ඉතාලිය කැළඹූ ඇල්ඩෝ මෝරෝ පැහැරගැනීම​ හා ඝාතනය

1978 මාර්තු 16 වන දා ඉතාලියට ඓතිහාසික දිනයක් වුණා​. ඉතාලි කොමියුනිස්ට් පක්ෂයේ සහය ලැබෙන ක්‍රිස්තියානි ප්‍රජාතාන්ත්‍රික රජය කෙරෙහි වූ විශ්වාසය පළ කිරීමේ යෝජනාවක් එදින විභාගයට ගැනීමට නියමිත වුණා. මෙම යෝජනාව ක්‍රියාවට නැගීමේ මූලිකත්වය ගෙන ක්‍රියා කළ, එවකට ක්‍රිස්තියානි ප්‍රජාතාන්ත්‍රිකයන්ගේ නායකයා වූ ඇල්ඩෝ මෝරෝ එදින උදෑසන 9 ට පමණ පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී වීම සඳහා සිය නිවෙසින් පිටත් වුණා. රෝමයේ උතුරුදිග ප්‍රදේශයේ වියා ෆානි නම් වූ වීථියේ, අන්ත වාමාංශික රතු බ්‍රිගේඩයේ සාමාජිකයන් පිරිසක්, ඔහු එනතුරු රැකගෙන සිටි බව ඔහු දැන සිටියේ නැහැ.

ඇල්ඩෝ මෝරෝගේ පැහැරගැනීම සහ දින 55කට පසුව සිදු වූ ඔහුගේ ඝාතනය පිළිබඳ අදටත් විවාදයන් පවතිනවා. ඇතැම් මතයන්ට අනුව මෝරෝ ඝාතනය රතු බ්‍රිගේඩ වාමාංශික කැරලිකරුවන් විසින් සිදු කළ ද වෙනත් ඉතාලි මෙන්ම විදෙස් කණ්ඩායම්වලට එහි ප්‍රතිඵල පිළිබඳ සතුටු විය හැකි හේතූන් තිබුණා. මේ හේතුව නිසා ඇතැමුන් විශ්වාස කරන්නේ මේ කියන​ වෙනත් කණ්ඩායම් ද මෝරෝගේ ඝාතනයට වක්‍රාකාරයෙන් හෝ වග කිව යුතු බවයි.

මෙසේ මෝරෝ ඝාතනයෙන් වක්‍රාකාර වාසි ලැබුණ කොටස් අතර ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රික පක්ෂයේ දක්ෂිණාංශික නායකයින්, ඇමරිකා එක්සත් ජනපදය සහ සෝවියට් දේශය ද වනවා.

ඊයම් වර්ෂ

1970 දශකය යනු ඉතාලි දේශපාලනයේ විපර්යාසයන්ගෙන් යුතු වූ කාලයක් බව විවාදයක් නැහැ. අන්ත වාමාංශික සහ අන්ත දක්ෂිනාංශික​ ත්‍රස්තවාදීන් ගෙන ගිය ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් මෙම සමය ඊයම් වර්ෂ (Years of lead) යනුවෙන් හඳුන්වනු ලබනවා. මෙම නම භාවිතා වන්නට ඇත්තේ එකල ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් වැය කරන ලද අති විශාල උණ්ඩ සංඛ්‍යාව සංකේතවත් කිරීමට බව සාමාන්‍යයෙන් පිළිගැනෙනවා.

සාමාන්‍යයෙන් 1968 පමණ සිට ඇති වූ ජනතා උද්ඝෝෂණවල සිට 1982 පමණ දක්වා කාලය මෙම ඊයම් වර්ෂවලට අයත් යයි සළකනු ලබන අතර මෙකල සිදු වූ රටම කැළඹූ සිද්ධීන් දෙක ලෙස 1978 ඇල්ඩෝ මෝරෝ පැහැර ගැනීම සහ ඝාතනයත්, 1980 බොලොඤ්ඤා දුම්රිය පොළෙහි බෝම්බ පිපිරීමත් සැළකිය හැකි යි.

