Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශ්‍රී වික්‍රම රාජසිංහගේ හිතුවක්කාර රජකම

ශ්‍රී ලංකාවේ අන්තිම රජු ලෙස සැලකෙන ශ්‍රී වික්‍රම රාජසිංහට රජකම් කරන්නට ලැබුණේ අවුරුදු 17ක් පමණ යි. ඉංග්‍රීසින් අත්අඩංගුවට ගන්නා විට ඔහු අවුරුදු 35ක කඩවසම් තරුණයෙක්.  මේ රජුගේ යහපත්කම වෙනුවට වඩාත් ඉස්මතු ව තිබෙන්නේ කෲරත්වය සමඟ මුසුවූ ක්‍රියාකාරකම්.  

ඒ අතරින් සුවිශේෂී සිද්ධිය වෙන්නේ ඇහැළේපොළ පවුලේ සියලු දෙනා ම ම්ලේච්ඡ ලෙස ඝාතනය කරවීම යි. මේ ඔහුගේ දේශපාලන ඉතිහාසයේ සිදුවීම් කිහිපයක් ගැන යොමු කළ බැල්මක්. 

ශ්‍රී වික්‍රම රාජසිංහ රජු -wikipedia.org

කන්නසාමි රාජ ධූර

රාජාධිරාජසිංහ රජු වර්ෂ 1798 දී මිය ගියේ දරුවන් අහිමි ව යි. එකල මහ අදිකාරම් වශයෙන් සිටියේ පිළිමතලාවෙ යි. රාජාධිරාජසිංහගේ මෙහෙසියන් තිදෙනාට කන්නසාමි නමින් බාල ඥාති සහෝදරයෙක් හිටියා. රාජාධිරාජසිංහ මිය යන විට කන්නසාමිගේ වයස යන්තම් අවුරුදු 18ක් පමණ යි. නායක්කර් වංශික කන්නසාමි උඩරට සිංහාසනයට උරුමකරු ලෙස නම් කළේ  පිළිමතලාවේ අදිකාරම යි. ඔහුට රජකම ලබා දීමට මහ අදිකාරම තම ආධිපත්‍ය බලය ද යොදාගෙන තිබෙනවා.

මදුරාපුර රාජ පරම්පරා වත නැමති පුස්කොළ ලේඛනයට අනුව ද ශ්‍රී වික්‍රම රාජසිංහ රජු පිළිමතලව්වේ අදිකාරමට දා ව ඉපදුණු කුමාරයෙක්.  එම කතාවලට අනුව මේ රජු උපත ලද්දේ වැන්දඹු නායක්කර් රාජ මහේෂිකාවකගේ සොහොයුරියකට පිළිමතලව්වේ උඩරට මහ අදිකාරම සමඟ පැවති අනියම් සම්බන්ධය නිසයි.

2 රාජ සභාවේ අවස්ථාවක්- ප්‍රසන්න වීරක්කොඩිගේ චිත්‍රයක්- pinterest.co

කන්නසාමි කුමරුගේ මව්

ඓතිහාසික මූලාශ්‍ර බොහොමයක ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ මව ලෙස සදහන් වන්නේ රාජාධිරාජසිංහ රජුගේ බිසවකගේ සහෝදරියක්. ඒ ගැන මහාවංශ ආදී ප්‍රධාන ඓතිහාසික ග්‍රන්ථවල සදහන් නොවුණත් ශ්‍රී වික්‍රම රාජසිංහ චරිතය කවි නැමති අමුද්‍රිත පුස්කොළ පොතේ  කවියක මෙසේ සඳහන් තිබෙනවා:

තෙදින යුතුවන රාජසිංහරජ දෙවෙනි බිසවුගෙ නැගනි පුතු වන
සොදින දස අටවයස් සපිරුණ කන්නසාමී කුමරු නිව (ස)න
නමින තම්පලවත්ත යයි පරසිඳු වූ ඉඩමට ගොසින් විගසින
සුගුන කන්නසාමි කුමරුට මෙසේ කීවයි ඒ මැති මෙසේ රහසින

එම කවි පොතට  අනුව කන්නසාමි කුමරු රාජාධිරාජසිංහ රජුගේ දෙවන මෙහෙසිය වූ උපේන්‍ද්‍රම්මා නැමති නායක්කර් වංශික බිසවගේ නැගණියගේ පුත‍්‍රයකු වෙනවා.  

