1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය වුණු හැටි

1978 වසරේ දී එවකට බලයේ සිටි එක්සත් ජාතික පක්ෂ රජය විසින් දෙවන ජනරජ ව්‍යවස්ථාව සම්මත කරගනු ලැබුවා. එලෙස ඉදිරිපත් කළ ව්‍යවස්ථාව වර්තමානය වන විට 19 වතාවක් සංශෝධනය වී තිබෙන බව කවුරුත් හොඳින්ම දන්නා කරුණක්. 2020 පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව බලයට පත්වුණු රජය දෙවන ජනරජ ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය සිදු කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබාගත්තා. ඒ අනුව, නුදුරු දිනක දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය ඉදිරිපත් කරනු ඇති. මෙම ලිපිය 1978 ජනරජ ව්‍යවස්ථාවේ සංශෝධන 19 පිළිබඳව යි.  

1977 මැතිවරණ ජයග්‍රහණය

1977 වසරේ පැවති මහා මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට 5/6ක බහුතර බලයක් ලැබුණා. එය, එම කාල වකවානුව වන විට තනි පක්ෂයක් මහා මැතිවරණයක දී ලබාගත් ඉහළම ආසන ප්‍රමාණය යි. එදා එක්සත් ජාතික පක්ෂයට ලැබුණු විශල ජනවරමෙන්  ප්‍රයෝජන ගත් ජේ. ආර්. ජයවර්ධන ඒ වන විට ක්‍රියාත්මක වෙමින් තිබුණු 1972 පළමු ජනරජ ව්‍යවස්ථාවට සංශෝධනය කළා. 1977 වසරේ ඔක්තෝබර් 4 වැනිදා රාජ්‍ය සභාවට ඉදිරිපත් වුණු එම සංශෝධනය බහුතර කැමැත්තෙන් සම්මත වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් 1978 වසරේ පෙබරවාරි 4 වැනිදා ලංකාවේ පළමු විධායක ජනාධිපති ලෙසින් පත් වුණේ ජේ. ආර්. ජයවර්ධන යි. ඔහුගේ පත්වීම නිසා පුරප්පාඩු වුණු අග්‍රාමාත්‍ය තනතුර රණසිංහ ප්‍රේමදාසට හිමි වුණා.

1978 දෙවන ජනරජ ව්‍යවස්ථාව 

එදා එක්සත් ජාතික පක්ෂයට පාර්ලිමේන්තුව තුළ 5/6ක බහුතර බලයක් තිබුණු නිසා ඔවුන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉදිරිපත් කිරීමට කල්පනා කළා. 1978 වසරේ ජූලි 25 වැනිදා එවකට අග්‍රාමාත්‍යවරයා ලෙසින් කටයුතු කළ රණසිංහ ප්‍රේමදාස විසින් නව ව්‍යවස්ථාව ජාතික රාජ්‍ය සභාවට ඉදිරිපත් කරනු ලැබුවා. එවකට එක්සත් ජාතික පක්ෂය සතුව බහුතර බලයක් තිබුණු නිසා කිසිදු අපහසුවකින් තොරව එම ව්‍යවස්ථාව සම්මත කරගැනීමට හැකි වුණා. එලෙස සම්මත වුණු දෙවන ජනරජ ව්‍යවස්ථාව 1978 වසරේ සැප්තැම්බර් 7 වැනිදා සිට ක්‍රියාත්මක වුණා.

පැරණි පාර්ලිමේන්තුව (wikimedia.org)

පළමු ව්‍යවස්ථා සංශෝධනය- 1978/11/20

1978 දෙවන ජනරජ ව්‍යවස්ථාව ක්‍රියාත්මක කර දින 74කට පසුව එය මුල්ම වරට සංශෝධනය කෙරුණා. එහි දී යම් ගණයකට අයත් කාරණා සම්බන්ධයෙන් අභියාචනාධිකරණය වෙත පැවරී ඇති අධිකරණ බලය අභියාචනාධිකරණය විසින් නොව, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ක්‍රියාත්මක කළ යුතු යැයි සම්මත කරමින් 16 වන පරිච්ඡේදයේ 140 වන ව්‍යවස්ථාව වෙනස් කරනු ලැබුවා.