බොලොඤ්ඤා බෝම්බ ප්‍රහාරය 1980 (ANSA)

ඓතිහාසික සම්මුතිය

​මේ සමයෙ දී ඉතාලියේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක වූ ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රිකයන් සහ ඉතාලියානු කොමියුනිස්ට් පක්ෂය අතර ඓතිහාසික සම්මුතියක් ඇති වුණා. මෙයට බලපෑ හේතු කිහිපයක් වුණා.1948 සිට ඉතාලියේ ප්‍රධානතම දේශපාලන පක්ෂය වූයේ ක්‍රිස්තියානි ප්‍රජාතාන්ත්‍රිකයන්. නමුත් කෙටි කලක් හැරුණ විට ඔවුනට පාර්ලිමේන්තු බහුතරයක් තිබුණේ නැහැ. මේ හේතුව නිසා ඔවුනට වෙනත් පක්ෂ සමඟ එක්ව කටයුතු කිරීමට බොහෝ විට සිදු වුණා. පක්ෂයේ වාමාංශික කණ්ඩායම වඩා බලවත් වීමෙන් පසු ඉතාලියානු සමාජවාදී පක්ෂය සමඟ ද ඔවුන් සභාග වලට එළඹියා. ඒ, කොමියුනිස්ට් පක්ෂය බලයට ඒම වැළැක්වීමටයි.කොමියුනිස්ට් පක්ෂය 1972 වනතුරු සාමාන්‍යයෙන් සෝවියට් රජයේ උපදෙස්වලට පිටින් ගියේ නැහැ. නමුත් 1972 දී එන්රිකෝ බර්ලින්ජර් පක්ෂයේ මහ ලේකම් බවට පත් වූ පසු මේ තත්ත්වය වෙනස් වෙන්නට ගත්තා. ඔහු පක්ෂය සෝවියට් කොමියුනිස්ට් පක්ෂයෙන් ස්වාධීන වූ පක්ෂයක් බවට පත් කිරීමට කටයුතු කළා.ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදීන් ගේ රජයට ඉන් පිටත සිට සහය දීමට කොමියුනිස්ට් පක්ෂය තීරණය කළේ මෙම නව පසුබිම යටතේ යි. ඒ 1976 දී. මේ අනුව ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රිකයන්ට පාර්ලිමේන්තුවේ බහුතරය පිළිබඳ කරදර වීමේ අවශ්‍යතාවක් මතු වූයේ නැහැ.

මෙම ඓතිහාසික සම්මුතියට පක්ෂ වූ ප්‍රධාන නායකයකු වූයේ පස් වතාවක් ඉතාලි අගමැති ලෙස දිවුරුම් දුන් අයකු වූ ද​, එවකට ඉතාලි අගමැතිවරයා වූ ද ඇල්ඩෝ මෝරෝ. ඔහු 1976 ජූලි මාසයේ දී අගමැති ධුරයෙන් ඉවත් වූ අතර ජුලියෝ අන්ද්‍රෙඔට්ටි එම ධුරයට පත් වුණා.

රතු බ්‍රිගේඩ​

කියුබානු මිසයිල අර්බුදය​, බර්ලින් තාප්පය ඉදි කිරීම, සහ වියට්නාම් යුද්ධය ආදී ලෝක බලවතුන් එකිනෙකා හා ගැටීම සිදු විය හැකි ආසන්නතම අවස්ථා වලින් ද​, යුරෝපයේ තරුණ උද්ඝෝෂණ​, ඇමරිකාවේ යුධ විරෝධී පෙළපාලි සහ සෝවියට් දේශය විසින් චෙකොස්ලොවැකියාව ආක්‍රමණය කිරීම වැනි කලකෝලාහල ද ගහණ වූ 1960 දශකය ලෝක දේශපාලනයේ අවුල් සහගත කාලයක් වුණා. මේ සමයේ බොහෝ බටහිර රටවල විකල්ප දේශපාලන කණ්ඩායම් බිහි වුණා. සාම්ප්‍රදායික කොමියුනිස්ට්වාදීන් පිළිබඳ කලකිරුණු වාමවාදී කණ්ඩායම් මේ අතර වූ අතර ඉන් ඇතමෙක් සන්නද්ධ අරගල සඳහා යොමු වුණා. ජර්මනියේ රතු හමුදා කණ්ඩායම (ජර්මන්: Rote Armee Fraktion, ඉංග්‍රීසි:  Red Army Faction) හෙවත් බාඩර් මයින්හොෆ් කල්ලිය සහ ඉතාලියේ රතු බ්‍රිගේඩ (ඉතාලි: Brigate Rosse, ඉංග්‍රීසි: Red Brigades) මේ අතර ප්‍රධාන වුණා.

