අතීත ශ්‍රී ලංකාවේ බුදු සසුනේ ඇති වූ නිකාය භේදය

මහායාන හා ථේරවාද බෞද්ධ දර්ශනයේ මූලික වෙනස්කම් පිළිබඳව ලිපියක් මීට පෙර ඔබ වෙත ගෙන ආවා. එහි බලපෑම් මත ශ්‍රී ලංකාවේ නිකාය භේදයේ ආරම්භය ඇති වූ ආකාරය පිළිබඳවයි මෙම ලිපියේ අන්තර්ගත වන්නේ.

මහින්දාගමනයත් සමඟ දෙවන පෑතිස් රජ සමයේ ආරම්භ වූ ථේරවාද මධ්‍යස්ථානය බවට පත්ව සියවස් තුනක් පමණ ප්‍රබල රාජ අනුග්‍රහය යටතේ දේශීය විදේශීය බෞද්ධ ලෝකයා හමුවේ කීර්ති නාමයක් දිනා සිටි මහාවිහාරය ප්‍රමුඛ කරගත් මහාවිහාරීය පාර්ශවය අභිබවමින් වළගම්බා රජ සමයේ ඇති වූ අභයගිරිය ප්‍රමුඛ කරගත් අභයගිරිවාසීන් කටයුතු කරනවා. මෙලෙස ප්‍රධාන නිකාය දෙකකට සංඝයා වහන්සේලා වෙන් වීම පිළිබඳවයි අද ලිපිය.

ලංකාවේ ප්‍රථම පෞද්ගලික පූජාව වූ අභයගිරිය නිර්මාණය වීම

අභයගිරිය ස්තූපය ඇතුළු ආරාම භූමිය (Ramblin’ Boy)

මිහිදු හිමියන් රැගෙන ආ ථේරවාද බුදු දහම සියවස් තුනක් පමණ යනතෙක් සංවිධානාත්මකව බෙදා හරින ලද්දේත් ථේරවාදයේ කේන්ද්‍රස්ථානය බවට පත්වන්නේත් අනුරාධපුරයේ මහාවිහාරයයි. මෙලෙස පැවති සංඝ සමගිය දෙදරා ගොස් නිකාය දෙකකට මුල් වරට වෙන් වන්නේ වළගම්බා රජ සමයේයි.

වළගම්බා රජු පළමුවරට රජවී මාස පහක් ගියපසු ඉන්දියාවෙන් පැමිණි ආක්‍රමණික ද්‍රවිඩයන් හත් දෙනෙක් උතුරු දෙසින්ද, තිස්ස නම් බමුණෙක් දකුණු දෙසින්ද රජුට විරුද්ධව නැගී සිටිනවා. වළගම්බා රජු විසින් උපක්‍රමිකව මෙම කැරලි කණ්ඩායම් දෙක සටනට යොමු කර සැගවී සිටිනවා. සටනින් ජයගත් ද්‍රවිඩ ආක්‍රමණිකයන් අනුරාධපුරයට එන බව අසා රජු ප්‍රමුඛ සේනාව ආක්‍රමණිකයන්ට එරෙහිව සටන් කරන්නට ගොස් පරාජය ලබනවා. පැරදී පලායන රජුට නිගණ්ඨාරාමයේ සිටි ගිරි නම් නිගණ්ඨයා විසින් “ මෙන්න මහා කළු සිංහලයා පලා යනවා” ලෙස අවමන් කරනු ලබනවා.

ආක්‍රමණිකයන් පරාජය කළ රජු වසර 13ක් තිස්සේ පෝෂණය කළ මහාතිස්ස නම් තෙරණුවන්ට නිගණ්ඨාරාමය කඩා දමා අභයගිරිය ආරාමය කරවා ලක් ඉතිහාසයේ පළමු පෞද්ගලික පුජාව කරනු ලබනවා. වළගම්බා රජු කල මේ පුජාවට මහාවිහාරවාසීන් විරුද්ධ වෙනවා. පමණට වඩා ගිහියන් ආශ්‍රය කරන බව පවසා මහාතිස්ස හිමියන්ට මහාවිහාරය තහනම් කරනවා. මේ කරුණ හේතුවෙන් මහාතිස්ස හිමි ප්‍රමුඛ ගෝල පිරිසක් අභයගිරියේ වැඩ වාසය කිරීම තෝරා ගන්නා අතර මුල්වරට සංඝ භේදය ඇති වන්නේ ඒ ආකාරයෙන්. නමුත් මෙහිදී දෙපිරිසම අදහනු ලබන්නේ ථේරවාදයයි. නමුත් අභයගිරිය නිසා මතු දවසක ථේරවාද බුදුදහම විනාශ වේයැයි කල්පනා කළ මහාවිහාරික භික්ෂුන් ලෝවාමහා පායට රැස් වී ඒ පිළිබඳව කතා කල බව සදහන්.

