1957 වසරේ මුල භාගයේ දී නැගෙනහිර ආසියාව තුළ ඉන්ෆ්ලුවෙන්සා උණ රෝගයක් පැතිරී යන්නට වුණා. ආසියාවෙන් මතු වුණු නිසා ආසියානු උණ ලෙසින් ප්‍රසිද්ධ වුණු මෙම වසංගතය පසුව ලෝකයේ විවිධ රටවල්වලට බලපෑම් කරනු ලැබුවා. වෛද්‍ය විද්‍යාව සෑහෙන දුරකට දියුණුව පැවති එම යුගයේ පවා මෙම වෛරසය වසරකට වැඩි කාලයක් පුරාවට පැතිරයමින් විශාල විනාශයක් සිදු කරනු ලැබුවා. එලෙස කෙටි කාලයක් ඇතුළත ලොව පුරා සිටි ජනතාව භීතියට පත් කළ ආසියානු උණ වසංගතය විශාල ජීවිත ප්‍රමාණයක්  උදුරාගැනීමට තරම් භයානක වුණා.

වසංගතයේ ආරම්භය

ආසියානු උණ වසංගතයේ ආරම්භය ගැන ප්‍රධාන මතයන් දෙකක් තිබෙනවා. ඉන් පළමු මතය වන්නේ වසංගතය 1956 වසරේ අග භාගයේ දී චීනයේ ගුයිෂෝ ප්‍රදේශයෙන් ආරම්භ වුණු බව යි. වසංගතයේ ආරම්භය පිළිබඳව අනිකුත් මතය වන්නේ ආසියානු උණ වසංගතයට ගොදුරු වුණු මුල්ම රෝගියා 1957 වසරේ පෙබරවාරි මාසයේ දී සිංගප්පූරුවෙන් වාර්තා වුණු බව යි. නමුත් පිළිගත හැකි බොහෝ මූලාශ්‍රවලට අනුව මෙම වසංගතය චීනයේ ගුයිෂෝ ප්‍රදේශයෙන් ආරම්භ වුණු බව අනුමාන කළ හැකියි.

වසංගතය ඇතිවීමට හේතුව

ආසියානු උණ රෝගය H2N2 නම් ඉන්ෆ්ලුවෙන්සා වෛරසය නිසා ඇති වුණු වසංගතයක්. එසේම 19 වැනි සියවසේ අග භාගයේ දී රුසියාවෙන් ආරම්භ වී රටවල් රැසකට දැඩි බලපෑමක් කළ රුසියානු උණත් H2N2 නම් ඉන්ෆ්ලුවෙන්සා වෛරසය නිසා ඇති වුණු වසංගතයක්යැ යි අනුමාන කරනවා. 20 වැනි සියවසේ දී ස්පාඤ්ඤ උණ සහ හොංකොං උණ යන ඉන්ෆ්ලුවෙන්සා වසංගතයන් ද ලොව පුරා පැතිරී ගියත්, ඒවාට හේතුකාරකය වුණේ H2N2 ඉන්ෆ්ලුවෙන්සා වෛරසය නොවෙයි.

 H2N2 වෛරසය (BBC.com)

රෝග ලක්ෂණ

ආසියානු උණ රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණ කිහිපයක් තිබුණා. උණ, සිරුරේ කැක්කුම, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, ආහාර අරුචිය ඒ අතුරින් ප්‍රධාන තැනක් ගනු ලැබුවා. එහි දී ඇති වුණු ආහාර අරුචිය නිසා ආසියානු උණ රෝගය වැළඳුණු රෝගීන්ගේ ශරීරය ඉක්මනින්ම දුර්වල වුණා. එසේම ඉන්ෆ්ලුවෙන්සාව ශ්වසන පද්ධතිය ආශ්‍රිතව වැළඳෙන රෝගයක් නිසා වියළි කැස්ස, උගුරේ අමාරුව, හුස්ම ගැනීමේ අපහසුතාවය යන රෝග ලක්ෂණත් දකින්නට ලැබුණා. ඊට අමතරව මෙම වසංගත උණ රෝගය නිසා නියුමෝනියාව, බ්‍රොන්කයිටීස්, සහ හෘදයාබාධ වැනි සංකූලතාවන් ද ඇති වුණා. මෙම රෝගයට ගොදුරු වුණු කෙනෙක්ගේ ශරීරය ඉතාමත් දුර්වල තත්ත්වයට පත් වුණු නිසා සම්පූර්ණ සුවය ලැබීම සඳහා සති ගණනාවක් ගත වුණා. කුඩා දරුවන්, ගර්භනී කාන්තාවන්, නිධන්ගත රෝගවලින් පෙළුණු පුද්ගලයන්, සහ මහළු වියේ පසු වුණු අය මෙම වෛරසයට වැඩි වශයෙන් ගොදුරු වන ආකාරය දක්නට ලැබුණා.

