භාෂිතයන් අකුරු කළ ලේඛන කලාව

භාෂිතයන් හෙවත් වාචික බස් වහරේ භෞතීය නිරූපණය ලෙස ‘ලේඛන කලාව’ හැඳින්වීමේ වරදක් නැහැ. මිනිසා විසින් අදහස් හුවමාරු කර ගැනීමේ අරමුණෙන් භාෂාවක් වර්ධනය කළ බවට පැරණි ම සාක්ෂ්‍ය හමු වී ඇත්තේ ක්‍රි. පූ. 35,000 දී පමණ ක්‍රෝ-මැග්නන් මානවයා විසින් අඳින ලද ගුහා සිතුවම් තුළින්. හුදෙක් ම මිනිසුන්ගේ සහ සතුන්ගේ තනි රූ වෙනුවට යම් ආකාරයක කථාන්තරයක් නිරූපණය වන අන්දමේ එකිනෙක හා සම්බන්ධ සිතුවම් පෙළක් එහි දක්වා තිබෙනවා. කෙසේ වුව ද, මුල් වරට ලිඛිත භාෂාවක් ලොවට හඳුන්වා දී ඇත්තේ ක්‍රි. පූ. 3500 – 3000 අතර කාල සීමාවේ දී දකුණුදිග මෙසපොටේමියාවේ වාසය කළ සුමේරියානුවන් විසින්. බට පතුරු යොදාගනිමින් මැටි පුවරු මත ලියන ලද සුමේරියානු අක්ෂර හඳුන්වන්නේ ‘කියුනිෆෝම්’ ලෙස යි. ක්‍රි. පූ. 3150 දී පමණ ඊජිප්තු වැසියන් විසින් කියුනිෆෝම් අක්ෂර වැඩිදියුණු කර ‘රූපාක්ෂර’ නිර්මාණය කර තිබෙනවා.

(© Big World News) ඊජිප්තු රූපාක්ෂර

ග්‍රීක සහ රෝම වැසියන් විසින් භාවිතා කරන ලද අක්ෂර මඟින් ශබ්දයක් දැක්වෙන ලේඛන කලාව බිහි වී ඇත්තේ වත්මන් සිරියාව, ලෙබනන්, සහ උතුරු දිග ඊශ්‍රායලය ආශ්‍රිත ව පැවති ෆිනීෂියා ශිෂ්ටාචාරයෙන්. මායාවරුන් විසින් යුරෝපීය හෝ පෙරදිග රාජ්‍යයන්ගේ බලපෑමක් නොමැති ව ක්‍රි. පූ. 500 – 250 අතර කාල සීමාවේ දී ස්වාධීන ව ඔවුන්ගේ ම ලේඛන කලාවක් වර්ධනය කර ඇති බව යි වාර්තා වන්නේ. එසේ ම චීන වැසියන් විසින් ක්‍රි. පූ. 1200 දී පමණ ඇටකැබලි භාවිතා කරමින් අනාවැකි පැවසීමේ චාරිත්‍රයක් ලෙස ලේඛන කලාව වැඩිදියුණු කර ඇති අතර, චීනය සහ මෙසපොටේමියාව අතර සංස්කෘතික සබඳතා පැවති බවට තවමත් සාක්ෂ්‍ය හමු වී නොමැති බැවින් මායාවරුන් මෙන් ම චීන වැසියන් ද ස්වාධීන ව ඔවුන් ලේඛන කලාව වර්ධනය කළ බව නිගමනය කිරීමේ වරදක් නැහැ.

(© Xinhua/Alamy Photos) ඇටකැබලි මත ලියන ලද මුල් කාලීන චීන අකුරු

ලේඛන කලාවේ බිහි වීම

සුමේරියානුවන් විසින් ලේඛන කලාව නිර්මාණය කර ඇත්තේ වෙළඳාමේ දී උපකාරී වන සන්නිවේදන මාධ්‍යයක් ලෙස යි. මෙසපොටේමියාවේ බලය ව්‍යාප්ත වීම සමග ප්‍රාදේශීය වශයෙන් පැවති සම්පත් එදිනෙදා කටයුුතු පවත්වාගෙන යාම සඳහා ප්‍රමාණවත් නොවූ අතර, ඈත රාජ්‍යයන්ගෙන් ඔවුන්ට අවැසි සම්පත් ඇණවුම් කිරීම සන්නිවේදන මාධ්‍යයක් අවශ්‍ය වීම මත ලේඛන කලාව නිර්මාණය කරන්නට ඇති බව යි ඉතිහාසඥයින්ගේ මතය වන්නේ. මුල් කාලයේ දී සුමේරියානුවන් එක් එක් භාණ්ඩය දැක්වෙන රූප භාවිතා කර ඇති නමුත් තෙත මැටි පුවරුවක් මත චිත්‍ර ඇඳීම එතරම් පහසු කටයුත්තක් නොවූ බැවින් විකල්ප ක්‍රමවේදයක් පිළිබඳ ව සිතා බැලීමට ඔවුන්ට සිදු වූ බවට සැකයක් නැහැ.

