ලෝකයේ විවිධ රටවලින් ඉතාමත් දියුණු ශිෂ්ටාචාර සම්බන්ධයෙන් කරුණු වාර්තා වනවා. යුරෝපයෙන් බිහි වූ ශිෂ්ටාචාර අතරින් මිනෝවාන් ශිෂ්ටාචාරයට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි.

ශිෂ්ටාචාරයේ ආරම්භය

mmdtkw.org (මිනෝවාන් හි ව්‍යාප්තිය)

මිනෝවාන් ශිෂ්ටාචාරය මධ්‍යතන ලෝකඩ යුගයේ නැගෙනහිර මධ්‍යධරණී මුහුදේ ක්‍රීට් දූපතේ සමෘද්ධිමත්ව පැවතුණා. ක්‍රි. පූ 2000 සිට ක්‍රි.පූ 1500 දක්වා වකවානු වල ක්‍රියාත්මක වූ මෙම ශිෂ්ටාචාරය හට මෙම නම ලැබී තිබෙන්නේ ශ්‍රේෂ්ඨත්වයෙන් හෙඹි මිනොස්  රජු නිසාවෙන් බව දැක්වෙනවා. ඇතැම් මූලාශ්‍ර වල මෙම ශිෂ්ටාචාරයේ පැවැත්ම ලෙස දැක්වෙන්නේ, ක්‍රි. පූ 3000 සිට ක්‍රි. පූ. 1100 දක්වා කාලයයි.  බටහිර යුරෝපීය ශිෂ්ටාචාරයේ වර්ධනය සඳහා මිනෝවා ශිෂ්ටාචාරය විසින් දක්වන ලද දායකත්වය ඉතාමත් විශේෂයි. මාළිගා සංකීර්ණ, දර්ශනීය ශෛලමය මල් බඳුන්, මත්ස්‍ය ජීවිත සැරසිලි දැක්වෙන වළන් ආදිය මිනෝවාන් ශිෂ්ටාචාරය තුළින් දැක ගත හැකි සුවිශේෂී ලක්ෂණ අතර වනවා.

මිනෝවාන් පදිංචි වීම්

මෙම දූපත පුරාම මොවුන්ගේ ජනාවාස, සුසානඝර ආදිය දැක ගත හැකි අතර, Knossos, Phaistos, Malia, Zakros යන ස්ථාන ප්‍රධාන මාළිගා තිබූ ස්ථාන වනවා. මෙම සෑම ස්ථානයක දීම විශාල මාළිගා සංකීර්ණ සහිත ගොඩනැගිලි දේශීය පරිපාලන, වෙළඳ, ආගමික සහ දේශපාලන මධ්‍යස්ථාන ලෙස කටයුතු කර තිබෙනවා. කෙසේ නමුත් පුරාවිද්‍යාත්මක සහ සාහිත්‍යමය සාක්ෂිවල පවතින හිඟය හේතුවෙන් මාළිගාව සහ බලතල ව්‍යුහයේ සම්බන්ධතාවය අපැහැදිලි බවක් දක්නට ලැබෙනවා. නමුත් මෙහි දී පැහැදිලි වන එක් කරුණක් වන්නේ, අතිරික්ත ද්‍රව්‍ය වන, වයින්, තෙල්, තිරිඟු, වටිනා ලෝහ සහ කුඹල් ද්‍රව්‍ය එකතු කිරීම සහ ගබඩා කිරීම සම්බන්ධයෙන් දේශීය වශයෙන් පාලනය කිරීමක් සිදු කර තිබෙන බවයි. එමෙන්ම දක්නට ලැබෙන කඩු, කරිච්චි සහ ඊතල වැනි ආයුධ මෙන්ම ආරක්ෂිත උපකරණ වන සන්නාහ, ආරක්ෂිත තොප්පි වැනි දේ වලින් අදහස් වනු ලබන්නේ මෙහි සෑම අවස්ථාවකම සාමයෙන් සතුටු වීමට අවස්ථාව උදා නොවූ බවයි.

වෙළඳ කටයුතු

destinationcrete.gr

මිනෝවාන් හි වාසය කළ මිනිසුන් ඉතාමත් සංවිධානාත්මක පිරිසක් වූ අතර මොවුන්ගේ ආර්ථිකය ඉතාමත් ශක්තිමත් ආකාරයේ ආර්ථිකයක් වූ බව සිතිය හැකියි. මොවුන් ගොවිතැන් කටයුතුවලට දක්ෂ වූ අතර, තිරිඟු, බාර්ලි, මිදි සහ ඔලිව් වැනි දේ මොවුන්ගේ වගා කටයුතු අතර වුණා. එමෙන්ම මිනෝවාන් වෙළඳුන් කුඩා නැව් ආදියෙන් මධ්‍යධරණී මුහුද තරණය කොට මොවුන්ගේ නිෂ්පාදන වූ වයින්, ධාන්‍ය, ඔලිව් තෙල් ආදිය වෙනත් භාණ්ඩ වලට හුවමාරු කිරීම සිදු කළා. කෙසේ නමුත් දුම්මල, ඇත්දත් සහ අනර්ඝ ලෝහ ආදිය මෙසේ හුවමාරු කරගත් ප්‍රධාන භාණ්ඩ බවට පත් වුණා. මිනෝවාන් හි උසස් පන්ති නියෝජනය කළ පුද්ගලයින් සුඛෝපභෝගී වටිනා ආභරණ ආනයනය කළ අතර, මෙම අතිරේක පෙළඹවීම​ මඟින් දැව, වළන් බඩු සහ නිම් ඇඳුම් අපනයනය කිරීමට නව වෙළඳ මාර්ග සංවර්ධනය වීමක් සිදු වුණා.