දෙවන ව්‍යවස්ථා සංශෝධනය- 1979/02/26

දෙවන ව්‍යවස්ථා සංශෝධනයේ දී සිදුවුණේ 21 වන පරිච්ඡේදයේ 161 වන ව්‍යවස්ථාවේ (ඈ) ඡේදයේ (ii) වන අනුඡේදය පරිච්ඡින්න කොට අලුත් අනුඡේදය ආදේශ කිරීම යි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ඉල්ලා අස්වීම, පක්ෂයෙන් ඉවත් කිරීම හෝ වෙනත් හේතුවක් නිසා ඔහුගේ හෝ ඇයගේ පාර්ලිමේන්තු කාල සීමාව අවසාන වන අවස්ථාවක ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධව එහි ඇතුලත් වුණා.

තෙවන ව්‍යවස්ථා සංශෝධනය- 1982/08/27

තෙවන ව්‍යවස්ථා සංශෝධනයේ දී සිදුවුණේ 7 වන පරිච්ඡේදයේ 31 වන ව්‍යවස්ථාවට (3අ) අනුව්‍යවස්ථාව ඇතුළත් කිරීම සහ එම ව්‍යවස්ථාවෙහි (4) වන අනුව්‍යවස්ථාව ඉවත් කිරීම යි. එමඟින් ජනාධිපතිවරයා බලයට පත් වී වසර 4ක් ගත වුණු පසුව ඔහුට යළි ජනාධිපතිවරණයක් කැඳවීමේ අවස්ථාව හිමි වුණා. එසේම 7 වන පරිච්ඡේදයේ 38 වන ව්‍යාවස්ථාව ද එහි දී සංශෝධනය කෙරුණා. ජනාධිපතිවරයා ලෙස තෝරාගන්නා තැනැත්තා සිය ධූරකාලයෙහි සති 2ක් ඉකුත්වීමට පෙර එය භාරගැනීම සිතා මතාම පැහැර හැරියහොත් ජනාධිපති ධූරය හිස් නොවීමට විධිවිධාන සැලැස්වීම යන කරුණ එලෙස ව්‍යවස්ථාවට ඇතුළත් වුණා. තවද 21 වන පරිච්ඡේදයේ 160 වන ව්‍යවස්ථාව සංශෝධනය කළා. එහි ඇතුළත්ව තිබුණේ ජනාධිපතිවරයා සිය ධූරය දැරීම සම්බන්ධව යි.

සිව්වන ව්‍යවස්ථා සංශෝධනය- 1982/12/23

21 වන පරිච්ඡේදයේ 161 වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීමෙන් අපේක්ෂා කළේ පාර්ලිමේන්තුව පවත්නා කාල සීමාව 1989 වසරේ අගෝස්තු 4 වැනිදා දක්වා දීර්ඝ කරගැනීම යි. 1982 වසරේ දෙසැම්බර් 22 වැනිදා පැවැත් වූ ජනමත විචාරණය ජයග්‍රහණය කිරීමෙන් පසුව මෙම සංශෝධනය ක්‍රියාත්මක කිරීමට බලය ලැබුණා.

නව පාර්ලිමේන්තු අභ්‍යන්තරය (reutersmedia.net)

පස්වන ව්‍යවස්ථා සංශෝධනය- 1983/02/25

පස්වන සංශෝධනය මගින් 21 වන පරිච්ඡේදයේ 161 වන ව්‍යවස්ථාව සංශෝධනය කළා. පාර්ලිමේන්තුවේ පුරප්පාඩුවක් පිරවීම සඳහා මන්ත්‍රීවරයෙකු නම් කිරීම අදාළ දේශපාලන පක්ෂයේ ලේකම්වරයා පැහැර හැරියහොත් අතුරු මැතිවරණයක් පැවැත්වීම පිළිබඳව එහි ඇතුළත් වුණා.

හයවන ව්‍යවස්ථා සංශෝධනය- 1983/08/08

මෙම සංශෝධනය මඟින් 20 වන පරිච්ඡේදයේ 157 ව්‍යවස්ථාවට ඇතුළත් කළ 157 (අ) පිළිබඳව සඳහන් කිරීම සඳහා 13 වන පරිච්ඡේදයේ 101 වන ව්‍යවස්ථාව සංශෝධනය කළා. එසේම, ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාවය උල්ලංඝණය කිරීමට එරෙහි තහනම සම්බන්ධයෙන් 157(අ) වන ව්‍යවස්ථාව ඇතුළත් කළා. ඊට අමතරව ඉහත 157(අ) ව්‍යවස්ථාව සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකතු කළ හත්වන උපලේඛනය සඳහන් කරමින් 161 වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සිදු කළා.

