අමරසූරිය: විශිෂ්ට පරපුරක සලකුණ

ඔබ යම් දිනෙක දකුණු පළාතේ සංචාරය කර තිබේ නම් ඒ ප්‍රදේශයේ බහුලව දැකිය හැකි ඉපැරැණි නිවාස අනිවාර්යයෙන්ම දැක ඇති. ඒ අතරින් ගාල්ල, උණවටුන ප්‍රදේශයේ පිහිටා ඇති වර්තමානයේ ‘අමරසූරිය ගුරු අභ්‍යාස විද්‍යාලය’ යනුවෙන් හැඳින්වෙන ඉපැරැණි නිවස දකුණු පළාතේ පිහිටා තිබෙන ඉපැරැණි නිවාස අතරින් සුවිශේෂී වේ. ගුරු අභ්‍යාස විද්‍යාලයක් බවට පත් වීමට පෙර එය මෙරට සමාජ, ආර්ථික මෙන්ම දේශපාලන ක්‍ෂේත්‍රයන්ට සුවිශාල සේවාවක් කළ සුවිශිෂ්ට පරපුරකට අයත් වූ නිවසක් වූ බැවිනි. මෙම ලිපියෙන් අප ඔබට කියන්නේ මේ අමරසූරිය වලව්ව සහ එහි ජීවත් වූ අමරසූරිය පරපුර පිළිබඳ තොරතුරුයි.

ගුරු අභ්‍යාස විද්‍යාලයේ නාම පුවරුව – facebook.com/ Amarasuriya Teachers’ College

මෑතකාලීන ආරම්භය

වර්තමානයේ “අමරසූරිය” යන නමින් ප්‍රසිද්ධ මෙම පරපුරේ මූලාරම්භකයා ලෙස මුහන්දිරම් තෝමස් ද සිල්වා අමරසූරිය මහතා හඳුනාගත හැකිය. ඔහු උපත ලබන්නේ 1847 දී ගාල්ලේ උණවටුනේ ජිරිස් ද සිල්වාගේ හා ගාර්දියෙවසම් පුංචි හේවාගේ මිනෝහාමි නෝනාගේ දරුවකු ලෙසින්. කුඩා කල රූමස්සල බොනවිස්ටා විද්‍යාලයට ඇතුළත් වූ ඔහු වයස අවුරුදු දහසය වන තෙක් එම පාසලෙන් අධ්‍යාපනය ලැබූ අතර ඔහු ඉතාමත් හොඳින් ඉංග්‍රීසි භාෂාව උගත් අයෙකු බව ද කියැවේ.

පාසල් අධ්‍යාපනයෙන් පසුව තැපැල් නෞකාවක සේවයට බැඳෙන ඔහුට එම නෞකාවේ සේවය කළ කාලය අතරතුර ලොව විවිධ ජාතීන් පිළිබඳවත්, ඔවුන්ගේ අර්ථික කටයුතු පිළිබඳවත් පුළුල් දැනුමක් ලැබිණි. වසර තුනක පමණ කාලයක් එම නෞකාවේ සේවයේ යෙදෙන ඔහු නැවත මෙරටට පැමිණ ටී.වැන්ඩර්ස්පාර් නම් සමාගමේ ගණකාධිකාරිවරයෙකු ලෙස සේවයට බැඳී තිබේ.

අමරසූරිය මුහන්දිරම් හා ඔහුගේ සමාජ, ආර්ථික කටයුතු

තරුණ තෝමස්, වැන්ඩස්පාර් සමාගමේ සේවයේ යෙදීසිටින අතරතුර, වර්ෂ 1869 දී වැලිගම පළාතේ සුප්‍රසිද්ධ පවුලකට තරුණියක වූ දෝන ක්‍රිස්තිනා ලොකුබදු ජයසූරිය මහත්මිය සමඟ විවාහ විය. ඇය එවකට අමරපුර නිකායේ (අම්බලන්ගොඩ සුනන්දාරාමය මුලස්ථානය කොට ගත්) මහ නායක ධූරන්දරව වැඩ විසූ, භාෂා ශාස්ත්‍ර විශාරදයෙකු වූ වැලිගම සුමංගල මහනාහිමියන්ගේ සහෝදරියයි.

1877 වසරේ දී වැන්ඩර්ස්පාර් සමාගමේ සේවයෙන් ඉල්ලා අස්වන තෝමස්, ස්වකීය වෙළඳ ව්‍යාපාරයක් ආරම්භ කළේය. විශේෂයෙන්ම අපනයන ක්ෂේත්‍රයට යොමු වූ ඔහුගේ ව්‍යාපාර ක්‍රම ක්‍රමයෙන් දියුණු වීමත් සමඟ 1885 පමණ වන විට ගාල්ල ප්‍රදේශයේ ජීවත් වූ ධනවතෙකු බවට ඔහු පත් විය.

