Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මෝඩයන්ගේ දිනයේ ඉතිහාසය ගැන දැනගනිමු

සාමාන්‍යයෙන් වසරේ දින 365ම විවිධ තේමාවන් සඳහා වෙන්වී තිබෙනවා. ඒ අතරින් අප්‍රේල් 1 වැනිදා හඳුන්වනු ලබන්නේ මෝඩයන්ගේ දිනය ලෙස යි. එම නිසා බොහෝ දෙනෙකු එදිනට සිය මිතුරන්ව මෝඩයාට ඇන්ඳවීමට උත්සාහ කරනවා. එසේම ප්‍රසිද්ධ ජනමාධ්‍ය ආයතන සහ සමාගම් පවා එදිනට නොයෙකුත් සාවද්‍ය පුවත් ප්‍රචාරය කරනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් අප්‍රේල් 1 වැනිදා විනෝදයෙන් පිරි දවසක් බවට පත්ව තිබෙනවා. එසේම එදින පළවන ඇතැම් පුවත්වලට ඇත්තටම රැවටෙන පිරිසකුත් සිටිනවා. ඔවුන් ඇතැම් අවස්ථාවල දී එවැනි පුවත් විශ්වාස කිරීම නිසා අකරතැබ්බයන්ට මුහුණදුන් අවස්ථා පවා වාර්තා වනවා. අද වන විට බොහෝ දෙනෙකු විනෝදයෙන් සමරනු ලබන මෝඩයන්ගේ දිනයේ ඉතිහාසය 16 වැනි සියවස දක්වා දිවයනවා. 

16 වන සියවසේ දී දින දර්ශනවල සිදුවුණු වෙනස 

1582 වසරේ සිට ග්‍රෙගරියානු දින දර්ශනය සම්මත දින දර්ශනය ලෙසින් භාවිතා වුණු බව ඔබ අසා ඇති. එතෙක් භාවිතා කරන ලද ජූලියානු දින දර්ශනය වෙනුවට නව ග්‍රෙගෝරියානු දින දර්ශනය සම්මත කිරීමට  මූලිකත්වය ගත්තේ 13 වන ග්‍රෙගරි පාප්වහන්සේ යි. පැරණි ජූලියානු දින දර්ශනය භාවිතා කළ අවධියේ දී අප්‍රේල් 1 වැනිදා නව වසර උදාවුණු දිනය ලෙසින් සැලකුණා. එම නිසා අප්‍රේල් 1 දින නව වසර උදාවීම වෙනුවෙන් විවිධ සැමරුම් උත්සව පැවැත්වුණා. නමුත් නව ග්‍රෙගෝරියානු දින දර්ශනයට අනුව ජනවාරි 1 වැනිදා වසර ආරම්භ වුණා. ග්‍රෙගරියානු දින දර්ශනය සම්මත වුණේ 1582 වසරේ දී වුණත්, 1562 වසර පමණ වන විට යුරෝපයේ ඇතැම් රටවල එය භාවිතා වුණා. 

13 වන ග්‍රෙගරි පාප් වහන්සේ (Wikpedia)

දින දර්ශනවල පැටලිල්ලක් නිසා මෝඩයන්ගේ දිනයේ උපත සිදුවුණු හැටි 

1562 වසර වන විට 9 වන චාල්ස් රජු ප්‍රංශයේ පාලකයා වශයෙන් කටයුතු කළා. ඒ වන විට ප්‍රංශය තුළ නව ග්‍රෙගෝරියානු දින දර්ශනය භාවිතා වෙමින් තිබුණා. නමුත් සැලකිය යුතු පිරිසක් ඒ වන විටත් පැරණි ජූලියානු දින දර්ශනය භාවිතා කරමින් සිටියා. එමඟින් රට තුළ ගැටලු සහගත තත්ත්වයක් නිර්මාණය වුණු නිසා 1564 වසරේ සිට ජනවාරි 1 වැනිදා නව වසර සැමරිය යුතු බවට නීතියක් සම්මත කිරීමට 9 වන චාල්ස් රජු තීරණය කළා. නමුත් අද මෙන් එදා ලෝකයේ සන්නිවේදනය දියුණු මට්ටමක තිබුණේ නැහැ. එම නිසා එරට ඇතැම් ප්‍රදේශවල ජනයාට රජු පැනවූ නව නීතිය පිළිබඳව තොරතුරු දැනගන්නට ලැබුණේ නැහැ. 

එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔවුන් සුපුරුදු පරිදි අප්‍රේල් 1 වැනිදා නව වසර උදාවීම සමරනු ලැබුවා. ජනවාරි 1 වැනිදා නව වසර සැමරිය යුතු බවට නීතියක් සම්මත කර තිබියදීත් තම රටේ සැලකිය යුතු පිරිසක් පැරණි ආකාරයට අප්‍රේල් 1 වැනිදා නව වසර සැමරීම පිළිබඳව රජතුමා කෝපයට පත්වුණා. එනිසා අප්‍රේල් 1 වැනි දින නව වසර සමරන සෑම පුද්ගලයෙකුම මෝඩයෙකු සේ සැලකිය යුතු බව රජතුමාගේ නිර්දේශය වුණා. එම සිදුවීමෙන් පසුව අප්‍රේල් 1 වැනිදා මෝඩයන්ගේ දිනය ලෙස සැලකීමට ප්‍රංශ වැසියන් පුරුදු වුණා. ඒ අයුරින් ප්‍රංශයෙන් ආරම්භ වුණු මෝඩයන්ගේ දිනය පසු කලෙක යුරෝපය පුරා පැතිර ගියා.

වන චාල්ස් රජතුමා (Famous People)

මෝඩයන්ගේ දිනය සැමරීම ලොව පුරා ප්‍රචලිත වීම 

16 වන සියවසේ දී ප්‍රංශයෙන් ආරම්භ වුණු මෝඩයන්ගේ දිනය සැමරීම 17 වන සියවස වන විට යුරෝපයේ වෙනත් රටවල් කරා ද පැතිරගොස් තිබුණා. නමුත් මෝඩයන්ගේ දිනය ලොව පුරාම ප්‍රචලිත වීම සිදුවුණේ 18 වන සියවසේ දී බ්‍රිතාන්‍යය මෙම දිනය සැමරීමට පටන් ගැනීමත් සමග යි. 

එම කාලයේ ලෝකයේ රටවල් බොහොමයක් බ්‍රිතාන්‍යයේ යටත්විජිත වශයෙන් පැවතුණා. එනිසා බ්‍රිතාන්‍යය මෝඩයන්ගේ දිනය සැමරීම ආරම්භ කිරීමත් සමගම ඔවුන්ගේ යටත්විජිතවල ද මෝඩයන්ගේ දිනය සැමරීම ඇරඹුනා. බ්‍රිතාන්‍යයන් ඇමරිකා එක්සත් ජනපදයට ද මෝඩයන්ගේ දිනය සැමරීම හඳුන්වාදුන්නා. 

එකල අප්‍රේල් 1 වැනිදා රැවටෙන පුද්ගලයන්ව April Fish යනුවෙන් හැඳින්වීමට පුරුදුව සිටියා. ඔවුන්ව ඒ නමින් හඳුන්වනු ලැබුවේ, මාළුවා රැවටීම හේතුවෙන් ඇමට අසුවන නිසා යි. ඊට අමතරව  ස්කොට්ලන්ත ජාතිකයන් අප්‍රේල් 1 වැනිදා රැවටෙන පුද්ගලයන්ව හැඳින්වීම සඳහා April Gowk යන වචනය භාවිතා කරනු ලබනවා.

පසුගිය සියවස තුළ අප්‍රේල් 1 වැනිදා ජනමාධ්‍යවල පළවුණු අමුතු පුවත් 

පසුගිය සියවස තුළ විවිධ ජනමාධ්‍ය ආයතන අප්‍රේල් 1 වැනිදා අමුතු මාදිලියේ පුවත් පළ කරනු ලැබුවා. ඉන් සමහර පුවත් අසත්‍යයැ යි විශ්වාස කිරීමට පවා අපහසු වුණා. පහත දක්වා තිබෙන්නේ ඒ අයුරින් පළ වුණු පුවත් කිහිපයක්.

1) 1957 අප්‍රේල් 1 වැනිදා බ්‍රිතාන්‍යයේ බීබීසී සේවය මිනිත්තු 3ක පමණ අපූරු වැඩසටහනක් විකාශය කළා. එම වැඩසටහන මඟින් විකාශය වුණේ ගස්වලින් ස්පැගටි අස්වැන්න නෙළාගන්නා ස්විට්සර්ලන්තයේ කාන්තාවන් පිරිසක් පිළිබඳව යි. එම කාල වකවානුව වන විට බ්‍රිතාන්‍යයේ වැඩි දෙනෙකු ස්පැගටි ආහාරයට ගත්තේ නැහැ. එනිසා ස්පැගටි යනු තිරිඟු පිටි සහ ජලයෙන් සාදන ලද පැස්ටා බව ඇතැම් බ්‍රිතාන්‍යයන් දැන සිටියේ නැහැ. එහි ප්‍රතිඵලයක් වශයෙන් එදා බොහෝ පිරිසක් ස්පැගටි ගස් පුවතට රැවටුණා. 

