අනුරාධපුර රාජධානිය බිඳවැටීමෙන් පසුව ශ්‍රී ලංකාවේ දෙවන රාජධානිය බවට පත් වුණේ පොළොන්නරුව යි. එලෙස නිර්මාණය වුණු පොළොන්නරුව රාජධානිය පාලනය කළ ප්‍රබලම රජවරු අතුරින් ප්‍රමුඛස්ථානයක් හිමි වන්නේ මහා පරාක්‍රමබාහු රජතුමාට යි. එදා පොළොන්නරුව සෞභාග්‍යමත් යුගයක් කරා ගෙන ගිය මහා පරාක්‍රමබාහු රජතුමා සුවිසල් නිර්මාණ රැසක් ඉදිකරනු ලැබුවා. එම යුගයේ දී පුලතිසි පුරවරය තුළ ඉදිවුණු නිර්මාණ අතුරින් ආළාහන පිරිවෙන නම් ආරාම සංකීර්ණය ඉතාමත් සුවිශේෂී නිර්මාණයක් වනවා. ප්‍රධාන ස්මාරක තුනකින් සහ තවත් පරිවාර ස්මාරක කිහිපයකින් සමන්විත වුණු මෙම ආරාම සංකීර්ණය විශාල භූමි ප්‍රදේශයක පිහිටා තිබෙනවා. එසේම, පොළොන්නරුවෙන් හමුවුණු මුල්ම රෝහලෙහි නටබුන් පිහිටා තිබෙන්නේ ද මෙම ආරාම සංකීර්ණ තුළ යි. 

ආළාහන පිරිවෙනෙහි තිබෙන ප්‍රධාන ස්මාරක

හෙක්ටයාර් 35ක පමණ බිම් පෙදෙසක පැතිරී පවතින ආළාහන පිරිවෙන් ආරාම සංකීර්ණය තුළ ස්මාරක රැසක් පිහිටා තිබෙනවා. එලෙස මෙම භූමිය තුළ පිහිටා ඇති ස්මාරක අතුරින් තුනක් අනිකුත් නිර්මාණවලට වඩා කැපී පෙනෙනවා. පහත දැක්වෙන්නේ ආළාහන පිරිවෙන් භූමිය තුළ දක්නට ලැබෙන ප්‍රධාන ස්මාරක තුන යි.

1) කිරි වෙහෙර 

2) ලංකාතිලක පිළිමගෙය 

3) බද්ධ සීමා ප්‍රාසාදය

කිරි වෙහෙර 

ආළාහන පිරිවෙන් භූමිය තුළ දී හමුවන ප්‍රධාන ස්මාරක කිහිපයෙන් එකක් වන කිරිවෙහෙර, මහා පරාක්‍රමබාහු රජුගේ බිසවක් වන සුභද්‍රා විසින් ඉදිකළ බවට මතයක් පවතිනවා. එසේම, මෙය මහා පරාක්‍රමබාහු රජතුමා විසින්ම ඉදිකරන ලද ස්තූපයක් බව ද ඇතැම් ස්ථානවල සඳහන් වනවා. උස් අත්තිවාරමක් මත ස්තූපයකට අවශ්‍ය සියලු අංගයන් ඇතුළත් කොට නිර්මාණය කළ ඇති මෙම ස්තූපය, පොළොන්නරුවේ දක්නට ලැබෙන ප්‍රධාන ස්තූප අතුරින් එකක් බවට පත්ව තිබෙනවා. බුබ්බුලාකාර හැඩයෙන් යුත් මෙම ස්තූපයෙහි පතුලේ වට ප්‍රමාණය අඩි 264ක් පමණ වන විට, එහි විෂ්කම්භය අඩි 88ක් පමණ වනවා. එසේම, ස්තූප ගර්භයේ විෂ්කම්භය අඩි 70 පමණ වන විට එහි වට ප්‍රමාණයෙන් යම් කොටසක් ක්ෂය වී ඇති ආකාරය දැකගැනීමට ලැබෙනවා.

කිරිවෙහෙර නටබුන් වී තිබුණු අවදියේ (sasunkethaaswadduma.blogspot)

කිරි වෙහෙර පේසා වළළු 3ක් සහ වාහල්කඩ හතරක් සහිතව නිර්මාණය කර තිබෙන්නේ, අනුරාධපුර යුගයේ බොහෝ ස්තූපවල ආභාසය ලබමින්. නමුත්, අනුරාධපුර යුගයේ ස්තූපවල හුණුගල්වලින් ඉදිකළ වාහල්කඩ මෙහි ගඩොලින් සාදා තිබෙන බව නිරීක්ෂණය කළ හැකියි. එසේම, එවායේ සත්ව කැටයම් ද දක්නට ලැබෙන්නේ නැහැ. තවද, සෑම වාහල්කඩක් දෙපසම බොකු වහල සහිතව නිර්මාණය කළ ප්‍රතිමාඝර දක්නට ලැබීම සුවිශේෂී ලක්ෂණයක් වනවා. 