තෝමස් ද සිල්වා අමරසූරිය – අමර සමරුව- ගාල්ල මහින්ද විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය- කොළඹ ශාඛාව

මෙකල ශ්‍රී ලංකාවේ නැඟී එමින් තිබූ ආගමික පුනර්ජීවන ව්‍යාපාරයට සම්බන්ධ වන තෝමස්, ලංකාවට පැමිණි හෙන්රි ස්ටීල් ඕල්කට්තුමන් පිළිගැනීම සඳහා පිටත්ව ගිය දේශීය ප්‍රභූ පිරිසටත් ඇතුළත් විය. ඒ අනුව ඕල්කට්තුමන් ගාලු පරමවිඥානාර්ථ සමිතිය පිහිටු වීමෙන් පසු එහි ප්‍රථම ලේකම් වශයෙන් කටයුතු කරන්නේ ද තෝමස් ද සිල්වා අමරසූරියයි.

ගාල්ලේ පරමවිඥානාර්ථ පාසලක්

ඕල්කට්තුමන් සමඟ එක්ව ‌බෞද්ධ අධ්‍යාපනය නඟා සිටුවීමට ඔහු ගාල්ලේ පරමවිඥානාර්ථ පාසලක් ආරම්භ කරන නමුත් විවිධ ගැටලු නිසා එම පාසල වැසී ගිය බව මූලාශ්‍රයන්හි සඳහන්ය. ඉන් අනතුරුව නැවත වරක් ඕල්කට්තුමා හා එක්ව 1892 දී ගාල්ලේ බෞද්ධ පාසලක් ආරම්භ කිරීමට ඔහු පුරෝගාමී වූ අතර ඒ පාසල ඔබ අප කවුරුත් දන්නා ගාල්ලේ මහින්ද විද්‍යාලයයි. ‌ මහින්ද විද්‍යාලය ඕල්කට්තුමන් විසින් ආරම්භ කළ පාසලක් බව බොහෝ දෙනෙකු දන්නා කරුණකි. එහි පරිපාලන කටයුතු සිදු කර ඇත්තේ තෝමස් ද සිල්වා අමරසූරියයි. එම හේතුව නිසාම එවකට බ්‍රිතාන්‍ය ආණ්ඩුවෙන් ඔහුට මුහන්දිරම් තනතුර ලැබෙන අවස්ථාවේ දී ඔහුට ‘මහේන්ද්‍රපාල’, එසේත් නැතිනම් මහින්දය පාලනය කරන්නා යන ගෞරව නාමය ද ලැබී ඇත. මහින්ද විද්‍යාලය ආරම්භ කිරීමෙන් නොනැවතී ඔහු උණවටුණ, ගින්තොට, මීපාවල, දංගෙදර, ගණේගම සහ කටුකුරුන්ද යන ගම් ප්‍රදේශවල ද පාඨශාලා ආරම්භ කරන්නට මූලික විය.

ඕල්කට්තුමන්ගේ ඉල්ලීම පරිදි ඔහු තවත් විශේෂ කටයුත්තක් සිදු කර තිබේ. ඒ ඉන්දියාවේ අඩ්යාර්හි පිහිටි පරමවිඥානාර්ථ සමාගම් මූලස්ථාන උද්‍යානයේ තැඹිලි පැළ දහසක් සිටුවා උද්‍යානයක් තැනවීම ය. මෙම උද්‍යානය “අමරසූරිය උද්‍යානය” යනුවෙන් ද හැඳින්වෙන අතර ඒ කාල වකවානුවේදීම ඔහු ගාලු පරමවිඥානාර්ථ සමිතියේ සභාපති ධුරයට ද පත් විය. තෝමස් ද සිල්වා අමරසූරිය, ජෝන් ද සිල්වා ශූරීන් ආදීන්ගේ නාට්‍ය ගාල්ලේ ප්‍රදර්ශනය කරවීමට අනුග්‍රහය ලබා දෙමින් ජනතාව තුළ දේශමාමක චින්තනයක් ඇති කරවීමට සමත් වූ බවත් මූලාශ්‍රයන්හි සඳහන් වේ.

ඔහුට කැරලයින් නම් වූ දියණියක සහ හෙන්රි නම් වූ පුත්‍රයෙකු වූ බව සඳහන් වන අතර දියණිය කෑගල්ල දිස්ත්‍රික් උසාවියේ මුදලි වූ චාල්ස් ෆ්‍රැන්සිස් ජයවික්‍රම සමඟ විවාහ වී තිබේ.