හත්වන ව්‍යවස්ථා සංශෝධනය- 1983/10/04

කිලිනොච්චිය නිර්මාණය කිරීම මඟින් ශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්ක සංඛ්‍යාව 25 දක්වා වැඩි කිරීම සඳහා පළමු පරිච්ඡේදයේ 5 වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සහ මැතිවරණ දිස්ත්‍රික්ක ප්‍රමාණය 25 දක්වා වැඩි කිරීමට 14 වන පරිච්ඡේදයේ 96 වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීම මෙමඟින් සිදු කෙරුණා. මහාධිකරණ කොමසාරිස්වරයන් පත්කිරීම සම්බන්ධයෙන්  15 වැනි පරිච්ඡේදයේ 111(අ) වන ව්‍යවස්ථාව ඇතුළත් කිරීම ද මෙම සංශෝධනයට ඇතුලත් වුණා. 

අටවන ව්‍යවස්ථා සංශෝධනය- 1984/03/06

මෙම සංශෝධනය මඟින් ජ්‍යෙෂ්ඨ නීතීඥවරයන්ව, රාජ නීතීඥ වරප්‍රසාද සහිතව ජනාධිපති නීතීඥවරුන් ලෙස පත් කිරීම පිණිස ජනාධිපතිවරයාගේ බලතල පුළුල් කිරීම සඳහා 7වන පරිච්ඡේදයේ 33 වන ව්‍යවස්ථාව සංශෝධනය කරනු ලැබුවා. සංශෝධිත 33 වන ව්‍යවස්ථාවට අනුව 16 වන පරිච්ඡේදයේ 136 වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීම ද එහි දී සිදු වුණා. එසේම රාජ නීතීඥ සහ ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් සම්බන්ධයෙන් 169(අ) වන ව්‍යවස්ථාව ඇතුළත් කිරීම ද සිදු කළා.

නවවන ව්‍යවස්ථා සංශෝධනය- 1984/08/24

නවවන සංශෝධනය මඟින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස තෝරා පත්කර ගැනීමට සුදුස්සන් නොවන රජයේ සේවකයන්ගේ වැටුප් පරිමාණ සකස් කිරීමට 14 වන පරිච්ඡේදයේ 91 වන ව්‍යවස්ථාව සංශෝධනය කළා.

දසවන ව්‍යවස්ථා සංශෝධනය- 1986/08/06

මෙම සංශෝධනය මඟින් මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ප්‍රකාශනයක් සඳහා 2/3ක බහුතරයෙහි අවශ්‍යතාව ඉවත් කිරීම සඳහා 18 වන පරිච්ඡේදයේ 155 වන ව්‍යවස්ථාව සංශෝධනය කළා.

එකොළොස්වන ව්‍යවස්ථා සංශෝධනය- 1987/05/06

1978 දෙවන ජනරජ ව්‍යවස්ථාවේ එකොළොස්වන සංශෝධනය මඟින් සිදු කළේ පහත සඳහන් සංශෝධන කිහිපය යි.

  1. මුල් අවස්ථා අපරාධ අධිකරණ බලතල මහාධිකරණයෙන් ඉවත් කිරීම සඳහා 15වන පරිච්ඡේදයේ 111 වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීම.
  2. උපලේඛනගත රජයේ නිලධාරීන් සම්බන්ධයෙන්ද නීති පැනවීම සඳහා අධිකරණ සේවා කොමිසමට විධිවිධාන සැලැස්වීම පිණිස 112 වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීම.
  3. සියලු මුල් අවස්ථා අධිකරණවලට අනුයුක්ත නියෝජ්‍ය පිස්කල්වරයන් අධීක්ෂණය හා පාලනය ක්‍රියාත්මක කරන්නා වූ පිස්කල්වරයකුගේ තනතුර නිර්මාණය කිරීම සඳහා 113(අ) වන ව්‍යවස්ථාව ඇතුළත් කිරීම.
  4. උපලේඛනගත රජයේ නිලධාරීන් මාරුකිරීමට පමණක් අධිකරණ සේවා කොමිසමේ ලේකම්වරයාගේ බලය සීමා කිරීම සහ පිස්කල්වරුන් ද උපලේඛනගත රජයේ නිලධාරීන් අතරට ඇතුළත් කිරීම සඳහා 114 වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීම.
  5. එක් එක් විනිශ්චය පීඨයක් සමන්විත විය යුතු විනිශ්චයකාරවරුන් සංඛ්‍යාව අඩු කිරීම සඳහා 16 වන පරිච්ඡේදයේ 146 වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීම.
  6. පිස්කල්වරුන් වෙනුවට නියෝජ්‍ය පිස්කල්වරුන් යෙදවීම සඳහා පස්වන උපලේඛනය සංශෝධනය කිරීම.