රෝගයට ගොදුරු වුණු ළමුන් පිරිසක් (gettyimages)

වසංගතය පැතිරී ගිය ආකාරය 

1956 වසරේ අග භාගයේ දී චීනයේ ගුයිෂෝ ප්‍රදේශයෙන් ආරම්භ වුණු වසංගතය 1957 වසරේ පෙබරවාරි මාසය වන විට සිංගප්පූරුවට ඇතුල් වුණා. ඉන් පසුව අප්‍රේල් මාසය වන විට හොංකොං රාජ්‍යය පුරා සීඝ්‍රයෙන් පැතිර ගිය ආසියානු උණ වසංගතය මැයි මාසයේ මැද භාගය වන විට තායිවානයට දැඩි බලපෑමක් එල්ල කරනු ලැබුවා. මාස කිහිපයක් තුළ නැගෙනහිර ආසියාව අකර්මණ්‍ය කළ මෙම වසංගතය ජූනි මාසය වන විට ඉන්දියාවට ඇතුල් වුණා. අනතුරුව ආසියාවේ වැඩි ප්‍රදේශයක වේගයෙන් ව්‍යාප්ත වුණු ආසියානු උණ වසංගතය ඉන් පසුව එංගලන්තය, ස්කොට්ලන්තය, වේල්සය, එක්සත් ජනපදය වැනි රටවල් කරා පැතිරී ගියා. එහි දී සැලකිය යුතු පිරිසක් මරණයට පත් වුණත් වසර අවසානය වන විට වසංගතයේ යම් අඩුවීමක් දක්නට ලැබුණා. එම නිසාම ආසියානු උණ වසංගතය නිමාවට පත් වුණු බව බොහෝ දෙනෙකුගේ නිගමනය වුණා.

වසංගතයේ පැතිරීම (thesun.ie)

දෙවන වසංගත රැල්ලක් පැමිණෙයි

ආසියානු උණ වසංගතයේ පළමු රැල්ල නිමා වී මාස කිහිපයක් ගිය පසු දෙවන වසංගත රැල්ලක් පැමිණියා. 1958 වසරේ ජනවාරි මාසයේ දී පැමිණි එම වසංගත රැල්ල පළමු රැල්ලට වඩා දරුණු එකක් වුණා. එලෙස දෙවන වරට පැතිරී ගිය ආසියානු උණ වසංගත රැල්ලෙන් වැඩිම හානිය සිදු වුණේ ඇමරිකා එක්සත් ජනපදයට යි. 1956-1958 කාල සමය තුළ ලොව පුරා පැතිරී ගිය ආසියානු උණ නම් වසංගතයෙන් ආසන්න වශයෙන් මිලියන 1.1ක් පමණ මිය ගිය බව සඳහන් වනවා.

වසංගතය අවසන් වුණු හැටි

ආසියානු උණ වසංගත පැතිරයාම පාලනය කිරීම සඳහා පාසල්, කර්මාන්ත ශාලා වැනි ආයතනයන් වසා දැමීමට සිදු වුණා. නිරෝධායන ක්‍රියාවලිය භාවිතා කරමින් රෝගය පැතිරයාම හැකි තරම් වලක්වනු ලැබුවා. මෙම වසංගතයට ඔරොත්තු දීමට හැකි තරම් ප්‍රතිශක්තියක් තිබුණු පුද්ගලයන් ආරක්ෂා වන විට ප්‍රතිශක්තිය අඩු පුද්ගලයන් වැඩි පිරිසකට මරු වැළඳගැනීමට සිදු වුණා. මෙම වසංගතය පාලනය කිරීම සඳහා විවිධ ක්‍රමවේද භාවිතා කළත් ඒවාගෙන් 100% සාර්ථක ප්‍රතිඵල ලැබුණේ නැහැ. මෙම වසංගතයට පෙර ඇති වුණු රුසියානු උණ සහ ස්පාඤ්ඤ උණ යන ඉල්ෆ්ලුවෙන්සා වසංගත මෙන්ම මෙම වසංගතය ද ක්‍රමයෙන් අඩුවී අවසානය කරා ළඟා වුණා.

රෝගීන්ට ප්‍රතිකාර කළ අයුරු (gettyimages)

ඉන්ෆ්ලුවෙන්සා වසංගතවල අවසානයක් නැහැ

ආසියානු උණ වසංගතය අවසන් වීමෙන් පසුව වර්තමානය දක්වා ගෙවුණු වසර 62 තුළ තවත් ඉන්ෆ්ලුවෙන්සා වසංගතයන් දෙකක් පැතිර ගියා. 1968 වසරේ දී H3N2 නම් ඉන්ෆ්ලුවෙන්සා වෛරසය මඟින් ඇති වුණු හොංකොං උණ වසංගතයත්, 2009 වසරේ දී H1N1 ඉන්ෆ්ලුවෙන්සා වෛරසය මඟින් ඇති වුණු සූකර උණ වසංගතයත් එලෙස පැතිර ගිය ඉන්ෆ්ලුවෙන්සා වසංගත ද්විත්වය යි. පසුගිය දශකය තුළ නැවතත් දරුණු ඉන්ෆ්ලුවෙන්සා වසංගතයක් ඇති නොවුණත් අනාගතයේ දී නැවතත් එවැනි වසංගතවලට මුහුණ දීමට සිදුවනු ඇති. නමුත් වර්තමානය වන විට වෛද්‍ය විද්‍යාව ඉතාමත් දියුණු මට්ටමක පවතින නිසා අතීතයේ දී ඇති වුණු ඉන්ෆ්ලුවෙන්සා වසංගත ජීවත හානි සිදු නොවනු ඇති බව අවසන් වශයෙන් නිගමනය කළ හැකියි.

කවරයේ ඡායාරූපය- ආසියානු උණ රෝගයට ගොදුරු වුණු පිරිසක් (gettyimages)

මූලාශ්‍රයයන්- Asian Flu pandemic- ncbi

                         Asian Flu- sino Biological