Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

යාල මහ වන මැද සැඟවුණු පුරාණ නටබුන්

බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ යාල නැගෙනහිර හෙවත් කුමන වනෝද්‍යානය කුරුල්ලන් නරඹන්න කදිම වනාන්තරයක් බව යි. නමුත් කුමන කැලෑව තුළ, කඳුගැට අතර සැඟව පවතින පුරාණ විහාරවලින් පෙනෙන්නේ රෝහණ රාජධානිය පැවති අනුරාධපුර යුගයේ මුල් කාලයේ මෙහි විශාල ගොවි ජනතාවක් වාසය කළ සශ්‍රීක කුඹුරු වගාවක් පැතීරී ගිය ගම්මාන පැවති බවයි. රාජධානිය බිඳවැටීමත් සමග ගම්මාන සහ පන්සල් වනගත වී මහා වනාන්තරයක් බවට පත් වුණා. නටබුන් වූ වැව් ද එයට සාක්ෂ්‍ය සපයනවා. මේ වනයේ තිබෙන පැරණි නටබුන් විහාර අතරින් කිහිපයක් ගැන යි මෙහිදී අපි පවසන්නේ. ඔබටත් කුමනට ගිය දිනක මේවා දැකබලාගන්න වාසනාව ලැබේවි.  කුමනට නුදුරු කුඩුම්බිගල ගැන අප මෙයට පෙර ලිපියක් ඉදිරිපත් කළා.

බඹරගස්තලාව මහ බුදු පිළිමය

සැතපෙන බුදු පිළිමය-Ashan Geegnage,  amazing lanka.com

බඹරගස්තලා පුදබිම පිහිටා තිබෙන්නේ, කුමන වනෝද්‍යාන ප්‍රවේශය පිහිටි ඔකඳ සිට කි. මී. 5ක් පමණ දුරින්. මෙය අයත් වන්නේ අම්පාර දිස්ත්‍රික්කයේ ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට. වනය මැද කඳුපර්වත අතර පිහිටි ඒ වෙත ජිප් රථයක ගමන් කළ හැකියි. කුඩුම්බිගල තපෝවනයේ සිට මේ වෙත දුර කි. මී. 7ක්. ඉතා අලංකාර පරිසරයක පිහිටි පෞරාණික ස්ථානයක් ලෙස මෙය සැලකිය හැකියි. මෙහි පුරාණ නම “නගපවත ශෙනශන” හෙවත් නාගපබ්බත සේනාසනය බව සෙල්ලිපියකින් පැහැදිලි වෙනවා. පසුකාලීනව එය  බඹරගස්තලාව විහාරය ලෙස වෙනස් වී තිබෙනවා.  නම සඳහන් සෙල්ලිපිය මෙසේ යි:

බදත මිතෙන මපිත නගපවත ශෙනශන

භදන්ත මිත්‍ර විසින් නිර්මාණය කරන ලද නාග පබ්බත සේනාසනය” එහි අරුත යි.

කුඩුම්බිගල මෙන් මේ විහාරයේ ද ශේෂව ඇති නටබුන් අතර පර්වත මුදුනේ හා පහත්බිමේ ස්තූප දහයකට අධිකව පැතිර තිබෙනවා. ස්තූප ගොඩනගන්නට උපයෝගී කර ගත් ගඩොළු දහස් ගණනින් ඒ අවට භූමියේ විසිර ඇති අතර, මෙම ගඩොළු ඒවායේ තාක්ෂණය අනුව පරීක්ෂා කර බැලීමේ දී අනුරාධපුර යුගයේ මුල් කාලයට අයත්  කළ හැකියි. ගිනිකොණ දිග මුහුදේ යාත්‍රා කළ අයට මෙම ස්තූප රිදී බුබුලක් සේ එකල දිස්වන්නට ඇතැ යි එල්ලාවල මේධානන්ද හිමි පවසනවා.

කටාරම් කෙටූ ලෙන් – Ashan Geegnage,  amazing lanka.com

නටබුන් අතර ශේෂ වූ ආරාමික ගොඩනැගිලි, බුදු පිළිම, සිරිපතුල් ගල්, බුදු මැඳුරු, ආසනඝරයක්, හා ගරාවැටුණු පියගැට පෙළවල් දැකගත හැකියි. සමචතුරාස්‍රාකාර ගොඩනැගිල්ලක් මෙහි එක් ස්ථානයක දක්නට ඇති අතර එහි පේළියකට හය බැගින් සිට වූ ගල් කණු පේළි හයක් තිබෙනවා. අනෙක් ගොඩනැගිලි ස්වරූපය හඳුනාගත නොහැකි සේ විනාශ වී ගිහින්.

