Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පෘතුගීසින් ලංකාවට පැමිණි හැටි

1505 වසරේ නොවැම්බර් 15 වැනිදා එවකට කෝට්ටේ රාජ්‍යය පාලනය කරමින් සිටි 8 වන වීර පරාක්‍රමබාහු රජු හමුවීමට රාජ පුරුෂයන් කිහිපදෙනෙකු හදිසියේම පැමිණියා. එලෙස පැමිණි රාජ පුරුෂයන් රජතුමාට පවසා සිටියේ කොළොම්තොටට අමුතුම මිනිසුන් පිරිසක් ගොඩබැස සිටින බවයි. පැමිණි කණ්ඩායම තිරිවානා ගල් කැට සපමින් ලේ බොමින් සිටින අයුරු තමන් දුටු බව ද රාජපුරුෂයන් වැඩිදුරටත් දන්වා සිටියා. ඔවුන් එලෙස දැක තිබුණේ පෘතුගීසි ජාතිකයන් කොළඹට පැමිණ සිටින ආකාරය යි.  

පෘතුගීසින්ට පෙරදිගට පැමිණීමට සිදුවුණේ ඇයි? 

1453 වසරේ දී තුර්කිවරුන් කොන්ස්තන්තිනෝපල් නගරය අල්ලා ගත්තා. එම නිසා යුරෝපයේ සිටි ක්‍රිස්තියානි ජාතික වෙළඳුන්ට සම්ප්‍රදායික වෙළඳ මාර්ග භාවිතා කිරීමට තිබුණු ඉඩකඩ ඇහිරී ගියා. එසේම තුර්කිවරුන් වෙළඳ භාණ්ඩවල මිල වැඩි කිරීම, තීරුබදු ගාස්තු වැඩි කිරීම, සහ නිසි වේලාවට භාණ්ඩ ලබා නොදීම වැනි හේතු නිසා යුරෝපයේ වෙළෙන්දන්ට නිසි අයුරින් සිය වෙළඳාම් කටයුතු කරගෙන යාමට හැකි වුණේ නැහැ. එම කාල වකවානුව වන විට පෙරදිග රටවලින් යුරෝපයට කුළුබඩු රැගෙන ගියා. නමුත් තුර්කි ජාතිකයන් කොස්තන්තිනෝපල් නගරය අල්ලා ගැනීමෙන් පසුව පෙරදිගින් යුරෝපයට කුළුබඩු සැපයීම ඇණ හිටියා. 

කොන්ස්තන්තිනෝපලය බිඳ වැටීම (greek city times)

එලෙස පෙරදිගින් යුරෝපයට කුළුබඩු සැපයීම නැවතීමත් සමගම යුරෝපීය රටවල්වල සිටි නාවිකයන් කුළුබඩු සොයාගෙන පෙරදිගට පැමිණෙන්නට වුණා. එම කාල වකවානුව වන විට අරාබි ජාතිකයන්ට පෙරදිග සහ අපරදිග අතර කුළුබඩු සහ අනිකුත් භාණ්ඩ වෙළඳාමේ ආධිපත්‍යය හිමිව තිබුණා. එදා යුරෝපියයන්ට අවශ්‍ය වුණේ අරාබි ජාතිකයන් සතුව තිබුණු වෙළඳ බලය ලබාගැනීම යි. ඒ සඳහා දේශ ගවේෂණය කළ යුරෝපීය රටවල් අතුරින් පෘතුගාලයට සහ ස්පාඤ්ඤයට ප්‍රමුඛස්ථානයක් හිමි වුණා. ඒ අතුරින් පෘතුගාල ජාතිකයන් ඉන්දියාව ඇතුළු පෙරදිග රටවල්වල සිය ආධිපත්‍ය රඳවා ගැනීමට සමත් වුණා. 

පෘතුගාලය දේශ ගවේශන කටයුතු සිදුකළ හැටි 

පෘතුගාලයේ නාවික හෙන්රි කුමරු එරට දේශ ගවේශන කටයුතු සඳහා විශාල අනුග්‍රහයක් ලබාදුන්නා. ඔහුගේ මූලිකත්වය යටතේ 15 වැනි සියවසේ දී නාවික අභ්‍යාස විද්‍යාලයයක් ආරම්භ කළා. එමඟින් සැලකිය යුතු පිරිසකට නාවික ශිල්පය, සිතියම් හැදෑරීම, නැව් තැනවීම, තාරකා ශාස්ත්‍රය වැනි ක්ෂේත්‍රයන් පිළිබඳව පුළුල් දැනුමක් ලබාදීමට හැකි වුණා. එදා නාවික හෙන්රි කුමරු දේශ ගවේෂණ කටයුතු සඳහා ලබාදුන් අනුග්‍රහය නිසා පෘතුගාල දේශ ගවේෂකයන්ට ජයග්‍රහණ රැසක් ලබාගැනීමට හැකි වුණා. 

