස්සේ බ්‍රිතාන්‍යය, ප්‍රංශය සහ රුසියාව එක් පසෙකත්, ජර්මනිය, ඔස්ට්‍රියා-හන්ගේරියාව සහ ඉතාලිය අනෙක් පසෙකත් ලෙස යුරෝපය බල කඳවුරු දෙකකට බෙදී එකිනෙකා අභිබවා යාමට කළ තරගයක ප්‍රතිඵලයක් ලෙස යි (යුද්ධය ඇරඹුණ පසු ඉතාලිය අනෙක් කඳවුරට එක් වුණා). විශේෂයෙන්ම ජර්මනියේ කාර්මික දියුණුව සමග එක් අතකින් ඇතිවූ යටත් විජිත සඳහා සටන​, නාවික තරගය යන කරුණු, ජර්මනියත් බ්‍රිතාන්‍යයත් අතර ගැටුමක් කරා ලෝක දේශපාලනය​ මෙහෙයවූවා. අගදීර් අර්බුදය සහ ඊට පෙර සිදු වූ පළමු මොරොක්කෝ අර්බුදය ද එහිම එක් අවස්ථාවක් ලෙස ගත හැකියි.

ප්‍රංශ-ප්‍රශියා යුද්ධයෙන් පසු

ජර්මනිය එක්සත් කිරීමේ අවසන් පියවර වූයේ 1870-71 සමයේ සිදු වූ ප්‍රංශ​-ප්‍රශියා යුද්ධය යි. මෙම යුද්ධයෙන් පසු ජර්මනිය අධිරාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත් වූ අතර එහි චාන්සලර් (අගමැති) ලෙස ඔටෝ ෆොන් බිස්මාර්ක් පත් වුණා​. බිස්මාර්ක් සිය විදේශ ප්‍රතිපත්තියෙහි ප්‍රධාන අරමුණ ලෙස සැලකූයේ ප්‍රංශය හුදෙකලා කොට තැබීම යි​. එමෙන්ම බ්‍රිතාන්‍යය ජර්මන් විරෝධී ස්ථාවරයකට පත් නොකිරීම ද ඔහුට වැදගත් වුණා. එහෙයින් ඔහු නාවික තරගයකට එළඹීම මෙන්ම යටත් විජිත ලබාගැනීම පිළිබඳව ද එතරම්ම උනන්දු වූයේ නැහැ.

අධිරාජ්‍යය පිහිටවූ පසු ගතවූ මුල් දශක කිහිපය තුළ පැවති දේශපාලන ස්ථාවරත්වය අතරවාරයේ ජර්මනිය කාර්මික බලවතකු ලෙස තමන් සිටි තත්ත්වයෙන් බොහෝ ඉහළට ළඟා වුණා. එරට ජනගහනය ද ඉහළ ගියා. 1871 දී මිලියන 41ක් වූ ජර්මන් ජනගහනය 1914 වන විට මිලියන 68ක් වුණා. ජර්මනියේ අපනයන ප්‍රමාණය අනෙක් රටවල්වලට සාපේක්ෂව වේගවත් වැඩිවීමක් පෙන්නුම් කළා.

මේ අවස්ථාවේ වෙළඳපොල සොයගැනීම සහ අමුද්‍රව්‍ය සපයා ගැනීම ජර්මනියට අභියෝගයක් වන්නට පටන් ගත්තා. මෙහිදී කාර්මික අංශයේ ප්‍රබලයින් ඇතුළු ඇතැම් අයගෙන් ජර්මන් රජය වෙත පීඩනයක් එල්ල වූයේ යටත් විජිත ව්‍යාපාරයට ඇතුල් වන ලෙස යි. මේ අනුව 1880 දශකයේ මැද දී ජර්මනිය අප්‍රිකාවේ යටත් විජිත කිහිපයක් ලබා ගත්තා.

