Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඇලස්කාව මිල දී ගැනීම​

ඇමරිකා එක්සත් ජනපදය සිය භූමි ප්‍රදේශ ව්‍යාප්ත කිරීමේ දී කරපු අවසන් ප්‍රධානම ව්‍යාප්තියක් වුණේ, 1867 දී රුසියාවෙන් ඇලස්කාව මිලට ගැනීම යි. මෙය සිදුවුණේ 1867 දි. රුසියාව වෙත ඇමරිකාව ඩොලර් මිලියන 7.2ක් ගෙවා ව. කි. මී. 1,518,800ක් වූ ඇලස්කාව මිලට ගත්තා. මෙය එක් අක්කරයකට ඩොලර් සත දෙකකට මඳක් අඩු මුදලක් වනවා.

ඇලස්කාවේ පසු කලෙක රත්‍රන් සහ ඛනිජ තෙල් සොයාගන්නා ලද හෙයින් අද වන විට බොහෝ දෙනෙක් රුසියාව විසින් සිදුකරන ලද අනුවණතම ගනුදෙනුවක් ලෙස මෙය දකිනවා. නමුත් මෙම ගනුදෙනුව සිදුකරන ලද සමයේ එය දෙපාර්ශවය ම දුටුවේ වාසිදායක ගනුදෙනුවක් ලෙස යි.

රුසියානු ඇමරිකාව

රුසියානුවන් ඇලස්කාවට පැමිණියේ 1732 දී යි. සත්ත්ව ලොම් වෙළෙඳාමෙහි නිරත වීම සඳහා 1799 දී රුසියාව විසින් රුසියානු-ඇමරිකා සමාගම පිහිටුවනු ලැබුවා. ඇලස්කාවෙහි රුසියානුවන් පදිංචි වුණේ සුළු වශයෙන්. ඔවුන් මූලික වශයෙන් එහි වූ ස්වදේශික ජනයාගෙන් සත්ත්ව ලොම් මිලට ගැනීම, සත්ත්ව ලොම් සඳහා දඩයමෙහි යෙදීම,​ සහ ආගමික ප්‍රචාරක කටයුතු කිරීමෙහි නිරත වුණා.

ඇලස්කාවෙහි ජනාවාස ව්‍යාප්ත කිරීමේ විශාල වැඩපිළිවෙලක් රුසියානුවන් විසින් දියත් කෙරුණේ නැහැ. අප මෙහි දී තේරුම් ගත යුත්තේ රුසියානුවන්ට ඇති තරම් ව්‍යාප්ත වීමට ඉඩ තිබුණ බව යි. විශේෂයෙන් ම සයිබීරියාවේ ද ඔවුනට ඕනෑ තරම් ඉඩකඩ තිබුණ අතර, එහි ද ජීවන තත්ත්වය ඉතා කටුක බව අමුතුවෙන් කිව යුතු නැහැ. ඉතින් රුසියානු ජනතාවගේ හදබිම වූ යුරෝපීය රුසියාව අතැර කිලෝමීටර දහස් ගණනක් ඈත කර්කශ ඇලස්කාවට පදිංචිය සඳහා පැමිණීමේ අවශ්‍යතාවක් රුසියානු ජනයාට වූයේ නැහැ.

රුසියානු ඇමරිකාව (Public Domain)

