ඊජිප්තුව ද යටත් කරගත් අප්‍රිකානු රාජ්‍යය​​: නුබියාව​

පුරාණ ඊජිප්තුවට දකුණින් වර්තමාන සුඩානයේ නයිල් නදිය අවට ප්‍රදේශයේ මීට වසර දහස් ගණනකට පෙර අප්‍රිකානු ජනතාවක් ජීවත් වුණා. එම ජනතාව ඔවුන් විසින් හඳුන්වන ලද්දේ කෙසේදැ යි අප දන්නේ නැහැ. නමුත් ඊජිප්තු වැසියන් ඔවුනට නම් තැබුවේ “නුබා” ලෙස යි. එනමින් බිඳී ආ නුබියානුවන් යන යෙදුම අප ඔවුන් හඳුන්වන්නට යොදා ගන්නවා.

“නුබා” යන වදනෙහි අර්ථය වූයේ “වහලා” යන්න යි. ඊජිප්තුව ප්‍රබල රාජ්‍යයක් ව තිබුණ සමයේ නුබියාව යනු වස්තුව සහ වහලුන් සඳහා ඊජිප්තු හමුදා කඩා වැදුණ ප්‍රදේශයන් වුණා. නමුත් නුබියානුවන් සදාකල් ඒ ආකාරයෙන් සිටියේ නැහැ. එක්තරා අවස්ථාවක ඔවුන් ඊජිප්තුව ද ආක්‍රමණය කළා.

ඊජිප්තුවේ 25 වන රාජවංශය යනු නුබියානු පාලකයන්ගේ රාජවංශයක්. එම සමයේ දී නුබියාව​, ඊජිප්තුව යන ප්‍රදේශ දෙකම පාලනය කළේ ඔවුන් විසින්.

නුබියානුවන් ඊජිප්තු සංස්කෘතිකාංග සහ ඇදහිලි ආදේශ කරගත්තේ තමන්ගේ එකතු කිරීම් ද සමග යි. අද වන විට ඊජිප්තුවේ දී දක්නට ලැබෙනවා මෙන් තුන් ගුණයක් පමණ පිරමීඩ සුඩානයේ පවතිනවා.

නුබියානු ඉතිහාසයේ මුල

මීට වසර 7000කට පමණ පෙර​, ක්‍රි. පූ. 5000 දී පමණ, වර්තමාන සුඩානයේ උතුරුදිග ප්‍රදේශයන් හි විශේෂ උපකරණයක් භාවිතා වී තිබෙනවා. ශබ්දය උපදවන ලෙස සුමට කිරීමෙන් සැකසූ විශාල ගල් මෙම ප්‍රදේශයේ ජනයා එකල​ භාවිත කර තිබෙනවා. එයින් ඝණ්ඨාරයක හෝ සීනුවක මෙන් හඬක් නැගෙන අතර විද්වතුන් ඊට ලබා දී ඇති ඉංග්‍රීසි නම “Rock Gong” යන්න යි. සිංහලෙන් එය “පාෂාණ සීනු” ලෙස හැඳින්විය හැකියි. මේවා පණිවිඩ හුවමාරුව සඳහා භාවිතා කරන්නට ඇතැ යි සැලකෙනවා.

Rock Gong එකක් (livescience.com)

එමෙන්ම මීට සමකාලීන ව ප්‍රදේශයේ පර්වත සහ විශාල ගල්වල ඇඳි චිත්‍ර ද හමුවී තිබෙනවා. මෙම චිත්‍රවලින් ප්‍රධාන වශයෙන් පෙන්නුම් කෙරෙන්නේ ගවයින්. මේ අනුව නිගමනය කළ හැක්කේ ක්‍රි .පූ. 5000 පමණ වන විට වත්මන් උතුරුදිග සුඩානයේ ගව පාලනය සිදුකළ ජනතාවක් වාසය කළ බව යි. මේ, අපට ඉතිහාසයේ හමුවන නුබියානුවන් බව යි විශ්වාස කෙරෙන්නේ.

