රුවන්වැලි සෑයට ගඩොල් දුන් බිබිල කොටසර වෙහෙර

රන් බුදු පිළිමයක් නිසාත්, දළදා පහස ලැබුණු ස්ථානයක් ලෙසත් ප්‍රකට වුණු බිබිලේ කොටසර පියංගල විහාරය අනුරාධපුර යුගයේ සිට පැවතෙන පුජනීය ස්ථානයක්.  කුතුහලය දනවන කතන්දර රාශියක් පිරිවරාගත් කොටසර රජ මහා විහාරයට ගිහින් බලමු.

සිත් නිවන විහාර බිම  – avidimu facebook page

පිහිටීම

කොටසර පියංගල රජ මහා විහාරය පිහිටා තිබෙන්නේ ඌව පළාතේ මොනරාගල දිස්ත්‍රික්කයේ බිබිල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේයි. එය අංක 102 බී මල්ලැහැව ග්‍රාම සේවා නිලධාරි වසමට අයත් විහාරයක්.

පුරාණයේ මේ පෙදෙස පහළ ඌවට අයත් වුණා.  මල්ලැහැව ග්‍රාමය  මැදින් ගලා බසින්නේ බත්ගල ඔය යි. එය ගලා බසින්නේ වනයෙන් පිරුණු දොරපොත කන්දේ සිට යි. ඌවේ වැසියka මෙම ඔය ‘ගල ඔය’ නමින්ද හඳුන්වනවා. ඒ ගල්ඔයේ මුල් අවස්ථාව යි.

නටබුන් ගොඩනැගිලි- Ashan Geeganage, Amazing Lanka.com

පුරාවිද්‍යා ස්මාරකයක්

දේවානම්පියතිස්ස රාජ සමයේ පටන් කීර්ති ශ්‍රී රාජසිංහ රාජ සමය දක්වා කාලයකට විහාරයේ අතීතය දිව යනවා. ඒ අතර මෑත අතීතයේ තැනූ පිළිම ගෙයකුත් මෙහි දැකගත හැකියි. විහාරආරාම සංකීර්ණයක නටබුන් මෙම විහාර භූමියේ දී දැක ගැනීමට අපට පුළුවන්.

කොටසර විහාර බිමේ ටැම්පිට විහාරය සහ පැරණි ආවාස ගෙය 2008. 06. 06 දාත්, දාගැබ, නටබුන් ගොඩනැගිල්ල හා පුරාණ ළිද  2009 දීත් පුරාවිද්‍යා ස්මාරක ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.  විහාර බිමේ ගොඩනැගිලි සහ නටබුන් අක්කර 12ක බිමක පැතිර තිබෙනවා.

3 ටැම්පිට විහාරය සහ දාගැබ- Ashan Geeganage, Amazing Lanka.com

ඉතිහාස කතා

කොටසර හා කොටසර පියංගල නමින් හැදින්වුණු විහාරයක් ගැන සද්ධර්මාලංකාරය, රසවාහිනිය‍, ථූපවංශය යනාදී ඓතිහාසික මූලාශ්‍රවල දැක්වෙනවා. සහස්සවත්ථුප්පකරණයෙහි කොට්ඨිවාල ජනපදය ලෙසත්, සද්ධර්මාලංකාරයෙහි කොටසර ජනපදය ලෙසත් මේ පෙදෙස ගැන කියවෙනවා. අනුරාධපුර යුගයේ මුල් කාලේ පටන් ම ඌවේ භික්ෂුන් වහන්සේ අගනුවර හා සම්බන්ධකම් පැවැත්වූ බව හෙළිකරන එක් තැනක් ලෙස කොටසර විහාරය සැලකිය හැකි යි.

දේවානම් පියතිස්ස රජ සමයේ මේ විහාරයේ මුල් වරට බෝධීන් වහන්සේ රෝපණය කරවා සියලු පුජනීය විහාරාංගවලින් යුක්ත ව නිර්මාණය කළ බව ජනප්‍රවාදවල දැක්වෙනවා. රජු විහාර කරවනුයේ රුහුණු රට කොටසර ශිලා කඳු තීරයෙහි ඉතා උන්නත භාගයෙහි තිස් රියන් උස මහ දාගැබක් කරවා “ යනුවෙන් එම සිද්ධිය විහාර තුඩපතේ සදහන් වෙනවා. එසේ ඉදිකළ විහාරය සිරිගුත් නම් මහ රහතන්වහන්සේට පූජා කළ බව ද කියවෙනවා.