අමරගිරි වලව්වේ ඡායාරූපයක් – facebook.com/ Amarasuriya Teachers’ College

හෙන්රි අමරසූරිය

තෝමස්ගේ පුත්, 1872 වසරේ දී උපන් හෙන්රි අමරසූරිය කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ අතර තරුණ වියට පත් වන විට ඔහු ද ව්‍යාපාර ආරම්භ කිරීමට පෙළැඹෙයි. සිය පියා සිදුකළ වෙළෙඳාම් කටයුතුවලට අමතරව ඔහු වැවිලි කර්මාන්තයට ද නැඹුරු විය.

මේ කාලය වන විට වතු හිමි ‌බොහෝ යුරෝපීය ජාතිකයන් ඒවා විකුණා දමා නැවැතත් සිය රටවලට යාමට පටන් ගෙන තිබූ බැවින් හෙන්රි එවැනි වතු මිලදී ගැනීම ආරම්භ කළේය. අක්මීමන සීට්‍රස් වතුයායෙන් වැවිලි කර්මාන්තය ආරම්භ කරන ඔහු ඉතාමත් කෙටි කලක් ඇතුළත එය මොරවක් කෝරළය දක්වා ම ව්‍යාප්ත කිරීමට සමත් වූයේය. අවුරුදු කිහිපයක ඇවෑමෙන් රබර් අක්කර පන්දහසක හිමිකරු බවට හෙන්රි අමරසූරිය, තමන්ගේ පියා ආරම්භ කළ සේවා ඉදිරියට පවත්වා ගෙන යාමට ද කටයුතු කළේය.

මේ කාලයේදීම තම පියා තැනැවූ පාඨශාලා ප්‍රමාණය දෙගුණ තෙගුණ කිරීමට මොහු සමත් වූ අතර ම පියදාස සිරිසේන මහතා ගාල්ලට ගෙන්වා මුද්‍රණාලයක් පිහිටුවා සිංහල ජාතිය පුවත්පත ප්‍රකාශයට පත් කිරීම ද ආරම්භ කළේය.1901 වසරේ දී ඔහු විවාහ වූයේ එකල ගාල්ලේ ප්‍රසිද්ධ ව්‍යපාරිකයෙකු වූ කේ.සී.ජුවානිස් මහතාගේ දියණියක වූ කර්ලැයින් ද සිල්වා සමඟ ය.

එම දෙපළට සුසීමා, යශෝදරා, අමරා යනුවෙන් දියණිවරු තිදෙනෙක් ද හෙන්රි වුඩ්වඩ්, තෝමස් හා බුද්ධදාස යනුවෙන් පුතුන් තිදෙනෙක් ද වූහ. 1915 සිංහල මුස්ලිම් කෝලාහලයේ දී සිරභාරයට ගත් දේශීය නායකයන් අතරට හෙන්රි අමරසූරිය ද ඇතුළත් විය. ක්ෂේත්‍ර කිහිපයක දියුණුව වෙනුවෙන් සුවිශාල සේවාවක් කළ ඔහු 1916 සැප්තැම්බර් 25 වැනිදා අභාවප්‍රාප්ත විය.

හෙන්රි වුඩ්වඩ් අමරසූරිය

මැතිවරණයක් වෙනුවෙන් නිර්මාණය කරන ලද පෝස්ටරයක්/ අමර සමරුව/ ගාල්ල මහින්ද විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය- කොළඹ ශාඛාව

1904 වසරේ දී උපන් හෙන්රි වුඩ්වඩ් අමරසූරිය තම පියාගේ හදිසි වියෝවෙන් පසුව එම පවුලේ වැඩිමහල් පුතු ලෙස පාසල් වියේදී ම ව්‍යාපාරවල කටයුතු සහ සමාජ සේවා කටයුතු පිළිබඳව අවධානය යොමු කළේය. ඔහු නිසි වයසට පත් වන තෙක් ඔහුගේ සුළු පියා වූ ටැන්ටලස් අමරසූරිය මහතා ව්‍යාපාරවල පාලන කටයුතු සිදු කළේය. පාසල් කාලයෙන් පසු වගා කළ ඉඩම් අක්කර 2500කත්, වගා නොකළ ඉඩම් අක්කර 1500කත්, එම වතුවල සේවය කළ දහස් ගණනක් වූ සේවකයන්ගේත්, ඔහු ද අධ්‍යාපනය ලැබූ පාසල වූ ගාල්ලේ මහින්ද විද්‍යාලය ඇතුළු පාසල් 30ක පමණ කටයුතු සිදුකරන අයුරු පිළිබඳවත් හැදෑරීමට සිදුවිය. එමෙන්ම පාසල් කාලයේ දී අති දක්ෂ ශිෂ්‍යයකු වූ ඔහු දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයකු ද විය.

