Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අදටත් දැනුම බෙදන ලෝකයේ පැරණි ම සරසවි

ජේසුතුමන්ගේ උපතට වසර 600 කට පමණ පෙර දඹදිව සොළොස් මහා ජනපදයන්ගෙන් එකක් වූ ගන්ධාර දේශයේ (වත්මන් පකිස්ථානයේ) තක්ෂිලා නමින් සරසවියක් අරඹන ලද්දේ දහ අටක් වූ ශිල්පයන්ගෙන් සිසුන් පෝෂණය කිරීම සඳහා යි. ඒ ශිල්පයන්ට අමතර ව වේද ග්‍රන්ථ, ව්‍යාකරණ, වෛද්‍ය ශිල්පය, දේශපාලනය, නීතිය සහ සංගීතය වැනි තවත් විෂයයන් 68 ක් එහි උගන්වන ලද අතර සොළොස් විය සපුරන ලද සිසුන්ට සරසවියට ඇතුළු වීමට අවස්ථාව හිමි වුණා. එහි සිසුන් 10,000 ක් පමණ අධ්‍යයන කටයුතුවල නිරත වූ අතර ඔවුන්ගෙන් සමහරක් චීනය, සිරියාව සහ ග්‍රීසිය වැනි දුර රාජ්‍යයන්ගෙන් පැමිණි අය යි.

(sdhammika.blogspot.com)

මේ ලෝකයේ මුල් ම සරසවියේ කතාව යි. නමුත් පසු ව සිදු වූ ශ්වේත හන්වරුන්ගේ (මධ්‍යම ආසියාවේ ජීවත් වූ ගෝත්‍රිකයන් පිරිසක්) ආක්‍රමණයන් හේතුවෙන් තක්ෂිලා සරසවිය විනාශ වුණා. තක්ෂිලාවේ ගමන් මග ඔස්සේ යමින් පසු කාලීන ව අරඹන ලද අදටත් දැනුම බෙදන ලෝකයේ පැරණි ම සරසවි කිහිපයක් ගැන යි මේ ලිපිය.

1. කැරුවියන් සරසවිය

(en.wikipedia.org)

ගිනස් ලෝක වාර්තා පොතේ සඳහන් වන ආකාරයට ‘නොකඩවා ම ක්‍රියාත්මක වෙමින් අදටත් පවතින ලෝකයේ පැරණි ම අධ්‍යාපනය ආයතනය’ වන්නේ මොරොක්කෝවේ ෆෙස් නුවර පිහිටා ඇති කැරුවියන් සරසවිය යි. ක්‍රිස්තු වර්ෂ 859 දී ෆාතිමා අල්-ෆීරි විසින් පල්ලියට අනුබද්ධ පාසලක් ලෙස අරඹන ලද එය 1963 වසරේ දී මොරොක්කෝවේ රාජ්‍ය විශ්ව විද්‍යාලයක් ලෙස සංස්ථාපිත කර තිබෙනවා.

එකල මුස්ලිම් ලෝකය තුළ ප්‍රමුඛ පෙළේ ආගමික සහ අධ්‍යාපනික මධ්‍යස්ථානයක් වූ එහි අද වන විට සිසු සිසුවියන් 8,000 ක් පමණ ඉස්ලාම් දහම සහ නීතිය හදාරනවා.

2. බොලොඤ්ඤා සරසවිය

(en.wikipedia.org)

ඉතාලියේ බොලොඤ්ඤා නගරයේ පිහිටා ඇති මෙය සැලකෙන්නේ යුරෝපයේ ඇති පැරණි ම සරසවිය ලෙස යි. සරසවි ලාංඡනයේ එහි ආදර්ශ පාඨය ‘විද්‍යාවන්ගේ ශාස්ත්‍රාලය’ යනුවෙන් ලතින් බසින් දක්වා ඇති අතර එය අරඹන ලද වසර ක්‍රිස්තු වර්ෂ 1088 ලෙස දක්වා තිබෙනවා.

