රජවරු තුන් දෙනකුට සෙවණ දුන් අම්බුලුගල රාජ්‍යය

මාවනැල්ලට නුදුරින් පිහිටි අම්බුලුගල කෝට්ටේ රාජධානි කාලේ ප්‍රාදේශීය උප රාජධානියක් ලෙස පැවති පෙදෙසක්. රජවරු තුන් දෙනකු මේ ගමට සම්බන්ධ බව ඉතිහාසය පිරික්සන විට පේනවා. එමෙන්ම කෝට්ටේ යුගයට අයත් විශිෂ්ට ගල්කැටයම් හමුවන ස්ථානයක් ලෙසත් අම්බුලුගල විහාරය වැදගත්.

 විහාරයේ දොරටුපාල රූප- Kusumsiri Wijayawardhana

ගමන් මඟ

විහාරයට යාමට නම් කොළඹ – නුවර පාරේ මාවනැල්ල උතුවන්කන්ද හන්දියෙන් දකුණට ඇති දාස්වත්ත පාරේ කිලෝ මීටර එකක් ගමන් කර අඹගහමුල හන්දියෙන් දකුණට හැරී තවත් කිලෝ මීටරයක් ගමන් කළ යුතු වෙනවා. උස් බිම්කඩක පිහිටි විහාරය මාර්ගය අසලට අලංකාරව දැකගත හැකියි.  

විහාරය පිහිටා ඇත්තේ හතර කෝරළයට අයත් ගල්බොඩ කෝරළේ එගොඩපොත පත්තුවෙ යි. කෝට්ටේ රාජධානි කාලයේ දී දළදා වහන්සේ ටික කාලයක් මෙහි තැන්පත් කර ඇති බවට ඇති විශ්වාසය නිසා දන්තපාය යන නම ලැබී තිබෙන බව පැවසෙනවා.

හිටි බුද්ධ ප්‍රතිමාවක්- Kusumsiri Wijayawardhana

 රජවරු තුන් දෙනෙක්

රජවරුන් කිහිප දෙනකුගේම ජීවිතය අම්බුළුගල ගම හා බැඳී පවතිනවා. අවසන් වරට රට එක්සේසත් කළ 6 වැනි පරාක්‍රමබාහු ( 1411-1467) රජුගේ බාල කාලය ගෙවී ගොස් ඇත්තේ මේ ගම්පියසේ යි. සවුළු විජයබාහු රජු චීන රටට අල්ලාගෙන ගිය පසුව පාලන බලය හිමිකර ගෙන සිටි අලගක්කෝණාර ප්‍රභූ රාජයාගේ තර්ජනවලින් රාජ උරුමය ඇති පැරකුම් කුමරු ආරක්ෂා කර ගැනීමට අම්බුළුගල පොල්වත්ත ගමේ සඟවා තිබෙනවා. කම්මල්කරුවකුගේ සහ ගොවියකුගේ රැකවරණය යටතේ තමයි මේ කුමාරයා පුංචි කාලේ හැදී වැඩුණේ.

ඒ සඳහා කුමාරයා යොමුකරන ලද්දේ වීදාගම මහ තෙරුන් වහන්සේ බව රාජාවලියේ සඳහන් වෙනවා. අම්බුලුගල ප්‍රාදේශීය රාජධානියක් ලෙස ද වැදගත් වන පෙදෙසක්. පැරකුම් කුමරු කෝට්ටේ රජවීමෙන් පසු ඔහු තම මලණුවන් වුණු පාරනෘපසිංහ හතර කෝරළේ පාලනය කිරීමට අම්බුලුගල රජ බවට පත් කළා. පරනෘපසිංහ 1464 දී මිය ගිය බව සඳහන් වෙනවා. ඉන් පසුව මෙහි පාලනය බාර වුණේ අම්බුලුගල කුඩා කුමාරයාටයි. ඔහු පසුව අටවන වීර පරාක්‍රමබාහු නමින් රජ වෙනවා. ඔහු කෝට්ටේ රජ වන්නේ 1484 දියි. ඉන් පසු අම්බුලුගල උප රාජධානිය අහෝසි වී යනවා.

