තුර්කියේ සාඩම්බරය කියාපාන ඉපැරණි “එෆිසස්” වරාය නගරය

තුර්කිය යනු භූගෝලීය වශයෙන් වඩාත් ඉහළ වැදගත්කමක් දක්වන රාජ්‍යයක්. ඊට හේතුව වන්නේ තුර්කිය ආසියානු සහ යුරෝපා මහාද්වීපයන් ද්විත්වය අතරමැද පිහිටා තිබීමයි. තුර්කියේ මේ වටිනා පිහිටීම නිසා වෙළෙඳ කටයුතු පමණක් නොවෙයි, කුරුස යුද්ධ වැනි යුදමය තත්වයන්හිදීත් තුර්කිය සළකනු ලැබුවේ උපාය මාර්ගික සන්ධිස්ථානයක් හෙවත් strategically important hub එකක් ලෙසයි. එවන් රාජ්‍යයක් වන තුර්කියට අයත් වන අපූර්වතම සම්පතක් වන “එෆිසස්” නැමති වරාය නගරය පිළිබඳව තොරතුරුයි අප ඔබ වෙත මේ ලිපියෙන් ගෙන එන්නේ.

මධ්‍යධරණී මුහුදේ වඩාත් ජනප්‍රිය වරායක් වන එෆිසස් වරාය වත්මන් තුර්කියේ ඉමිර් නගරයට කිලෝමීටර 80ක් පමණ ඈතින්, එනම් තුර්කියේ බස්නාහිර දිගින් ඇති මුහුදු තීරයේ පිහිටා තිබෙනවා. වඩාත් නිවැරදිව මං සලකුණු කිවහොත්, මධ්‍යධරණී ප්‍රදේශයේ වඩාත් ප්‍රචලිත ග්‍රීක නගරයක් ලෙසින් හැඳින්වුණු එෆිසස් නගරය ඒගන් සයුර සහ කයිස්ත්‍රොස් ගඟ එකිනෙක මුණගැසෙන මුවදොර අසලයි පිහිටා තිබෙන්නේ. කලින් පැවසූ ආකාරයටම තුර්කියේ විශේෂිත පිහිටීම නිසාම එෆිසස් නගරයත් විටින් විට විවිධ ආක්‍රමණිකයින්ගේ ආක්‍රමණයන්ට සහ ප්‍රහාරයන්ට නතු වූ නගරයක්. එපමණක් නොවෙයි, ඉවැන්ජලික කිතු දහම පැතිරවූ මධ්‍යස්ථානයක් මෙන්ම කිතුණු බැතිමතුන්ගේ පූජනීය ස්ථානයක් ලෙසටද එෆිසස් නගරය පුරාවිද්‍යාත්මක වැදගත්කමක් පවා දරනවා.

එෆිසස් හි පිහිටීම (jimdiamondmd.com)

ඇරඹුම

එෆිසස් නගරයේ ඇරඹුම පිළිබඳව මතවාදයන් දෙකක් පවතිනවා. බටහිර ආසියාතික අයෝනීය කුමරෙකු වන ඇන්ඩ්‍රොක්ලොස් නැමති කුමරා විසින් තමා වෙත ප්‍රකාශ කරන ලද අනාවැකියක් අනුව යමින් ක්‍රි. පූ. එකොළොස් වන සියවසේදී පමණ මෙම නගරය ගොඩනගන්නට ඇතැයි ඇතැමෙක් පවසන අතර, තවත් පිරිසක් පවසන්නේ ඇමේසන් වැසියන් හෙවත් කාන්තාවන්ගෙන් පමණක් සැදුම් ලත් ගෝත්‍රය විසින් මෙම නගරය ඉදි කරවා තමන්ගේ රැජිණ වූ එෆීසියා රැජිණ නමින් මෙම නගරය නම් කොට ඇති බවයි.

එෆිසස් නගරය විශේෂත්වයක් උසුලන්නේ එහි පිහිටීම නිසා පමණක් නොවෙයි. මහා ග්‍රීක දාර්ශනික හෙරක්ලීටස්ගේ උපත සිදු වූයේද එෆිසස් නගරයේදීයි. එමෙන්ම, ක්‍රි. පූ. හත්වන සියවසේදී එෆිසස් නගරය පාලනය කළ ලීඩියානු පාලකයින්ගේ පාලනය යටතේ එම නගරය ඉතා සශ්‍රීක එකක් බවට පත්වූ බවද පැවසෙනවා. එම යුගයේදී එෆිසස් නගරය තුළ ස්ත්‍රීන්ට සහ පුරුෂයින්ට සම තැන හිමි වූ බවත් ඉතිහාසය වාර්තා කරනවා. එය එම යුගය තුළ ග්‍රීසිය සහ රෝමය තුළ දැක ගැනීමට අසීරු වුණු තත්වයක්. අතීත රෝම නගර රාජ්‍යයන් තුළ කාන්තාවන් පුරවැසියන් ලෙස සැළකුනේ නෑ. මේ නිසා ස්ත්‍රීන්ට සහ පුරුෂයින්ට සම අවස්ථා හිමි වූ එෆිසස් වරාය නගරය විශේෂ එකක් බවට පත් වුණා.