මේ විහාරයේ  පධානඝරය ඇතුළු ගොඩනැගිලි සද්ධාතිස්ස රජු (ක්‍රිස්තු පූර්ව 137-119) දවස තිස්ස නම් ඇමතියකු රජුගේ නියමය පරිදි තැනවූ බවත් විහාරස්ථ තුඩපතෙහි සඳහන් තවත් කාරණයක්. පධානඝර නටබුන් ගොඩනැගිල්ල දිගින් මීටර් 13 ක් ද පළලින් මීටර් 11 ක් ද වෙනවා. බොහෝදුරට විනාශ වී පවතින මෙය සියුම් ලෙස ඔප කළ කළුගල්වලින් කළ ගොඩනැගිල්ලක්. ජනප්‍රවාදවල නම් කියවෙන්නේ මෙය දළදා මාලිගයක් බව යි.

 පැවති පුරාණ බෝධිය විනාශයට පත්වුණු අතර අද දැකගැනීමට ලැබෙන්නේ 1993 දී රෝපණය කළ  ශ්‍රි මහා බෝධී  ශාඛාවක්.

4 විහාර බිමේ පුරාණ ගොඩනැගිලි- ccf.gov.lk

රුවන්වැලි සෑයට ගඩොල් පිදූ හාමුදුරුවෝ

රුවන්වැලි මහා සෑය හා කොටසර පියංගල විහාරයේ භික්ෂූන් අතර පැවති සම්බන්ධයක්  ගැන ථූප වංශයේ මෙසේ සදහන් වෙනවා.

කොටසර විහාරයෙහි වැඩ වසන එක් තෙර කෙනෙකුන් වහන්සේ දාගැබ බදනා උළුවඩුවාට කුළුපග සේක. එසේ හෙයින් තෙරුන් වහන්සේද නුවරට අවුත් වඩුවානන්ට කථා කොට දාගැබ බඳීනා උළෙහි ( ගඩොලෙහි) දිග බොල පළල මැනගෙන ගොස් තමන් වහන්සේගේ සියතින් සකස් කොට මැටි මැඩ බොරළු හැර සකස් කොට මැටි ඉදි කොට උළු කපා ඒ උළු වියලා දාගැබ් කර්මාන්තයට යෙදවූහ…

නුවරට අවුත් ඉක්බිති උන්වහන්සේ ඒ කළ ක්‍රියාව රජ්ජුරුවන්ට සැලවී ගියේය.

රජ්ජුරුවෝ එපවත් අසා වඩුවා විචාරා කොල එක් තෙර කෙනෙකුන් වහන්සේ මාගෙන් මිල නොගෙන උලක් මාගේ දාගැබෙහි ලන ලදැයි විචාරා ඒ ස්වාමින් කවර රටක වසන සේක් දැයි විචාළේය. බලතාට වදාරන සේක් කොටසර පියංගලු විහාරයෙහි වසම්හ උපාසක යැයි වදාළ සේක”

ඒ හිමියන් රජ අණින් බැහැරව උළු (ගඩොල්) ලබා දී වැඩ සිටි තැන උළුගල පිරිවෙන ලෙස හැදින්වෙනවා. මෙසේ දුටුගැමුණු රාජ්‍ය සමයේ ද කොටසර පියංගල රජමහා විහාරය රාජ රාජ මහාමාත්‍යාදීන්ගේ පූජෝපාහාරයට ලක් ව ඇති අයුරු ඉහත උපුටාගත් ථූපවංශ විස්තර කොටසින් පැහැදිලි වෙන කරුණක්.

පියංගල වුණු හැටි

1 වන විජයබාහු රජුගේ පාලනයෙන් පසුව ලංකවේ රජ බවට පත්වුණේ  පළවෙනි වික්‍රමබාහු (ක්‍රිස්තු වර්ෂ 1111-1113) රජු යි. මේ රජුගේ පාලනයට විරුද්ධව සුගලා බිසව දළදා වහන්සේ හා පාත්‍ර ධාතුව රැගෙන රුහුණු රටට පලාගිය බව මහාවංශයේ සඳහන් වෙනවා. එසේ රුහුණුට වැඩමවන ලද අවස්ථාවේ දළදා වහන්සේ ටික කලක් සඟවා තබා ඇත්තේ මෙම විහාරස්ථානයේ පිහිටි කුරහන් ගලේ යට බව ජනප්‍රවාදවල සදහන්.