බඹරගස්තලාවේ  දක්නට ලැබෙන සියලු ලෙන් කටාරම් කොටා තිබෙනවා. මෙම ලෙන් අතර දර්ශනීයම ලෙන “නගපවත ශෙනශන” යනුවෙන් සෙල්ලිපියක සඳහන් ලෙන යි.  අඩි 200 ක් පමණ දිග මෙම ලෙන ඉදිරියෙහි විශාල ප්‍රපාතයක් පිහිටා තිබෙනවා. බඹරගස්තලාව විහාර භූමියෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ලෙන් ලිපි විස්සක් සොයා ගෙන ඇති අතර එල්ලාවල මේධානන්ද හිමි විසින් සොයාගැනුණු ලිපි ප්‍රමාණය 14ක්. සෑම ලිපියකම සඳහන් වන්නේ උපාසක උපාසිකාවන් හෝ වෙනත් විවිධ තරාතිරමේ පුද්ගලයන් විසින් ලෙන් කරවා මහා සංඝයා වහන්සේට පූජා කළ තොරතුරු යි.

බඹරගස්තලාව කන්ද – Ashan Geegnage,  amazing lanka.com

සැතපෙන පිළිමය පිහිටි ලෙන මෙහි වැදගත්ම ස්ථානය යි. මෙම ලෙන කුඩා ගල්කුළු කිහිපයක් මැදිව විශාල පර්වතයක උතුරු හා දකුණු පැති ආශ්‍රිතව දක්නට ලැබෙනවා. ගල වටාම කටාරම් කෙටූ ලෙනෙහි එක් කොටසක් සංඝාවාසයක් ලෙස භාවිත කළ බවට සලකුණු පවතිනවා. පසුව එහි ප්‍රතිමාව තනා බුදු මැදුරක් බවට පත් කර තිබෙනවා. අනුරාධපුර යුගයට අයත් මෙම සැතපෙන ප්‍රතිමාව දිගින් අඩි 36ක්. එය ගඩොල් හා මැටි බදාම මිශ්‍රණයක් උපයෝගී කොට ගෙන තනා  හුණු කපරාරු කර තිබෙනවා. නිදන්හොරුන් පිළිමයේ හිස ළැම, උදරය හා සිරිපතුල් විනාශ කර අවසන්. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මීට වසර දෙකකට පෙර මෙහි සංරක්ෂණ කටයුතු සිදු කිරීම ආරම්භ කර තිබීම සතුටට කරුණක්.

බෝවත්තේගල ආරණ්‍යය

බෝවත්තේගල කටාරම් කෙටූ ලෙන් – youtube.com 

පානම සිට කුමන දක්වා විහිදෙන මාර්ගයේ කුමන වනෝද්‍යානයට ඇතුළු වී කුමන වැව අසලින් වැවට යන මාර්ගයේ ගොස්, කුමන වැව් ඉවුරට ළඟා වී නැවත වනය මැදින් ඊසාන දෙසට ගමන් කිරීමෙන් බෝවත්තේගලට පැමිණීමට පුළුවන්. කුඹුක්කන් ඔයේ ප්‍රසිද්ධ මහගල් අමුණ පිහිටා ඇත්තේ මෙයට නුදුරින්. ඔකඳ පිහිටි කුමන වන උද්‍යාන දොරටුවේ සිට මේ වෙත කි. මී. 35ක් පමණ දුර යි. සෆාරි ජීප් රථයකට බෝවත්තේගල දක්වා ගමන් කළ හැකියි.

වන තැනිතලාවෙන්  ඉහළ නගින පර්වත සහිත කන්දක් වූ බෝවත්තේගල ලෙන් ගණනාවක් තිබෙන අතර, ඒවා කටාරම් කොටා බිත්ති බැඳ සකස්කොට ක්‍රිස්තු පූර්ව යුගයේම මහා සංඝයා වෙනුවෙන් පූජාකොට තිබෙනවා.  එම ලෙන්  අනුරාධපුර යුගයෙන් පසුකාලීනව ද ප්‍රයෝජනයට ගෙන ඇති බව ශේෂ වී ඇති බිත්ති කොටස්වලින් පේනවා.  කන්දේ බොහෝ තැන්වල අනුරාධපුර යුගයට අයත් ගඩොල් ශේෂ දක්නට ලැබෙනවා. පර්වත මුදුන් කීපයකම දාගැබ් ගොඩැලි සහිත යි.