වර්තමානයේ දී සිසුන් 82,000 ක් පමණ අධ්‍යාපනය හදාරන බොලොඤ්ඤා සරසවියේ ආදි ශිෂ්‍යයන් අතර පාප්වරුන්, ඉතාලි ජාතික දාර්ශනිකන් සහ විද්‍යාඥයින් සුලබ යි. වර්තමානයේ දී මෙම සරසවිය පීඨ 11 කට අයත් දෙපාර්තමේන්තු 33 ක් යටතේ ක්‍රියාත්මක වෙනවා.

3. ඔක්ස්ෆර්ඩ් සරසවිය

(juliesbicycle.com)

බ්‍රිතාන්‍යයේ අගමැතිවරුන් 27 කට,  කැන්ටබරි හි අගරදගුරුන් 20 කට, නොබෙල් ත්‍යාග ලාභීන් 47 සහ 21 වැනි සියවසේ විශිෂ්ටත ම භෞතික විද්‍යාඥයා ලෙස සැලකෙන ස්ටීවන් හෝකින්ට දැනුම ලබා දුන් එක්සත් රාජධානියේ පැරණි ම විශ්ව විද්‍යාලය වන ඔක්ස්ෆර්ඩ් සරසවිය ආරම්භ කර ඇත්තේ ක්‍රිස්තු වර්ෂ 1096 දී යි. වර්තමානයේ දී එහි සිසුන් 22,000 ක් පමණ විද්‍යාල 38 ක් යටතේ අධ්‍යාපනය හදාරනු ලබනවා.

ක්‍රිස්තු වර්ෂ 1167 වසරේ දී දෙවැනි හෙන්රි රජු විසින් ඉංග්‍රීසි ජාතික සිසුන්ට පැරිස් විශ්ව විද්‍යාලයට ඇතුළත් වීම තහනම් කිරීමෙන් පසු ව ජනප්‍රිය වූ ඔක්ස්ෆර්ඩ් සරසවිය, ලෝකයේ පැරණිත ම සහ ගෞරවාන්විත ම ශිෂ්‍යත්වයන්ගෙන් එකක් ලෙස සැලකෙන රෝඩ්ස් ශිෂ්‍යත්වය පිරි නැමීම සිදු කරනවා. එයට අමතර ව ලෝකයේ පැරණිත ම සරසවි කෞතුකාගාරය සහ මුද්‍රණාලය ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය සතු වන අතර මහා බ්‍රිතාන්‍යයේ විශාලත ම ශාස්ත්‍රීය පුස්තකාලය පිහිටා ඇත්තේ ද එහි යි.

4. සලමන්කා සරසවිය

(en.wikipedia.org)

ක්‍රිස්තු වර්ෂ 1134 දී අරඹන ලද ස්පාඤ්ඤයේ සලමන්කා සරසවිය පිහිටා ඇත්තේ මැඩ්රිඩ් නුවර බටහිර දෙසට වන්න යි. දුප්පත් සිසුන්ට ශිෂ්‍යත්ව ලබා දීමේ අරමුණෙන් පුණ්‍ය ආයතනයක් ලද පිහිටන ලද මෙහි වර්තමානයේ දී සිසුන් 28,000 ක් පමණ අධ්‍යාපනය හදාරනවා.

එසේ ම ලෝක ඉතිහාසය පීරා බැලීමේ දී ඓතිහාසික වශයෙන් ද සලමන්කා සරසවිය වැදගත් වෙනවා. 15 වැනි සියවසේ දී තම ඉන්දියානු ගවේෂණය සඳහා රාජකීය සහය ලබා ගැනීමේ අරමුණෙන් ක්‍රිස්ටෝපර් කොළොම්බස් රාජකීයයන් සහ ඔවුන්ගේ උපදේශකයන් සඳහා කරුණු ඉදිරිපත් කිරීම සිදු කර ඇත්තේ ද ස්වදේශික ඇමෙරිකානුවෙන් සොයා ගැනීමෙන් පසු ව ඔවුන්ට සිදු කළ යුතු දේ පිළිබඳ ව සාකච්ඡා කර ඇත්තේ ද සලමන්කා සරසවියේ දී යි.