කිරිවෙහෙරේ වාහල්කඩ ඈතට දිස්වන අයුරු (gettyimages)

කිරිවෙහෙරේ කොත් කැරැල්ලේ පහළම කොටසේ විෂ්කම්භය සහ සසඳා බලන විට මෙහි දේවතා කොටුව තරමක් සිහින් ස්වභාවයක් ගැනීම සුවිශේෂී ලක්ෂණයක් වනවා. 1910 වසරේ දී පමණ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මහත් පරිශ්‍රමයක් දැරීමෙන් පසුව ප්‍රතිසංස්කරණ කළ කිරිවෙහෙර වර්තමානයේ දී සම්පූර්ණ ස්තූපයක් ලෙසින් දිස්වනවා.

කිරිවෙහෙර වර්තමානයේ දී දිස්වන ආකාරය (gettyimages)

ලංකාතිලක පිළිමගෙය 

පොළොන්නරු යුගයේ දී දක්නට ලැබෙන ගෙඩිගේ සම්ප්‍රදාය අනුව නිමවා ඇති පිළිමගෙවල් අතුරින් එකක් වන ලංකාතිලක පිළිම ගෙය ඉතාමත් අලංකාර නිර්මාණයක්. නමුත්, පොළොන්නරු යුගයේදී ම ඉදිවුණු තිවංක පිළිමගෙය සහ ථූපාරාම පිළිමගෙයට වඩා වැඩියෙන් මෙය නටබුන් වී ඇති ආකාරය පෙනෙන්නට තිබෙනවා. දිගින් අඩි 170ක් සහ පළලින් අඩි 66ක් පමණ වන මෙම ගොඩනැගිල්ල ඉදිරිපස අඩි 55ක් පමණ උස දැවැන්ත කුළුණු දෙකක් පිහිටා තිබෙනවා. දැනට මෙම ගොඩනැගිල්ලේ ඇති ඉහළම ස්ථානය අඩි 60ක පමණ උසකින් යුක්ත වුවත් අතීතයේ දී මෙහි උස අඩි 100ක් පමණ වන්නට ඇතැ යි අනුමාන කරනවා.  

ලංකාතිලක පිළිමගෙය නටබුන් වී තිබුණු අවදියේ (lankapura.com)

මෙම පිළිමගෙය මධ්‍යයේ සමභංග ඉරියව්වෙන් වැඩ සිටින හිටි පිළිමයක් දක්නට ලැබෙනවා. අඩි 41ක් පමණ උසකින් යුක්ත මෙම පිළිමයේ ශීර්ෂය වර්තමානය වන විට දක්නට ලැබෙන්නේ නැහැ. නමුත්, ක්‍රි.ව. 1840 දී පමණ ඇන්ඩෘ නිකොල් අඳින ලද ලංකාතිලක පිළිමගෙය නම් සිතුවමේ හිස කොටස දක්නට ලැබෙනවා. ඉන් නිගමනය කළ හැක්කේ මෙහි හිස කොටස පසු යුගයේ බිඳවැටී ඇති බව යි. මෙහි ඇති පිළිමය වටා ප්‍රදක්ෂිණා කළ හැකි පරිදි පිළිමය සහ පිටුපස බිත්තිය අතර යම් ඉඩක් තබා තිබෙනවා. එසේම, ලංකාතිලක පිළිමගෙය මත දැවයෙන් කළ ඉහළ මාලයක් තිබුණු බවට සාක්ෂ්‍ය අදටත් මෙහි තිබෙනවා. 

ලංකාතිලක පිළිමගෙය තුළ දක්නට ලැබෙන හිටි පිළිමය (gettyimages)

මෙම පිළිමගෙයට පිටතින් පිහිටා තිබෙන බිත්ති ගඩොලින් නිර්මාණය කර තිබෙනවා. එසේම, එහි හුණු බදාම යොදාගෙන නිර්මාණය කර ඇති විසිතුරු කැටයම් දක්නට ලැබෙනවා. ඊට අමතරව මෙම ගොඩනැගිල්ල තුළ අලංකාර මුරගල් සහ කොරවක්ගල් දක්නට ලැබෙනවා. මෙහි පිහිටා තිබෙන එක් මුරගලක කොටා ඇති සෙල්ලිපියක සඳහන් වන්නේ, පරාක්‍රමබාහු රජතුමා මෙය ඉදිකිරීමෙන් වසර 100කට පසුව 4 වැනි විජයබාහු රජතුමා මෙය ප්‍රතිසංස්කරණය කර ඇති බව යි. 20 වැනි සියවස මුල භාගයේ දී පොළොන්නරුවේ ඇති නටබුන් ප්‍රතිසංස්කරණය කළ අවස්ථාවේ මෙයත් සංරක්ෂණය කරනු ලැබුවා. ඉන්පසුව, වරින් වර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් ප්‍රතිසංස්කරණය කළ මෙය වර්තමානයේ දී රමණීය අයුරින් දිස්වනවා.

