Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පුනරුද සමයේ නිර්මාණකරුවන් 4 දෙනෙක්

පුනරුද සමයේ ලොව විසූ ජනප්‍රිය නිර්මාණකරුවන් ලෙස මයිකල් ආන්ජලෝ, රෆායල් වැනි අය හඳුන්වා දීය හැකි යි. මේ අයගේ නම් අප කවුරුත් පාහේ අසා තිබෙනවා. අද අපි මේ ඔබට තොරතුරු කියන්නේ පුනරුද සමයේ විසූ තවත් නිර්මාණකරුවන් කිහිප දෙනෙකු ගැනයි.

01. සන්ද්‍රෝ බොත්තිචෙල්ලි (Sandro Botticelli)

blogspot.com

සන්ද්‍රෝ බොත්තිචෙල්ලි උපත ලබන්නේ 1445 වසරේදී යි. ඉතාලි ජාතික චිත්‍ර ශිල්පියෙකු හා සැලසුම්කරුවෙකු ලෙස සැලකෙනවා. ඔහු මුලින්ම රන්කරුවෙකු ලෙස රැකියාව කිරීමට පුහුණු වූ නමුත් ඉන්පසුව ඉතාලියේ ෆ්ලොරෙන්ස් හී “Fra Filippo Lippi” නම් කලාගාරයේ සිතුවම් කලාව පිලිබඳව හදාරා තිබෙනවා.  මොහුව සළකනු ලබන්නේ මිනිස් සිරුර ආශ්‍රිතව සිතුවම් නිර්මාණය කරන ලද සිතුවම් ශිල්පියෙකු ලෙසයි. එසේම ඔහු තමන්ගේ අධ්‍යන කටයුතු සිදුකර තිබුණේ  Fra Filippo Lippi නම් විශිෂ්ඨ සිතුවම් නිර්මාණ ශිල්පියා යටතේයි. බොහෝ දෙනෙකු විශ්වාස කරන්නේ සිස්ටයින් දෙව් මැදුරේ සිතුවම් නිර්මාණය කරන ලද්දේ මයිකල් ආන්ජලෝ පමණක් බවයි. නමුත් බොත්තිචෙල්ලි හා තවත් කලාකරුවන් එයට දායක වී සිට තිබෙනවා. දෙව් මැදුරේ උතුරු පස බිත්තියේ ඇති “Temptation of Christ” නම් සිතුවම බොත්තිචෙල්ලි නිර්මාණයක්. 2013 වසරේදී ඔහුගේ සිතුවමක් වූ “Madonna and Child With the Young Saint John the Baptist” නම් සිතුවම ඇමරිකානු ඩොලර් මිලියන 10.4කට වෙන්දේසී වී තිබුණා.

02. ටිටියන් (Titian)

www.biography.com

ටිත්සියානෝ වෙචෙල්ලියෝ (Tiziano Vecellio) යනු ටිටියන්ගේ සම්පුර්ණ නමයි. 1488 සිට 1576 දක්වා කාලයේ මොහු ජිවත් වී තිබෙනවා. ටිටියන් වඩාත් ප්‍රසිද්ධ වන්නේ ඔහුගේ වර්ණ හැසිරවීමේ තිබූ දක්ෂතාව නිසයි. මොහු තම සිතුවම් පිළිබඳව හැදෑරීම කර තිබෙන්නේ Giovanni Bellini හා Giorgione යන කලාකරුවන් දෙදෙනා යටතේයි. 1518 දී “Assumption of the Virgin” නම් සිතුවම සම්පුර්ණ කිරීමත් සමඟම ඔහු වෙනීසිය පුරා ප්‍රසිද්ධියට පත් වෙනවා. ඉන්පසුව ප්‍රභූන් වෙනුවෙන් ඔහු සිතුවම් නිර්මාණ කිහිපයක්ම කර තිබෙනවා. එම ප්‍රභූන් අතර ස්පාඤ්ඤයේ දෙවන පිලිප් රජතුමා, පස්වන චාල්ස් රජතුමා හා ශුද්ධ වූ රෝම අධිරාජ්‍යයා ද අයත් වෙනවා. එපමණක් නොව තුන්වන පෝල් පාප්තුමා ගේ  අලේඛ්‍ය සිතුවම් හා ඔහුගේ මුණුපුරන්ගේ සිතුවම් ද මොහු විසින් සිතුවම් කර තිබෙනවා. මොහුගේ ජනප්‍රිය සිතුවම් අතර “The Worship of Venus” යන  සිතුවම ඉමහත් ප්‍රසිද්ධියක් උසුලනවා. මරණය තෙක් ටිටියන් සිතුවම් නිර්මාණය කල බව පැවසෙන අතර ඔහු 1576 අගෝස්තු 27 වෙනිදා මියගියා.

