පළමුවන ලෝක යුධ සමයේ හා ඉන්පසු ඇමෙරිකානු ඛනිජතෙල් කර්මාන්තය

ඇමෙරිකාව තුළ ඛනිජ තෙල් සොයාගැනීම හා ඛනිජ තෙල් කර්මාන්තය ස්ථාපිත වීම පිළිබඳ ව පසුගිය ලිපියකින් අපි ඔබ වෙත ගෙන ආවා. 20 වන සියවසේ ආරම්භක අවධියේ දී සිදු වූ පළමුවන ලෝක යුද්ධය හා ඉන්පසු කාලයේ දී ඇමෙරිකානු ඛනිජ තෙල් කර්මාන්තයේ හැසිරීම මේ ලිපියෙන් සාකච්ඡාවට බඳුන් කරමු.

පළමුවන ලෝක යුධ සමය හා ඉන්පසු

පළමුවන ලෝක යුධ සමයට පෙර සිට ම ඇමෙරිකා එක්සත් ජනපදය ඇමෙරිකානු හමුදාව හා ඇමෙරිකාවට මිත්‍රපාක්ෂික රටවල හමුදාවලට ඛනිජ තෙල් සැපයීම සිදු කළා. පළමුවන ලෝක යුධ සමයේ දී ප්‍රධාන ඇමෙරිකානු ඛනිජ තෙල් සමාගම් එක්කාසුව ක්‍රියා කළ අතර, මෙහි ප්‍රතිඵලයක් ලෙස 1919 දී ඇමෙරිකානු ඛනිජ තෙල් ආයතනය (American Petroleum Institute) පිහිටුවා ගැනෙනවා.

ඇමෙරිකානු ඛනිජ තෙල් ආයතනය- submar.com

පළමුවන ලෝක යුද්ධය අවසන් වන විට ඇමෙරිකානු ඛනිජ තෙල් සමාගම් සිය අපනයන කටයුතු යහමින් සිදු කළ අතර, ඇමෙරිකාවෙන් පිටත ද ඔවුන් සම්පත් කිහිපයක් අත්පත් කරගෙන සිටියා. කෙසේ නමුත් රජය මඟින් සිදු කළ සංගණනයකට අනුව ඉක්මණින් ම ඉන්ධන හිඟයක් ඇතිවනු ඇතැ යි මතයක් සමාජගත වුණා. මීට ප්‍රධාන හේතුවක් වූයේ ලොව පුරා රථවාහන, කර්මාන්ත, හා යුධමය කටයුතු සඳහා ඇතිවන ඉන්ධන ඉල්ලුම සීඝ්‍ර ලෙස ඉහළ යාම යි. මේ හේතුවෙන් ඇමෙරිකානු වාණිජ ලේකම් හා පසුකාලීන ජනපති හර්බට් හූවර් මෙන්ම රාජ්‍ය ලේකම් චාල්ස් එවන්ස් හියුස් ඇමෙරිකානු ඛනිජ තෙල් සමාගම්වලට විදේශ තෙල් සංචිත සොයා යන ලෙස බලපෑම් එල්ල කරන්නට පටන්ගත්තා. මේ නිසා ඔවුන් යුහුසුළු ව මැදපෙරදිග, නැගෙනහිර ආසියාව, හා ලතින් ඇමෙරිකාවේ තෙල් සංචිත සොයා ගියා.

ඇමෙරිකාවෙන් තවත් තෙල් සංචිත මතුවෙයි

1930 දශකය ඇරඹෙන විට ඇමෙරිකානු තෙල් සමාගම් ඇමෙරිකාවෙන් පිට තෙල් සංචිත සොයා වෙහෙසෙමින් සිටියා. මේ අතර තවත් සමහරෙක් ඇමෙරිකාව තුළ ම තවත් තෙල් සංචිත රාශියක් ඇති බැව් විශ්වාස කර එහි කැණීම් කටයුතු සඳහා මුදල් යොදවන්නට වුණා. මේ අතර කොලොම්බස් ජොයිනර් ද වුණා. ඔහු උතුරුදිග ටෙක්සාහ් හි භූමියේ ස්වභාවය හුවාදක්වමින් එහි තෙල් ඇති බැව් නිගමනය කළා. ඔහු එහි ඛනිජ තෙල් ගවේෂණය ආරම්භ කළ අතර 1930 ඔක්තෝබර් මස 5 වැනි දා අතිවිශාල ඛනිජ තෙල් සංචිතයක් සොයාගන්නවා. ටෙක්සාස් භූමියේ අක්කර 140,000ක් පුරා මෙය ව්‍යාප්ත ව තිබූ අතර එහි බොරතෙල් බැරල් බිලියන 5ක් පමණ අන්තර්ගත බැව් ඇස්තමේන්තු කෙරුණා. එච්. එල්. හන්ට් නැමැත්තෙක් ජොයිනර්ගෙන් මේවා මිල දී ගෙන ඩොලර් මිලියන 100ක ලාභයක් තබාගෙන ඇමෙරිකානු සමාගම්වලට විකුණනු ලැබුවා.

