ඊජිප්තු ජනාධිපති අන්වර් අල් සදාත්ගේ ඝාතනය

මෙම ලිපිය මඟින් අප ඔබ වෙත ගෙන එන්නේ අන්වර් අල් සදාත් නම් ඊජිප්තු ජනාධිපතිවරයා ඉස්ලාම් අන්තවාදී ඝාතකයන් පිරිසක් අතින් මරණයට පත්වීමට හේතු වූ කරුණු කාරණා, හා එම ඝාතනය සිදු වූ ආකාරය පිළිබඳව යි.

ලෝකයේ වැඩිපුරම කතාබහට ලක් වූ ඝාතනයක් වූ මෙය ඉස්ලාම් අන්තවාදයේ එක් අඳුරු පැතිකඩක් ලෙස ද හඳුන්වනු ලබනවා.

අන්වර් අල් සදාත් කවුද?

අන්වර් අල් සදාත් (answersafrica.com)

අන්වර් අල් සදාත් මීට දශක කිහිපයකට ප්‍රථම ඊජිප්තුවේ  සිටි ප්‍රගතිශීලී නායකයෙක්. ඔහු තමයි ඊජිප්තුවේ තුන්වන ජනාධිපතිවරයා. ඊජිප්තු පියෙකුට හා සුඩාන සම්භවයක්‌ ඇති මවකට දාව මොහමඩ් අන්වර් අල් සදාත් උපත ලබන්නේ 1918 වසරේ දෙසැම්බර් මාසයේ.

1938 වසරේ කයිරෝ නුවර රාජකීය යුධ හමුදා ඇකඩමියෙන් උපාධිය ලබා ගන්නා අන්වර් සදාත් එම වසරේම යුධ හමුදාවට එකතු වන්නේ දෙවන ලුතිනන්වරයකු ලෙස යි.

දෙවන ලෝක යුධ සමයේ ඊජිප්තුව බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් වූ අතර, එම පාලනයට එරෙහිවත් එවකට ඊජිප්තුවේ පැවති දූෂණයට එරෙහිවත් හඬක් නගන ලද යුධ හමුදා නිලධාරීන් අතරින් සදාත්ට ප්‍රමුඛ ස්ථානයක් හිමි වෙනවා.

1942 වසරේ ඊජිප්තුවේ පැවති බ්‍රිතාන්‍යය පාලනයට එරෙහිව ජර්මනියට ඔත්තු සැපයීමේ වරදට ඔහු සිරගත කරන්නට බ්‍රිතාන්‍ය පාලකයන් තීරණය කරනවා. නමුත් හොර රහසේම බන්ධනාගාරයෙන් පලා යාමට සදාත් සමත් වෙනවා. සදාත් ඉන් පසුව හොර රහසේ ජීවත් වෙමින් බ්‍රිතාන්‍යය පාලනය බිඳ දමන්නට කටයුතු සංවිධානය කරන අතර, 1945 වසරේ නැවතත් සිරගත වන්නේ ඊජිප්තු අගමැතිවරයා ඝාතනයට උත්සාහ කිරීමේ චෝදනා ලැබීම හේතුවෙන්. එවර ද සිරෙන් පලා යාමට අන්වර් අල් සදාත්ට හැකියාව ලැබෙනවා. 1952 වසරේ ඊජිප්තු විප්ලවය සිදුකළ හමුදා කණ්ඩායමේ මුල් පෙළේ නිලධාරියෙක් වූ සදාත්, පළමු ෆාරුක් රජු විප්ලවය තුළින් පලවාහැරීමෙන් පසු බිහි වූ ආන්ඩුවේ රාජ්‍ය ඇමති ධූරය දරනවා. 

අබ්දුල් ගමාල් නසර් ජනාධිපතිවරයා බවට පත් විමෙන් අනතුරුව අන්වර් අල් සදාත්  1969 වසරේ උප ජනාධිපතිවරයා ලෙසට දිවුරුම් දෙනවා. නසර් හදිසි හෘදයාබාධයකින් මරණයට පත් වීමත් සමග 1970 වසරේ ඔක්තෝබර් 15වන දින අන්වර් අල් සදාත් ඊජිප්තුවේ ජනාධිපතිවරයා බවට පත් වෙනවා.

