බඹරගල ගල්පායේ පුරාණ ගල් වැඩ

ඇඹිලිපිටිය පල්ලෙබැද්දට නුදුරු ව ගල්පාය ප්‍රදේශයේ පිහිටි බඹරගල කන්ද පැරණි සෙල්ලිපි සහිත ලෙන් 06 ක් සමඟ කටාරම් කෙටූ ගල්ලෙන් 13 කින් යුක්ත තැනක්. විවිධ ස්වරූපයේ අලංකාර ස්වභාවික ගල් පර්වත හා ගල්ලෙන් බහුල බඹරගල ආරණ්‍යය ඉතා සුන්දර පරිසරයක් සහිත යි. පර්වත හා ලෙන්වල විශාල වශයෙන් බඹර වද බැඳ තිබීම නිසා මෙයට බඹරගල නම ප‍ටබැඳී තිබෙන්නේ මෑත අතීතයේ බව යි ගැමියන් පවසන්නේ.  

 වනගත අරණට පිවිසෙන පියගැට- Weligepolaps. gov.lk

පිහිටීම

රත්නපුර- ඇඹිලිපිටිය දක්වා දිවෙන මහා මාර්ගයේ පල්ලෙබැද්ද නගරයෙන් වමට හැරී යන මාර්ගය ඔස්සේ කිලෝ මීටර් පහක් පමණ දුර ගමන් කරනවිට මුත්තෙට්ටුපොල  ග්‍රාම සීමාවට නුදුරින් මෙය පිහිටා තිබෙනවා.  මේ අවට පැතිරුණු වලවේ ගංගා නිම්නයේ  තැනිතලා ප්‍රදේශය හඳුන්වන්නේ ගල්පාය නමින්.  ගල්පාය ඓතිහාසික යුගයේ මුල් කාලයේ සිට ම ජනතාව ජීවත් වූ පෙදෙසක් බව ඒ අවට පැරණි නටබුන්වලින් පැහැදිලි වෙන කරුණක්.

මෙහි පිහිටි බඹරගල කන්ද අනුරාධපුර මුල් සමයේ විශාල ආරණ්‍යයක් වශයෙන් පැවති පුදබිමක්. එය අයත් වන්නේ වැලිගෙපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බඹරගල ග්‍රාම නිලධාරි වසමට යි.

බඹරගල කන්ද පාමුලින්  කුඩා ඔය  ගලා බසිනවා. මෙය වලවේ ගඟ පෝෂණය කරන අතු ගංගාවක්. කුඩා ඔයෙන් එගොඩ පුස්සතොට ප්‍රදේශයේත් පෞරාණික නටබුන් තැන තැන දැකගත හැකි යි. ආරණ්‍යය පැතිර තිබෙන්නේ  අක්කර 800 ක් පමණ වුණු වනාන්තරයකින් සෙවණ වුණු කඳු පෙදෙසක යි.  

 ආරණ්‍යයේ පාත මළුවේ නූතන විහාර ගොඩනැඟිලි – srilankan travelling fb page

වනගත ආරණ්‍යයට භික්ෂූහු වඩිති

සියවස් ගණනාවක් තිස්සේ වනාන්තරගත ව, වන සතුන්ගේ අභය බිමක් බවට පත් ව තිබූ බඹරගල ලෙන් ආරණ්‍යය මෑත අතීතයේ එනම්, 1968 දී මෙම ස්ථානයට වැඩම කළ ගොතටුවේ ධම්මානන්ද ලොකු හාමුදුරුවන්  හා වෙහෙරවත්තේ ඉන්දසුමන සාමනේරයන් වහන්සේ විහාරය පූජනීය ස්ථානයක් බවට පත් කිරීමට වෙහෙස වී තිබෙනවා.පුරාණ නටබුන්වලට අමතර ව නූතන පිළිම ගෙයක්, පිරිත් මණ්ඩපයක්, ධර්ම ශාලාවක්, කාර්යාලයක් ආදී ගොඩනැගිලි රාශියකින් යුක්ත වූ අංග සම්පූර්ණ ආරණ්‍ය සේනාසනයක් බවට බඹරගල අද පත්ව ඇත්තේ ඒ නිසා යි.