රතු බ්‍රිගේඩ සංවිධානය ආරම්භ වුණේ 1970 දී උතුරු ඉතාලියේදි යි. එය මුල් කාලයේ මිලාන්, ටියුරින් වැනි නගරවල ක්‍රියාත්මක වූ අතර පසුව වෙනත් ප්‍රදේශ කරා ද පැතිර ගියා. ඔවුන් ඉතාලි කොමියුනිස්ට් පක්ෂය විවේචනය කළා මෙන්ම රජය පෙරළා දැමීම ද ඔවුනගේ අරමුණක් වුණා.ඇල්ඩෝ මෝරෝ පැහැර ගැනීම සහ ඝාතනය ඔවුන් විසින් සිදු කළ ප්‍රකටම ත්‍රස්ත ක්‍රියාව ලෙස ඉතිහාසගතව තිබෙනවා.​

පැහැරගැනීම​

ඇල්ඩෝ මෝරෝ මාර්තු 10 වනදා පාර්ලිමේන්තුවට යන මාර්ගයේ රැකගෙන සිටි රතු බ්‍රිගේඩ කණ්ඩායම එකොළොස් දෙනෙකුගෙන් සමන්විත වූ බව විශ්වාස කෙරෙනවා. මෙයින් ඇතැමෙක් ඉතාලි ගුවන් සේවය වන අලිතාලියා හි නිල ඇඳුම් ඇඳ සිටියේ එකිනෙකා හඳුනා ගැනීමේ පහසුවත් සළකමින්. මක් නිසාද යත් මේ ඇතැම් සාමාජිකයන් මීට පෙර එකිනෙකා මුණ ගැසී තිබුණේ නැහැ.මෝරෝ පාර්ලිමේන්තුවට පිටත් වූයේ පස් දෙනෙකුගෙන් යුත් ආරක්ෂකයින් පිරිසක් සමඟයි. ඔහුගේ රථයෙහි ඉන් දෙදෙනකු සහ ඉන් පිටිපසින් පැමිණි අනෙක් රථයෙහි තිදෙනෙකු වුණා.වියා ෆානි හි දී රතු බ්‍රිගේඩ සාමාජිකයන් මෝටර් රථ කිහිපයක් මගින් මෝරෝගේ රථ හරස් කළා. ඒ සමඟම සැඟව සිටි සන්නද්ධ රතු බ්‍රිගේඩ සාමාජිකයන් සිව් දෙනකු මෝරෝගේ ආරක්ෂකයන්ට වෙඩි තැබුවා. ඔවුන් පස් දෙනාම ප්‍රහාරයෙන් මිය ගිය අතර මෝරෝ පැහැරගනු ලැබුණා.

උදෑසන දහය වන විට පාර්ලිමේන්තුවට මෝරෝ පැහැරගැනීමේ පුවත ළඟා වුණා. පාර්ලිමේන්තුවම කලබලයට පත් වූයේ ඉතාලි දේශපාලනය තුළ මෝරෝ අතිශයින්ම වැදගත් අයකු වූ හෙයින්. රතු බ්‍රිගේඩවලට ඔහු ඉලක්කයක් වූයේ කොමියුනිස්ට් පක්ෂය සහ ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදීන් අතර එකඟතාවට ඔහු මග විවර කළ හෙයින් බව විශ්වාස කෙරෙනවා.

සාකච්ඡා ප්‍රතික්ෂේප කිරීම​ සහ ඝාතනය​

මෝරෝගේ පැහැරගැනීම සහ ඉන් පසුව සිදු වූ සිද්ධීන් පිළිබඳ විවාදයන් රැසක් තිබෙනවා. සාමාන්‍ය පිළිගැනීම වන්නේ ඔහු රෝමයේම වූ නිවසක රඳවාගෙන සිටි බවයි. නමුත් ඒ පිළිබඳව ද සැක පහළ වී තිබෙනවා. කෙසේ නමුත් ඝාතනය කිරීමට පෙර ගත වූ සති අටකට ආසන්න කාලය තුළ රතු බ්‍රිගේඩ සාමාජිකයන් මෝරෝට හොඳින් සලකා ඇති බව ඔහුගේ මළ සිරුර පරීක්ෂා කළ පසු පැහැදිලි වුණා.