2) 1985 අප්‍රේල් 1 වැනිදා ජෝර්ජ් ප්ලිම්ප්ටන් නැමැති ක්‍රීඩා රචකයා එක්තරා ක්‍රීඩා සඟරාවකට අරුම පුදුම ලිපියක් ලියා තිබුණා. එම ලිපියෙන් දැක්වුණේ පැයට සැතපුම් 168ක වේගයෙන් පන්දු යැවිය හැකි ක්‍රිකට් තණතීරුවක් සකස්වෙමින් පවතින බවයි. එම පුවතටත් එකල ක්‍රීඩා ලෝලීන් විශාල ලෙස මුලාවී තිබුණා.

3) 1992 අප්‍රේල් 1 වැනිදා එක්තරා ඇමරිකානු ගුවනවිදුලි නාලිකාවක් උණුසුම් පුවතක් පළ කළා. ඒ, රිචඩ් නික්සන් නැවත වරක් ජනාධිපතිධුරය සඳහා තරග කිරීමට සූදානම් වන බව යි. ඇමරිකානු ඉතිහාසය තුළ සිය ධුරයෙන් ඉල්ලා අස්වුණු එකම ජනාධිපතිවරයා ලෙසින් ඉතිහාසගත වුණු නික්සන් වසර 20කින් පසුව යළි ජනාධිපති සටනට පිවිසීම ඇමරිකානුවන්ව මවිත කළ පුවතක් බවට පත්වුණා.

රිචඩ් නික්සන් (Britannica)

අප්‍රේල් 1 වැනිදා උපත ලැබූ ප්‍රසිද්ධ පුද්ගලයන් 

අප්‍රේල් 1 වැනිදා උපන්දිනය යෙදී තිබෙන අය සිය මිතුරන්ගේ විහිළුවට ලක්වීම සුලභව දක්නට ලැබෙන දෙයක්. නමුත් ලෝක ඉතිහාසය තුළ අප්‍රේල් 1 වැනිදා ප්‍රසිද්ධ පුද්ගලයන් රැසක් උපත ලබා තිබෙනවා. 

1) 1578 අප්‍රේල් 1- රුධිර සංසරණ පද්ධතිය පිළිබඳ අනාවරණය කරගත් විලියම් හාවේ 

2) 1815 අප්‍රේල් 1- ජර්මානු චාන්සලර් ඔටෝ ෆොන් බිස්මාක් 

3) 1875 අප්‍රේල් 1- ඉංග්‍රීසි ලේඛක එඩ්ගාර් වොලස් 

4) 1957 අප්‍රේල් 1- එංගලන්ත ක්‍රිකට් නායක ඩේවිඩ් ගවර් 

5) 1885 අප්‍රේල් 1- බ්‍රිතාන්‍ය අගමැති වින්සටන් චර්චිල්ගේ බිරිඳ ක්ලෙමන්ටින් චර්චිල්

6) 1927 අප්‍රේල් 1- හංගේරියාව සහ ස්පාඤ්ඤය නියෝජනය කළ සුපිරි පාපන්දු ක්‍රීඩක ෆ්රෙන්ස් පුෂ්කාස් 

මේ අයට අමතරව ලෝකයේ කීර්තිමත් පුද්ගලයන් 100කට අධික පිරිසකගේ උපත අප්‍රේල් 1 වැනිදා සිදුව තිබෙනවා. එම නිසා මින් ඉදිරියට ඔබේ උපන්දිනය අප්‍රේල් 1 වැනිදා යෙදී තිබෙන බව කීමට ලැජ්ජා විය යුතු නැහැ. 

විලියම් හාවේ (Alchetron)

කවරයේ ඡායාරූපය- 20 වන සියවසේ දී අප්‍රේල් 1 දින වෙනුවෙන් නිර්මාණය වුණු කාටූනයක් (pinterest)

මූලාශ්‍රයයන්- cnn.com

Related Articles