නාවික හෙන්රි කුමරු (Wikipedia)

ඒ අනුව 1488 වසරේ දී බර්තොලමියු ඩයස්ගේ නායකත්වයෙන් යුත් දේශ ගවේශක කණ්ඩායම අප්‍රිකාවේ දකුණු කෙළවරට ළඟා වුණා. එහි දී කුණාටුවකට හසුවුණු නාවිකයන් පිරිස එම ස්ථානය කුණාටු තුඩුව ලෙස නම් කරනු ලැබුවා. එම සංචාරයෙන් පසුව යළි පෘතුගාලයට ගිය දේශ ගවේශකයන් පිරිස ලබාගත් ජයග්‍රහණය පිළිබඳව රජතුමාට දන්වා සිටියා. ඉන් උද්දාමයට පත්වුණු රජතුමා කුණාටු තුඩුව නම් ස්ථානය සුභ පැතීමේ තුඩුව ලෙසින් නම් කළා. 

බර්තොලමියු ඩයස් (history.com)

බර්තොලමියු ඩයස් ගමන් කළ මාර්ගය ඔස්සේ ඉදිරියට ගිය වස්කෝ ද ගාමා නම් දේශ ගවේශකයා, 1498 වසරේ මැයි 20 වැනිදා ඉන්දියාවේ කැලිකට් වරායට ගොඩබැස්සා. එදා ගාමා පවසා සිටියේ “අපි ක්‍රිස්තියානින් සහ කුළුබඩු සොයා පැමිණියෙමු” යන්න යි. ඉන්දියාවට සැපත් වුණු පෘතුගීසින් පෙරදිග වෙළඳ බලය අල්ලා ගැනීම සඳහා සැලසුම් සකස් කරනු ලැබුවා.

වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණීම දැක්වෙන චිත්‍රයක් (WBUR) 

පෙරදිග වෙළඳ බලය අල්ලා ගැනීම සඳහා දියත් කළ මෙහෙයුම 

1505 මැයි 25 වැනිදා එවකට පෘතුගාලයේ පාලකයා වුණු 1 වන මැනුවෙල් රජුගේ අණ පරිදි ෆ්රැන්සිස්කෝ ද අල්මේදා ඇතුළු පිරිස ලිස්බන් නුවරින් නැව් නැග්ගේ පෙරදිග වෙළඳ බලය අල්ලාගැනීමේ මෙහෙයුම සඳහා යි. එදා පෘතුගාල නාවිකයන් පිරිස විශාල දැව යාත්‍රා 14ක් සහ රුවල් නැව් 4ක් මෙහෙයුම සඳහා සම්බන්ධ කරගත්තා. එහි දී මෙහෙයුම සඳහා අණදුන් ප්‍රධාන යාත්‍රාව වුණේ සාවෝ රෆායෙල් නම් නෞකාව යි. එලෙස පැමිණි සියළුම යාත්‍රාවන්වල පෘතුගීසි භටයන් 1500ක් පමණ සිටියා. 

1 වන මැනුවෙල් රජතුමා (Wikpedia)

මෙහෙයුමට සම්බන්ධ වුණු පිරිසේ ප්‍රධාන අරමුණ වුණේ පෙරදිග වෙළඳාම ඔවුන් යටතට ගැනීම යි. එහි දී වඩාත් වාසිදායක කුළුබඩු වෙළඳාම කෙරෙහි පෘතුගීසීන් විශාල අවධානයක් යොමු කළා. එසේම නව රටවල් සොයාගැනීම සහ නාවික යාත්‍රා රඳවා තැබීමට සුදුසු වරායන් සොයාගැනීම මෙම මෙහෙයුමේ අනිකුත් අරමුණු බවට පත්වුණා. 

ෆ්රැන්සිස්කෝ ද අල්මේදා ඇතුළු පිරිස මුලින්ම අප්‍රිකානු මුහුදු තීරයට පිවිසුණා. ඉන් පසුව ඔවුන් මොසැම්බික් රාජ්‍යයේ කඳවුරක් පිහිටුවා ගත්තා. එලෙස කඳවුර පිහිටුවාගැනීමෙන් පසුව පෘතුගීසි භට පිරිස් වර්තමානයේ කෙන්යාව සහ ටැන්සානියාවට අයත් වන වෙරළබඩ පළාත්වලට ගොඩබැස එහි සිටි මිනිසුන් මරා දමමින් ඔවුන්ගේ වස්තුව කොල්ල කෑවා. අප්‍රිකාවෙන් සොරාගත් ධනය රැගත් පෘතුගාල භට කණ්ඩායම ඉන් අනතුරුව ගොඩබැස්සේ ඉන්දියාවට යි. 

