Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පුරාණ ඊජිප්තු ජාතිකයින් බළලාට ගරු කළ අයුරු

පුරාණ ඊජිප්තු වැසියන්ට සතුන් කෙරේ විශාල ගෞරවයක් තිබුණි. එනමුත් අන් සතුන්ට වඩා පූසන්ට මෙම ශිෂ්ටාචාරය තුල වැඩි ගෞරවයක් දක්නට ලැබුණි. ඊජිප්තු දෙවි දේවතාවුන් විශාල ප්‍රමාණයක් පූසන් හා සම්බන්ධව පවතියි.එකල ඊජිප්තුවේ සිටි මීයන් හා නයින් එහි ධාන්‍ය ගබඩා වලට විශාල හානියක් ගෙන​ දුන්නේය. පූසන් මෙම සතුන් දඩයම් කරන බව පුරාණ ඊජිප්තු වැසියෝ දැන සිටියහ​. මේ හේතුවෙන් ඔවුන් සිදුකලේ ධාන්‍ය ගබඩා වල මාළු ඔලු වැනි ආහාර කොටස් තැන්පත් කිරීමයි. එමනිසා පූසන් නිරන්තරයෙන් ධාන්‍ය ගබඩා අසල ගැවසෙන නිසා මීයන්ගෙන් හා නයින්ගෙන් ධාන්‍ය ගබඩාවට හානියක් සිදු නොවන බව සිතනු ලැබීය​. පූසන් පුරාණ ඊජිප්තු ජනතාවට සමීප වූයේ මේ ආකාරයෙනි. මෙම සම්බන්ධය ක්‍රමක්‍රමයෙන් දියුණුව පූසන්ව එහි ජනතාව තම නිවෙස් තුලටද පිළිගන්නා ලදී.

වෝල්ටර්ස් ආට් කෞතුකාගාරයේ ඇති ඊජිප්තු ශිෂ්ටාචාරයට අයත් පූසෙකුගේ පිලිරුවක්.(en.m.wikipedia.org)

පූසන්ට ලබා දෙන ආහාර නිවෙස් හිමියාගේ තරාතිරම අනුව වෙනස් විය. පූසන් ඊජිප්තු වැසියන් සමඟ දඬයමටද ගිය බවට සාක්ෂි ඇත. පූසන්ට ගොදුරු අල්ලාගැනීමට තිබූ දක්ෂතාවයටද මිනිසුන් හා හොද සම්බන්ධයක් පවත්වාගත් නිසාවෙන්ද එකල වැසියෝ​ පූසන්ට මහත් සේ ආදරය කළහ. පූසෙක්ව සිහිනයෙන් දුටුවහොත් තමන්ට හොඳ අස්වැන්නක් ලැබෙන බව ඔවුහු සිතූහ​.පුරාණ ඊජිප්තු වැසියන් කැලෑ පූසන්ව හා ගෘහාශ්‍රිත පූසන්ව වෙන වෙනම හදුන්වා තිබුනේ නැත. සියලුම පූසන්ව හදුන්වා ඇත්තේ ‘miu’ [ හෝ ‘miut’ ] ලෙසයි. මෙම වදන කෙසේ පැමිණියාදැයි නිශ්චිතව කිව නොහැකි මුත් පූසන්ගේ ශබ්දය මේ ආකාර නිසා එම හේතුවෙන් මෙම වදන පැමිණියා යැයි සිතිය හැක. එක් එක් පූසන්ට වෙන වෙනම නම් නොදා සියලු දෙනාට පොදුවේ එක නමකින් එකල ආමන්ත්‍රණය කලේය. එනමුත් මෙම කරුණෙන් පිට පැන්න අවස්ථාද නැතුවා නොවේ. මෙය එතරම් නිශ්චිත නොවුනත් ‘Nedjem’ [‘Sweetie’] හා ‘Tai Miuwette’ [‘the little mewer’] යන නම් වලින් පූසන් දෙදෙනෙක් සිටි බව පවසයි. මෙම පූසන් දෙදෙනා තුන්වන අම්හොටෙප්ගේ වැඩිමහල් පුත්‍රයා වූ තුත්මෝස් කුමරු හා සම්බන්ධව පැවතුනි. එකල කුඩා ගැහැණු දරුවන්වද ‘miut’ ලෙස හදුන්වා ඇත.

