රටේ අර්බුද හමුවේ දෙවැනි බැමිණිතියාසාය අතේ දුරින් ද?

මැයි මාසයේ දී ම එවක රටේ අගමැති, වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ රටට අනතුරු ඇඟෙව්වේ ඉදිරියේ දී සාගත කාලයක් එන නිසා දෙවේලක් කන්නට සූදානම් වන ලෙස යි. අපේ කෘෂි විද්‍යාඥයො නම් මේ ගැන අනතුරු ඇඟෙව්වෙ අවුරුද්දකට ඉස්සර යි. ඒ කාබනික වගා සංග්‍රාමය මහ ඉහළින් පටන් ගත් විගස යි. විද්වතුන් ඒ ගැන පසුගිය දා යළිත් අනතුරු ඇඟෙව්වා.

දෙවැනි බැමිණිතියාසාය අතේ දුරින් තිබෙන බව සමහර ආර්ථික විචාරකයන් පවසනවා. අපේ ඉතිහාසය දෙස බලන විට හමුවන දරුණුත ම සාගතය තමයි බැමිණිතියා සාය කියන්නේ. ඉතින් අපි ඒ ගැන දැනුම්වත් වී සිටීම යහපත් නේද?

 දැනටත් සමාජයේ වැඩි පිරිසකට ආහාර හිඟයි- sandiegouniontribune.com

වර්තමාන ආහාර අහේනිය

කාබනික සංග්‍රාමයට පින් සිදු වන්නට අපේ සහල් සහ එළවළු අස්වැන්න වගේම තේ වගාවේත් අස්වැන්න පහත වැටුණා. වී අස්වැන්න හරි අඩකින් පහළ වැටුණා. මේ නිසා රුපියල් 60- 80ත් මිලකට තිබුණු හාල් කිලෝව රුපියල් 250 සිට 300 දක්වා ඉහළ ගිහින්.

මේ අවුරුද්ද අවසන් වන විට මුල්‍ය අසමතුලිතතා හේතුවෙන් ශ්‍රී ලංකා​වේ ආර්ථිකයේ ඉදිරි දැක්ම බෙහෙවින් අවිනිශ්චිත බවයි පැවසෙන්නේ. දැනට පවත්නා විනිමය අර්බුදය හේතුවෙන් ඉන්ධන, බොරතෙල්, ගෑස්, පොහොර සහ කිරිපිටි, සහල් ඇතුළු ආහාර ද්‍රව්‍ය ආනයන ක්‍රියාවලිය මන්දගාමී වෙලා තිබෙන්නේ. උද්ධමනය ඉහළ යාම නිසා බඩු මිල කිහිප ගුණයකින් වැඩිවෙලා.

ඉන්ධන, පොහොර සහ වෙනත් අත්‍යවශ්‍ය යෙදවුම් හිඟය හේතුවෙන් යල කන්නයේ බෝග වගාව ඉතාම අඩු මට්මකට පත් ව ඇති බවත්, ඒ හේතුවෙන් ඉදිරියේ දී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල දැඩි හිඟයක් ඇති විය හැකි බවත් ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය සුරැකීම සඳහා වූ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ එකමුතුව පසුගිය දා අනතුරු අඟවා සිටියා .

සහල් හිඟයක් ළඟ බවට අනතුරු ඇඟවීම් – laksara.com

බත සපයන වී වගාවේ අස්වැන්නෙන් 50%ක් හා බඩ ඉරිඟු වගාවේ අස්වැන්නේ 65% – 70%ක ප්‍රමාණයක් පසුගිය මහ කන්නයෙන් අහිමි වූ බවත් එහි ප්‍රතිඵල දැන් අත්විඳින බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ කෘෂිකර්ම පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ සඳහන් කර සිටිනවා.

ලබන ඔක්තෝබර් මාසයේ සිට සෑම මාසයක ම පාහේ මසකට සහල් මෙට්‍රික් ටොන් 195,000ක පමණ හිඟයක් රටේ ඇතිවනු ඇතැ යි ද ඔහු පවසනවා. දැනටත් බෙහෝ ගැමි පවුල්වලට තුන් වේල කන්න අමාරු යි. වඩාත් ම පීඩා විඳින්නේ රටට බත සපයපු ගොවි ජනතාව යි.

දඹුලු විහාරයේ තිබෙන වළගම්බා පිළිමය (නිල් පැහැති නිශ්ශංකමල්ල ප්‍රතිමාවට එපිටින්) -wikipedia.org

බැමිණිතියා සාය කුමක්ද?

ක්‍රිස්තු පූර්ව පළමු ශත වර්ෂයේ තමයි මේ සාගතයෙන් අපේ රට පීඩා වින්දේ. බැමිණිතියාසාය ලංකා ඉතිහාසයේ සඳහන් දරුණුත ම සාගතය සේ සැලකෙනවා. එය පැවතුණේ වට්ඨගාමිණී උභය නොහොත් වලගම්බා රජ කාලයේ දියි.