දොළොස්වන ව්‍යවස්ථා සංශෝධනය- 1987/09/25

මෙම සංශෝධනය පිළිබඳ යෝජනාව 1987.09.25 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නමුත් ස්ථාවර නියෝග 47(5) යටතේ අමාත්‍යාංශ වාර්තාව ඉදිරිපත් නොකළ බැවින් ඉදිරි කටයුතු සිදු කළේ නැහැ.

telo.org

දහතුන්වන ව්‍යවස්ථා සංශෝධනය- 1987/11/14

1978 දෙවන ජනරජ ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය මඟින් පළාත් සභා පනත ඉදිරිපත් කළා. පහත දක්වා ඇත්තේ 13 වන සංශෝධනය මඟින් සිදු කළ සියලුම සංශෝධනයන් පිළිබඳව යි. 

  1. දෙමළ බස රාජ්‍ය භාෂාවක් කිරීම සහ ඉංග්‍රීසි සන්ධාන භාෂාවක් කිරීම සඳහා 4 වන පරිච්ඡේදයේ  18 වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීම.
  2. අභියාචන අධිකරණ බලය පිළිබඳව වුණු 16 වැනි පරිච්ඡේදයේ 138 වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීම.
  3. සෑම පළාතක් සඳහා ම පළාත් සභාවක් පිහිටුවීම සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස 17 වන පරිච්ඡේදයේ ව්‍යවස්ථා 154(අ) සිට 154(ට) ද ඇතුළුව XVII A ‍ඡේදය ඇතුළත් කිරීම.
  4. මහජන ආරක්ෂක ආඥා පනත යටතේ හදිසි අවස්ථා නියෝග සෑදීම පිළිබඳව 18 වන පරිච්ඡේදයේ 155 වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීම.
  5. පළාත් සභා මඟින් සාදනු ලබන ප්‍රඥප්ති ද ලිඛිත නීති යන නිර්වචනය යටතට ඇතුළත් කිරීම සඳහා 23 වන පරිච්ඡේදයේ 170 වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීම.
  6. පළාත් නවය නම් කිරීම සඳහා අටවන උපලේඛනය ද, පළාත් සභා ලැයිස්තුව, සංවෘත ලැයිස්තුව සහ සමගාමී ලැයිස්තුව විස්තර කිරීම සඳහා නවවන උපලේඛනය ද ඇතුළත් කිරීම.

දහහතරවන ව්‍යවස්ථා සංශෝධනය- 1988/05/24

මෙම සංශෝධනය මඟින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව 225 දක්වා වැඩි කිරීමට ජාතික ලැයිස්තු ක්‍රමය හඳුන්වා දුන්නා. පහත දක්වා ඇත්තේ 14 වන සංශෝධනය මඟින් සිදු කළ සංශෝධන ලැයිස්තුව යි. 