ආ(ර්)ටෙමිස් දෙවොල

එෆිසස් නගරය පුරාවිද්‍යාත්මකව වැදගත්කමක් ඉසිලීමට තවත් එක් සාධකයක් ලෙස එහි පිහිටා ඇති ආ(ර්)ටෙමිස් දෙවොල හඳුන්වන්නට පුළුවන්. ක්‍රි. පූ. 560ත් 547ත් අතර කාලය තුළ එෆිසස් නගරය පාලනය කළ ලීඩියානු රජෙකු වන ක්‍රොඊසියස් රජු විසින් ආ(ර්)ටෙමිස් නැමති දෙවඟන උදෙසා කැප කොට මෙම දෙවොල සාදා තිබෙනවා. එම දෙවොල වෙනුවෙන් රාජ්‍ය අනුග්‍රහය දැක්වීමටද ඔහු පසුබට වී නෑ. දඩයම් කිරීම, පතිවෘතාව, දරුවන් බිහි කිරීම මෙන්ම වනයට සහ වන සතුන්ට අධිපති දෙවඟන වන්නේ ආ(ර්)ටෙමිස් දෙවඟනයි. ඇය මහත් හරසරින් යුතුව පුද පූජාවන්ට ලක් වුණු ග්‍රීක දෙවි දේවතාවියන් අතුරින් කෙනෙකුද වනවා.

ආ(ර්)ටෙමිස් දෙවොලේ නටඹුන් (turkistas.com)

ක්‍රි. පූ. 356 වසරේ දිනෙක හෙරොස්ට්‍රැටස් නැමති උන්මත්තක පුද්ගලයකු විසින් මෙම දෙවොලට ගිනි තබන ලද මුත්, එෆිසස් වැසියන් එක්ව එය තිබුනාටත් වඩා විශාල ලෙස යළි ගොඩනගා තිබෙනවා. ග්‍රීක පැන්තියන් දෙවොලටත් වඩා සිව් ගුණයක් විශාල මෙම දෙවොල ලොව පුදුම හතෙන් එකක් ලෙසද නම් කොට තිබෙනවා.

පසු කලෙක නැවතත් මෙම දෙවොල විනාශ කර දැමුණද එය නැවත් පිළිසක කිරීමට කිසිවෙකුත් පියවර ගෙන නැහැ. නමුත් එම දෙවොල ඇතුළු අනෙකුත් වැදගත් ස්ථානයන්ගේ නටඹුන් අදටත් එෆිසස් නගරය තුළ මනාව සංරක්ෂණය කොට තිබෙනවා. ක්‍රොඊසියස් රජුගේ අත්සන තබන ලද ස්ථම්භ ලිපියක් ඇතුළු ආ(ර්)ටෙමිස් දෙවොලේ නටඹුන් කොටස් ඔබට බ්‍රිතාන්‍ය කෞතුකාගාරය තුළද දැකගත හැකියි.

ක්‍රිස්තියානි දහම පැතිරවීම

ක්‍රිස්තියානි දහම පැතිරවීමෙහි ලා වැඩි කාර්‍යභාරයක් සිදු කෙරුණු ස්ථානයක් ලෙසත් එෆොසස් නගරය හඳුනාගත හැකියි. ක්‍රි. ව. පළමු සියවසේදී ශාන්ත පාවුළු සහ ශාන්ත ජෝන් වැන්නවුන් විසින් එෆිසස් නගරයේ ජීවත් වූ ආ(ර්)ටෙමිස් දෙවඟනගේ බැතිමතුන් විශාල සංඛ්‍යාවක් ක්‍රිස්තියානි දහම වෙත හරවාගත් බවට ඉතිහාසය වාර්තා සපයනවා. ජේසුස් වහන්සේගේ මව සිය දිවියේ අවසන් වසර කිහිපය ශාන්ත ජෝන් සමගින් මෙම නගරයේ ගතකොට ඇති බවයි කියැවෙන්නේ. මරියතුමිය විසූ නිවස මෙන්ම ශාන්ත ජෝන් උතුමන්ගේ සොහොනද එෆිසස් හිදී දැකගැනීමට අදටත් හැකියාව පවතිනවා. එපමණක් නොව, බයිබලයේ නව තෙස්තමේන්තුව තුළ බොහෝ වාර ගණනක් එෆිසස් නගරයේ නම සඳහන් වනවා.