සෙල්ලිපියක් – Ashan Geegnage,  amazing lanka.com

විනාශ වී ඇති එක් ලිපියක “නක ඇමති” කෙනෙක් ගැන කියවෙනවා. තවත් ලිපියක වී පූජාවක් ගැනත් දැක්වෙනවා. ලිපි දෙකක “ජෙටතිස මහරජ” ගැන සටහන් කර තිබෙනවා. මේ රජු “මහසෙන් මහරජ අපය”ගේ පුතෙකු හැටියට සඳහන් වී තිබීම වැදගත්. මහාවංශයේ සඳහන්වන ජෙට්ඨතිස්ස මහරජු රුහුණේ විවිධ ආගමික කටයුතු කර ඇති බවට වෙනත් ස්ථානවලින් ලැබුණු සෙල්ලිපිවලින් ද කරුණු අනාවරණය වන බව එල්ලාවල මේධානන්ද හිමි සඳහන් කරනවා. බෝවත්තේගල එක් ලිපියකින් කියවෙන පරිදි ජෙට්ඨතිස්ස රජුගේ රාජ්‍යත්වයට පත්වි 8 වන වසරේ දී යම් පූජාවක් කර තිබෙනවා. කුමක් පූජා කළේදැ යි සඳහන් ලිපි කොටස විනාශ වී ගොසින්.

තවත් වැදගත්ම සෙල්ලිපියක් නම් දසබෑ රජ පරපුරක් ගැන සඳහන් වන ලේඛනය යි:

ගමණි පුත දශ බතිකන ජෙටෙ ශව ජෙටහ පුතෙ දමරජහ පුතෙ මහතිශ අයෙ කරිතෙ ඉම ලෙණෙ මහශුදශනෙ ශගශ දිනෙ

“දසබෑයින්ගේ වැඩිමලා ගාමණිගේ පුත්‍රයා වන අතර ඔවුන් සියල්ලන්ගේම වැඩිමලා වූ ධම්මරාජගේ පුත්‍ර මහා තිස්‌සගේ මහාසුදස්‌සන නම් ලෙණ සංඝයාට දෙන ලදී” යනු මෙහි අරුත යි.

(Inscriptions of Ceylon Paranavitana,  Vol 1. Part 1  p.42)

බුදුපැටුන්ගල

1992 දී විනාශ කළ පිළිමවල මැනුම් කටයුතු කරන ජපන් ගවේෂකයන්- Takashi Okamura fb page

මොණරාගල දිස්ත්‍රික්කයට අයත් කුමන වන මැද නටබුන් ස්ථානයක් හඳුන්වන්නේ බුදුපැටුන්ගල නමින්. මේ නම මෑත අතීතයේ දී ලැබුණු හැඳින්වීමක්. ඒ මෙම ස්ථානය සොයාගත්තෙත් 1985 දී වීම නිසයි. කොටියාගල සිට කි. මී. 15ක් දුරින්  වනය මැද බුදුපැටුන්ගල පිහිටා තිබෙනවා. වැසි කාලයට මෙහි යාම අසීරු වන්නේ විල ඔය උතුරා අවට නිම්නය වතුරෙන් යටවන නිසා. ජීප් රථ මාර්ගයක් හෝ නැති නිසා කොටියාගල සිට මහ වන මැදින් පාගමනින් මෙහි යා යුතු වෙනවා.

1985 දී  ජපානයේ හොසේ විශ්වවිද්‍යාලයයේ ගවේශන දෙපාර්තමේන්තුවේ මහාචාර්ය තකෂි ඔකමුරා ඇතුළු  කණ්ඩායමක් සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරි පිරිසක් මෙම ස්ථානය මුල්වරට ගවේෂණය කරනවා. එවිට ගල්පර්වතයක කෙටූ ප්‍රතිමා  තුනක් මුල්වරට හමුවෙනවා.  එවිට ඔවුන් බුද්ධ ප්‍රතිමාව සහ දෙපස බෝසත් ප්‍රතිමා දෙකක් දුටු අතර ඒ පිළිබඳ වාර්තාවක් ද පිළියෙල කර තිබෙනවා. අභය මුද්‍රාවෙන් යුත් හිටි බුදු පිළිමය දෙපස අවලෝකිතේශ්වර ප්‍රතිමා දෙකක් දැකගත හැකියි.