(© Ann Ronan Pictures / Print Collector / Getty Images) මුල් කාලීන සුමේරියානු රූපාක්ෂර

ක්‍රි. පූ. 3200 දී පමණ සුමේරියානු නගරයක් වූ අරුක් හි දී ලද සංකේත මඟින් ශබ්ද දැක්වෙන ලේඛන කලාවක් වැඩිදියුණු කර ඇත්තේ එහි ප්‍රතිඵලයක් ලෙස යි. එය ක්‍රමයෙන් කියුනිෆෝම් අක්ෂර ලෙස දියුණු වූ අතර, ක්‍රි. පූ. 2600 වන විට පැහැදිලි ව ස්වර අකුරු සහ මාත්‍රා හඳුනාගත හැකි මට්ටමට එය වර්ධනය වී තිබෙනවා. දැනට හමු වී ඇති සාක්ෂ්‍ය මඟින් පෙනී යන්නේ ක්‍රි. පූ. 3 වැනි සහස්‍රය අවසානය වන විට සුමේරියානුවන් මැටි පුවරු මත ආර්ථක, ආගමික, දේශපාලනික, සහ සාහිත්‍යමය ලේඛන පවා සටහන් කිරීමට කටයුතු කර ඇති බව යි.

(© British Museum) කියුනිෆෝම් මැටි පුවරුවක්

සාහිත්‍ය නිර්මාණයන් බිහි වීමට මඟ පෑදූ, ලේඛන කලාව

සන්නිවේදනය මාධ්‍යයක් ලෙස ලේඛන කලාව හඳුන්වා දීමේ අතුරු ප්‍රතිඵලයක් වුණේ සාහිත්‍ය නිර්මාණයන්ගේ බිහි වීම යි. ඒ අනුව ක්‍රි. පූ. 2285 – 2250 අතර කාලයේ දී වාසය කළ මෙසපොටේමියානු පූජකවරියක් වූ අන්හිදුආනා (අකේඩියානු අධිරාජ්‍යයේ ශ්‍රේෂ්ඨ සාගොන් රජුගේ දියණිය) විසින් ස්වර්ගයේ රැජින වූ ඉනානා දෙවඟන වෙනුවෙන් ඇය සම්පාදනය කරන ලද ගීතිකා, මැටි පුවරු හි සටහන් කර ඇත්තේ ලොව ප්‍රථම ලේඛකයා ලෙස ඉතිහාසයට එක් වෙමින්.

(© Zunkir / Wikimedia Commons) අන්හිදුආනා පූජකවරිය දැක්වෙන ඵලකයක්

ලොව ප්‍රථම වීර කාව්‍ය සහ දැනට හඳුනාගෙන පැරණි ම සාහිත්‍ය නිර්මාණය ලෙස සැලකෙන ‘ගිල්ගමේෂ්ගේ වීර කාව්‍ය’ රචනා කර ඇත්තේ ක්‍රි. ව. 2150 දී පමණ යි. අරුක් නුවර පාලකයා ලෙස කටයුතු කළ ශ්‍රේෂ්ඨ ගිල්ගමේෂ් රජු, ජීවිතයේ අර්ථය සොයා ගිය කථාන්තරය එහි දැක්වෙනවා. එයට අමතර ව මෙසපොටේමියානු වැසියන්ගේ දෙවිවරුන් සහ වීරයින්, ඔවුන්ගේ ඉතිහාසය, ඔවුන්ගේ මංගල සහ අවමංගල සිරිත් විරිත් ද එහි අන්තර්ගත වන බව යි සඳහන් වන්නේ.

කෙටි කලෙකින් සාහිත්‍ය නිර්මාණ සුමේරියානුවන් අතර අතිශය ජනප්‍රිය වූ අතර, ක්‍රි. පූ. 685 – 627 අතර කාලයේ වාසය කළ ඇෂෝබනිපල් රජු විසින් ටයිග්‍රීස් නදියේ නැගෙනහිර ගං ඉවුරේ පිහිටි නෙනෙවා නුවර මැටි පුවරු 30,000කට අධික ප්‍රමාණයක් තැන්පත් කරන ලද පුස්තකාලයක් නිර්මාණය කර තිබෙනවා. ඔහුගේ අරමුණ වී ඇත්තේ අදාළ ප්‍රදේශයේ උරුමය, සංස්කෘතිය, සහ ඉතිහාසය මතු පරපුරට පහසුවෙන් අවබෝධ කර ගත හැකි ක්‍රමවේදයක් නිර්මාණය කිරීම යි.

කවරයේ පින්තූරය: © NILE Magazine

Related Articles