  1. ඇතැම් නඩුවලදී ජනාධිපතිවරයාගේ මුක්තීන් ඇතැම් අවස්ථාවලදී ක්‍රියාත්මක නොකරනු පිණිස 7 වන පරිච්ඡේදයේ 35වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීම.
  2. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 225 දක්වා වැඩිකිරීම පිණිස 10 වැනි පරිච්ඡේදයේ 62 වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීම.
  3. ජනමත විචාරණයක් පිළිබඳ පෙත්සමක් ඉදිරිපත් කර ඇති අවස්ථාවකදී පනත් කෙටුම්පතක් සහතික කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ස්වකීය අත්සන ඇතිව සටහන් නොකළ යුතු බවට කොන්දේසි ඇතුළත් කිරීම සඳහා 11වන පරිච්ඡේදයේ 80 වන ව්‍යවස්ථාව සංශෝධනය.
  4. සීමා නිර්ණය කොමිෂන් සභාව පිහිටුවීම සහ මැතිවරණ දිස්ත්‍රික්ක කලාපවලට බෙදීම පිළිබඳව වුණු 96 (අ) ව්‍යවස්ථාව ඇතුළත් කිරීම.
  5. 96(අ) ව්‍යවස්ථාව බලාත්මක කිරීම සඳහා 98 වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීම.
  6. සමානුපාතික නියෝජන ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා 99 වන වගන්තිය ආදේශ කිරීම.
  7. මහ මැතිවරණයක දී එක් එක් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් ලබාගත් මුළු ඡන්ද සංඛ්‍යාව මත පදනම්ව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 29 දෙනෙකු තෝරා ගැනීම පිළිබඳව වුණු 99(අ) ව්‍යවස්ථාව ඇතුළත් කිරීම.
  8. ජනමත විචාරණ පිළිබඳ පෙත්සම් ද ඇතුළුව මැතිවරණ පෙත්සම් පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ අධිකරණ බලය පුළුල් කිරීම සඳහා 130 වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීම.
ප්‍රථම විධායක ජනපති ජූනියස් රිචඩ් ජයවර්ධන මහතා (colombotelegraph.com)

පහළොස්වන ව්‍යවස්ථා සංශෝධනය- 1988/12/17

මෙම සංශෝධනය මගින් යම් පක්ෂයකට දිස්ත්‍රික්කයක් තුළ ආසනයක් ලබාගැනීම සඳහා අවශ්‍ය අවම ඡන්ද ප්‍රතිශතය 12.5% සිට 5% දක්වා අඩු කරනු ලැබුවා. පහත දක්වා ඇත්තේ 15 වන සංශෝධනය මගින් සිදු කළ සියලුම සංශෝධනයන් පිළිබඳව යි. 

  1. මැතිවරණ දිස්ත්‍රික්ක කලාපවලට බෙදීම අවලංගු කිරීම සඳහා 96(අ) ව්‍යවස්ථාව ඉවත් කිරීම.
  2. එක් එක් මැතිවරණ දිස්ත්‍රික්කයෙන් තෝරා පත්කිරීමට හිමිකම් ඇති මන්ත්‍රීවරු සංඛ්‍යාව, මැතිවරණ කොමසාරිස්වරයා විසින් සහතික කිරීම පිළිබඳව වූ 98 වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීම.
  3. සමානුපාතික නියෝජන ක්‍රමයේ සීමාව 1/8 සිට 1/20 දක්වා අඩුකිරීමට සහ මැතිවරණ දිස්ත්‍රික්ක කලාපවලට බෙදීම අවලංගු කිරීමට 99 වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීම.
  4. ජනවාර්ගිකව හෝ අන්‍යාකාරයෙන්, කිසියම් ප්‍රජාවකින් පාර්ලිමේන්තුවට තේරී පත්වන මන්ත්‍රී සංඛ්‍යාව, එම ප්‍රජාවේ ජාතික ජනගහණ අනුපාතය හා අනුරූප වන බව සහතික කිරීමට  99(අ) ව්‍යවස්ථාව සංශෝධනය කිරීම.

දහසයවන ව්‍යවස්ථා සංශෝධනය- 1988/12/17

1978 දෙවන ජනරජ ව්‍යවස්ථාවේ දහසයවන සංශෝධනයත් සිදු කළේ 1988 වසරේ දෙසැම්බර් 17 වැනිදා යි. එමඟින් පහත සඳහන් සංශෝධන කිහිපය සිදුකරනු ලැබුවා.

  1. පළාත් සභා මන්ත්‍රීවරුන්ට ද තමන්ගේ කාර්ය ඉටුකිරීමේදී ජාතික භාෂා දෙකෙන් කවරක් වුවද භාවිතා කිරීමට හැකිවනු පිණිස 20 වන වගන්තිය සංශෝධනය කිරීම.
  2. සිංහල සහ දෙමළ පරිපාලන භාෂා සහ ව්‍යවස්ථාදායකයේ භාෂා බවට පත්කිරීමට 22 වන හා 23 වන ව්‍යවස්ථා ආදේශ කිරීම.
  3. සිංහල සහ දෙමළ අධිකරණවල භාෂා බවට පත්කිරීම සඳහා 24 වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීම.
  4. යම් නීතියක විධිවිධාන සහ මේ පරිච්ඡේදයේ විධිවිධාන අතර යම් අනුකූලතාවක් ඇති වුවහොත්, මෙහි විධිවිධාන බලපැවැත්වීම සඳහා 25 (අ) ව්‍යවස්ථාව ඇතුළත් කිරීම.