රජුගේ අත්සන – Archaeology.lk

යොවුන් කඩවසම් රජෙක්

වර්ෂ 1798 දී සොලොස් හැවිරිදි යව්වනයෙක් උඩරට සිංහාසනයේ වාඩි වෙනවා. රජු අසල ම හිඳ නිතර ඔහුට බලපෑම් කරමින් රට පාලනයට එක් වුණේ මහ අදිකාරම වුණු පිළිමතලව්වෙ යි. ජෝන් ඩොයිලිගේ දින පොතේ 1798 වසරේ දින සටහනක ඒ ගැන මෙසේ  ලියා තිබෙනවා:

“අලුත් රජු අටළොස් හැවිරිදි බැවින් කලක් යනතුරු ඔහුගේ ඇමැතියා (පිළිමතලව්වේ) ආධිපත්‍යය දැරුවේ ය. ඇමැතිගේ බලාපොරොත්තුව වූයේ 1739 සිට පාලන බලයේ සිටි මලබාර් රජ පරපුර පිටු දැක දේශීය රජ පරපුරක් බලයේ පිහිටුවීම ය. තමන් ද රාජ වංශිකයකු ලෙස පෙනී සිටීම සඳහා ඔහු තම දියණිය ද රජුට අනියම් බිරියක ලෙස පාවා දෙනු ලැබුවේ ය.”

බිසෝ මාලිගය වූ මැද වාහල – sridaladamaligawa.com

 

මෙසේ ළාබාල නායක්කර් කුමරකු රජකමට පත් කිරීම පිටුපස වෙනත් අරමුණක් ද පැවති බව හෙළි ව තිබෙනවා. උඩරට රාජධානියේ අවසන් කාලයේ දී හටගත් විවිධ අවුල් සහගත තත්ත්වයන් යටතේ එකල පිළිමතලව්වේට අවශ්‍ය වුණේ  කන්නසාමිට මුලින් රජකම ලබා දී  පසුව ඔහු බලයෙන් පහකර දැමීම යි. ඉන් පසු අනාගතයේ දී සිංහල රජ පරපුරක් ඇතිකර ගැනීම යි.  එනම් තමාට රජ කිරුළ හිමිකර ගැනීම යි.  ඒ අරමුණ මත ශ්‍රී වික්‍රම රාජසංහ රජු රූකඩයක් ලෙස තබාගෙන, තමාට අවශ්‍ය ආකාරයට පාලන කටයුතු කිරීමට පිලිමතලව්වේ උත්සාර කර තිබෙනවා.

පිළිමතලව්වේගේ කූට උපක්‍රම

ඒ කාලයේ දෙවැනි අදිකාරම ලෙස සිටි  ඇරැව්වාල නිලමේ හොර රහසේ මරා දැමීමටත් පිළිමතලව්වේ හවුල් බව පේනවා. නමුත් ටික කලක් ගතව රජු වයසින් මෝරන විට පිළිමතලව්වේගේ කූට උපක්‍රම ඔහුට හොඳින් තේරුම් ගියා.  මේ නිසා මහඅදිකාරම සම්බන්ධ ව තිබූ කැමැත්ත හා විශ්වාසය ඔහු ඉවත දැම්මා. ඒක දැන ගත් විට කෝපයට පත්වූ පිළිමතලව්වේ කුමන්ත්‍රණය කළේ රහසිගත ව ඉංග්‍රීසීන්ගේ උදව්ව ගෙන රජු නෙරපා රජවීමට යි. ඒ සදහා සාකච්ඡා වට කිහිපයක් පැවතුණ ද ඉංග්‍රීසින් පිළිමතලව්වේගේ අදහසට කැමති වුණේ නැහැ.