1505 වසරේ සැප්තැම්බර් මාසයේ දී පෘතුගීසීන් ඉන්දියාවේ කේරළ මුහුදු තීරයේ කොචින් ප්‍රදේශයට ගොඩබැස එහි කඳවුරක් පිහිටුවා ගත්තා. ඉන් පසුව පෘතුගාල රජය විසින් ෆ්රැන්සිස්කෝ ද අල්මේදාව එහි පාලකයා වශයෙන් පත් කළා. එම කාල වකවානුව වන විට කැලිකට් ප්‍රදේශයේ පාලකයා වශයෙන් කටයුතු කළ සැමෝරින් පෘතුගීසින්ව කොචින් ප්‍රදේශයෙන් පළවාහැරීම සඳහා සටනක් දියත් කළා. නමුත් යුද ශක්තිය අතින් ඉදිරියෙන් සිටි පෘතුගීසි හමුදාවන්ට සැමොරින්ගේ සේනාව පරාජයට පත්කිරීමට හැකිවුණත් පෘතුගීසි භටයන් සැලකිය යුතු ප්‍රමාණයක් ද මරණයට පත්වුණා. එසේම ඔවුන්ගේ යාත්‍රාවන් රැසක් මුහුදුබත් වුණා. එම සටන් පැවතුණු කාල සමය තුළ කොචින් ප්‍රදේශයේ ස්ථීර කඳවුරක් සාදාගත් පෘතුගීසි පිරිස ඊළඟට සැලසුම් කළේ ඉන්දියාව අවට තිබෙන රටවල් ගැනීමට යි.

ෆ්රැන්සිස්කෝ ද අල්මේදා (Yeni Akit)

පෘතුගීසීන් ලංකාවට පැමිණි හැටි 

එකල ඉන්දියන් සාගරය අවට ප්‍රදේශයේ තවත් සරුසාර දූපත් තිබෙන බව පෘතුගීසීන් දැනගෙන සිටියා. ඔවුන්ගේ අභිප්‍රාය වුණේ එවැනි දූපත් සොයාගැනීමයි. එම නිසා ෆ්රැන්සිස්කෝ ද අල්මේදා ඔහුගේ පුත් ලොරෙන්සෝ ද අල්මේදාගේ  නායකත්වය යටතේ සේනාවක් ඒ සඳහා පිටත්කර හැරියා. එදා නව දූපත් සොයාගෙන යාත්‍රා කළ ලොරෙන්සෝ ඇතුළු සේනාව ප්‍රචණ්ඩ කුණාටුවකට හසුවී ගාලු වරායට සේන්දු වුණා. 

කාම්බෝජයට අපනයනය කිරීම සඳහා සූදානම් කර තිබුණු කුරුඳු සහ ඇත් පැටවු අඩංගු වුණු නැව් කිහිපයක් ඒ වන විට වරායේ නැංගුරම් දමා තිබුණා. ඉන් පසුව ලොරෙන්සෝ ඇතුළු පිරිස එහි සිටි මුස්ලිම් වෙළෙන්ඳන් පළවා හැර වරාය අවට සිටි ස්වදේශිකයන් කිහිපදෙනෙකු කැඳවා ඔවුන්ගේ ද සහාය ඇතිව එහි තිබුණු ගල් පර්වතයක පෘතුගාල රජුගේ ලාංඡනය සටහන් කළා. එම කාර්යය සිදුකරන ලද ගොන්සාල් ගොන්සාලවේස් නම් පෘතුගීසි භටයා ඔහුගේ නම ද එයට ඇතුලත් කරනු ලැබුවා. 

එවකට ලංකාව පාලනය කරන රජතුමා කෝට්ටේ සිටින බව දැනගත් පෘතුගීසීන් පසුව කෝට්ටේ බලා ගියේ රජතුමාව හමුවීම සඳහා යි. පසුකලෙක කෝට්ටේ රජතුමා සමග මිත්‍ර වුණු පෘතුගීසින් ලංකාවේ මුහුදුබඩ පළාත් ආශ්‍රිතව බලකොටු ඉදිකළා. ඉන් අනතුරුව එම ප්‍රදේශවල තිබුණු වටිනා සම්පත් පෘතුගාලයට යවනු ලැබුවා. එලෙස වසර 153ක පමණ කාලයක් ලංකාවේ සම්පත් සූරා කෑ පෘතුගීසින් 1658 වසරේ දී පමණ ලංදේසි සේනාවල ප්‍රහාරයන් හමුවේ අප රටින් නික්ම ගියා.  

කවරයේ ඡායාරූපය- Medium   

මූලාශ්‍රයයන්- ගාලු උරුමය පදනම   

Related Articles