පැහැරගත් ඇල්ඩෝ මෝරෝ (Road Tv Italia)

මේ අතර ඔහු මේ කාලය තුළ ලිපි 86ක් ලියූ බව විශ්වාස කෙරෙනවා. ඒ අතර සිය පවුලේ අයට​, සිය පක්ෂයේ ප්‍රබලයින්ට මෙන්ම පාප්වහන්සේට ලියූ ලියුම් ද වුණා. ඇතැම් ලියුම් අදාළ පුද්ගලයින් වෙත ළඟා වූ නමුත් වැඩි ප්‍රමාණයක් සොයා ගන්නා ලද්දේ පසු කාලයක දී රතු බ්‍රිගේඩ සැඟවුම් නිවාසයක් පරීක්ෂා කිරීමේදි යි. කෙසේ නමුත් මෙම​ ලිපි ලිවීමේ දී ඔහුට පූර්ණ නිදහසක් දෙනු ලැබුවද යන්න සැක සහිතයි.රතු බ්‍රිගේඩ සාමාජිකයන් මෝරෝව සිරගතව සිටින ත්‍රස්තවාදීන් කිහිප දෙනෙකු සමඟ හුවමාරු කරගැනීමට කැමැත්ත පළ කළා. නමුත් ඉතාලි රජය කියා සිටියේ තමන් ත්‍රස්තවාදීන් සමඟ සාකච්ඡා නොකරන බවයි.මෝරෝගේ පැහැර ගැනීම සැලසුම් කළ ප්‍රධානම තැනැත්තා වූයේ එවකට 30 හැවිරිදි වූ මාරියෝ මොරෙට්ටි යි. මෝරෝ රඳවාගෙන සිටි සමයේ ඔහු හා කතාබහ කළ එකම තැනැත්තා වූයේ ද මොරෙට්ටි බවයි පැවසෙන්නේ. සාකච්ඡා සඳහා ඉල්ලීම් නිශ්ඵල වූ තැන රතු බ්‍රිගේඩය විසින් ඔහුව ඝාතනය කිරීමට තීරණය කළා. මේ අනුව 1978 මැයි 9 වනදා උදෑසන මොරෙට්ටි විසින් මෝරෝ වෙඩි තබා ඝාතනය කෙරුණා. ඔහුගේ සිරුර රතු පැහැ රෙනෝ (Renault) කාරයක පිටිපස තබා රෝමයේ වියා කෙතානි (Via Caetani) ප්‍රදේශයේ දමා ගිය රතු බ්‍රිගේඩ සාමාජිකයන් එදින දහවල් ඒ බව දුරකථනය මගින් මෝරෝගේ සහායකයා වෙත දන්වා සිටියා. මෝරෝගේ සිරුර සොයාගන්නා ලද්දේ එම ඔත්තුව අනුවයි.

ඇල්ඩෝ මෝරෝගේ සිරුර සොයා ගැනීම (Getty Images)

පරීක්ෂණ යට ගැසීමේ චෝදනා

මෝරෝ නිදහස් කර ගැනීමට හෝ ඔහු රඳවාගෙන සිටි ස්ථානය පිළිබඳ සොයා ගැනීමට හෝ ඉතාලි රජය අපොහොසත් වීම පිළිබඳ විවිධ චෝදනා එල්ල වනවා. ඔහු රඳවාගෙන සිටියේ රෝමයේම යයි හෙළි වීමත් සමඟ එතෙක් කල් ඔහු සොයාගත නොහැකි වීම පිළිබඳ ප්‍රශ්න මතු වුණා.

අතැම් මතයන්ට අනුව මෝරෝ සොයා ගැනීමට ඉතාලි රජය එතරම් උනන්දුවක් දැක්වූයේ නැහැ. එවකට අගමැතිවරයා වූ ජුලියෝ අන්ද්‍රෙඔට්ටි ද ආන්දෝලනාත්මක චරිතයක් වන අතර ඔහු හා මෝරෝ එකිනෙකා හා එකඟ නොවූ කරුණු බොහෝ තිබුණා. ඉන් එකක් වූයේ ඓතිහාසික සම්මුතියයි. මෝරෝ ඊට පක්ෂ වූ නමුත් දක්ෂිනාංශයට බර වූ අන්ද්‍රෙඔට්ටි ඒ පිළිබඳ උදාසීන වුණා. මේ හේතුවෙන් තම දේශපාලන ප්‍රතිවාදියකු මෙන්ම තම ඉදිරි ගමනට බාධකයක් වූ අයකු පිළිබඳ සෙවීමේ අවශ්‍යතාවක් ඔහුට නොවූ බවට චෝදනා මතු වනවා.