මෙම රජු කඩවසම් පුද්ගලයකු වූ බව ඔහුගේ හැඩරුව පිළිබඳ තොරතුරු දැක්‌වෙන විදේශීය වාර්තා අනුව පෙනී යනවා. ඒවාට අනුව රජුගේ උස අඩි හයක්‌ පමණ වෙනවා. ලොකු කළුවන් නෙත් සඟළකින් යුක්‌ත යි. ප්‍රසන්න පෙනුමකින් යුත් මුහුණේ තිබූ ඔපකළ රැවුළ නිසා ලැබී තිබුණේ තේජවන්ත පෙනුමක්. ඔහු ප්‍රාංශු දේහධාරී පුද්ගලයෙක්. රජු ගැන මෙසේ විස්‌තර කර තිබෙන්නේ ඉංග්‍රීසීන්ගේ අත් අඩංගුවට පත්වීමෙන් පසු ඔහුගේ වෛද්‍යවරයා ලෙස කටයුතු කළ හෙන්රි මාර්ෂල්  ය.

5 අග බිසව වූ වෙන්තක රෙංගම්මාල් – Wikipedia.org

 

බිසෝවරු හතරයි

1815 පෙබරවාරි 18 දින රජු මැද මහනුවර බෝමුරේ දී ඉංග්‍රීසි අත්අඩංගුවට ගන්නා විට ඔහුට බිසෝවරුන් සතර දෙනකු සිට තිබෙනවා. ඒ අතරින්  දෙදෙනකු රජු සමඟ සැඟ ව සිටි අතර ඉතිරි දෙදෙනා රජුගේ මව සමඟින් උඩ දුම්බර හංවැල්ලට පිටත්කර යවා සිටි බවත් ඩොයිලිගේ දින පොත සදහන් කරනවා.

රජු 1813 දී අවසන් වරට විවාහ කර ගෙන ඇත්තේ වැඩිවියට පවා නොපැමිණි ළාබාල දැරියන් දෙදෙනෙක්. තම බිසෝවරුන් සතර දෙනාට මෙන් ම මවටද රජු මහත් ආදරයක් හා සැලකිල්ලක්‌ දැක්‌වූ බව ඩොයිලිගේ දිනපොතේ 1815 පෙබරවාරි 22 දින සටහනෙන් පැහැදිලි වෙනවා.

 ඇහැලේපොල ඉංග්‍රීසින් සමග සාකච්ඡා කරමින් – Divaina.com  

ඝාතන රැල්ල

රජුගේ කුරිරු ඝාතන රැල්ල ආරම්භ වී ඇත්තේ 1811 සිට බව ඉතිහාසය පිරික්සන විට පේන කරුණක්. ඉංග්‍රීසින්ගෙන් එල්ල වන අවදානමට වැඩි අවදානමක් උඩරට රදළවරුන්ගෙන් රජුට එල්ල වෙමින් තිබුණා. ඔහු විශ්වාස කළ රජ වාසල ප්‍රධානින් ඔහුට ද්‍රෝහී වන බව හෙළි වුණා. මේ නිසා රජු ඉංග්‍රීසින් තෑගි ලෙස එවන පිටරට මත්පැන් බොමින් හිතුවක්කාර ලෙස හැසිරුණා. මහනුවර දළදා මැදුර අසල කිරි මුහුද තැනවීම, මාලිගාවේ වාහල්කඩ හා පත්තිරිප්පුව තැනවීම, කුමරුප්ප වීදියේ සිට තල්වත්ත දක්‌වා දිය අගලක්‌ කැප්පවීම, කුණ්‌ඩසාලේ මාලිගාවක්‌ කරවීම ආදී වැඩ කටයුතු කිහිපයක් ම ඔහු ආරම්භ කර තිබුණා.  