එවකට අම්බුලුගල රාජ මාලිගයක් පැවති බවත් දැනට විහාරයේ ඇති විශාල ගල් උළුවස්ස එම විහාරයෙන් රැගෙන ආ එකක් බව සිතිය හැකි බව හිටපු පුරාවිද්‍යා කොමසාරිස් චාල්ස් ගොඩකුඹුරේ සඳහන් කරනවා. එච්. සී. පී. බෙල් 1892 පුරාවිද්‍යා වාර්තාවේ සඳහන් කරන්නේ මාලිගාව තිබුණු බව සැලකෙන ස්ථානයට ඔහු යන විටත් පැරණි සලකුණු කිසිවක් නොතිබූ බවයි. එම ස්ථානයේ නිවසක් ඉදිකර තිබූ බව බෙල් සඳහන් කරනවා.

ටැම්පිට විහාර ගොඩනැගිල්ල- Kusumsiri Wijayawardhana

 ටැම්පිට විහාරය

මෙම විහාරය මුලින් ම ඉදිකරවා ඇත්තේ හය වැනි පරාක්‍රමබාහු රජු තම බාල කාලය සිහිපත් වීමට බව හය වැනි බුවනෛකබාහු රජු හිටි බණ්ඩාර නම් අයකුට දුන් සන්නසක සඳහන් වෙන කරුණක්. අද දැකගත හැක්කේ කෝට්ටේ යුගයේ පැවති විහාරය නටබුන්වීමෙන් පසු තැනූ මහනුවර යුගයට අයත් විහාරයක්. එම විහාරය ද කිහිප වරක් ප්‍රතිසංස්කරණයට ලක්ව තිබෙනවා.

අස්ගිරි මහ නායක වත්තේගම ධර්මකීර්ති සුමංගල හිමියන්ගේ මෙහෙයවීමෙන් 1869- 1885 කාලයේ දී මෙහි සම්පූර්ණ ප්‍රතිසංස්කරණයක් සිදුව තිබෙනවා. සුමංගල හිමියන්ගේ සිතුවමක් ද  විහාරයේ දැකගත හැකි යි. එවකට අම්බුලුගල ගංආරච්චි ද මේ සඳහා මුලිකත්වය ගත් බව ඔහුගේ සිතුවමක් ද විහාරයේ ඇඳ තිබීමෙන් පෙනෙනවා. අදත් මෙහි නායකත්වය හිමිව ඇත්තේ අස්ගිරි පාර්ශ්වයේ මහනායක පදවියට යි.

 විහාර ගෙයි බුද්ධ ප්‍රතිමා- Kusumsiri Wijayawardhana

 

විහාර මළුව, පැරණි බෝධි වෘක්ෂය, නව බුදු මැදුර, දාගැබ, ධර්ම ශාලාව යන ගොඩනැඟිලිවලින් විහාරය සමන්විත යි. මෙහි ඇති එක ම ඓතිහාසික ගොඩනැඟිල්ල ටැම්පිට විහාර ගෙය යි. ජරාවාස වි පැවති එය, 1960 දශකයේ විහාරාධිපති වුණු බලබෝවේ ආනන්ද නාහිමියන් කළ ඉල්ලීම පරිදි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව 1962 දී  සංරක්ෂණය කළා.  දැන් නම් එය යළිත් දිරාපත් වූ බවක් පේනවා. එවකට විහාරය තිබී ඇත්තේ පහත මාලය බිත්ති බැඳ දෙමහල් විහාර ගෙයක් ලෙස යි. එයට සෙවිලි කර තිබී ඇත්තේ පොල්අතු යි.

 සූවිසි විවරණ බිතුසිතුවම් – Kusumsiri Wijayawardhana

 

මෙම විහාරගෙය පිළිබඳ ව කළ පුරා විද්‍යා සමීක්‍ෂණවලදී කෝට්ටේ යුගයේ දී මෙය දෙමහල් පිළිමගෙයක් ලෙස පැවැති බව පෙනී ගොස් තිබෙනවා. පසුව එය ටැම්පිට විහාරයක් බවට පත්ව ඇත්තේ මහනුවර යුගයේ දී යි. අඩි 7 අඟල් 6ක් උස ගල්ටැම් 28ක් මත විහාරය තනා තිබෙනවා. මේ අතරින් ගල්ටැම් 10ක් කැටයම් කර තිබෙනවා. එම ගල්කණුවල පාදය සරසා තිබෙන්නේ ගණ රූප හා සිංහ රූපවලින්.  

සිවුරැස් හැඩැති පෙති උළු සෙවිලි කළ පියස්ස ආනති දෙකකින් යුක්ත යි. සම්පූර්ණ විහාර ගොඩනැඟිල්ල දිගින් අඩි 33 ක්ද පළලින් අඩි 26ක් ද වෙනවා. ටැම් මත පිහිටා ඇති පිළිම ගෙය දිගින් අඩි 11 අඟල් 6ක් ද පළලින් අඩි 8 අඟල් 6ක් ද වෙනවා. විහාරය වටා යන සේ ප්‍රදක්ෂිණා පථයක් ද දැකගත හැකි යි.