මරියතුමිය වාසය කළ බව කියැවෙන නිවස තුළ සාදා ඇති කුඩා අල්තාරයක් (kusadasi.biz)

එෆිසස් හි අවසානය

ඕනෑම ශිෂ්ටාචාරයක නැග්මක් වේද, එහි බැස්මක්ද තිබෙනවා සේම වසර ගණනාවක් පුර සශ්‍රීකත්වයෙන් ආඪ්‍ය වූ එෆිසස් නගරයද තම අවසානය කෙරෙහි පැමිණුනා. ඒ, ක්‍රි. ව. 262 කාලයේදී ගොත්වරු විසින් ආ(ර්)ටෙමිස් දෙවොලද ඇතුළුව එෆිසස් නගරය විනාශ කර දැමුණු අතර, ඉන් අනතුරුව නගරය නැවත ගොඩනැගුණත් පෙර එහි වූ සෞභාග්‍යමත් බව නැවත එෆිසස් තුලින් දිස්වූයේ නැහැ. ක්‍රිස්තියානු භක්තිකයින් විසින් ක්‍රි. ව. 341දී එෆිසස් නගරය මරියතුමිය වෙනුවෙන් කැප කරනු ලැබුවා. තියෝඩියස් රජු විසින් එෆිසස් නගර වැසියන්ට වැඳුම් පිදුම් කිරීමට ඇති අයිතියද තහනම් කළ අතර, කාන්තාවන්ට එතෙක් හිමිව තිබූ අයිතීන්ද ඉවත් කරනු ලැබුවා. විනාශ කෙරුණු ආ(ර්)ටෙමිස් දෙවොලේ කොටස් යොදාගැනුණේ ක්‍රිස්තියානු දේවස්ථාන ගොඩනැගීමටයි.

එෆිසස් දැන් දිස්වන අයුරු (costacruisesasia.com)

මහා කොන්ස්තන්තීන් ආක්‍රමණිකයා විසින් ක්‍රිස්තියානි දහම රෝමයේ රාජ්‍ය ආගම ලෙස නම් කිරීමෙන් අනතුරුව එෆිසස් නගරය සතු ආගමික සිද්ධස්ථාන වෙත සංචාරකයින් ගෙන්වා ගැනීම මගින් තම නගරයේ ආර්ථික මට්ටම පවත්වාගෙන යාමට එෆිසස් වැසියන් උත්සාහ කළා. නමුත් ක්‍රි. ව. හයවන සහ හත්වන වසර වලදී එෆිසස් නගරයට බලපෑ මහා භූමිකම්පා හේතුවෙන් එම නගරය සහ එහි වරාය බිඳ වැටීමකට ලක්වුණා. අරාබිවරුන්ගේ ආක්‍රමණයන්ට නිරතුරුවම මුහුණ දීමට සිදු වීම නිසා එෆිසස් වැසියන් මෙම කාලය තුළ නගරය අතහැර වෙනත් පළාත් කරා පළා ගියා. 14වන සියවසේදී තුර්කිවරුන්ගේ පාලනය යටතේ නැවතත් මදක් දියුණුවට පත්වුවද, පෙර පැවති සෞභාග්‍යමත් බව එෆිසස් නගරයට උදා වූයේ නෑ.

15වන සියවසේදී ඔටෝමාන් අධිරාජ්‍යවාදයට එෆිසස් නගරය නතු වුවත් ඉන් අනතුරුව නගරය මෙන්ම එහි වරායද කිසිදු ප්‍රයෝජනයකට ගත හැකි මට්ටමක තිබුණේ නැහැ. එම සියවස අවසානයේදී එෆිසස් වරාය නගරයද අතහැර දැමුණු නගරයක් බවට පත්වුණු අතර, වර්තමානය වන විට පුරාවිද්‍යාඥයින්, ඉතිහාසඥයින් සහ ලොව නන් දෙසින් එෆිසස් හි පැරණි සාඩම්බර බව දැකගැනීමට පැමිණෙන දස දහස් ගණනක් සංචාරකයින්ට මනා තෝතැන්නක් බවට මෙම නගරය පත් වී හමාරයි.

කවරයේ ඡායාරූපය – එෆිසස්හි වත්මන් සේයාරුවක් (www.history.com)

තොරතුරු උපුටා ගැනීම – news.history.com වෙබ් අඩවියේ “Ephesus – Facts and Summary” ලිපිය ඇසුරිනි.

Related Articles