ප්‍රතිමාවල 2014 දී ගත් සේයාරුවක්- Kasun de Silva

යළිත් 1992 දී ජපන් ගවේෂකයන් ගවේෂණය කරන විට ඒ අතරින් බෝසත් ප්‍රතිමාවක සහ බුදු පිළිමයේ හිස විනාශ කර තිබුණ අතර අදත් දැකගත හැකි වන්නේ ඒ ආකාරයෙන්. පසුගිය දිනෙක මහාචාර්ය රාජ් සෝමදේව ඇතුළු ගවේෂක කණ්ඩායමක් ද මෙම ස්ථානයට ගියා. ඊට පසු මාධ්‍යවලින් එයට පුළුල් ප්‍රචාරයක් ද ලැබුණා. මාධ්‍ය වාර්තාකරුවන් එම සිද්ධිය වාර්තා කර ඇත්තේ ප්‍රතිමා මුල් වරට සොයාගත් බව සඳහන් කරමින් ජනතාව තුළ වැරදි අවබෝධයක් ලැබෙන අයුරින්. මේ නිසා මුල් ගවේෂණයට එක්වූ තකෂි ඔකමුරා ද ෆේස්බුක් සටහනක් තබමින් එය විමසා තිබෙනවා. පුරාණ රෝහණයේ මහායාන බලපෑම පෙන්නුම් කරන වැදගත් ස්ථානයක් වශයෙන් මෙය සැලකිය හැකියි. මෙයට සමාන වඩාත් විශාල  ප්‍රතිමා කාණ්ඩයක් බුදුරුවගලින් ද අපට හමුවෙනවා. මහායානය රුහුණේ පැතිර ගිය 8-9 සියවස්වලට මේ ප්‍රතිමා ද අයත් වන බව පේනවා.

මයිල්ල ලෙන් විහාරය

මයිල්ල ලෙන් – mahamegha.com

මොණරාගලින් සියඹලාණ්ඩුව මාර්ගයේ කි. මී. 43ක් දුරින් පිහිටි කොටියාගල ගම්මානයට පිවිසෙන්න පුළුවන්. එතැන් සිට තවත් කි. මී. 15ක පමණ දුරක් ගෙවා ගම්මානය මැදින් වනය හරහා මයිල්ල ලෙන් විහාරයට ළගා විය හැකියි. මොණරාගල දිස්ත්‍රික්කයට අයත්  යාල වන ප්‍රදේශයක පිහිටා තිබෙන අනුරාධපුර යුගයට අයත් පූජනීය ස්ථානයක්. දුෂ්කර මාර්ගයක ගමන් කළ යුතු නිසා සෆාරි ජීප් රථයක්,  ට්‍රැක්ටරයක්, හෝ යතුරු පැදියක තමයි ගමන් කළ යුතු වන්නේ. 1967 දී පුරාවිද්‍යා ඕවර්සියර් කෙනකු වන එම්. එච්. මාර්ෂල් විසින් දෙපාර්තමේන්තුවට දැන්වීමෙන් පසුව මේ ගැන පිටත ලෝකයට කරුණු හෙළිදරව් වුණා.

සැතපෙන බුදු පිළිමය – mahamegha.lk

මෙහි කටාරම් කෙටූ ලෙන දිගින් අඩි 73ක් ද පළලින් අඩි 42ක් ද වෙනවා. එක් ගල්ලෙනක සැතපෙන බුද්ධ ප්‍රතිමාවක් තිබෙනවා. මෙම සැතපෙන පිළිමය අනුරාධපුර යුගයට අයිති අතර ගඩොල් සහ මැටිවලින් බැඳ හුණු බදාමයෙන් කපරාරු කර තිබෙනවා. නිදන් හොරුන්ගේ අතවර නිසා ප්‍රතිමාවේ ඇතැම් කොටස් විනාශ වෙලා. පර්වතය මුදුනෙහි දාගැබක් පැවති බවට සාධක හමුවෙනවා. දාගැබේ තිබී ගැලවුණු ඡත්‍ර ගල ලෙනෙහි පිළිමය අසල දක්නට කැබෙනවා.

ලෙන් වියනේ සිතුවම්- – mahamegha.lk

මෙම විහාරයේ ඉතාම වැදගත් කොටස වන්නේ ලෙන් විහාරයේ වියනේ පවතින ඉපැරණි බිතු සිතුවම්. බුදුරුවට ඉහළින් ලෙන් වියනෙහි රතු පසුබිමෙහි මල් රටාවන් සහ ඇත් රූප සිතුවම් කර තිබෙනවා.විවිධ මල් රටා, සීගිරි ළඳුන්ට සමාන කාන්තා රූප, මානව රූප සහ සත්ත්ව රූප ද මෙහි දැකගත හැකියි. මහාචාර්ය සේනක බණ්ඩාරනායක පවසන්නේ මේ සිතුවම් 5-7 සියවස්වලට අයත් බව යි.

ආශ්‍රිත මූලාශ්‍රයයන්:

 නැගෙනහිර පළාත හා උතුරු පළාතේ සිංහල බෞද්ධ උරුමය - පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි

https://www.silumina.lk/2020/09/05

http://www.archaeology.gov.lk/

පුරාවිද්‍යා පාලන වාර්තාව -1968-69

COVER: Takashi Okamura fb page-  1985 දී ප්‍රතිමා තිබුණු ආකාරය

Related Articles