ප්‍රංශ හමුදා 1912 දී මොරොක්කෝවේදී (Public Domain)

කාර්මික දියුණුව සහ ජාත්‍යන්තර වෙළෙඳාමේ වර්ධනයත් සමග ජර්මනියට ස්වකීය වෙළෙඳ නෞකා සමූහයක් පවත්වාගැනීමේ අවශ්‍යතාව ඇති වුණා. බ්‍රිතාන්‍යය මෙය දුටුවේ තම වෙළෙඳ බලයට කෙරෙන තර්ජනයක් විදියට යි. මේ අතර ජාත්‍යන්තර දේශපාලන තත්ත්වයන් වෙනස් වෙමින් පැවතුණා. 1895 වන විට ප්‍රංශය සහ රුසියාව අතර ප්‍රබල මිත්‍රත්වයක් ගොඩනැගී තිබුණා. තවදුරටත් ප්‍රංශය ලෝක දේශපාලනයේ දී හුදෙකලා වූයේ නැහැ.

මේ අතර යටත් විජිතවලට සහ වෙළෙඳ නෞකාවලට ආරක්ෂාව සැලසීම සඳහා නාවික හමුදාවක් ගොඩ නැංවීම පිළිබඳව ද ජර්මනිය අවධානය යොමු කළා. මේ හේතුවෙන් නැවතත් බ්‍රිතාන්‍යය ජර්මන් ක්‍රියාකාරකම් පිළිබඳ අවධානය යොමු කරන්නට වුණා. පළමු මොරොක්කෝ අර්බුදය සහ දෙවන මොරොක්කෝ අර්බුදය හෙවත් අගදීර් අර්බුදය සිදු වූයේ මෙම පසුබිමේ යි.

පළමු මොරොක්කෝ අර්බුදය​

යටත් විජිත සමයෙහි ප්‍රංශය මොරොක්කෝව දෙස කෑදර බැල්මෙන් බලා සිටි බව රහසක් නොවේ. විශේෂයින්ම උතුරු මොරොක්කෝ වෙරළ මධ්‍යධරණී මුහුදට වන පිවිසුම් මාර්ගයක් වන ජිබ්රෝල්ටා සමුද්‍ර සන්ධියට යාබද වීම මෙම ගිජුබවට ප්‍රධාන හේතුවක් වුණා. ප්‍රංශය ඉල්ලා සිටියේ මොරොක්කෝවේ අනාගතය තීරණය කිරීම සඳහා අන්තර්ජාතික සමුළුවක් පැවැත්විය යුතු බව යි. ප්‍රංශයේ ඉල්ලීම් ඇතිවන වකවානුවේ ජර්මනියේ කයිසර් දෙවන විල්හෙල්ම්, මොරොක්කෝවේ ටැන්ජියර් නගරයේ සංචාරය කළා. ඔහු මොරොක්කෝ සුල්තාන්වරයාගේ නිදහස ආරක්ෂා කරදීමට පොරොන්දු වුණා. මෙය මොරොක්කෝව කෙරේ වූ අමුතු ආදරයක් නිසා නොව එක් අතකින් ප්‍රංශයේ බලය පැතිරීම වැළැක්වීමේත්, අනෙක් අතින් මොරොක්කෝව තමන් සතු කරගැනීමේත් ආශාව නිසා කළ දෙයක් බව පැහැදිලි යි.

මොරොක්කෝව 1911 දී (Public Domain)

කෙසේ වෙතත්, බ්‍රිතාන්‍ය, ප්‍රංශ සහ රුසියානු මිත්‍රත්වය පරාජය කිරීමට තරම් ශක්තියක් ජර්මනියට ඒ වන විට තිබුණේ නැහැ. 1906 දී, ඇල්ජිසිරාස් නගරයේ දී මොරොක්කෝව පිළිබඳ යුරෝපා බලවතුන්ගේ සමුළුව රැස් වූ විට ප්‍රංශ පොලිසියක් එරටෙහි පිහිටුවීම වැළැක්වීමට ජර්මනියට නොහැකි වුණා. හේතුව වූයේ බ්‍රිතාන්‍යය සහ රුසියාව ප්‍රංශයට ලබාදුන් සහයෝගය යි. මේ අනුව, ප්‍රංශය මොරොක්කෝවට හමුදා යැවීමේ පළමු පියවර තැබුවා.