දකුණු ඉන්දීය මහාද්වීපයෙන් එල්ල වූ ද්‍රවිඩ ආක්‍රමණ නිසා අපේ වාරි ශිෂ්ටාචාරය විනාශ වීම, දිගුකාලීන දැඩි නියඟය හා වලගම්බා රජුට ද්‍රවිඩ ආක්‍රමණ හමුවේ (ක්‍රිස්පූතු පූර්ව 103-89) අනුරාධපුර රාජධානියෙන් පලා යාමට සිදුවීම යන කරුණු මේ සඳහා බලපා තිබෙනවා.

 සාගතය සමයේ දිය බිඳත් ඉල්ලන භික්ෂුන් වහන්සේ – ආලෝකෝ උදපාදි චිත්‍රපටයෙන්- sarasaviya.lk

සාගතය ඇතිවීමට හේතුව

මේ සාගතය කාලයේ වලගම්බා රජු වන වැදී සතුරන්ට එරෙහි ව සේනා සංවිධානය කළා. රට පාලනය කළේ පුලහත්ථ, බාහිය, පනයමාර, පිළයමාර, දාඨික යන නම්වලින් හැඳින්වුණු ද්‍රවිඩ බ්‍රාහ්මණයන් පස් දෙනෙක්. මේ කාලයේ කැරලිකාරී වාතාවරණයක් ද රටේ පැවතුණා. මෙම කාලය ශ්‍රී ලංකාවට අඳුරුත ම පිඩිත කාලයක් බව පැවසෙනවා.

තද නියගයක් ඒ කාලයේ රටේ පැවතුණා. දකුණු ඉන්දීය ආක්‍රමණිකයන් ඔවුන් යටත් කරගත් ප්‍රදේශවල වැව් අමුණු අලුත්වැඩියා කිරීම හා නඩත්තු කිරීමට කටයුතු කළෙත් නෑ. ක්‍රිස්තු පූර්ව 89 වන විට වලගම්බා රජු සටන් කර අනුරාධපුරයේ බලය නැවත හිමි කර ගන්නවා. ඉන් පසු රජු කැඩි බිදී විනාශ වි ගිය වැව් අමුණු නැවත යථා තත්වයට පත් කිරීමට කටයුතු කරනවා. මේ නිසා වලගම්බා පාලනය ආරම්භ වී ටික කලක් ගත වන විට බැමිණිතියා සාය නම් වූ මහා දුර්භික්ෂය පහ ව යාම ආරම්භ වුණා.

 බැමිණිතියසායෙන් පීඩාවට පත් භික්ෂුන් වහන්සේ -ආලෝකෝ උදපාදි චිත්‍රපටයෙන්- sarasaviya.lk

ඓතිහාසික සාධක

මහාවංශය නම් මේ සාගතය ගැන සඳහන් කරන්නේ නැහැ. දුර්භික්ෂය ගැන ශ්‍රී ලංකාවේ පැරණිත ම ශාස්ත්‍රීය ග්‍රන්ථය වූ සීහළවත්ථුප්පකරණය නම් ග්‍රන්ථයෙහි කිහිප වතාවක් ම ඒ ගැන සදහන් වෙනවා. සද්ධර්මාලංකාරයේ වත්ථුල පබ්බත වස්තුවේ සහ රුක්ඛදේවතා වස්තුවේ මේ බැමිණිතියාසාය ගැන විස්තර කෙරෙනවා.

ආහාර අහේනියෙන් දුකට පත් මනුෂ්‍යයෝ යකුන් යකින්නියන් මෙන් දුර්වල ව විරූප ව අනුන් මරා මස් අනුභව කරන තත්ත්වයට වැටුණු සැටි ඒ පොත්වල විස්තර වෙනවා. භික්ෂූන් වහන්සේලාට සිය දානය සපයා ගත නොහැකිව අපවත් වූ අකාරය ගැනත් සඳහන් වෙනවා.

ආහාර හිඟය අදත් දරුණුයි- indiamates.com

අදමිටු රජෙක් නිසා උපන් සාගතයක්

ජාතික ලේඛනාගාරයේ ( 5/63/115/1) පුස්කොළ පොත් නාමාවලියේ තිබෙන බැමිණිතියාසාය නම් වූ ග්‍රන්ථයක සඳහන් වන විදිහට මෙම බ්‍රාහ්මණ ශාපය සිදු වූයේ එවකට දඹදිව මධ්‍ය දේශයේ සාගර නම් නුවර විසූ මිළිදු නම් රජුගේ අධර්ම ක්‍රියාවක් නිසා යි. මේ පොත ලියූ කාලයක් නම් හඳුනා ගැනීම අපහසු යි. එය ඇතැම්විට මහනුවර යුගයේ ලියවුණක් විය හැකි යි. මිලිඳු රජු භික්ෂූන් වහන්සේලා නොසලකා හැර බමුණන් වටකොට ගෙන රාජ්‍ය විචාළ කෙනෙක්. රජු එක් කාන්තාවක් ඇසුරු කිරීම කෙරෙහි කෑදර ව ඇයගේ සැමියා වන බමුණා බොරු වැරැද්දක් පටවා මරා දමනවා.