1930 දශකයේ ඇමෙරිකානු ඛනිජ තෙල් සංචිත- oilandgaspeople.com

මහා ආර්ථික අවපාතය හා දෙවන ලෝක යුද්ධය

ජොයිනර් විසින් නව තෙල් ආකරය සොයාගන්නවාත් සමග ම වාගේ ඇමෙරිකාව 1930 දශකයේ මුහුණ දුන් මහා ආර්ථික අවපාතය ඇරඹුණා. මේ හේතුවෙන් බොරතෙල් බැරලයක මිල ශත 10ක් පමණ ප්‍රමාණයකට පහළ වැටුණා. මෙය ඇමෙරිකානු ඛනිජතෙල් කර්මාන්තයට වැදුණු මරු පහරක් වූ අතර ජනපති ෆ්‍රෑන්ක්ලින් ඩී. රූස්වෙල්ට්ගේ දූරදර්ශී ක්‍රියාමාර්ගවලට පින් සිදුවන්නට බංකොලොත් නොවී රැකුණා. කෙසේ නමුත් දෙවන ලෝක යුද්ධය ඇවිලී යාමත් සමග ඇමෙරිකානු ඛනිජතෙල් සඳහා වූ ඉල්ලුම මෙන්ම වටිනාකමත් නැවත ඉහළ ගියා.

1940 දශකය කිහිප අතකින්ම ඛනිජතෙල් කර්මාන්තයට වැදගත් වුණා. මේ දශකය ආරම්භ වන විට භූගත සම්පත්වල අයිතිය එම ඉඩම අයිතිකරුට තිබූ අතර මේ හේතුවෙන් සමහර විශාල ඛනිජතෙල් නිධි පිළිබඳ ගැටලු ඇති වුණා. ඒවා ඒ ඉඩම්වල අයිතිකරුවන් අත්තනෝමතික ලෙස භාවිත කිරීම දැකිය හැකි වුණා. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඉඩම් කිහිපයක් යටින් ඇදී ගොස් තිබෙන තනි නිධිවලින් ස්වභාවික වායු හා බොරතෙල් වැඩි ප්‍රමාණ‍යක් අපතේ යාම සිදු වුණා. මෙම ප්‍රවණතාවය හඳුනාගෙන එයට පිළියම් යෙදෙන පරිදි නීති සම්පාදනය කරන්නට ඇමෙරිකානු රජය පියවර ගන්නවා.

දෙවන ලෝක යුද්ධයේ දී ඛනිජ තෙල් විශාල ප්‍රමාණයක් අපතේ ගියා- teara.govt.nz

දෙවන ලෝක යුද්ධයේ දී ඇමෙරිකානු ඛනිජ තෙල් ඉතා වැදගත් භූමිකාවක් ඉසිලූවා. මෙහි දී ඇති වූ විවිධාකාර අවශ්‍යතා හේතුවෙන් ඛනිජ තෙල් අරබයා පර්යේෂණ රැසක් සිදුකෙරුණු අතර, එහි ප්‍රතිඵලයක් වශයෙන් ටී.එන්.ටී. කෘතිම රබර්, ටෙට්‍රාඑතිල් ලෙඩ් වැනි ඛනිජ තෙල් ආශ්‍රිත නව නිපැයුම් ගණනාවක් ලොවට බිහි වුණා. කෙසේ නමුත් දෙවන ලෝක යුධ සමයේ ඛනිජතෙල් අධි භාවිතාව හා ඒවා ප්‍රවාහනයේ දී දරන්නට වුණු අවදානම කැපීපෙණෙන ගැටලු දෙකක් වුණා. මේ සමයේ දී පිටරටවලට ඛනිජ තෙල් විකුණා ඇමෙරිකාව විශාල ලාභ ඉපැයුවා. දෙවන ලෝක යුද්ධයෙන් පසු ලොව ආර්ථික බලවතා වන්නට ඇමෙරිකාවට අඩිතාලම සැපයූ විශාල සාධකයක් ලෙස මෙය සැලකිය හැකියි.