විවෘත ආකල්ප දැරූ  අභයගිරිය

මෙසේ ආරම්භ වූ අභයගිරිය, මහාවිහාරය මෙන්ම මූලික ත්‍රිපිටක ධර්මය පිළිගත් අතර මහාවිහාරයට වඩා වෙනස් වූයේ විවෘත අදහස් මතවාද හා ආකල්ප වලට පිළිගැනීමක් ලබා දීම තුළින්. එවැනි අදහස් දරන භික්ෂුන්ට අභයගිරියෙන් කිසිදු බාධා කිරීමක් නොවීය. විශේෂයෙන් විදේශයෙන් මෙහි පැමිණි නොයෙකුත් බෞද්ධ මතවාද වලට අභයගිරියෙන් ඉඩකඩ විවර කෙරුණු අතර ඉන්දියානු හිමිනමක් විසින් රැගෙන ආ ඉන්දියාවේ වජ්ජිපුත්තක නිකායේ අදහස් අභයගිරි භික්ෂුන් වහන්සේලා පිළිගත් බව සදහන් වෙනවා. එසේම චීන ජාතික ෆාහියන් භික්ෂුව  විසින් තමන් අභයගිරියේ වසර දෙකක පමණ කාලයක් නැවතී සිටි බව සදහන් කර තිබෙනවා.

දෙපාර්ශවය අතර මුලදී ඇති වූ සුළු මතවාද

මහාවිහාරයට පාක්ෂික වූ ලොවාමහා පාය (Ceylon Tour Advisor)

රජු ප්‍රමුඛ ගිහියන් ළගින් ආශ්‍රය කල අභයගිරි ප්‍රතිපත්තිය මහාවිහාරය විසින් ප්‍රතික්ෂේප කරනවා. මේ හේතුවෙන් වැඩි ලාභ සත්කාර ප්‍රමාණයක් හිමි වන්නේ අභයගිරියටයි. ලක්දිව භික්ෂු පරපුර කෙලින්ම දේශපාලනයට යොමු වන්නේත් අභයගිරිය ප්‍රමුඛ කරගෙනයි.  වළගම්බා හා දුටු ගැමුණු රජ සමයේ රජුගේ යුධ කටයුතු වලට මැදිහත් වීම මෙයට උදාහරණයක් ලෙස පෙන්වා දෙන්නට පුළුවන්. මහාවිහාරික හිමිවරු පෞද්ගලික පූජාවන් භාර නොගත් අතර අභයගිරි හිමිවරු අතර එය වඩා ජනප්‍රිය විය.

භාතිකාභය රජු දවස දෙපිරිස අතර විනය පිළිබඳව ප්‍රශ්නයක් පැන නැගුනු අතර එය විසදීමට රජුට මැදිහත් වීමට සිදු වෙනවා. දෙපිරිස අතර උපසම්පදා වයස පිළිබඳවත්, ඇත්දත් මිට සහිත විජිනිපත් භාවිතය පිළිබඳවත්, වැනි කුඩා ධර්ම හා විනය ගැටළු ඇති වෙනවා.

අභයගිරිය විසින් මහායාන අදහස් පිළිගැනීම

ශ්‍රී ලංකාව තුල මහායානය පැතිරී තිබූ බවට සාක්ෂියක් වන අවලෝකිතේශ්වර බෝධිසත්ව ප්‍රතිමාව (Pinterest)

වෝහාරික තිස්ස රජ සමයේ මෙරටට පැමිණෙන වෛතුල්‍ය වාදය හෙවත් මහායාන බුදු දහමේ ඉගැන්වීම්, දාර්ශනික හා නව අදහස් පිළිගන්නා අභයගිරිවාසී භික්ෂුන් විසින් පිළිගනු ලබන අතර එම ඉගැන්වීම් පුරුදු පුහුණු කරනවා. මෙහිදී එම භික්ෂුන් වහන්සේලා විසින් පිළිගත් මහායාන බෞද්ධ දර්ශනයේ ඉගැන්වීම් අතරින්,