දහහත්වන ව්‍යවස්ථා සංශෝධනය- 2001/10/03

1978 දෙවන ජනරජ ව්‍යවස්ථාවේ දහහත්වන සංශෝධනය මඟින් සිදු කළේ පහත සඳහන් සංශෝධන කිහිපය යි.

  1. ව්‍යවස්ථාදායක සභාව පිහිටුවීම සඳහා 41(අ) සිට 41(ඌ) දක්වා ව්‍යවස්ථා ද ඇතුළුව VII A පරිච්ඡේදය ඇතුළත් කිරීම.
  2. රාජ්‍ය සේවා කොමිෂන් සභාවට අදාළව IX පරිච්ඡේදය ඇතුළත් කිරීම.
  3. ජනාධිපතිතුමා විසින් සිදුකරන පත්වීම් පිළිබඳව වූ 65 වන වගන්තිය සංශෝධනය කිරීම.
  4. මැතිවරණ කොමිසමට අදාළ XIVA පරිච්ඡේදය ඇතුළත් කිරීම.
  5. අධිකරණ සේවා කොමිසමට අදාළ XVA පරිච්ඡේදය ඇතුළත් කිරීම.
  6. ජාතික පොලිස් කොමිසමට අදාළ XVIIIA පරිච්ඡේදය ඇතුළත් කිරීම.

දහඅටවන ව්‍යවස්ථා සංශෝධනය- 2010/10/09

මෙම සංශෝධනය මඟින් මුලික වශයෙන් ජනාධිපතිවරයාගේ ධුර වාර ගණන පිළිබඳ සිමාව ඉවත් කිරීම සිදු වුණා. මෙම පනත හදිසි පනත් කෙටුම්පතක් වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ අනුමැතිය ලබාගෙන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා. ඊට අමතරව ජනාධිපතිවරයාගේ වගකීම්, පොලිස් හා පාර්ලිමේන්තු කොමිෂන් සභා බලතල වලට අදාල වෙනස්කම් ගණනාවක් මෙහි දී සිදු වුණා.

දහනවවන ව්‍යවස්ථා සංශෝධනය- 2015/05/15

1978 දෙවන ජනරජ ව්‍යවස්ථාවේ දහනවවන සංශෝධනය මඟින් සිදු කළේ පහත සඳහන් සංශෝධන කිහිපය යි.

  1. ජනාධිපතිවරයාගේ බලතල කප්පාදු කිරීම.
  2. ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම.
  3. අමාත්‍යවරුන් ප්‍රමාණය සීමාකිරීම.
  4. ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර 5කට සීමා කිරීම.
  5. වාර දෙකකට වඩා ජනාධිපති ධූරය දැරිය නොහැකි බව.
  6. ජනාධිපතිවරයාට එරෙහිව නීතිපතිවරයා වග උත්තරකරු කරමින් මූලික අයිතිවාසිකම් කඩවීමේ නඩු පැවරීමේ හැකියාව.

1978 දෙවන ජනරජ ව්‍යවස්ථාව වැඩිම වාරයක් සංශෝධනය වුණේ ජේ. ආර්. ජයවර්ධන පාලන සමයේ දී යි. ඉන් පසුව ගෙවුණු වසර 21 තුළ ව්‍යවස්ථාව තෙවරක් සංශෝධනය වී තිබෙනවා. 1978 ජනරජ ව්‍යවස්ථාවේ තිබෙන රටට අහිතකර සියලුම දේවල් ඉවත්කර රටට හිතකර වන පරිදි 20 වන ව්‍යවස්ථා සංශෝධනය සිදු කළහොත්, රටේ ඉදිරි පාලන කටයුතු හොඳින් කරගෙන යාමට අවශ්‍ය වටපිටාව නිර්මාණය වනු ඇති.

කවරයේ ඡායාරූපය- gettyimages

Related Articles