පියන්ගලෙහි සැගවූ නිසා මෙය කොටසර පියංගල නම් වී ඇතැයි කියා ද මතයක් පවතිනවා. එකල දළදා වහන්සේ  විසු කල දළදා වහන්සේට පූජා කිරීමට මල් රැගෙන ඒමට වෙන් වු ගම්මාන පැවති බවත් අද ඒවා උඩමල්ලැහව, පල්ලෙමල්ලැහව යනුවෙන් හදුන්වන බවත් පැවසෙනවා.

පුරාණ ළිද – mathakapohottu.blogspot.com

කීර්ති ශ්‍රී රාජසිංහ අනුග්‍රහය

අනුරාධපුර පොළොන්නරු යුගවලින් පසු කොටසර පියංගල රජ මහා විහාරස්ථානයට ස්වර්ණමය යුගය උදා වී ඇත්තේ මහනුවර යුගය තුළ යි.   මහනුවර යුගයේ දී කීර්ති ශ්‍රී රාජසිංහ රජු සියම් දේශයෙන් උපසම්පදාව රැගෙන ඒමට අනුග්‍රහය දක්වීමෙන් පසුව කොටසර විහාරයට ලෝහමය කරඩුවක්ද, පිරිවානා පොත්වහන්සේ නමක් ද, ඇත්දත්වල ඔතන ලද පිරිත් හුයක්ද ඇත් දළ මිට සහිත වටාපතක් ද පූජා කර තිබෙනවා.

එම පූජා වස්තූන් අද ද මේ විහාරස්ථානයේ තැන්පත් කර තිබෙනවා. දේවානම්පියතිස්ස රජු විසින් කරවන ලද බව කියවෙන විහාරයේ පුරාණ දාගබ අවසන්වරට ප්‍රතිසංස්කරණය කර ඇත්තේ 1994 වර්ෂයේ දී යි.

6 ටැම්පිට විහාරයේ බුදු පිළිම- ccf.gov.lk

ටැම්පිට පිළිමගෙය‍

නටබුන් වුණු පුරාණ පිළිමගෙය වෙනුවට මහනුවර යුගයේ දී ගල් කණු  සිටුවා ඒ මත ලෑලි අතුරා ටැම්පිට විහාරයක් ඉදිකර තිබෙනවා. එය ඉදිරිපස හේවිසි මණ්ඩපයකින් ද යුක්ත යි.  මේ පිළිමගෙයට ඇතුළුවන ස්ථානයේ ගෙවී ගිය සඳකඩ පහණක් දැකගත හැකි යි. මහනුවර සම්ප්‍රදායේ හිඳි බුදු පිළිමය තුනක් ද බිතු සිතුවම් ද සහිත ටැම්පිට විහාරය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් මෑතක දී සංරක්‍ෂණය කර තිබෙනවා.

ටැම්පිට විහාරයේ දොරටුවට ඉහළින් අලංකාර මකර තොරණක්  දැකගත හැකි යි. මෙහි උළුවස්ස ද දැව බාල්ක ආදිය ද අලංකාර කැටයමින් යුක්ත යි. පිළිමගෙයි ඇතුළත සූවිසි විවරණය චිත්‍රයට නඟා තිබෙනවා. නිලමේවරු දෙදෙනකුගේ රූප ද බිත්තියේ ඇඳ තිබෙනවා. පුරාණයේ සායම් ඇඹරීමට යොදාගත් හතරැස් ගල්ලෑල්ලක් ද විහාරය අසල දැකගත හැකි යි.

මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් බිතුසිතුවම් සංරක්ෂණය කරමින්-ccf.gov.lk

 

කොටසර පියංගල සංඝාවසය ද  ඉදිකර තිබෙන්නේ මහනුවර යුගයේ ගෘහ නිර්මාණ ශිල්පයට අනුව මැද මිදුල සහිත ව යි. එහි බිත්ති තනා තිබෙන්නේ මැටි භාවිත කරමින් වැඩි ගණකමක් සහිත ව යි. වහලය එතරම් උස නැහැ. මේගොඩනැගිල්ලේ ඇත්තේ අඩු ජනෙල් කවුළු ප්‍රමාණයක් වන අතර ඒවා කුඩාවට තනා තිබෙනවා.