දෙවන ලෝක යුද්ධයට පසු සමය

දෙවන ලෝක යුධ සමය අවසන් වූ පසු ඇමෙරිකා එක්සත් ජනපදය විවිධ යුධමය ගැටලුවලට මුහුණ දුන්නා. මේ සෑම තැනක දී ම පාහේ ඛනිජ තෙල් වැදගත් භූමිකාවක් නිරූපණය කළා. දෙවන ලෝක යුද්ධය අවසන් වූ වහාම යුරෝපය ගල් අඟුරු අර්බුධයකට ලක්වුණා. ඉන්පසු 1950 -1954 වසරවල ඉරාන අර්බුධය ඇති වුණා. මේ අවස්ථා දෙකේ දී ම ඇමෙරිකානු ඛනිජ තෙල් වැදගත් සාධකයක් වුණා.

1955 වසරෙන් පසු ව මැදපෙරදිග ඛනිජතෙල්වල බලය ඇමෙරිකාවට අභියෝගයක් වෙමින් නැගී සිටියා. 1960 දී මැදපෙරදිග ඛනිජතෙල් නිෂ්පාදනය කරන රටවල් එකතු වී ඔපෙක් සංවිධානය පිහිටුවා ගන්නවා. මෙය ඇමෙරිකානු ඛනිජතෙල් ඒකාධිකාරය බිඳදැමීමට සමත් වුණා. ඇමෙරිකාවේ ශක්ති අවශ්‍යතා සීඝ්‍ර ලෙස ඉහළ යාමත් සමග ඔවුනට සිය රටෙහි නිපදවන තෙල් ප්‍රමාණවත් වූයේ නැහැ. මේ හේතුවෙන් මැදපෙරදිගින් තෙල් ආනයනය කරන්නට ඔවුනට සිදු වුණා.

1973/74 ඔපෙක් සංවිධානය තෙල් සැපයීම වාරණය කිරීම නිසා ඇමෙරිකා එක්සත් ජනපදයේ ඇති වූ ඛනිජතෙල් අර්බුධය- David Falconer / EPA / US National Archives

1960 දශකයේ දී මැදපෙරදිග ඛනිජතෙල් කර්මාන්තය අයෝමය හස්තයක් වෙමින් නැගී සිටිය අතර සමහර විටෙක ලෝක බලවතා වූ ඇමෙරිකාවට ඔවුන් ළඟ දණගැසීමට සිදු වුණා. මෙයට හොඳ උදාහරණයක් ලෙස 1970 දශකයේ ඇවීලී ගිය යොම් කිපූර් යුද්ධයේ දී ඇමෙරිකාව ඊශ්‍රායලයට සහාය දැක්වීමට ගොස් ඔපෙක් සංවිධානය මඟින් ඛනිජ තෙල් ඇමෙරිකාවට නිකුත් නොකිරීම නිසා ඔවුන් ලක් වූ අපහසුතාවය ගත හැකියි.

ඇමෙරිකාවෙන් ඛනිජතෙල් අධිකාරිය ගිලිහී යන්නට හේතු කිහිපයක් බලපෑවා. එකක් 1940 දශකයෙන් පසු ඇති වූ අධික ඉන්ධන අවශ්‍යතා නිසා කෙමෙන් කෙමෙන් ඔවුන් සතු තෙල් නිධි සිඳී යාම යි. අනෙක දෙවන ලෝක යුධ සමයේ බොරතෙල් බැරල් බිලියන 6ක් පමණ නාස්ති කරගැනීම යි. මේ සමාන බොරතෙල් ප්‍රමාණයක් වියට්නාම යුද්ධයේ දී ද ඔවුනට අහිමි වුණා. මැදපෙරදිගත් සමහර තෙල් නිධි ඇමෙරිකානු සමාගම් අත්පත් කරගෙන සිටියත් අවසානයේ ඔපෙක් සංවිධානය ඔවුනට වඩා බලවත් වුණා.

ඇමෙරිකා එක්සත් ජනපදය ලෝක බලවතා වූයේ ඛනිජ තෙල් මතිනු යි. කෙසේ නමුත් වර්තමානය වන විට එහි ඒකාධිකාරිය ඔවුනට අහිමි වී තිබෙනවා. මේ නිසා තවදුරටත් ලෝක බලවතා ලෙස පවතිනු වස් ඔවුනට ඉක්මණින් ම වෙනත් ශක්ති ප්‍රභවයක් සොයාගත යුතු වුණා. මේ වන විට ඔවුන් න්‍යෂ්ටික ශක්තිය දෙසට හැරී තිබෙනවා.

කවරයේ පින්තූරය – easy2data.wordpress.com

Related Articles