මේ වැඩකටයුතුවලට පිළිමතලව්වේ දැඩි සේ විරුද්ධ වීම නිසා කෝයට පත් රජු පිළිමතලව්වේ අදිකාරම්ගේ සියලු නිල තනතුරු තහනම් කර තිබෙනවා. ඒ අතර රාජද්‍රෝහී වීම නිසා අදිකාරමගේ බෑනා කෙනකු ඇතුළු ව තවත් සත් දෙනෙක් එල්ලා මැරීමටත් රජු නියෝග කරනවා.  ඉන් පසුව තමන් රජකමට පත් කිරීමට වෙහෙසුණු පිළිමතලව්වේ ද රාජ ද්‍රෝහි වීමේ හේතුව මත මරා දැමීමට ශ්‍රී වික්‍රම රජුට සිදු වෙනවා. පිළිමතලාවේගෙන් පසු දෙවැනි අදිකාරම්ව සිටි ඇහැලේපොළ නිලමේ මහ අදිකාරම් ලෙස පත් කෙරෙනවා. ඇහැළේපොළ, පිළිමතලාවගේ බෑණා යි. ඔහුත් විශ්වාසය බිඳිමින් ටික කලකට පසු ව සබරගමුවේ දී රජුට විරුද්ධ ව කැරැල්ලක් සංවිධානය කරනවා.  එය රජු මැඩ පැවැත්වීමෙන් පසු ඇහැළේපොළ කොළඹට පලා ගොස් ඉංග්‍රීසින්ට එක් ව උඩරට යටත් කර ගැනීමට සහාය දෙනවා.

උඩරට ජන ප්‍රධානින්- sripada.com

ඇහැලේපොළ පවුල ඝාතනය

කෝපයට පත් රජු ඇහැලේපොළවෙනුවට ඔහුගේ මුළු පවුල ම මරා දමන ලෙස නියෝග කළා. ඒ අනුව ඇහැලේපොළ කුමාරිහාමි සහ කුඩා දරුවන් තිදෙනා ම ම්ලේච්ඡ ලෙස මරා දමනවා. ඉන් පසු මහනුවර නගරය ම මළ ගෙයක් සේ ශෝක වූ බව ඩොයිලිගේ වාර්තාවල දැක්වෙනවා. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු මෙවැනි  දරුණු තීරණ හිතුමතේ ගැනීමට හේතුව, අධික ලෙස මත්පැන් පානය කර සිටීම බවයි ඉංග්‍රීසීන්ගේ වාර්තාවල දැක්වෙන්නේ.

මේ කාලයේ රජුගේ බිසව හදිසියේ මිය ගිය බැවින්, නැවතත් බිසෝවරුන් දෙදෙනෙ කු සරණ පාවා ගත් බවත් සදහන් වෙනවා.

 රජුගේ සිංහාසනය සහ ඔටුන්න- wikipedia.org

උඩරට ඉංග්‍රීසි ආක්‍රමණය  

1814 අග දී  ඉංග්‍රීසි පාලන ප්‍රදේශවල සිට වෙළෙඳාම පිණිස මහනුවරට පැමිණි කණ්ඩායමක් අත්අඩංගුවට ගත් රජු, ඔවුන් ඉංග්‍රීසීන්ගේ ඔත්තුකරුවන් යැයි සැකකර, ඔවුන්ගේ අත්, කන්, නාසා කපා, බෙල්ලේ එල්ලා, භයානක වධහිංසා පමුණුවනවා. ආපසු කොළඹට පයින් යන අතරතුර දී මොවුන්ගෙන් අට දෙනකු  මළ බවත්, දෙදෙනකු කොළඹට ගොස් ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයාට සිද්ධිය දැනුම් දෙනවා. උඩරට සමඟ පැටලීමට මගක් සොයමින් සිටි ආණ්ඩුකාරවරයා එම කරුණ පදනම් කරගෙන උඩරට රජු සමඟ යුද්ධ කරන බවට 1815 ජනවාරි 10 වැනි දින ප්‍රකාශ කළා.  ටික දවසකින් ම ඉංග්‍රීසි සෙබළ මුළු,  කණ්ඩායම් අටකට බෙදී, ලංකාවේ අට කොනින් මහනුවර බලා පිටත් වුණා. ඇහැලේපොළ නිලමේ මහනුවර යටත්කර ගත හැකි රහස් ඉංග්‍රීසින්ට ලබාදී තිබුණා.