මේ අතර රුසියානු පාලකයන්ට වෙනත් ප්‍රශ්නයකට ද මුහුණ දීමට සිදුවුණා. 1854 – 1856 ක්‍රිමියානු යුද්ධය හේතුවෙන් රුසියානු රජයට විශාල වියදමක් දැරීමට සිදුවුණා. එහෙයින් ඔවුන් මූල්‍ය අපහසුතාවලට මුහුණ දුන්නා. අනෙක් අතට යම්කිසි අවස්ථාවක බ්‍රිතාන්‍ය සහ රුසියාව අතර යුද්ධයක් ඇති වුවහොත්, ඇලස්කාව ආරක්ෂා කරගැනීම අසීරු බව ඔවුන් තේරුම් ගත්තා. ක්‍රිමියානු යුද්ධය අවස්ථාවේ දී ද ඇලස්කාවට යුද්ධය පැතිරීම වැළකුණේ රුසියානු-ඇමරිකා සමාගම සහ කැනඩාවේ හඩ්සන් බේ සමාගම අතර වූ එකඟතාවක් මත යි. මෙම ප්‍රදේශය කරා යුද්ධය පැතිරීම දෙපාර්ශවයට ම හානිකර වේ ය යන අදහස මත, එම සමාගම් දෙක තම රජයයන් සමග එකඟත්වයෙන් එම ප්‍රදේශයට යුද්ධය පැතිරීම වළක්වා ගත්තා. නමුත් අනාගතයේ දී එම තත්ත්වය ඒ ආකාරයෙන් ම පවතිනු ඇතැ යි තහවුරු කළ හැකි වූයේ නැහැ.

මේ වගේ ම යම් හෙයකින් ඇලස්කාවේ රත්‍රන් හෝ වෙනත් ස්වාභාවික සම්පතක් සොයා ගතහොත් ඇලස්කාවේ පාලනය ආරක්ෂා කරගැනීම අසීරු වන බවට ද රුසියානු රජය තේරුම් ගත්තා. රුසියානු මධ්‍යම පාලනයෙන් කිලෝමීටර දහස් ගණනක් ඈත පිහිටි ප්‍රදේශයක එවැනි අවස්ථාවක දී සිවිල් පාලනය ස්ථාපිත කිරීම පහසු නොවන බව ඔවුන් තේරුම් ගත්තා. යම් ලෙසකින් ඇලස්කාවේ රත්‍රන් තිබේයැ යි සොයා ගතහොත්, ඇමරිකාවෙන් සහ කැනඩාවෙන් දහස් ගණන් පිරිස් එහි ඇදී එනු ඇති බවත්, එවිට එම ප්‍රදේශයන්හි රුසියානු පාලනය ස්ථාපිත කිරීම කළ නොහැක්කක් වන බවත් රුසියාවට වැටහුණා. විශේෂයෙන් ම ඉංග්‍රීසි කතා කරන ජනාවාසීන් හේතුවෙන් ටෙක්සාස් ප්‍රදේශය ඇමරිකාවට එක් වූ ආකාරය මේ සඳහා ඉඟියක් දෙන්නට ඇති.

ගනුදෙනුව​

මේ සියලු කාරණා හේතුවෙන් ඇලස්කාව විකුණා දැමිය යුතු ය යන අදහසක් රුසියානු පාලකයන් අතර ඇති වුණා. ඔවුන් මේ සඳහා සාකච්ඡා ආරම්භ කළේ ඇමරිකාව සමග යි. බ්‍රිතාන්‍යයට ඇලස්කාව විකුණා දැමීමට රුසියාව බලාපොරොත්තු වූයේ නැහැ. එකල බ්‍රිතාන්‍යය ලෝක බලවතා වූ හෙයින් එරට තවත් ශක්තිමත් කිරීම රුසියාවේ බලාපොරොත්තුව වුණේ නැහැ. අනෙක් අතට ඇමරිකාව එකල සාමාන්‍යයෙන් ලෝකයේ අනෙක් ප්‍රදේශයන් හි කරුණුවලට අත නොදමන රාජ්‍යයක් වූ හෙයින් රුසියාව එරට තමන්ට තර්ජනයක් ලෙස ද දුටුවේ නැහැ.

රුසියාව විසින් මේ පිළිබඳ අවස්ථා කිහිපයක් ඇමරිකාවට දන්වා සිටියා. නමුත් ඇමරිකන් සිවිල් යුද්ධය හේතුවෙන් මෙම කරුණ කල් දැමීමට සිදුවුණා. 1861 දී ඇරඹි මෙම යුද්ධය නිම වූයේ 1865 අප්‍රේල් මාසයේ දී.