වර්තමානයේ කාන්තාර ප්‍රදේශ ලෙස පැවතිය ද, උතුරුදිග සුඩානය එකල සශ්‍රීක ප්‍රදේශයක් වුණා. අද වන විට එහි යම් හෝ හරිත වර්ණයක් දැකිය හැක්කේ නයිල් නදිය දෙපස කුඩා තීරයක පමණයි. නමුත් එකල මෙම ප්‍රදේශය හරිත වර්ණයෙන් පිරුණි.​ එමෙන්ම නයිල් නදිය වෙත ළඟා වන අතු ගංගා පිරුණ ප්‍රදේශයක් වූ බව සැලකෙනවා. ගවපාලනය මෙම ජනයාගේ ප්‍රධාන ජීවිකාවක් වන්නට ඇති අතර කෙනෙකුට අයිති ගවයින් සංඛ්‍යාව මත ඔහුගේ ධනවත්භාවය තීරණය වන්නට ඇති.

කර්මා

ක්‍රි.පූ. 2000 පමණ වන විට නුබියානු ජනතාව ඉතා දියුණු ශිෂ්ටාචාරයක් ගොඩනගා තිබෙනවා. මෙහි වැදගත් මධ්‍යස්ථානයක් ලෙස කර්මා නගරය සැලකෙනවා. නයිල් නදිය අසබඩ​, ඊජිප්තු – සුඩාන දේශසීමාවේ සිට කිලෝමීටර 300ක් පමණ දකුණින් පිහිටි මෙම නගරයේ ඓතිහාසික ප්‍රදේශය​ මැටි ගඩොලින් තැනූ විශාල කන්දක් මැදි කරගත් ගොඩනැගිලි සමූහයක නටබුන්වලින් සමන්විත වනවා. මෙම මැටි කන්ද මිනිසා විසින් තැනූ ආගමික සංකේතයක් වන්නට ඇති බව විශ්වාස කෙරෙන අතර, කර්මා නගරය ආගමික මධ්‍යස්ථානයක් හෙවත් “පූජා නගරයක්” සහ පරිපාලන මධ්‍යස්ථානයක් වූයේයැ යි විශ්වාස කරනු ලබනවා.

කර්මා (Wikimedia Commons)

කර්මා හි විශාල සුසාන භූමියක් වන අතර, එහි විවිධ පුද්ගලයින් 30,000කගේ පමණ සොහොන් වූයේයැ යි සැක කෙරෙනවා. මේ අතර රජවරුන්ගේයැ යි සිතිය හැකි විශාල සොහොන් ද කිහිපයක් වනවා. මේ එක් රජ කෙනෙකුගේ ආදාහනයේ දී ඔහුට ඊළඟ ජීවිතය සඳහා අවශ්‍ය වේය යන අදහසින් සේවකයින් 300ක් ද, ගවයින් 5000ක් ද බිලි දුන් බව විශ්වාස කෙරෙනවා.

ඊජිප්තු පාලනය

ක්‍රි. පූ. 16 වන සියවසේ දී, ශතවර්ෂ කිහිපයක් තිස්සේ ඊජිප්තුවේ ව්‍යාකූල “දෙවන අතරමැදි සමය​” නිමවීමෙන් පසු “නව රාජධානි සමය​” ඇරඹුණා. 18 වන රාජවංශය විසින් එරට පාලනය ලබාගෙන ඉන් ඔබ්බට ද සිය බලය පැතිරවීමට කටයුතු කළා. පළමුවන තුට්මෝසිස්ගේ රාජ්‍ය කාලයේ දී උතුරුදිග නුබියානු ප්‍රදේශයන් ඊජිප්තු පාලනයට යටත් වූ අතර, ඊජිප්තු පාලකයින් නපාටා හි නව පාලන​ මධ්‍යස්ථානයක් පිහිටවූවා.