ලෙන්වල පැරණි බිත්ති කොටස් – Weligepolaps. gov.lk

 

 ආරණ්‍යයේ පැරණි නටබුන්

ක්‍රිස්තු පූර්ව තුන් වැනි සියවසේ පටන් මෙහි ගල්ලෙන්වල භික්ෂුන් භාවනා කරමින් වැඩ සිටි බව ඒ කාලයට අයත් සෙල්ලිපිවලින් හෙළිවෙනවා. ඓතිහාසික යුගයට පෙර ප්‍රාග් ඓතිහාසික මානවයා ද මේ අවට ජීවත්වූ බවට සාධක මෙහි ලෙන් හා පර්වත ආශ්‍රිත ව හමුවෙනවා.

මෙහි ලෙන් හා ගල්තලාවල මධ්‍ය ශිලා යුග මානවයා භාවිත කළ තිරුවානා පතුරු නිරීක්ෂණය කළ හැකි යි. මහානාග රජු මාගම රජ කරන කාලයේ සබරගමුවේ කාලතිත්ථ, චන්දනගාම ඇතුළු ජනපද පිහිටවූ බව සැලකෙන අතර බඹරගල පිහිටි ගල්පාය ද ඒ කාලයේ පිහිට වූ ජනපදයක් ලෙස යි සැලකෙන්නේ. ඉන් පසු දුටුගැමුණු රජ කාලයේ පුස්සදේව යෝධයාගේ නින්දගමක් ලෙස මේ පෙදෙස පැවති බවත් ජනප්‍රවාදවල පැවසෙනවා.

 පැරණි ගොඩනැගිලිවල ගල් කණු- Weligepolaps. gov.lk 

බඹරගල නටබුන් කොටස් දෙකකට බෙදියි හැකි යි. ඒ කන්ද පාමුල නටබුන් සහ කන්දේ නටබුන් ලෙස යි. කන්ද පාමුල විසිර ගිය ගල් කණු ,ගඩොල් කැට සමඟ පුරාණ පිළිමගෙයි නෂ්ටාවාශේෂ හා චෛත්‍යයේ නටබුන් පිහිටා තිබෙනවා. මුලින් ම හමුවන්නේ පැරණි පිළිම ගෙය යි.  

පිළිම ගෙය සහ දාගබේ නටබුන්

 විහාර ගොඩනැඟිල්ලේ ගල්කණු 21ක් දැක ගත හැකි යි. ඒ අතරින් ගල්කණු  13ක් මට්ටම් කර ඇති අතර ඉතිරි ගල්කණු අට මට්ටම නොකළ  ඒවා යි. මේ විහාර ගොඩනැඟිල්ල  අවට ද තවත් ගල්කණු රාශියක් තැනින් තැන දක්නට ලැබෙනවා. විහාර ගෙය දිගින් මීටර 30ක් ද පළලින් මීටර 23ක් ද වෙනවා. එය ඉදිකර ඇත්තේ උස් වේදිකාවක් මත බව පේන්නේ ගොඩැල්ල මීටර 3ක් උස නිසා යි.  විහාර ගෙයි  නෂ්ටාවශේෂ අතර කැඩී ගිය කළුගල් පිළිම දෙකක් තිබෙනවා.  

හිටි බුදු පිළිමයේ ද අත් සහ හිස කැඩී ගොසින්. මෙම ස්ථානයේ තිබෙන අනෙක් පිළිමය බෝධිසත්ව ප්‍රතිමාවක්. මෙම පිළිමයෙහි ඉඟටියෙන් පහළ කොටස පමණක් දැක ගැනීමට පුළුවන්. කිරිඇල්ලේ ඤාණවිමල හිමිපාණන් 1942 දී ලියූ “සපරගමුවේ පැරණි ලියවිලි” නමැති ග්‍රන්ථයේ මෙම පිළිරුවේ ඡායාරූපයක් ඇති අතර එවකට මෙම පිළිරුවෙහි ගෙලෙන් පහළ කොටස සම්පූර්ණයෙන් ම තිබී ඇති බව පේනවා. එවකට මේ ස්ථානය හඳුන්වා ඇත්තේ වෙහෙරගොඩැල්ල ලෙස යි.

 ලෙන් අතරින් වැටුණු මං පෙත – Weligepolaps. gov.lk

මෙහි කොරවක්ගල් දෙකක් සහිත පියගැටපෙළක් ද දක්නට හැකි යි. මෙයට මඳක් ඉදිරියෙන් තවත් කොරවක්ගල් දෙකක් ද දක්නට පුළුවන්. මෙම ස්ථානයේ බොහෝ ගල් වැඩ කර ඇත්තේ හුණූගල් වර්ගයකින්. බඹරගල විහාරයට නුදුරින් ගල්කණු සහිත තවත් නටබුන් ගොඩනැඟිල්ලක් හමුවෙනවා.  එය බෝධිඝරය තිබුණු ස්ථානය විය හැකි යි. මෙම ස්ථානය පසුකරන විට හමු වන්නේ පුරාණ දාගබ පිහිටි ස්ථානය යි. නිදන් හොරුන්ගේ අතවරවලට ලක් ව ඇති එහි විෂ්කම්භය දළ වශයෙන් මීටර 50ක්.