කයිරෝ කෞතුකාගාරයේ ඇති මමීකරණය කරන ලද පූසෙක්. (www.pbase.com)

පුරාණ ඊජිප්තුවට ආවේණික පූසන් වර්ග දෙකක් වූහ​. ඒ කැලෑ පූසා [Felis chaus] හා අප්‍රිකානු වල්පූසා [Felis silvestris lybica] ය. කාලයත් සමඟ වෙනස් වීමෙන් මෙම පූසන් දෙවර්ගයේ මිශ්‍රණය වර්තමාන ඊජිප්තු Mau පූසන්ට සමානකම් කියයි. මෙම පූසන් ගෘහාශ්‍රිතව ඇතිකිරීමට පටන් ගත් කල සිට පූසන් විවිධ විපර්යාස වලට භාජනය විය. පූසන් පෙරට වඩා වර්ණවත් වීම , ශරීර ප්‍රමාණය කුඩා වීම හා මොළය කුඩා වීම උදාහරණ ලෙස දැක්විය හැක. ලොව සිටින්නාවූ බහුතර පූසන්ගේ මුතුන් මිත්තන් පුරාණ ඊජිප්තු පූසාට නෑකම් කියන බවට සාක්ෂි ඇත. පූසන් ඊජිප්තුවට හදුන්වා දුන්නේ පර්සියාවෙන් හෝ නුබියාවෙන් ක්‍රි.පූ. 2000 වැනි අවධියක බව සමහරුන් මත පල කරයි. එනමුත් මීට පෙර අවධි වලදී ඊජිප්තුවේ පූසන් සිටි බවටද සාක්ෂි නැත්තා නොවේ. පුරාවිද්‍යාඥයින් Asyut අවටදී වලදමා ඇති මිනිසෙකු සොයාගෙන ඇත. ඒ සමඟම පූසෙකුද වලදමා ඇත. මෙය වසර 6000ක් පමණ වයස බව ගණන් බලා ඇත. මේ කාලයේදී පූසන් ගෘහාශ්‍රිතව ඇති නොකරන්නට ඇත. ඊජිප්තුවේ පූසන් ගෘහාශ්‍රිතව ඇති කිරීමට පටන් ගත්තේ ක්‍රි.පූ. 2000 අවධියේදීය. බල්ලන් ගෘහාශ්‍රිතව ඇති කිරීමට​ පටන් ගත්තේ මීට වසර දහසකට පමණ පෙරය.

ඊජිප්තුවේ පාලකයෙක් වූ සෙන්නෙඩ්ජෙම්ගේ සොහොනෙහි ඇති සිතුවමක්. (metmuseum.org)

සොහොන්වල තිබෙන පින්තූරවල පූසන් මිනිසුන් සමඟ දඩයමේ යන අවස්ථා දැකගත හැකිවේ. එමෙන්ම ඊජිප්තුවේ රැජිණියන් හිඳගෙන​ සිටින පුටුවට පැත්තෙන් පූසන් හිඳගෙන​ ඉන්නා ආකාරයේ පින්තූර එමට දක්නට ලැබේ. පූසන් බොහෝ ඊජිප්තු දෙවියන් හා සම්බන්ධව පවතියි. පූසන් රා දෙවියන්ගේ ඇස හා Isis දේවතාවිය හා සම්බන්ධව පවතියි. Miuty නම් පූස් දෙවියෙක් පිලිබදව පුරාණ ඊජිප්තුව පිලිබඳ සොයා බැලීමේදී හමුවේ. මෙම දෙවියාගේ කාර්යභාරය වූයේ රා (Ra) දෙවියාව ඔහුගේ සතුරන්ගෙන් ආරක්ෂා කිරීමයි. පුරාණ ඊජිප්තුව තුල බොහෝ සතුන් දෙවියන්ගේ නියෝජිතයන් ලෙස පෙනී සිට ඇත. [උදා: කිඹුලා, උකුස්සා සහ ගවයා] එනමුත් මෙම සතුන්ව දෙවියන් ලෙස හදුන්වා දී නැත. එහෙත් පූසන්ව අර්ධ දෙවියන් ලෙස එකල සැලකූ බව ඉතිහාසඥයන් මත පල කරයි. එකල පූසන්ට හිරිහැරයක් කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් විය.