ඉංග්‍රීසින් මහනුවර වටකොට මාලිගයට පැමිණියත් එහි කිසිවකු සිටියේ නැහැ. මහනුවර අල්ලා ගත් ඉංග්‍රීසි හමුදාව සමඟ ඇහැළේපොළගේ සබරගමුවේ සිංහල හමුදාව රජතුමා සෙවීමට පටන් ගත්තා. 

 රජු අල්ලාගත් අවස්ථාවේ චිත්‍රයක්- wikipedia.org

රජු අල්ලා ගැනීම

අන්තිම සිංහල රජු සැඟවුණු තැනින් අල්ලාගෙන ඒමට ගිය පිරිසේ එක්නැලිගොඩ මොහොට්ටාලත් සමඟ සපරගමුවේ පන්සීයක් පමණ සෙනඟ ද, ඉඹුන්වල ආරච්චි සහ යටිපහුවේ කංකානම ද සිටියා. බාල කොලුවකු බියට පත් ව රජු බෝමුරේ රාලගේ නිවසේ අටුවේ සැඟ ව සිටින බව පැවසුවා. නිවෙස වට කළ සිංහල හේවා පන්නය දොරගුළු කඩා, රජු අල්ලාගෙන වධදෙන්න පටන්  ගත්තා.  

බිසෝවරුන්ගේ ඇඳුම් ඉරා අඩන්තේට්ටම් කළා. රජු බැඳ දමා බිම දිගේ ඇද ගෙන ගියා. ඒ නිසා  කර්නල් හාර්ඩ් – හුක් ඇතුළු ඉංග්‍රීසි හමුදාවේ නිලධාරින් පැමිණ රජු ගෞරව සහිත ව ඇතිව අත්අඩංගුවේ මහනුවරට රැගෙන විත් තිබෙනවා.

වෙල්ලෝරයේ පිහිටි රජුගේ සහ බිසවගේ සොහොන් ස්මාරකය- wikipedia.org

ඉන් පසුව ශ්‍රී වික්‍රම රාජසිංහ රජු බලසම්පන්න හේවා පිරිසක් ආරක්ෂාකාරීව වෑඋඩ, කුරුණෑගල, අහුගොඩ, දඹදෙණිය ආදී හත්කෝරලේ පෙදෙස් හරහා මීගමුවට රැගෙනවිත් කොළඹට කැඳවාගෙන පැමිණියා. රජුගේ වාසයට කොළඹ කොටුවේ ගාලුමුවදොරට නුදුරින් අලංකාර ලෙස සැරසිලි කරන ලද පහසුකම් සහිත නිවසක් ලබා දී තිබෙනවා. පසුව කෝන්වලිස් නම් නැවෙන් ඉන්දියාවේ වෙල්ලෝරයට පිටුවහල් කළ රජුට නිවාස අඩස්සියේ වසර 16ක් සිරබත් කෑමට සිදුවුණා.  ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා, අවුරුදු 52ක් ජීවත් ව සිට 1832 දී, දරුණු උදරාබාධයකින් මෙලොව හැර ගිය බව සඳහන් වෙනවා.

කවරයේ ඡායාරූපය- ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අත්අඩංගුවට ගත් අවස්ථාව- මහේන්ද්‍ර රන්දෙනියගේ චිත්‍රයක් - apisrilankan.com

මූලාශ්‍ර:

දිවයින සැප්තැම්බර් 22, 2021 එන්. ජී. ආර්. පී. වික්‍රමරත්නගේ ලිපිය

කන්ද උඩරට මහනුවර- අනුරාධ සෙනෙවිරත්න

Dinamina.lk

Divaina.com        

 

Related Articles