එමෙන්ම මොවුන් දක්ෂ කුඹල් කර්මාන්ත කරුවන් බව මීට ඉහතදීද සඳහන් කළ අතර, සාමාන්‍ය පුද්ගලයෙකුගේ උසට විශාල මැටි බරණි නිර්මාණය කිරීම මෙම කුඹල් කර්මාන්තයේ දක්නට ලැබුණ සුවිශේෂී කරුණක් වුණා. බොහෝ විට මෙම උස බරණි තෙල්, ධාන්‍ය සහ වයින් ආදිය ගබඩා කිරීම සඳහා භාවිතා කර තිබෙනවා. පිතෝයි ලෙස හඳුන්වන මෙම බරණි නටඹුන් වී තිබෙන නෝසස් මාළිගයේ සිදු කරන ලද කැණීම් වලින් හමු වී තිබෙන බවට කරුණු වාර්තා වනවා.

වෘෂභ හිසක් ආකාරයෙන් වූ වයින් බඳුන් භාවිතා කර තිබෙන අතර ඒවා කෞතුකාගාර වල දර්ශනය වනවා. එමඟින් හැඟී යන්නේ, මිනෝවාන් කලාවේ සතුන් සත්ත්ව රූප නිරන්තරයෙන් යොදාගත් බවයි. එමෙන්ම මෙම වෘහභයින් පූජනීය වූ අතර, එමඟින් බලය සහ සශ්‍රීකත්වය සංකේතවත් වුණා. එමෙන්ම ආගමික සැණකෙළි වලදී රජ්ජුරුවෝ ගව හිසක් සහිත වෙස් මුහුණක් පැළඳගෙන සිටි බවට සාක්ෂි ලැබී තිබෙන බවද වාර්තා වනවා.

මිනෝවාන් මාළිගා

yolvemacera.com (Knossos මාළිගය)

මෙම දූපතේ මිනෝවාන් නගර පිහිටා තිබුණ අතර, මෙම සෑම විශාල නගරයකම අලංකාර බැවින් ඉහළ තේජවන්ත බවින් යුක්ත මාළිගා ඉදි කර තිබුණා. මෙම මාළිගා වල දස දහස් ගණනකට වුවද ඉඩකඩ සැපයීමේ හැකියාවක් තිබුණා. එමෙන්ම මෙම මාළිගා සතු තවත් සුවිශේෂී ලක්ෂණයක් වන්නේ, රජ පවුල් වලට පමණක් සීමා නොවීමයි.  වෙළඳ භාණ්ඩ හුවමාරු ස්ථානයක් ලෙස මාළිගා කටයුතු කළ අතර, අනෙකුත් රටවලට යැවීමට භාණ්ඩ ගබඩා කිරීමද මෙම මාළිගා වල සිදු කෙරුණා. දේවාල සහ වැඩ පොළවල් මාලිගාවන්හි කොටසක් බවට පත් වූ අතරම, නගර බලධාරීන් වැනි පිරිස්හි පදිංචිය ලෙස දැක්වෙන්නේත් මාලිගාවන්හි ඔවුනට වෙන් කරන ලද කාමරයි. මොවුන් සතු වූ මාළිගා අතුරින් විශාලම මාළිගාව ලෙස නෝසස් නමැති මාළිගාව හැඳින්වෙනවා. මෙම මාළිගය සතු වූ මැද මිදුලේ ආගමික චාරිත්‍ර වාරිත්‍ර ආදිය සිදු කර තිබෙනවා. මෙය කාමර 1300 කින් පමණ සමන්විත වූ අතර, මිනෝවාන් වැසියන්ගේ ජීවන රටාවන් දැක්වෙන සිතුවම් වලින් රාජකීය පවුල් වල කාමර බිත්ති හැඩ ගැන්වුණා. කෙසේ නමුත් ක්‍රි.පූ 1450 දි පමණ මෙලෙස ඉතා විශිෂ්ටව ඉදිකළ මාළිගා ගිනිකඳු පිපිරීම්, භුමි කම්පා මෙන්ම ආක්‍රමණවල ප්‍රතිඵලයක් ලෙස විනාශ වීමක් සිදුවුණා.

ක්‍ඉතාමත් සශ්‍රිකව පැවතී මිනෝවාන් ශිෂ්ටාචාරයේ අවසානය ලෙස ක්‍රි. පූ. 1100 සනිටුහන් වනවා. ඇතැම් පුරාවිද්‍යාඥයන් විශ්වාස කරන්නේ විශාල ගිනිකඳු පිපිරීමකින් පසු ඇති වූ තත්ත්වයන් හමුවේ මෙම කඩා වැටීම සිදු වූ බවයි.

කවරයේ පින්තූරය: eupedia.com