මෙම ස්ථානය පසු කර ඉදිරියට ගමන් කරනවිට වර්තමාන පියගැටපෙළ හමුවෙනවා.  පියගැටපෙළ තරණය කළ පසු කරත් ම සුදු වැලි අතුරා ඇති මළුව දැකගත හැකි වෙයි. මේ මළුව ආරම්භයේම වර්තමාන බුදු මැදුර පිහිටා තිබෙනවා.

 ලෙනක පිහිටි සෙල්ලිපියක් – Weligepolaps. gov.lk

 

සෙල්ලිපි

බඹරගල, කටාරම් කෙටූ ලෙන් 13ක් දැක ගත හැකි අර ඉන් ලෙන් හතක ම  සෙල්ලිපි කොටා තිබෙනවා. මෙහි වර්තමාන බෝධියට ඉදිරියෙන් වූ ගල්තලාවක ක්‍රිස්තු වර්ෂ 10-11 සියවස්වලට අයත් ගිරි ලිපි දෙකක් පිහිටා තිබෙනවා.  පළමු ශිලා ලේනඛයේ අනතේනි සාමි ලෙස ද, දෙවැන්නේ අමීගේ ගල්ගේ යනුවෙන් ද කොටා තිබෙනවා. සෙල්ලිපියේ ඇතැම් කොටස් විනාශ වෙලා. එම ශිලා ලේඛන  යටින් ඊ තලයක් සහිත දුන්නක් හා කඩුවක් ද කොටා තිබෙනවා.

මෙහි දී හමුවන පළමු ලෙන් ලිපිය වන්නේ ක්‍රිස්තු පූර්ව යුගයට අයත් බ්‍රාහ්මී අක්ෂරයෙන් කෙටූ “උපතිශහ ලෙන” යනුවෙන් සඳහන් කර ඇති සෙල්ලිපිය යි. එහි අදහස උපතිස්සගේ ගල්ගේ යනු යි. මෙහි ලෙනක ඇති ක්‍රිස්තු පූර්ව යුගයට අයත් තවත් සෙල්ලිපියක කියවාගත හැක්කේ තිශහ (තිස්සගේ) යන වචනය පමණ යි. ඉතිරි අක්ෂර විනාශ වෙලා.

මෙම ලිපිය තිබෙන පර්වතයට මඳක් නුදුරෙන් තිබෙන කළුවැල්ල ගස අසල අලි ලැග්ගාවල නම් වළක් පිහිටා තිබෙනවා. එතැනට  අලි ලැග්ගාවල යයි පවසන්නේ මෑත අතීතයේ සේනාසනය පටන‍් ගැනීමට පෙර අලි රංචු මෙම ස්ථනයේ ලැගුම් ගැනීමට පුරුදු ව සිටි නිසා බව පැරණි ගම්වාසීන් පවසනවා.  

 බ්‍රාහ්මි අක්ෂර සහිත තවත් සෙල්ලිපියක්- Weligepolaps. gov.lk

 

මෙහි පිහිටි තවත් ලෙන් කටාරමකට යටින් කොටා තිබෙන්නේ “ගමික ශොණ කුලශ දනේ ශගශ” යන සෙල්ලිපියයි. ක්‍රිස්තු පූර්ව යුගයට අයත් ඉන් අදහස් වන්නේ ගම්නායක ශොණකුලගේ දානය  සංඝයා වහන්සේට යන්න යි.

බඹරගලින් හමු වන දිග ම සෙල්ලිපිය

සුන්දර ස්ථානයක පිහිටා ඇති තවත් ලෙනක බඹරගලින් හමු වන දිග ම සෙල්ලිපිය කොටා තිබෙනවා.  “ගමික ශොන පුත දිගශුමනශ ච දමරකිතශ ච ලෙණෙ මනපදශනේ” යනුවෙන් ඇති එහි අදහස ගම් නායක ශෝණගේ පුත්‍ර වූ දීගසුමනගේ සහ ධම්මරක්ඛිතගේ මනාපදස්සව ලෙන සංඝයාටයි යන්න යි.

