“පොහොසත්කම් දුප්පත්කම් සැමට ම වරින් වරට ළං වෙනු නියමයි

ඔහොමත් උඩඟු ව මහතුන් හට ගරු සරු නැති බස් දෙඩුවොත් වැරදියි

තෙද වත් සිරි රජසිහ නරිනිඳුගෙන් දිගුපති මහ පදවිය ලැබුවයි

කතෙලුත් පෙර දා ඒඳඬුවාවේ අංගම් කොටලා ජය ගත්තයි”

ඉහත සඳහන් වන්නේ අංගම් තරගයක ජයග්‍රහණයක් ගැන ලියැවුණු නෙළුම් කවියකි. එහි කියැවෙන්නේ මෙම ලිපියේ කතා නායිකාව සම්බන්ධව යි. ලංකා ඉතිහාසය ගත් විට වරින් වර අසල්වැසි ඉන්දියාවෙන් හා වෙනත් විදේශ ජාතීන්ගෙන් අවස්ථා ගණනාවක දී ම තර්ජන ඇති විය. ඒ අතර මුලින්ම ඉන්දියාවේ සිට පැමිණි ආක්‍රමණිකයන් ලෙස සේන හා ගුත්තික වෙළෙඳුන් හැදින්විය හැකියි. ඔවුන් සූරතිස්ස රජු මරා අනුරාධපුරය වසර විසි දෙකක් පාලනය කළේ ය. පසුකාලීන ව සොළී කුමාරයෙක් වූ එළාර වසර හතලිස් හතරක් අනුරාධපුරය පාලනය කළේ ය. මේ ආදී සිදුවීම් නිසා ලාංකික රජවරුන්ට තම සේනාව හා ආරක්ෂක විධිවිධාන ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව මතු විය.

මෙසේ කඩු ශිල්පය ශක්තිමත් කිරීමට කඩු හරඹ ක්‍රීඩා තරග මහෝපකාරී විය. මහනුවර රාජධානි සමය වන විට කඩු ශිල්පය මුල්කොට ගෙන පැවැත්වූ තරග වූයේ අංගම් කෙටීම යි. දෙදෙනෙකු අතරේ ඇති වන මාරාන්තික සටනක් වන මෙය සිදු කළේ බඹ හතක් ගැඹුරු පතහක් තුළ යි. බොහෝ අවස්ථාවල දී මෙම අංගම් කෙටීම අවසන් වන්නේ ප්‍රතිවාදියාගේ මරණයෙනි.

ඇම්බැක්කේ දේවාලයේ ඇති අංගම් සටන් දැක්වෙන කැටයමක්. (helayugaya.blogspot.com)

මෙම කඩු හරඹ උදෙසා දෙනු ලැබූ ගෞරව නාමයකි ‘පනික්කි රාල’. සුදලියේ පනික්කි රාලලාගේ පරම්පරාව සහ මාරලියේ පනික්කි රාලලාගේ පරම්පරාව කලක් පටන් අංගම් කෙටීමෙන් කීර්තියක් ඉසිලූ පරම්පරා දෙකකි. පනික්කි රාල යන ගෞරව නාමය ලබාගැනීමට නම් පෙර කී අංගම් කෙටීමේ තරගයකින් ජයග්‍රහණය කළ යුතු යි. මාරලියේ පරම්පරාව සුදලියේ පරම්පරාවට වඩා වැඩි කීර්තියක් ඉසිලීය. සුදලියේ පරම්පරාවේ අය බොහෝ විට නීත්‍යානුකූල නොවන ආකාරයට තරග ජය ගන්නා අය බව ජනතාව අතරේ කටකතා පැතිර තිබූ අතර, මාරලියේ පරම්පරාව නීත්‍යනුකූල ලෙස තරග ජයගන්නා අය බව ජනතාව අතර කතා බහකට ලක් විය.