බුදුන් වහන්සේ මිනිස් ලෝකයේ නොඉපදුණු අතර තුසිත දිව්‍ය ලෝකයේ සිට අවතාරයක් හෙවත් නිර්මිතයක් එවන ලදී යන්නත්,

බුදුන් වහන්සේ ධර්මය දේශණා නොකළ අතර නිර්මිත කාය මගින් ධර්මය දේශණා කරන ලදී,

වැනි ඉගැන්වීම් ප්‍රමුඛ ලෙස සැලකිය හැකියි. කෙසේ නමුත් රජු විසින් මෙම දර්ශනය පිළිබඳව සොයා බලන්නට ඇමතිවරයෙක් පත්කරන අතර ඔහු විසින් මෙය නිවැරදි බුදු දහම නොවන බව පැවසීමෙන් අභයගිරියේ තිබූ සියළු මහායාන ග්‍රන්ථ ගිනිතබා විනාශ කරනවා.

නැවතත් හිස එසවූ අභයගිරිවාසීන්

 

මහායාන දර්ශනය අනුව නිර්මාණය වූ බුදුරුවගල බෝධිසත්ව පිළිම ( Wikimedia Commons)

මෙලෙස විනාශ වී ගිය මහායානික අදහස් ගෝඨාභය රජු දවසේ නැවත  මතුවෙනවා. රජුගේ කුමරුවෙක් වන මහසෙන්ට ඉගැන්වූ මහායාන අදහස් වලින් හෙබි අභයගිරිවාසී භික්ෂුවක් වන සංඝමිත්‍ර නම් හිමියන් මහසෙන් කුමරු රජු බවට පත් වූ පසුව මහාවිහාරය විනාශ කිරීමට උපදෙස් දෙනවා. මේ අනුව රජු විසින් මහාවිහාරයට දානය දීම නීතියෙන් තහනම් කළ අතර එහි භික්ෂුන්ව එළවා මහාවිහාරය කඩාබිද දමා ආරාමයේ වූ උපකරණ අභයගිරියට ගෙන යනවා.

මේ හේතුවෙන් වැඩිකල් නොගොස් ඇමතිවරුන්ගේ හා ජනතාවගේ දැඩි විරෝධය රජුට එල්ල වන අතර විරෝධය හමුවේ මෙම මහාවිහාර විරෝධී ක්‍රියා පිළිවෙත නැවත්වීමට රජුට සිදු වෙනවා. මහජන විරෝධය කොතරම් ප්‍රබලදැයි පවසනවානම් සංඝමිත්‍ර භික්ෂුව මරා දැමීමට පවා රජුට සිදු වෙනවා.

සංඝ සමගිය ඇති කිරීම

පොලොන්නරුව රාජධානිය කරගනිමින් බිහි වූ මහා පරාක්‍රමබාහු රජුට විරසක වී සිටි මෙම නිකායන් දෙක සමගි කිරීමට අවශ්‍ය වෙනවා. නමුත් ඒ සඳහා සමහරක් භික්ෂුන් අකමැති වෙනවා. සමගියට අකමැති භික්ෂුන් සසුන අතහැර උපවැදි වූ අතර ඔවුන්ට තම ජීවිකාව පවත්වාගෙන යෑමට රැකියා රජු විසින් ප්‍රධානය කරනවා.

දිඹුලාගල කාශ්‍යප හිමියන්ගේ උපදෙස් මත ඉතා දුෂ්කර කාර්යක් වන ප්‍රධාන නිකායන් දෙක වූ  මහාවිහාරික හා අභයගිරි පාර්ශව භික්ෂුන් අතර සමඟිය  මහා පැරකුම් රජු සමයේ ඇතිකරවූ බව මහා වංශයේ සදහන් වෙනවා.

කවරයේ ජායාරූපය – මහායාන අභාෂය ලබා ඇති පොලොන්නරුව ගල් විහාරයේ බුදු පිළිමය (www.voyagevirtuel.co.uk)

මුලාශ්‍ර –  බෞද්ධ ඉතිහාසය හා සංස්කෘතිය – බෞද්ධ කටයුතු දෙපාර්තුමේන්තුව

              හෙළදිව බෞද්ධ ඉතිහාසය – කුමාර මිහිදුකුල

Related Articles