 මෙහි හයවන ශිලා ලිපිය ලෙස ඇත්තේ ලෙනක කොටා ඇති “ගමික ශොණ” (ගම් නායක ශොන) යන පාඨය යි. ඉතිරි කොටස් විනාශ වී ගිහින්.

මුලදෙවශ ච ගමික ලකශ” යනුවෙන් ඇති තවත් සෙල්ලිපියක අදහස නම් මූලදේවගේ හා ගම් නායක ලකගේ ලෙන යන්න යි. තවත් ලිපියක  “ගමික වශබශ ලෙනේ ශගශ” යනුවෙන් සඳහන්ව ඇති අතර එහි අදහස ගම්නායක වසබ නැමැත්තා මෙම ලෙන සකස් කර සංඝයා වහන්සේට පූජා කළ බවයි. මේ ලෙන්වලින් සමහරක පුරාණ බිත්තිවල කොටස් ද දැකගත හැකි යි.

කඳු මුදුනේ පොකුණක්-  Weligepolaps. gov.lk

කඳු මුදුන කොඩිගල

කන්දේ උස ම ස්ථානය හදුන්වන්නේ කොඩිගල කියල යි. වලවේ ගංගා නිම්නය අලංකාර ව එම ස්ථානයේ සිට දැක ගත හැකි වෙනවා. මෙම ගල හුලංගල ලෙස ද හඳුන්වන්නේ වේගවත් සුළං ධාරාවක් නිරන්තරයෙන් මේ හරහා හමා යන නිසා යි.  පර්වතය මත පොකුණු කිහිපයක් ද දක්නට හැකි යි.

මෙම ගලත් පසු කර ඊසාන දෙසට ගමන් කරනවිට තවත් විශාල පර්වතයක් හමු වෙනවා. එයට කියන්නේ කණබිසෝ ගල කියලයි. මෙය කණබිසෝ ගල ලෙස හඳුන්වන්නේ කණ බිසව ස්නානය කළ පොකුණ පිහිටා තිබීම නිසා බව ජනප්‍රවාද පවසනවා. ප්‍රදේශයේ සිටි මංගර නම් රජ්ජුරුවන්ගේ බිසව ඇස් අන්ධ වීමෙන් පසුව කණ බිසව නම් වී එම කණ බිසව ස්නානය කළ පොකුණ නිසා කණ බිසෝ පොකුණ යන නම එයට පටබැඳී තිබෙන බව පැවසෙනවා.

 ලෙන් වෙතට වැටුණු කපොලු- සංචාරේ facebook page

 

ලෙන් කුටි තුනක්

 මෙහි හමු වන ලෙන්වලට සාපේක්ෂ ව විශාල ලෙනක් වන කන බිසෝ ලෙන වැදගත්කමක් උසුලනවා. දිගින් අඩි 100 ක් ද, පළලින් අඩි 24 ක් ද වන මෙම ලෙන් පියස්සේ අඩි 24ක් දිගට කටාරම් කොටා තිබෙනවා. කුටි ලෙස සකස් කර ඇති ලෙනේ මැටියෙන් බිත්ති බැඳ තිබෙනවා. එම කුටිවලට ඇතුළුවීමට උළුවස්සක් හා ජනේලයක් සවිකර තිබෙනවා.

මෙහි තිබුණු එක් උළුවස්සක් ජාතික කෞතුකාගාරයේ තැන්පත් කර තිබෙන බව කිරිඇල්ලේ ඤාණවිමල ස්වාමීන්වහන්සේගේ “සපරගමුවේ දර්ශන”නැමති ග්‍රන්ථයේ සඳහන් වෙනවා. ජනප්‍රවාදවලට අනුව මංගර රජුගේ බිසව වාසය කර ඇත්තේ මෙම ලෙනෙහි යි.

වනගත ව පැවති සමයේ බඹරගල ආරණ්‍යය නිදන් හොරුන්ගේ රජදහනක් ලෙස පැවතුණ නිසා එහි ඇති බොහෝ නටබුන් අද විනාශ වෙලා.

කවරයේ ඡායාරූපය- බඹරගල ආරණ්‍යයේ විවිධ දසුන්- mawbima.lk

මූලාශ්‍ර:

 Weligepolaps. gov.lk

රත්නපුර දිස්ත්‍රික්කයේ අභිලේඛන සහ පැරණි ස්මාරක- ජයන්ත විජේරත්න හේරත්

සබරගමුවේ පැරණි ලියවිලි- කිරිඇල්ලේ ඤාණවිමල හිමි

Related Articles