අන්වර් අල් සදාත්ගේ ක්‍රියා කලාපය

අන්වර් සදාත් යෝම් කිපූර් යුද්ධයේ දී (Al Arabiya)

අරාබි දේශපාලන ඉතිහාසය තුළ ප්‍රගතිශීලි නායකයෙක් ලෙස හඳුන්වනු ලැබූ අන්වර් සදාත් එක්‌සත් අරාබි ජනරජය නිර්මාණය කරන්නට ද මහත් දායකත්වයක්‌ දැක්‌වූ පුද්ගලයෙක්. 

1967 වසරේ ඊශ්‍රායලය හා අරාබි රටවල් අතර ඇති වූ සයදින යුද්ධයේ දී ඊශ්‍රායලය අතින් ඊජිප්තුව අන්ත පරාජයකට ලක්වෙනවා. මේ කාලවකවානුවේ ඊජිප්තුවේ උප ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන්නේ අන්වර් අල් සදාත්. මුල් කාලයේ දී අරාබි ලීගය හා එකතුවෙමින් ඊශ්‍රායලයට දැඩි විරුද්ධත්වයකින් කටයුතු කළ අන්වර් අල් සදාත්, ඊශ්‍රායලයට විරුද්ධව අරාබි රටවල් විසින් 1973 වසරේ ඔක්තෝම්බර් මාසයේ ආරම්භ කරන ලද යොම් කිපූර් යුද්ධය සඳහා පිඹුරුපත් සැකසූ නායකයෙක් ලෙස හැඳින්විය හැකියි

එවකට ඊජිප්තු ජනාධිපතිවරයා වූ අන්වර් අල් සදාත් ප්‍රමුඛ අනෙක් රටවල නායකයන් විසින් මුල් දිනවල දැඩි ප්‍රහාර ඊශ්‍රායලයට එල්ල කර හානි පමුණවන නමුත්, දින කිහිපයකින් පසුව ඊශ්‍රායල් හමුදාව සංවිධානාත්මකව එල්ල කරන ලද ප්‍රහාර හමුවේ අන්ත පරාජයක් ලැබීමට ඉතා ආසන්නව සිටිනවා.

මෙහිදී අන්වර් අල් සදාත් රුසියාවේ, එක්සත් ජාතීන්ගේ හා ඇමරිකාවේ සහයෝගය ඇතිව ඊශ්‍රායලය සටන් විරාමයක් ඇති කරවීමට සමත්වෙනවා. 

ඉස්ලාම් අන්තගාමීන්ගේ විරෝධය 

අන්වර් අල් සදාත්, ජිම් කාටර් හා මෙනචම් බෙගින් (Getty Images)

යෝම් කිපූර් යුද්ධය අවසන් වී වසර කිහිපයකට පසුව එනම් 1977 නොවැම්බර් 20 වන දින අන්වර් අල් සදාත් ඊශ්‍රායලයේ සංචාරයක පවා නිරත වෙනවා. ඒ ඊශ්‍රායල් අගමැති මෙනචම් බෙගින්ගේ ආරාධනාවකට අනුව යි. 

1977 වසරේ සැප්තැම්බර් 17 වන දා එවකට ඇමරිකානු ජනාධිපති ජිම් කාටර්ගේ (Jimmy Carter) උපදෙස් මත ඊශ්‍රායල් අගමැතිවරයා වූ මෙනචම් බෙගින් හා ඊජිප්තු ජනාධිපති අන්වර් අල් සදාත් විසින් දෙරට අතර සාම ගිවිසුමක් අත්සන් කරනු ලබනවා. ඇමරිකාවේ දී අත්සන් කරනු ලැබූ එම සාම ගිවිසුම හඳුන්වන්නේ Camp David සම්මුතිය ලෙස යි. මෙම ක්‍රියාව අරාබි ලීගයේ රටවල් හා ඉස්ලාම් අන්තවාදී සංවිධානයන් කෝප කරවීමට සමත් වෙනවා. ඇමරිකාව වැනි බටහිර රටවල් සමග සම්බන්ධතා පැවැත්වීම ද අන්තගාමි සංවිධාන විසින් දැඩි ලෙස විවේචනය කෙරෙනු ලබනවා. විශේෂයෙන් ඔහුට විරුද්ධව කටයුතු කරන්නේ ඊජිප්තු ඉස්ලාමීය ජිහාඩ් හා  අල්-ගාමා අල් ඉස්ලාමිය යන කණ්ඩායම් දෙක යි.