නිසි වයසට පත් වූ හෙන්රි වුඩ්වඩ් ලංකාවට නිදහස දිනාගැනීමේ අරගලයට ද එක් වූ අතර ඒ අනුව 1935 වසරේදී ඔහු ලංකා ජාතික සංගමයේ සභාපති තනතුරට පත් විය. ජාතික නායකයින් සමඟ එක්ව දිගින් දිගටම නිදහස් අරගලයට දායක වූ ඔහු එක්සත් ජාතික පක්ෂය ආරම්භ කළ අවස්ථාවේ දී එහි ප්‍රථම මහලේකම් බවටද පත් විය. 1948 වසරේ දී නිදහස් ශ්‍රී ලංකාවේ වෙළෙඳ ඇමැති ධූරය හිමි කරගත් ඔහු පසුකාලීනව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ධූරයටද පත් විය.

ඔහුගේ ආගමික සේවා

පරමවිඥානාර්ථ සමාගමේ උපසභාපති, කොළඹ තරුණ ‌බෞද්ධ සමිතියේ සභාපති, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති, මහාබෝධි සමාගමේ උපසභාපති, මාලිගාකන්ද විද්‍යොදය විද්‍යාධාර සභාවේ සභාපති ආදී නිලතල රාශියක් දරමින් ඔහු ශාසනික කටයුතු සඳහා දැක්වූ දායකත්වය අති විශාලය.

හෙන්රි වුඩ්වඩ් අමරසූරිය සිහිවීම පිණිස නිකුත් කර ඇති සමරු මුද්දරයක් – facebook.com/ Ceylon Then/ Sri Lanka Now

තම අභාවයෙන් පසුව වුව ද ‌බෞද්ධ ආගමික මෙහෙවර ඉදිරියට පවත්වාගෙන යාම සඳහා ඔහු එකල රුපියල් ලක්ෂ පහක් යොදවා ‘අමරසූරිය භාරකාර අරමුදල’ ආරම්භ කරන අතර කොළඹ විශාකා විද්‍යාලයට අංග සම්පූර්ණ පුස්තකාලයක් ද පරිත්‍යාග කලේය.

ජීවිතයේ අවසන් භාගයේ දී ඔහුගේ දෙනෙත් අන්ධභාවයට පත්වන අතර අවසානයේ ඔහු ඇතුළු ශ්‍රේෂ්ඨ පරපුරකට සෙවණ දුන් ගාල්ලේ, උණවටුනේ පිහිටි “අමරගිරි මහ වලව්ව ” ද ගුරු අභ්‍යාස විද්‍යාලයක් බවට පත් කිරීමට ඔහු කටයුතු කළේය. ඔහු 1981 මාර්තු 6 වන දින අභාවප්‍රාප්ත විය.

තෝමස් අමරසූරිය

හෙන්රි වුඩ්වඩ් අමසූරියගේ සහෝදරයෙකු වූ තෝමස් අමරසූරිය ද මෙරට දේශපාලනයේ නොමැකෙන නමක් සටහන් කළ අයෙකි. 1907 ජූනි 17 දින උපත ලබන ඔහු 1979 මැයි 5 දින මිය යනතුරුම මෙරට දේශපාලනයේ වැදගත් තනතුරු රැසක් හොබවමින් සුවිශාල සේවාවක් සිදු කර තිබිණි. ඔහු මෙරට රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සාමාජිකයෙකු වූ අතර සෙනෙට් සභාවේ සභාපතිවරයා ද විය.

මුල් කාලයේ දී එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙකු වූ තෝමස් අමරසුරිය 1959 වසරේදී එම පක්ෂයෙන් ඉල්ලා අස්වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බැඳී එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ දේශපාලන කටයුතුවලට සහයෝගය දක්වා තිබේ.

වර්තමාන තත්ත්වය – facebook.com/ Beyond the Yellow Press

වලව්වේ වත්මන් තත්ත්වය සහ ඒ ආශ්‍රිත සුවිශේෂී සිදුවීම්

2017 වර්ෂයේ දී අමරසූරිය වලව්ව “The Good Karma Hospital” නම් විදේශීය කතා මාලාවක් රෑගත කිරීම සදහා යොදා ගන්නා ලදී. ප්‍රථම වරට 2019 වසරේ ඔක්තෝම්බර් මාසයේදී එම කතා මාලාව ඕස්ට්‍රේලියාවේ දී විකාශය වූ අතර 2020 මාර්තු මාසයේදී එක්සත් රාජධානියේ දී ද එය විකාශය කිරීම ආරම්භ විය.

“The Good Karma Hospital”හි රූගතකිරීම් අතරතුර/dramaquarterly.com

වර්තමානයේ දී ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමට පුහුණු වන ගුරුවර ගුරුවරියන් සඳහා ගුරු අභ්‍යාස විද්‍යාලයක් ලෙසින් ක්‍රියාත්මය වන මෙම වලව්වේ අමරසූරිය පවුල හා සබැඳි සැමරුම් සුරක්ෂිත කෙරුණ කෞතුකාගාරයක් ද වේ.

Related Articles