එම වැරැද්ද නම් රාජකීය ගවයා සොරා ගත් බවට වූ බොරු පැමිණිල්ල යි. එම බැමිණිය පතිවෘතාව ආරක්ෂා කළ තරුණ කාන්තාවක්. ඇය රජුගේ අසාධාරණ ඝාතනයට එරෙහි ව සාප කරනවා. හරියට පත්තිනි දේවිය සාප කළා වගේ. ඒ සාපය නිසා දොළොස් අවුරුද්දක් යනතෙක් මහ පොළොවට එක වැසි බිඳකුදු නොවැටුණු බව පුස්කොළ පොතේ විස්තර වෙනවා. එහි බලපෑම දඹදිව මධ්‍ය දේශය ඉක්මවා කේරළ පුත්‍ර සිට තම්බපණ්ණි (ලංකාව)  දක්වා පැතිරුණු බව විස්තර කෙරෙනවා. ලංකාවට එය අවුරුදු තුනක් බලපැ බවයි පැවසෙන්නේ. බැමිණිතියාසාය පුස්කොළ පොතේ රජුන්ගේ අධර්මිෂ්ට පාලනය නිසා රටවලට හටගන්නා ප්‍රතිවිපාක ගැනත් සාකච්ඡා කරනවා.

 සාගතය නිසා රහත් හිමිවරුන් අපවත් වූ සිතුල්පව්ව – lankadeepa.lk

සාගතයෙන් ඇවිදින ඇටසැකිලි

රසවාහිනිය, සද්ධර්මාලංකාරය යන ඉපැරණි කෘතිවල විස්තර කෙරෙන පරිදි, සාගත කාලයේ, දින ගණනාවක් නිරාහාර ව සිටීමෙන් මිනිසුන් ලේ මස් නැති, හැකිළුණු සමින් යුක්ත ඇටසැකිලි බවට පත් වුණා. බොහෝ දෙනා ගස්වල කොළ, පොතු ආහාරයට ගෙන තිබෙනවා. නියගය නිසා ඒවාත් පසු ව නැති වී ගොස් තිබෙන බව පැවසෙනවා. රසවාහිනියේ වත්ථුල පබ්බත කතාවේ සඳහන් වන්නේ රහත් හිමි නමකට කරකොළ තම්බා ආහාරයට දීමට සැරසුණු යුවළක් ගැන යි. සාගතයෙන් මියැදුණු ජනයාගේ මළ සිරුරු නිසා වසංගත රෝග පැතිරීමත් සිදු වුණා. මේ නිසා සමහරු ජීවිත බේරා ගැනීමට කඳුකරයට, මලය දේශයට පලා ගොස් තිබෙනවා.

දුර්භික්ෂයේ උච්චත ම අවස්ථාවේ සාගින්න දරාගත නොහැකි මිනිසුන් අසල්වැසි මිනිසුන් මරා මස්කෑමට පෙලැඹී තිබෙන බව පැවසෙනවා. සීහල වත්ථුවේ, වත්තබ්බක නිරෝධ සාමනේර හිමියන්ගේ නායක හාමුදුරුවන් උග්‍ර සාගින්නෙන් පෙළුණු මිනිසුන් කණ්ඩායමක් පැමිණ මරාගෙන මස් කෑ අන්දම විස්තර කරනවා.
කුසගින්න නිවා ගැනීම පිණිස මහා රහත් හිමිවරුන් පවා කර කොළ වළඳා, පොල්පිති මිරිකා ලද යුෂ පානය කළ බව පැරණි සාහිත්‍යයෙහි විස්තර කරනවා. සාගත කාලයේ ආහාර සහ ජලය ලබා ගැනීමට අපොහොසත් වීමෙන්, මහා රහතුන් වහන්සේලා 25000 ක් සිතුල්පව්වේදී අපවත් වූ බව විභංග අට්ඨකථාවේ දැක්වෙනවා.

කවරයේ ඡායාරූපය - ආහාර පාන නැති දුර්භික්ෂයක් උදාවේවිද?- indiamates.com

මුලාශ්‍ර:
lankadeepa.lk
diviana.lk
bbc.com
සිතුල්පව් පවත- අසෝක මාලිමගේ

Related Articles