නව රාජධානි සමයේ දී ඊජිප්තුවට අයත් වූ ප්‍රදේශ (Encyclopedia Britannica)

ඊජිප්තු ඉතිහාසයේ විශිෂ්ටතම යුධ සෙනවියා සේ සැලකෙන තුන්වන තුට්මෝසිස් ෆාරාවෝවරයා ජෙබල් බාර්කල් නමින් අද හැඳින්වෙන කඳු ගැටය අසල අමූන් දේවස්ථානය ඉදිකළා. කර්මා සිට නයිල් නදිය දිගේ ඉහළට තවත් කි. මී. 300ක් පමණ ගිය තැන හමුවන​ ජෙබල් බාර්කල් වැදගත් වන්නේ එහි එක් පසෙක කිරුළක් හිස දරාගත් නාග හිසක් මෙන් වූ කුඩා කොටසක් පැවතීම හේතුවෙන්. නාග හිස ඊජිප්තුවේ රාජ්‍යත්වය පිළිබඳ සංකේතයක් වුණා.

ජෙබල් බාර්කල්. නාග පෙනය මෙහි වම් පසින් වෙනම ම දිස්වන කොටස යි (Wikimedia Commons)

ක්‍රි. පූ. 11 වන සියවස වන විට ඊජිප්තුවේ නව රාජධානි සමය අවසන් වූයේ යළි ව්‍යාකූල තත්ත්වයක් ඇති කරමින්. මේ අතරවාරයේ නුබියානු ජනතාව නිදහස ලබාගත්තා. ඉන් සියවස් කිහිපයක් ගතවෙද්දී නුබියාවෙහි නව රාජධානියක් බිහි වුණා. ඊජිප්තු වැසියන් මෙය හැඳින්වූයේ කුෂ් රාජධානිය යනුවෙනුයි.

කුෂ් රාජධානිය සහ 25 වන රාජවංශය​

කුෂ් රාජධානියේ මුල් අගනුවර වූයේ ද නපාටා නගරය යි. ඔවුන් එහි ඉතා ප්‍රබල රාජධානියක් පිහිට වූ අතර ක්‍රි. පූ. 8 වන සියවස වන විට ඔවුන් ඊජිප්තුවට ද කඩා වැදීමට තරම් ශක්තිමත් වුණා. පියේ නම් කුෂ් රජු විසින් ඊජිප්තුව ආක්‍රමණය කොට අල්ලාගනු ලැබුණා. මෙය සිදුවූයේ ක්‍රි. පූ. 744 දී පමණ බව විශ්වාස කෙරෙනවා. ඔහු විසින් ඊජිප්තුවේ 25 වන රාජවංශය ආරම්භ කළා.

මෙම රාජවංශය සියවසක පමණ කාලයක් ඊජිප්තුව සහ නුබියාව යන ප්‍රදේශයන් දෙකම පාලනය කළා. මෙම පාලන සමය තුළ ඊජිප්තුවේ මෙන්ම, නුබියාවේ ද දේවස්ථාන ප්‍රතිසංස්කරණය කිරීම් සහ විශාල කිරීම් සිදුවුණා.

මේ අතර ක්‍රි .පූ. 701 දී පමණ නව අධිරාජයක තර්ජනය ඊජිප්තුව වෙත පැමිණියා. ඒ නව ඇසිරියානු අධිරාජ්‍යය යි. එහි ප්‍රකට පාලකයෙකු වූ සෙන්නාචෙරිබ් ජුදාව දෙසට පහර දුන් අවස්ථාවේ ඊජිප්තු හමුදා ජුදා රජුට ආධාර කළා. ඇසිරියානුවන්ට එම අවස්ථාවේ ජුදා අල්ලාගන්නට නොහැකි වුණා.

මීළඟ ඇසිරියානු පාලකයා වූ එසර්හඩ්ඩොන් ක්‍රි. පූ. 671 දී පමණ ඊජිප්තුව ආක්‍රමණය කළා. ඒ වන විට ඊජිප්තුව පාලනය කළ පාරාවෝවරයා වූයේ තහර්කා නම් අයෙක්. තහර්කා පරාජයට පත් ව නුබියාවට පසු බැස්සා. නමුත් කෙටි කලෙකින් ඔහු යළිත් දකුණුදිග ඊජිප්තුවේ සිය බලය තහවුරු කරගත්තා. නමුත් කෙටි කලකින් නැවත ඇසිරියානුවන් එහි බලය තහවුරු කරගත්තා.