ශ්‍රී වික්‍රම රාජසිංහ රජ දවස පැවති අංගම් කෙටීමේ තරගයකට මාරලියේ පරපුරෙන් ගලගොඩ නිලමේ සහ සුදලියේ පරපුරෙන් සුදලියේ නිලමේ සහභාගි වීමට සිටියේ ය. මොවුන් දෙදෙනා ඒ ඒ පරම්පරාවන්හි නායකයන් ය. මෙකල ගලගොඩ නිලමේගේ බිරිඳ ගැබ්ගෙන සිටි බැවින් ඇය තම ස්වාමිපුර්ෂයා මෙම තරගයට සහභාගි වනවාට කැමැත්තක් දැක්වූයේ නැත. ඇරත් සුදලියේ පරපුර නීත්‍යනුකූල නොවන ආකාරයට තරග ජයග්‍රහණය කරන බවට රාවයන් පැතිර තිබෙන නිසා ඇය මෙයට තදින් ම විරුද්ධ විය. අඩුම තරමින් තමන්ට දරුවා ලැබෙන තෙක් වත් තරගය කල් දැමීමට රජුගෙන් අවසර ඉල්ලන ලෙස ඇය පැවසුවා ය. නමුත් එය සිදු කළ නොහැකි බවත්, එයින් තමන්ගේ මෙන්ම පරපුරේ ගෞරවයට හානි වන බවත් ගලගොඩ නිලමේ පැවසීය. ඔහු තවදුරටත් ඇයට පැවසුවේ තමන් මෙම තරගයෙන් පරාජය වී මිය ගියහොත් ඉපදෙන දරුවා ව තමන්ට වඩා දක්ෂ අංගම් කාරයෙක් බවට පත් කළ යුතු බව යි. එවිට බිරිඳ කියා සිටියේ ඉපදෙන දරුවා ගැහැණු දරුවෙකු වුවහොත් කුමක් කළ යුතු ද යන්න යි. ගැහැණු දරුවෙක් වුවත් තමන්ගේ පැතුම එලෙසින් ම ඉටුකරන ලෙසට ඔහු ඇයගෙන් පොරොන්දුවක් ලබාගත්තේ ය.

ශ්‍රී වික්‍රම රාජසිංහ රජු (lankadeepa.lk)

කෙසේ හෝ දෙදෙනා අතර උඩරට දී ‍රජුගේ මුලසුනෙන් තරගය ආරම්භ විය. දෙදෙනා අතර තරගය නරඹන්නන්ගේ ඇග කිලිපොළා යන තරමට ම තීව්‍ර වී ගියේ ය. මේ අතරතුර සුදලියේ නිලමේ තමන්ට මෙම තරගය ජයගන්නට නොහැකි බව පසක් වී ගෙන ආ විට රජු වෙනතක් බලන ඇසිල්ලෙහි ම නීතියට පිටින් ගොස් පහරක් එල්ල කර ගලගොඩ නිලමේ ව මරණයට පත් කර තරගය ජය ගත්තේ ය.

මින් මාස කිහිපයකට පසු ගලගොඩ නිලමේගේ බිරිඳට දරුවෙක් ලැබුණි. ඒ දරුවා ගැහැණු දරුවෙකි. තම ස්වාමිපුර්ෂයාගේ අවසන් කැමැත්ත අනුව ඇයට වසර හත වන විට සබරගමුවේ සිටි ඥාතීන් වෙත ඇය ව යැව්වේ දක්ෂ අංගම් සටන්කාරියක කිරීමට යි. ඇය එහි දී පුරුදු පුහුණු වී වයස අවුරුදු දොළහෙ දී නැවත මව වෙත පැමිණියා ය. නමින් ඒදඬුවාවේ මැණිකේ නම් වූ ඇය නිතර කියා සිටියේ ඇයට සුදලියේ පරපුර පරාජය කිරීමට නම් මීට වඩා පුහුණුවක් අවශ්‍ය බව යි.

අංගම් සටන් දැක්වෙන සිතුවමක් (youtube.com)

මෙම කාලයේ දී ඉන්දියාවේ මල්ල දේශයෙන් වෙළෙඳුන් ලංකාවට පැමිණ තිබූ අතර ඒදඬුවාවේ මැණිකේගේ දක්ෂකම් අසා ගලගොඩ වලව්වට පැමිණියේ ය. මෙම පැමිණි වෙළෙඳුන් කඩු හරඹ උදෙසා ඉන්දියාවේ නම් දරා සිටි පිරිසකි. ඒදඬුවාවේ මැණිකේට මෙම වෙළෙඳුන් සමග ඉන්දියාවට ගොස් කඩු ශිල්පය ප්‍රගුණ කිරීමට අවශ්‍ය විය. මුල දී ඇගේ මව වූ ගලගොඩ කුමාරිහාමි මෙයට අකමැති වූ නමුත් දියණියගේ බලවත් කැමැත්ත නිසා ඇයට මෙම ගමන යාමට අවසර ලබා දුන්නා ය. ඇය පුහුණුව ලබා නැවත ලංකාවට පැමිණියේ ඊට වසර හයකට පසු යි. ඇය ඉන්දියාවේ දී සිටියේ පිරිමියෙකු ලෙස වෙස්වලා ගනිමිනි.