03. දොනතෙල්ලෝ  (ඩොනටෙලෝ – Donatello)

www.biography.com

මයිකල් ආන්ජලෝට පෙර ඉතාලියේ විසූ දක්ෂ මූර්ති හා සිතුවම් ශිල්පියෙකු ලෙස මොහුව හැඳින්වෙනවා. දොනතෙල්ලෝ වර්ෂ 1386 දී ෆ්ලොරන්ස් හිදී උපත ලබා තිබෙනවා. එමෙන්ම 15වන සියවසේ ඉතාලියේ සිටි බලවත්ම කලාකරුවෙකු ලෙසත් මොහුව හඳුන්වනවා. මුල්කාලීනව මොහු ගොතික් ක්‍රමයට තම නිර්මාණ කටයුතු සිදු කර තිබෙනවා. එමෙන්ම තම ජිවිත කාලය තුල ඉතාමත් වටිනා නිර්මාණ රාශියක් මොහු නිර්මාණය කර තිබෙනවා. ඒවා අතර ඩේවිඩ්, Gattamelata වැනි මූර්ති ප්‍රමුඛ තැනක් ගන්නවා. 1455 නැවතත් ෆ්ලොරන්ස් නගරයට එන මොහු මරිය මග්දලෙනා ගේ වැහැරුණු සිරුරක් නිරුපනය කරන “Magdalene Penitent” නම් මූර්තිය සම්පූර්ණ කරනවා. දොනතෙල්ලෝ  1466 දෙසැම්බර් 13 වෙනිදා සිය ජීවන ගමන නිමා කරනවා.

04. අන්ද්‍රෙයා රිකියෝ (Andrea Riccio)

pinimg.com

මොහු උපත ලබන්නේ ක්‍රි.ව. 1470 දීයි. ඉතාලි ජාතික මූර්ති නිර්මාණ ශිල්පියෙකු ලෙස හා ගෘහ නිර්මාණ ශිල්පියෙකු ලෙසත මොහුව හඳුන්වනවා.  මොහුගේ සැබෑ නම වන්නේ අන්ද්‍රෙයා බ්‍රිඔස්කෝ (Andrea Briosco) යන්නයි. මොහු ප්‍රසිද්ධ වන්නේ ඔහු නිර්මාණය කරන ලද කුඩා ලෝකඩ මූර්ති නිසයි. අන්ද්‍රෙයා උපත ලබන්නේ ඉතාලියේ පාදුවා හිදියි.  ඔහු මුලින්ම තම පියා යටතේ රන්කරුවෙකු ලෙස පුහුණු වී තිබෙනවා. ඉන්පසුව ඔහු ලෝකඩ මූර්ති නිර්මාණ ශිල්පය “බරතමිලෝ බෙලානෝ” යටතේ පුහුණු වෙනවා. බර්තමිලෝව සැලකෙන්නේ ඩොනටෙලෝ ගේ ගෝලයෙකු ලෙසයි. ඔහුගේ විශිෂ්ඨ කෘතීයක් ලෙස 1515 පාදුවා හී සාන්ත අන්තෝනි බැසිලිකාවේ නිර්මාණය කල පාස්කු ඉටිපහන් රඳවනය හැඳින්විය හැකියි. එමෙන්ම ඔහු විසින් නිර්මාණය කරන ලද “Girolamo della Torre” නම් නිර්මාණය ලුවර් කෞතුකාගාරයේ මේ වන විට තැම්පත්කර තිබෙනවා. එමෙන්ම ඉතා කුඩා හා පහසුවෙන් එහා මෙහා ගෙන යා හැකි ඔහුගේ බොහෝමයක් නිර්මාණ යුරෝපය පුරා සිටින නිර්මාණ එකතු කරන අය අතර රැඳී තිබෙනවා. ක්‍රි.ව. 1532 දී මොහු තම ජිවන ගමන නිමා කළා.

Related Articles