 වත්තේගම සුමංගල හිමි- Kusumsiri Wijayawardhana

 

පිළිම ගෙයි දොරටුව දෙපස දොරටුපාල මූර්ති දෙකක් තිබෙනවා. අද හුණු ආලේපය දැකගත හැකි වුව ද කලකට පෙර ඒවා වර්ණ ගන්වා පැවති බව පේනවා. විහාරගෙයි හිඳි බුදු පිළිමයක් ද දෙපස හිටි බුදු පිළිම දෙකක් ද දැකගත හැකි යි. බිත්තිය සූවිසි විවරණ චිත්‍රවලින් සරසා තිබෙනවා. එම චිත්‍ර තීරුවට පහළින් සොලොස්මස්ථානය ඇඳ තිබෙනවා.

ගල්උළුවස්සේ කැටයම් ( සිංහල උළුවහු- සී. ඊ. ගොඩකුඹුර කෘතියෙනි)

 ගල් උළුවස්ස

මෙහි පහත මාලයේ සවිකර තිබෙන  ගල් උළුවස්ස පැරණි විශිෂ්ට ගල්කැටයම් කලාවට උදාහරණ සපයනවා. උළුවස්ස උසින් අඩි 10ක් ද පළලින් අඩි 8ක් ද වෙනවා. මෙම කැටයම් කෝට්ටේ යුගයට අයත් සේ සැලකෙනවා.

මේ උළුවස්ස ගැන හිටපු පුරාවිද්‍යා කොමසාරිස් ආචාර්ය සී. ඊ. ගොඩකුඹුර මෙසේ සඳහන් කර සිටිනවා:

‘‘උළුවහු කණුවේ පිට කෙළවරේ හිස් තීරයකට පසු පිළිවෙලින් පලාපෙති රටා තීරයකි. ඒ එක්කම චතුරස්‍ර කොටු තුළ කරන ලද නටන වයන රූපයෝය. උළුවහු කණු දෙකත් හරස්කඩයත් වෙනම ගල්ය. මේ තුනම එකට සවිකොට රූකම් කළ බව පෙනේ ( සී. ඊ. ගොඩකුඹුර- සිංහල උළුවහු, 12 පිට).

 සිංහ රූප දෙකකින් ආරම්භ වන මෙහි උළුවහු කඳ ලීස්තර 10කට බෙදා කැටයම් නිර්මාණය කර තිබෙනවා. නාට්‍යකරුවන්, වාදකයන්, හොරණෑ පිඹින්නන් ආදීන් ද මේ කැටයම් අතර දැකගත හැකියි. කැටයම් ලෙස  මෙහි උළුවහු කණු දෙකක්, හරස් කඩයත් ගලින් නිමවා පසුව ගල් තුනම එකතු කොට කැටයම් කර තිබෙනවා. සිංහරූප , ලියවැල්, පලාපෙති,මල්වැල් ආදිය ද උළුවස්ස සැරසීමට භාවිත කර තිබෙනවා.

උළුවස්ස මුදුනෙහි ගජ ලක්ෂ්මී රූපය දෙපස හොඬවැල ඔසවා සිටින ඇත් රෑ දෙකක් ද සහිත යි. ගොඩකුඹුර සඳහන් කරන්නේ ශෛලමය උළුවහු නිර්මාණ අතර මුහුකුරා ගිය අවස්ථාවක් මින් පෙන්නුම් කරන බව යි. එච්. සී. පී. බෙල් ඔහුගේ “ 1892 කෑගලු  පුරා විද්‍යා පාලන වාර්තාවේ පිටුවක් පුරා අම්බුලුගල ගල් උළුවස්ස හා ගල්ටැඹක සිතුවමක් දක්වා ඇති අතර විහාරය ගැන විස්තරයක් ද සපයනවා.

කවරයේ ඡායාරූපය - අම්බුලුගල විහාර බිම -  Kusumsiri Wijayawardhana

මූලාශ්‍ර:

ශ්‍රී ලංකාවේ රජමහා විහාර- කුසුම්සිරි විජයවර්ධන

සිංහල උළුවහු- සී. ඊ. ගොඩකුඹුර

කෑගලු පුරාවිද්‍යා වාර්තාව 1892- එච් සී. පී. බෙල් පරි. කොත්මලේ කේ. බී. ඒ. එඩ්මන්ඩ්

Related Articles