ලංකාතිලක පිළිමගෙය වර්තමානයේ දිස්වන අයුරු (gettyimages)

බද්ධසීමා ප්‍රාසාදය 

ආළාහන පිරිවෙන තුළ දක්නට ලැබෙන බද්ධසීමා ප්‍රාසාදය නම් ගොඩනැගිල්ල භික්ෂූන් වහන්සේලාගේ සංඝ කර්ම කිරීම සඳහා නිර්මාණය කළ උපෝසතාගාරයක් වනවා. දිගින් අඩි 113ක් සහ පළලින් අඩි 106ක් වන මෙම ගොඩනැගිල්ල ඉදිකර තිබෙන්නේ ද මහා පරාක්‍රමබාහු රජතුමා යි. වංශ කතාවල සඳහන් වන ආකාරයට මහල් 12කින් සමන්විත වුණු මෙම ගොඩනැගිල්ලට සිව් දිශාවෙන්ම ඇතුළු විය හැකි ආකාරයට තනවා තිබෙනවා. එසේම, මෙම ගොඩනැගිල්ල මධ්‍යයේ අඩි 60ක් දිග අඩි 57ක් පළල විශාල ශාලාවක් දක්නට පුළුවන්. එම ශාලාව වටා විවිධ ප්‍රමාණයේ කාමර 10ක් පමණ තිබෙන්නට ඇතැ යි අනුමාන කරනවා.

බද්ධසීමා ප්‍රාසාදය (gettyimages)

වෙනත් නටබුන් 

ඉහත සඳහන් කළ ස්මාරක තුනට අමතරව පිරිවෙන් භූමිය තුළ තවත් නටබුන් රැසක් දක්නට ලැබෙනවා. එලෙස දක්නට ඇති නටබුන් අතුරින් බද්ධසීමා ප්‍රාසාදයේ සිට රන්කොත් වෙහෙර දෙසට යන මාර්ගයේ පිහිටා තිබෙන රෝහල සුවිශේෂී ඉදිකිරීමක් වනවා. පොළොන්නරුවෙන් හමු වූ මුල්ම පැරණි රෝහල වන මෙය චූල වංශයේ සඳහන් මහා පරාක්‍රමබාහු රජතුමා විසින් ඉදිකළ රෝහලයැ යි අනුමාන කරනවා. චතුරස්‍රාකාර ගොඩනැගිල්ලක් ලෙසින් ඉදිකළ මෙහි, කාමර 15ක් සහ මැද මිදුල් 2ක් දක්නට ලැබෙනවා. එසේම, එහි පිහිටා තිබෙන කුඩා කුටියක බෙහෙත් ඔරුවක් ද දක්නට ලැබෙනවා. 

රෝහලෙහි නටබුන් (prabathfunny.blogspot.com)

ආළාහන පිරිවෙන පිහිටුවා ඇත්තේ කලින් ආදාහන කටයුතු කළ භූමියක බවට මතයක් පවතිනවා. එසේම, මෙයට ආළාහන පිරිවෙන යන නම ලැබී තිබීමට ද එය හේතුවක් විය හැකි බවට ද අනුමාන කරනවා. මෙම භූමිය තුළ කුඩා ප්‍රමාණයේ ස්තූප රැසක් දක්නට ලැබෙනවා. එම ස්තූප භික්ෂූන් වහන්සේලාගේ සහ වෙනත් ප්‍රභූ පුද්ගලයන්ගේ භෂ්මාවශේෂ නිදන් කොට තැන්පත් කළ ඒවා නවට සිතිය හැකියි.

ආළාහන පිරිවෙන් බිමේ දක්නට ලැබෙන කුඩා ස්තූපයක් (gettyimages)

මෙවැනි විශාල ගොඩනැගිලි සංකීර්ණයක් අලංකාර කිරීම සඳහා පොකුණු නිර්මාණය කිරීම අනුරාධපුර යුගයේ සිටම දක්නට ලැබුණා. එසේම, භික්ෂූන් වහන්සේලාගේ ජල අවශ්‍යතාවයන් වෙනුවෙන් ද මෙහි පොකුණු නිර්මාණය කර තිබෙන්නට ඇතැ යි සැලකෙනවා. එලෙස නිර්මාණය කළ පොකුණුවල නටබුන් අදටත් දක්නට ලැබෙනවා.

ආළාහන පිරිවෙන් බිමේ දක්නට ලැබෙන පොකුණක් (gettyimages)

මූලාශ්‍රයයන්- 

මධ්‍යකාලීන පොළොන්නරුව- මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න 

මහාවංසය 

කවරයේ ඡායාරූපය- ආළාහන පිරිවෙනෙහි තිබෙන ලංකාතිලක පිළිමගෙය දිස්වන අයුරු (gettyimages)