සංඝාවාස ගොඩනැගිල්ල මැද මිදුල් දෙකක් සහිත යි. දිරාපත් වෙමින් පැවති මෙම ගොඩනැගිල්ල ද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් සංරක්ෂණය කර තිබෙනවා. මහනුවර යුගයේ දී සීමා කණු පිහිටවුණු බව සැලකෙන සීමා මාලකයක් ද විහාරයේ ගොඩනැගිලි අතර තිබෙනවා.

විහාර බිමේ තිබෙන පැරණි ළිඳ කිර්ති ශ්‍රී රාජසිංහ රාජ්‍ය සමයේ අරාටුමැඩිල්ලේ යෝධයා නම් පුද්ගලයකු එක් දිනකදී කැපූ බව ජනප්‍රවාදයයි. ළිදේ ගැඹුර අඩි 60ක්. එහි මුවවිට පළලින් අඩි 2ක් පමණයි. කළුගල් එක මත එක තබා සවිමත් ව නිර්මාණය කළ මේ ඉපැරණි ළිඳ දැඩි නියං කාලයක වුණත් සිඳී නොයන බව පැවසෙනවා. අදටත් මේ ළිඳ ප්‍රයෝජනයට ගන්නවා.

අලුත් විහාර මන්දියක් ද 1996 වර්ෂයේ ඉදි කර තිබෙනවා.

 ටැම්පිට පිළිමගෙය සහ එහි ප්‍රතිමා-ccf.gov.lk

කොටසර නිකාය පාර්ශ්වය

කොටසර පියංගල රජමහා විහාරය මල්වතු විහාරයේ භික්ෂූන්ගේ ඉපැරැණි විහාර පරම්පරාවක් නියෝජනය කරන මූලස්ථානයක් ලෙස සැලකෙනවා. පුරාණයේ දී කොටසර පන්සල මගින් පාලනය වන  පන්සල් 80ක් පමණ පැවැති බව ජනප්‍රවාදයේ එන කරුණක්. වර්තමානයේ ද වෙල්ලස්ස බින්තැන්න දෙපළාතට අයත් පන්සල් 75 ක් පමණ කොටසර සංඝ පරපුරට අයත් වෙනවා. කොටසර පාර්ශ්වීය සංඝ සභාව ඌව වෙල්ලස්සේ දීප්තිමත් සඟ පරපුරක් ලෙස සැලකෙනවා.

පුරාණයේ ආගමික වැඩකටයුතු සඳහා කොටසර පන්සලට පැමිණෙන භික්ෂූන් වෙනුවෙන් සංඝාවාස ගොඩනැගිල්ල තුළ බදුලුගම්මන ගෙය, කොටගම ගෙය, බිබිලමුල්ල ගෙය, තල ගේ, අරමුදල් ගෙය, මහලැගුම් ගේ, කළුගෙය, බුත්තල ගෙය, වලව් ගේ, පැණිගේ යනුවෙන් කාමර කිහිපයක් පවතිනවා. කළුගේ නමින් හැඳින්වෙන ගෙය විශේෂ කාමරයක් වන අතර භික්ෂූන් අතින් වන යම් යම් කුඩා වැරැදිවලට දඬුවම් ලෙස මෙම පුරාණ යුගයේ මෙම කාමරයේ රඳවා තැබූ බවට විශ්වාසයක් පවතිනවා.

9 නිදන් හොරු කපා දැමූ රන් ආලේපිත පිළිමය- Ashan Geeganage, Amazing Lanka.com

රන් පිළිම සොරකම

මාදන්වල, කටාරංගල, කොත්මලේ පුසුල්පිටිය, මොරපාය, බිබිල කොටසර පියංගල, දඹරන් පිළිම තිබෙන බවට ප්‍රසිද්ධ විහාර කිහිපයක්. කොටසර විහාරයේ පිළිමය නිදන් හොරු සොරකම් කළා. පසුව එය කොටස් කපා පරික්ෂා කිරීමේදී රන්  නොවන බව හෙළිවීම නිසා ඉවත දමා තිබුණා. 

කවරයේ ඡායාරූපය- බිබිලේ කොටසර පියංගල විහාරය - i2.wp.com

මූලාශ්‍ර:

ඌවේ දායාද - ස. ජ. සුමනසේකර බණ්ඩා

Silumina.lk

Dinamina.lk

Budusarana.lk

Related Articles