මෙහි ප්‍රතිපලයක් ලෙස පූසන්ට හිරිහැර කිරීම නිසා බරපතල දඬුවම් ලැබූ අවස්ථා එමටයි. Bast හි පූසෙක් අත්වැරැද්දකින් මරණයට ලක් වුවත් එසේ කල පුද්ගලයාට මරණ දඩුවම හිමි විය. Diodorus Siculus ගේ සටහන් වල මෙසේ දැක්වේ ; “ඊජිප්තුව තුල පූසෙක් මැරීම මරණ දඬුවම් ලැබිය හැකි වරදකි, ඔහු එම වරද උවමනාවන් කලා හෝ නොකලා දඬුවම වෙනස් නොවේ. රෝමන්වරයෙක් අතින් පූසෙකු මැරුණද ඔහුට හිමි දඬුවම වෙනස් නොවේ.”

බ්‍රිතාන්‍ය කෞතුකාරයේ ඇති මමීකරණය කරන ලද පූසෙකුගේ හිසක්. (britishmuseum.org)

පූසන්ව අසල්වැසි රටවල්වලට ගෙනයාම තහනම් විය. ඊජිප්තුවෙන් පැහැරගෙන වෙනත් රටවල්වලට ගෙනගිය පූසන්ව නැවත තමන්ගේ මව් රට වූ ඊජිප්තුවට ගෙන ඒමට හමුදා ඒ ඒ රටවල්වලට යැවූ බව පුරාණ ඊජිප්තු මූලාශ්‍ර සාක්ෂි සපයයි. නිවසක ගින්නක් ඇති වූ විට එම නිවසේ සිටින පූසන්ව ආරක්ෂා කර ගැනීමට විශේෂිත වැඩපිලිවෙලවල් ක්‍රියාත්මක වූ බව හෙරඩෝටස්ගේ වාර්තා සපයයි.

ඊජිප්තු වැසියන්ට පූසන් කෙරෙහි තිබෙන ආදරය පර්සියානුවන් විසින් ඔවුන්ට විරුද්ධව යොදාගන්නා ලදි. පර්සියානුවන් යුද්ධයට පෙර පූසන් බොහෝ ප්‍රමාණයක් අල්ලාගෙන පෙලුසියම් ඉදිරිපිට පැවති ඊජිප්තුවන් හා පැවති සටනේදී යුධ පිටිය හරහා පුසන්ව යැව්වේය. බියට පත් පූසන් යුධ පිටිය හරහා දිවයනවා දුටු ඊජිප්තු වැසියන් තමන්ගේ මිතුරන්ට හානියක් වේ යැයි සිතා පර්සියානුවන්ට යටත් විය. පූසෙකු මියගිය විට ඒ පූසා අයිතිව සිටි පවුලේ උදවිය තමන්ගේ ඇහිබැමි කැපිය යුතු විය. ඉන්පසු පූසන්ව මමීකරණය කර මීයන් හා කිරි සමඟ භූමිදානය කරයි. බොහෝ අවස්ථා වලදී පූසන්ව භූමිදානය සදහා Bubastis වෙත රැගෙන එන ලදි. එනමුත් Giza, Abydos, Denderah සහ Beni Hasan යන ස්ථානවලද භූමිදානය කල පූසන්ගේ මමීකරණය කරන ලද සිරුරු සොයාගෙන ඇත. උදාහරණයක් ලෙස Beni Hassan හිදී පූසන්ගේ සිරුරු 80000ක් පමණ 1888දී සොයා ගැනීම දැක්විය හැක.

මූලාශ්‍ර: 1) http://www.catmuseumsf.org/egyptcats.html2) http://kids.nationalgeographic.com/explore/cats-rule-in-ancient-egypt/3) Ancient Egypt Online

කවරයේ පින්තූරය – -තුත්මෝස් රජුගේ සොහොනේ ඇති පූසෙකුගේ කැටයමක්. (Wikimedia Commons)

Related Articles