5. පැරිස් සරසවිය

(oranpost.blogspot.com)

ප්‍රංශයේ සෝබෝන් විශ්ව විද්‍යාලය යනුවෙන් ද හඳුන්වනු ලබන පැරිස් සරසවිය, ක්‍රිස්තු වර්ෂ 1150 දී ආරම්භ කර ඇත්තේ නොට්‍රෙ-ඩාම් ආසන දෙව්මැදුරේ පාසල ලෙස යි. ප්‍රංශ විප්ලවය හේතුවෙන් ක්‍රිස්තු වර්ෂ 1793 වසරේ දී මෙහි අධ්‍යාපන කටයුතු තහනම් කර විශ්ව විද්‍යාලය වසා දමන ලද අතර පසු ව නැපෝලියන් අධිරාජ්‍යයා විසින් එහි කොටසක් ප්‍රංශ සරසවිය නමින් යළි ගොඩ නගා තිබෙනවා. ක්‍රිස්තු වර්ෂ 1896 දී එය නැවත වරක් පැරිස් සරසවිය ලෙස නම් කර අධ්‍යයන කටයුතු සඳහා විවෘත කළා.

මේ වන විට පැරිස් සරසවිය, ස්වාධීන සරසවි 13 ක් ලෙස ක්‍රියාත්මක වන අතර එයින් ලොවට දායාද කර ඇති නොබෙල් ත්‍යාග ලාභීන් ගණන 62 ක්.

6. කේම්බ්‍රිජ් සරසවිය

(dailyhit.co.uk)

දේශපාලන මත ගැටුමක් හේතුවෙන් ඔක්ස්ෆර්ඩ් සරසවියට සමු දුන් විද්‍යාර්ථීන් පිරිසක් එක් ව ක්‍රිස්තු වර්ෂ 1209 වසරේ ආරම්භ කරන ලද කේම්බ්‍රිජ් සරසවිය අද වන විට සිසුන් 20,000 කට පමණ දැනුම බෙදන, පීඨ 31 කින් සමන්විත විශ්ව විද්‍යාලයක්. එක්සත් රාජධානියේ හොඳ ම විශ්ව විද්‍යාලය ලෙස ගෞරවයට පාත්‍ර වී ඇති එය ලෝකයේ හොඳ ම සරසවි අතරින් සිව් වැනි ස්ථානය හිමි කරගෙන සිටිනවා.

එදා මෙදා තුර බිහි වූ විශිෂ්ටත ම විද්‍යාඥයෙක් ලෙස සැලකෙන ශ්‍රීමත් අයිසැක් නිව්ටන් අධ්‍යාපනය හදාරා ඇත්තේ ද කේම්බ්‍රිජ් සරසවියෙන්. නොබෙල් සම්මාන ලාභීන් 95 දෙනෙකුට සහ බ්‍රිතාන්‍ය අගමැතිවරුන් 15 දෙනෙකුට දැනුම ලබා දුන් කේම්බිජ් සරසවිය, ලෝකයේ පැරණිත ම ප්‍රකාශන නිවසටත් හිමිකම් කියනවා.

7. පදුවා සරසවිය

(dewinterretreat.wordpress.com)

අතීතයේ දී තාරකා විද්‍යාව, නීතිය සහ වෛද්‍ය විද්‍යාව පිළිබඳ පර්යේෂණ සිදු කිරීම සම්බන්ධයෙන් නමක් දිනා සිටි ඉතාලියේ පදුවා විශ්ව විද්‍යාලය, ක්‍රිස්තු වර්ෂ 1222 දී අරඹන ලද්දේ නීති විද්‍යාලයක් ලෙස යි. මධ්‍යතන යුරෝපයේ පැවති ප්‍රමුඛ පෙළේ සරසවියක් වන එය අදටත් සිසුන් වැඩි ම ප්‍රමාණයකට අධ්‍යාපනය ලබා දෙන සරසවියක් ලෙස ප්‍රසිද්ධ යි.