ඊජිප්තුව අල්ලාගත් නමුත් ඇසිරියානු අධිරාජ්‍යය නුබියාව අල්ලාගැනීමට උත්සාහ කළේ නැහැ. මේ හේතුවෙන් නුබියාව ස්වාධීන රාජධානියක් ලෙස දිගටම පැවතුණා.

මෙරොඒ

නුබියානු රාජධානියේ අගනුවර ලෙස කෙටි කලක් නපාටා නගරය පැවති නමුත්, ඉන්පසු එය මෙරොඒ වෙත ගෙනයනු ලැබුණා. මෙසේ නයිල් නදිය දිගේ අගනුවර දකුණට ගෙන යාම සඳහා ප්‍රධානම හේතුව ලෙස සලකනු ලබන්නේ දේශගුණික විපර්යාසය යි. එනම් කර්මා ආදී ප්‍රදේශයන් කෙමෙන් කෙමෙන් කාන්තාරකරණය වීම හේතුවෙන් ඒවා අතැර දමන්නට සිදු වූ බව සිතිය හැකියි.

මෙරොඒ හි දී නුබියානු ශිෂ්ටාචාරය බෙහෙවින් දියුණු තත්ත්වයක පැවතියා. ඔවුනගේ ඇදහිලි සහ විශ්වාසයන් සඳහා ඊජිප්තු බලපෑම තදින්ම ලැබී තිබුණත්, තම අනන්‍යතාවයක් ද ඔවුන් විසින් නිර්මාණය කෙරුණා. මේ අනුව එකල ඊජිප්තු දේවතාවන් අතර ප්‍රබලයා වූ අමූන් නුබියානුවන් විසින් ද ඇදහූ නමුත්, ඊටත් වඩා ප්‍රබල දේවතාවෙකු ලෙස නුබියාවට ම අනන්‍ය දෙවියෙකු වූ ඇපෙඩමැක් අදහනු ලැබුණා.

නුබියානු පිරමීඩ (CNN)

මේ අතර​, 25 වන රාජවංශ සමයෙන් පසු නුබියානුවන් ද සිය රජවරුන්ගේ සොහොන් ලෙස පිරමීඩ තනන්නට වුණා. මේවා ඊජිප්තු පිරමීඩ තරම් විශාල නොවූ අතර ඊට අනන්‍ය පෙනුමකින් යුතු වුණා. 25 වන රාජවංශයේ කඩා වැටීමෙන් පසු වැඩිකල් නොගොස් නුබියානු පරිපාලන මධ්‍යස්ථානය මෙරොඒ වෙත ගෙනෙන ලදින් බොහෝ පිරමීඩ දකින්නට ලැබෙන්නේ එම ප්‍රදේශය ආශ්‍රිත ව යි.

මොරොඒ ප්‍රදේශයේ නුබියානු රාජධානිය බොහෝ කල් පැවතුණා. ක්‍රි. ව​. 400 පමණ වන තෙක් එය පැවති බව යි සඳහන් වන්නේ. එහි බිඳවැටීමට හේතු වන්නට ඇති ප්‍රධානම කරුණ කාන්තාරකරණය බව සිතිය හැකියි. මේ අතර වර්තමාන ඉතියෝපියාවේ පිහිටි අක්සුම් අධිරාජ්‍යය වෙතින් මෙරොඒ වෙත ක්‍රි. ව​. 350 දී පමණ ප්‍රහාරයක් එල්ල වූ බව ද සඳහන් වනවා.

නුබියානු රාජධානිය බිඳ වැටුණ ද එම ජනතාවගෙන් පැවතෙන්නන් අදටත් සුඩානයේ සහ ඊජිප්තුවේ වාසය කරනවා. මෙරොඒ ප්‍රදේශයෙන් ද දකුණුදිගට වන්නට ඇති අදට ද සශ්‍රීක ප්‍රදේශයන් හි මෙවන් ඇතැම් ජනකොටස් අදටත් ගව පාලනය සිදුකරනවා.

කවරයේ පින්තූරය: නුබියාවේ පිරමීඩ (Al Jazeera)

 

Related Articles