ඇය ලංකාවට පැමිණි පසු සුදලියේ පරපුර පරාජය කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට සිතුවා ය. මේ සදහා ඇය පුරා වසර ගණනාවක් පුරුදු පුහුණු වී සිටියා ය. ඇය අයත් වූ මාරලියේ පරම්පරාවට මේ වන විට අංගම් නායකයෙක් සිටියේ නැත. එසේ වූයේ ගලගොඩ නිලමෙගෙන් පසු ඒ ස්ථානයට සුදුසු කෙනෙක් නොසිටි නිසාවෙනි. මේ නිසා ඒදඬුවාවේ කුමාරිහාමි පිරිමි වෙසින් සිට රජුගෙන් තමන්ට මෙම පරපුරේ නායකත්වය ඉල්ලා සිටියා ය. නමුත් ඒ සදහා ඇය පනික්කි රාල යන ගෞරව නාමය ලැබිය යුතු යි. මේ සඳහා වූ අංගම් කෙටීමේ තරගයෙන් ඇය පහසුවෙන් ජයගත් අතර, ඉන්පසු ඇය හමුවේ තිබුණේ සුදලියේ පරපුරේ අංගම් නායකයා සමග වූ අංගම් කෙටීමේ තරගය යි. ඇයට තම පරපුරේ නායකත්වය ලබාගැනීමට නම් ඔහු ව මෙම තරගයෙන් පරාජය කළ යුතු ව තිබුණි.

අංගම් සටන් දැක්වෙන සිතුවමක් (pixdaus.com)

තරගය සදහා රජුගේ අවසරය ලබාගත් පසු උදෑසන තරගය ආරම්භ විය. උදය ගෙවුණි. මධ්‍යාහ්නය උදා වී එය ද ගෙවී ගොස් ක්‍රමක්‍රමයෙන් ඉර බැස යාමට ද ගත්තේ ය. නමුත් තවමත් දෙදෙනා තරග පිටියේ ය. සුදලියේ නායකයා කිහිප වතාවක් ම ඇය ව නීත්‍යනුකූල නොවන අයුරින් පරාජය කරන්නට තැත් කළත් ඒවා අසාර්ථක විය. කෙසේ හෝ අවසානයේ දී තියුණු තරගයකින් පසු ඒදඬුවාවේ මැණිකේ ජයග්‍රහණය කළේ ප්‍රතිවාදියා ව මරණයට පත් කරමිනි. තරගයේ මහන්සිය නිසා එවෙලේ ම ඇය උඩුකුරු ව බිම දිගා විය. එසැනින් රාජ පුරුෂයෝ පැමිණ පවන් සැලීම උදෙසා උඩු කයේ ඇඳුම් ලිහිල් කරන විට අනාවරණය වූයේ මේ පිරිමියෙක් නොව කාන්තාවක් බව යි. ඔවුන් මෙය රජුට සැල කළ අතර, මෙම සිදුවීම මුලු උඩරට පුරා ම කතා බහකට ලක් වන්නට විය. ඇය පසු ව සිදු වූ සියලු දෑ රජු හමුවේ පවසා සිටියා ය.

රජතුමා ඇයට ගරු බුහුමන් දැක්වීමට විශාල ගම්වරයක් සහ ඇතුන් පස් දෙනෙක් ප්‍රදානය කළේ ය. ඇතුන් පිට නැගී කකුල් දෙපසට විහිදුවාගෙන යාමට කාන්තාවන්ට එකල තහනම් වූ අතර රජුගෙන් ඇයට එයට ද අවසර හිමි විය. මීට අමතර ව ඇයට රජුගෙන් ලැබුණු විශාලතම ත්‍යාගය වූයේ සතර කෝරළයේ දිසාපති පදවිය යි. පිරිමින්ට පමණක් සීමා වූ දිසාපති පදවිය මෙසේ ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට කාන්තාවකට හිමි විය. ඇය එකල පටන් ඒදඬුවාවේ දිසාපතිනිය ලෙස ප්‍රසිද්ධියට පත් විය.

මේ පිළිබඳ ව තවත් විවිධ ජනප්‍රවාදයන් පැවතෙන අතර ඉන් එකක් පිළිබඳ ව අප මීට පෙර ලිපියකින් ඔබ වෙත ඉදිරිපත් කරන ලදී.

මූලාශ්‍රයයන්:

  1. සිංහලේ ඉතිහාසගත කාන්තාවෝ - ප්‍රේමසිරි මාහිංගොඩ
  2. දිනමිණ, ලංකාදීප පුවත්පත්
  3. helabima.lk

කවරයේ පින්තූරය: අංගම් සටන් - angampora.org