ලෝකයම කැළඹූ නොයෙක් සිද්ධාන්ත ඉදිරිපත් කළ නිකලස් කොපර්නිකස්, විලියම් හාවි සහ ගැලීලියෝ ගැලීලි වැනි දාර්ශනිකයින්ට දැනුම ලබා දුන් පදුවා සරසවියේ මේ වන විට සිසුන් 60,000 කට ආසන්න ප්‍රමාණයක් අධ්‍යාපනය ලබනවා.

8. නේපල්ස් හි දෙවැනි ෆෙඩරීකෝ සරසවිය

(untuffonellazzurro.com)

ලෝකයේ ප්‍රථම රාජ්‍ය විශ්ව විද්‍යාලය ලෙස ක්‍රිස්තු වර්ෂ 1224 දී නේපල්ස් හි දෙවැනි ෆෙඩරීකෝ සරසවිය පිහිටුවන ලද්දේ ශුද්ධ වූ රෝම අධිරාජ්‍යයේ පාලකයා වූ දෙවැනි ෆ්‍රෙඩ්රික් රජු විසින්. මධ්‍යතන යුරෝපයේ ඉහළ ම රාජ්‍ය අනුග්‍රහයක් ලද සරසවිය ලෙස සැලකෙන මෙය අදටත් ඉතාලියේ ඇති විශිෂ්ටත ම පර්යේෂණ විශ්ව විද්‍යාලයක් ලෙස සැලකෙනවා.

අද වන විට පීඨ 13 ක් යටතේ සිසුන් 78,000 කට අධික ප්‍රමාණයක් මෙහි අධ්‍යාපනය හදාරන අතර ස්වභාවික නීති විද්‍යා සිද්ධාන්තය ලොවට ඉදිරිපත් කළ තෝමස් ඇක්වයිනාස් ද නේපල්ස් හි දෙවැනි ෆෙඩරීකෝ සරසවියේ ආදි සිසුවෙක්.

9. සියෙනා සරසවිය

(en.wikipedia.org)

ඉතාලියේ ටස්කනි ප්‍රාන්තයේ මධ්‍යයේ පිහිටා ඇති කුඩා නගරයක් වන සියෙනා හි ජනගහනයෙන් අඩකටත් වැඩි ප්‍රමාණයක් සියෙනා සරසවියේ අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්. ක්‍රිස්තු වර්ෂ 1240 දී ආරම්භ කරන ලද එය යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුමයක් ලෙස ද නම් කර තිබෙනවා.

අද වන විට එහි සිසු සිසුවියන් 20,000 ක් පමණ අධ්‍යාපනය ලබන අතර ඉතාලියේ ඇති හොඳ ම වෛද්‍ය සහ නීති විද්‍යාලයන් පවතින සරසවියක් ලෙස එය ඉතාලි ජාතිකයන් අතර ප්‍රකට යි.

10. කුයිම්බ්‍රා සරසවිය

(en.wikipedia.org)

පෘතුගාලයේ ඩෙනිස් රජු විසින් ක්‍රිස්තු වර්ෂ 1290 දී කුයිම්බ්‍රා සරසවිය ගොඩ නංවන ලද්දේ ලිස්බන් නුවර යි. නමුත් ක්‍රිස්තු වර්ෂ 1537 දී එය ස්ථිර ලෙස ම කුයිම්බ්‍රා නගරයට ගෙන ගිය අතර අදටත් පෘතුගාලයේ ඇති විශාලත ම උසස් අධ්‍යාපන සහ පර්යේෂණ ආයතනය ලෙස එය සැලකෙනවා.

අද වන විට කුයිම්බ්‍රා සරසවිය පීඨ 8 ක් යටතේ ක්‍රියාත්මක වෙන අතර සිසු සිසුවියන් 23,000 ක් පමණ එහි අධ්‍යාපනය ලබනවා. එසේ ම 2013 වසරේ දී යුනෙස්කෝ සංවිධානය විසින් එය ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් කර තිබෙනවා.

කවරයේ පින්තූරය: (hd-wallpaper1.com)

මූලාශ්‍ර:

  1. hellotravel.com
  2. 2ndlook.wordpress.com
  3. en.wikipedia.org
  4. theculturetrip.com
  5. topuniversities.com
  6. guinnessworldrecords.com

Related Articles