අගදීර් අර්බුදය

අගදීර් අර්බුදය අවස්ථාවේ යම් කිසි යුධ බියක් ඇති වූ නමුත් ජර්මනිය එවැනි අවදානමක් ගැනීමට සූදානම් නොවීම හේතුවෙන් එම අර්බුද තත්ත්වය ඔවුනට අවාසි ලෙස අවසන් වුණා.

මෙම ගැටළුව හටගත්තේ ප්‍රංශය මොරොක්කෝවට හමුදා යැවීමත් සමග යි. මෙය සිදු වූයේ මොරොක්කෝවේ ඇතිවූ කැරැල්ලක් අවස්ථාවේ දී යි. විදේශිකයන් ආරක්ෂා කරන මුවාවෙන් ප්‍රංශ හමුදා මොරොක්කෝවට යවන ලද අතර උතුරු මොරොක්කෝවට ස්පාඤ්ඤ හමුදා ළඟා වුණා. මේ අවස්ථාවේ ප්‍රංශයට අවශ්‍ය පරිදි කටයුතු කිරීමට ඉඩ දීමට අකමැති වූ ජර්මනිය “පැන්තර්” සහ “බර්ලින්” නම් නෞකා දෙකක් අගදීර් වරාය වෙත එව්වා.

SMS බර්ලින් නෞකාව (militaer-wissen.de)

ඇල්ජිසිරාස් සම්මුතිය අනුව මොරොක්කෝවේ පොලිස් බලය පිහිටුවීමට බලය තිබුණේ ප්‍රංශයට සහ ස්පාඤ්ඤයට පමණ යි. එහෙයින් ජර්මනියේ ක්‍රියාව ඇල්ජිසිරාස් සම්මුතිය උල්ලංඝණය කිරීමක් වුණා.

ජර්මනිය මධ්‍යධරණිය ආශ්‍රිතව හෝ අත්ලාන්තික් සාගරය ආශ්‍රිතව හෝ​, ජිබ්‍රෝල්ටාවට ආසන්නයෙන්, නාවික මධ්‍යස්ථානයක් ලබාගනීය යන බිය මෙම අවස්ථාවේ දී බ්‍රිතාන්‍යයට බලපෑවා. එහෙයින් බ්‍රිතාන්‍යයේ මුදල් ඇමති වූ ඩේවිඩ් ලොයිඩ් ජෝර්ජ් ජර්මනියට එරෙහිව​ යුධ වදින බවට තර්ජනය කළා. ජර්මනිය ඒ වන විට එවන් අවදානමක් ගැනීමට සූදානමින් සිටියේ නැහැ.

මේ අනුව මෙම ප්‍රශ්නය පිළිබඳව සාකච්ඡා පැවැත්වීමට තීරණය වුණා. එහිදී ජර්මනිය විසින් මොරොක්කෝවේ ප්‍රංශ පාලනය පිළිගත් අතර ඒ වෙනුවට​ කැමරූනය අසල ප්‍රදේශයක් ප්‍රංශයෙන් ලබා ගත්තා. මෙය නිව් කැමරූන් ලෙස නම් කෙරුණා.

Cover Image: රබාට් නගරයේදී ප්‍රංශ කාලතුවක්කු ගොඩ බස්වමින් (Pinterest)

මූලාශ්‍රයයන්:

  1. World War I in Photographs by J. H. J. Andriessen
  2. නූතන යුරෝපය - ඩෙනිස් රිචර්ඩ්ස්

Related Articles