විලියම් එච්. සුවර්ඩ් (Public Domain)

1866 දෙසැම්බරයේ දී ඇලස්කා ගනුදෙනුව පිළිබඳ ව යළි සාකච්ඡා අරඹන ලෙස ඇමරිකාවේ රුසියානු නියෝජිතයා වූ එඩුවාර්ඩ් ඩි ස්තෝකල් බැරන්වරයාට දෙවන අලෙක්සන්දර් සාර්වරයා විසින් දන්වනු ලැබුණා.

රාජ්‍ය ලේකම් විලියම් සුවර්ඩ් මෙම යෝජනාව වහා ම සැලකිල්ලට​ ගත්තා. එපමණක් නොව ඒ සඳහා අවශ්‍ය මුදල් අනුමත කරගැනීම සඳහා ඔහු කොන්ග්‍රස් මණ්ඩලය පොළඹවා ගැනීමට විශාල වැඩ කොටසක් කළා. මෙම ගනුදෙනුව ඇමරිකාව පාර්ශවයෙන් තනිකර ම සුවර්ඩ්ගේ කර්තව්‍යයක් ලෙස දිස් වුණා. ඇලස්කාව මිල දී ගැනීමට විරුද්ධවූවන් මෙම ක්‍රියාව “සුවර්ඩ්ගේ අනුවණකම” (Seward’s Folly) ලෙස නම් කළා. ඔවුනගේ අදහස වූයේ නිසරු බිමක් ලබා ගැනීම සඳහා රජය අනවශ්‍ය වියදමක් දරන බව යි.

මුදල් ගෙවූ චෙක්පත (Public Domain)

ඇලස්කාවේ පාලනය ඇමරිකාවට පැවරීම පිළිබඳ ගිවිසුම 1867 මාර්තු 30 වන දා අත්සන් කෙරුණා. ඔක්තෝබර් 18 වන දා සිට්කා හි පැවති උත්සවයක දී මෙම හුවමාරුව නිල වශයෙන් සිදුවුණා.

ඇලස්කාවේ වැදගත්කම​

ඇලස්කාව මිලට ගත් මුල් කාලයේ දී එක්සත් ජනපදය ඒ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළේ නැහැ. ඇතැම් කාලවල කිසිදු ආකාරයේ පාලනයක් එහි වූයේ නැහැ. එක්සත් ජනපද සිවිල් පරිපාලනය 1884 දී එහි පිහිටුවනු ලැබුණා.

ඇලස්කාවට වැදගත් ස්ථානයක් ලැබුණේ 1896 දී යුකෝන් නිම්නයෙහි රත්‍රන් සොයා ගැනීමත් සමග යි. ක්ලොන්ඩයික් රත්‍රන් නිධිවලට ප්‍රවේශ මාර්ගයක් ලෙස ඇලස්කාව වැදගත් වුණා. මින් ස්වල්ප කලකට පසු 1899 දී ඇලස්කාවේ ද රත්‍රන් සොයා ගැනුණා.

දෙවන ලෝක යුධ සමයේ දී ජපානයට එරෙහි යුද්ධයේ දී එක්සත් ජනපදයට ඇලස්කාව උපක්‍රමික වශයෙන් ද වැදගත් වුණා.

1959 ජනවාරියේ දී ඇලස්කාව එක්සත් ජනපදයේ 49 වන ජනපදය බවට පත් වුණා. වර්තමානයේ දී එක්සත් ජනපදයේ භූමි ප්‍රමාණයෙන් විශාලම ප්‍රාන්තය ඇලස්කාව යි.

කවරයේ පින්තූරය: ඇලස්කා ගිවිසුම අත්සන් කිරීම​, 1867 මාර්තු 30. (Emanuel Leutze)

මූලාශ්‍රය​යයන්:

Related Articles