ජුලියෝ අන්ද්‍රෙඔට්ටි (Public Domain)

එමෙන්ම ඓතිහාසික සම්මුතිය හේතුවෙන් මෝරෝට විදෙස්වල ද විරුද්ධවාදීන් සිටියා. ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර කඳවුර ඊට එරෙහි වූයේ කොමියුනිස්ට්වාදීන් රජය වෙත බාර ගනු ලැබූ බැවිනුයි. නමුත් සෝවියට් දේශය ද මේ හේතුව නිසා ම මෙම සම්මුතියට එරෙහි වුණා. මක් නිසාද යත් ඉතාලි කොමියුනිස්ට් පක්ෂය මෙම ක්‍රියාව මගින් තමන් සෝවියට් පක්ෂයෙන් ස්වාධීන බව පෙන්නුම් කිරීම සෝවියට් කොමියුනිස්ට් පක්ෂයේ සතුටට හේතු වූයේ නැහැ.

මේ අතර මේ වනවිට ඊශ්‍රායලයේ මොසාඩ් ඔත්තු සේවය රතු බ්‍රිගේඩ වෙත රහස් ඒජන්තයින් ඇතුලු කර තිබූ බව සාමාන්‍ය පිළිගැනීම යි. එසේ වී නම් මෝරෝ පිළිබඳ සෙවීමට ඊශ්‍රායලයට ද හැකියාව තිබෙන්නට ඇති. එහෙත් එය ද සිදු වූ බවක් පෙනෙන්නට නැහැ.

කෙසේ නමුත් මෙම චෝදනා එකක්වත් ඔප්පු කිරීමට නොහැකි වී තිබෙන බව ද කිව යුතුයි. එවකට ඉතාලි අභ්‍යන්තර කටයුතු ඇමතිවරයා සහ පසු කාලීනව ඉතාලියේ ජනාධිපතිවරයකු ද වූ ෆ්‍රැන්චෙස්කෝ කොසීගා 2008 දී සම්මුඛ සාකච්ඡාවකදී කියා සිටියේ ත්‍රස්තයින් සමඟ සාකච්ඡා කළේ නම් රජය බිඳ වැටෙන්නට ඉඩ තිබූ බවයි. තවද තමන් මෝරෝගේ මරණය බලාපොරොත්තු වූ නිසාවෙන් එසේ සාකච්ඡා කිරීම ප්‍රතික්ෂේප කළ බවට ඇති චෝදනා ද ඔහු තරයේ බැහැර​ කළා.

ඝාතනයේ ප්‍රතිඵල​

මෝරෝ පැහැර ගැනීමේ එක් ප්‍රතිඵලයක් වූයේ කෙටි කාලීන ප්‍රතිඵලයක් වූයේ පැහැර ගැනීම සිදු වූ දිනට නියමිතව තිබූ  ඓතිහාසික සම්මුති රජයට සහය පළ කිරීමේ යෝජනාව පහසුවෙන්ම ජය ගැනීමයි. නමුත් මෝරෝ ඝාතනයත් සමඟ ඓතිහාසික සම්මුතියට එහි ප්‍රබලම සහයකයකු නොමැති වූ අතර දිගු කාලීනව එයට පැවැත්මක් නොමැති වීමට එය හේතු වුණා. 1980 වනවිට ඓතිහාසික සම්මුතිය බිඳ වැටී තිබුණා.

ඉතාලි ආරක්ෂක අංශ රතු බ්‍රිගේඩවලට එරෙහි මෙහෙයුම් වඩා තීව්‍ර කිරීමට මෝරෝ ඝාතනය හේතු වුණා. 1980 දශකයේ මුල් භාගය වනවිට බොහෝ රතු බ්‍රිගේඩ සාමාජිකයන් අත්අඩංගුවට ගෙන තිබුණ අතර එම දශකය අවසන් වනවිට එම සංවිධානය ද අභාවයට ගියා. මාරියෝ මොරෙට්ටි ඇතුලු පිරිසක් මෝරෝ පැහැරගැනීම සහ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිරගත කෙරුණා.

Cover Image: ඇල්ඩෝ මෝරෝ (Il Fatto Quotidiano)

Related Articles