සාම ගිවිසුම සදහා මූලික වීම හේතුවෙන් ඔහු 1978 වසරේ සාමය සදහා වූ නොබෙල් ත්‍යාගය හිමිකරගන්නවා. බටහිර රටවල් විසින් ඔහුව අගය කෙරෙන නමුත් රුසියාව තවදුරටත් ඊජිප්තුවට සහය දක්වන්නේ නෑ. 

මේ අතර ඊජිප්තුව තුළ ආර්ථිකය කඩා වැටීම හේතුවෙන් දිනෙන් දින වැඩ වර්ජන අභ්‍යන්තර ගැටුම් නිර්මාණය වීමට පටන් ගන්නවා. අන්වර් අල් සදාත්ගේ පාලනයට විරුද්ධව මෙලෙස ක්‍රියාත්මක වූ විවිධ දේශපාලන කණ්ඩායම්වල සාමාජිකයන් 1500ක් පමණ සිරගත කරන්න අන්වර් අල් සදාත් නියෝග කරනවා. මීට අමතරව තම එදිනෙදා කටයුතු සඳහා රජයේ විශාල මුදල් ප්‍රමාණයක් ඔහු විසින් වියදම් කෙරුණු බව ද සඳහන්.

යුධ සැමරුම් උළෙලේ දී සිදු වූ ඝාතනය 

අන්වර් අල් සදාත්ට වෙඩි තැබීම (Rare Historical Photos)

1981 ඔක්‌තෝබර් 6 වනදා සූවස් ඇළ තරණය කරමින් සිදු කළ යෝම් කිපූර් යුද්ධයේ අටවන සංවත්සරය උත්සවශ්‍රීයෙන් සැමරීමට ඊජිප්තු රජය කටයුතු සංවිධානය කරනවා. මේ සදහා අන්වර් අල් සදාත් ඇතුළු ආරාධිත අමුත්තන්ට හමුදා ආචාර පෙළපාලිය නිරීක්ෂණය කිරීම සඳහා වෙනම වේදිකාවක් නිර්මාණය කෙරෙනවා.

මිරාජ් ජෙට් යානා 5ක් විවිධ රටා නංවමින් උඩු ගුවනේ ගමන් කරන ආකාරය බලා සිටි අන්වර් සදාත් සිටි විශේෂ වේදිකාව ඉදිරියෙන් ගමන් කරමින් තිබූ හමුදා ආචාර පෙළපාලියට අයත් ට්‍රක් රථයකින් පැනගත් එක් සෙබලෙකු වේදිකාව දෙසට බෝම්බයක් දමා ගසනවා. ඒ සමගම ට්‍රක් රථයෙන් පැනගත් තවත් සෙබලුන් කිහිපදෙනෙක් වේදිකාව ඉලක්ක කරමින් දිගට හරහට වෙඩි තැබීමට පටන් ගන්නවා. විනාඩි දෙකක් පමණ ප්‍රහාරය ක්‍රියාත්මක වූ අතර වෙඩි වැදීමෙන් හා එල්ල වූ බෝම්බ ප්‍රහාර හමුවේ අන්වර් අල් සදාත් ඇතුළු 11 දෙනෙකු මිය යනවා. තවත් 28 දෙනෙකු තුවාල ලබනවා. 

වහාම ක්‍රියාත්මක වූ ඊජිප්තු ආරක්ෂක අංශයන් විසින් එක් ප්‍රහාරකයෙකු ඝාතනය කෙරෙන අතර ඉතිරි තිදෙනා ජීවග්‍රහයෙන් අල්ලා ගන්නවා. අන්වර් අල් සදාත්ගේ අවමඟුල සඳහා සහභාගී වන්නේ අරාබි ලීගයේ රටවල් අතරින් සුඩානයේ ජනාධිපතිවරයා පමණ යි. අරාබි ලීගයේ රටවල් මොහු පිළිබඳ කොපමණ අකමැත්තකින් සිටියා ද යන්න මින් හොඳින් පැහැදිලි වෙනවා.

ඝාතකයන්ට දඩුවම් 

අන්වර් අල් සදාත්ගේ අවමඟුල (Getty Images)

ඝාතනයට හවුල් වී සිටියේ ඊජිප්තු යුද්ධ හමුදාවේ කපිතාන්වරයෙකු වූ කලීඩ් අල් ඉස්‌ලාම්බුලි හා තවත් සොල්දාදුවන් තිදෙනකුගෙන් සමන්විත වූ කණ්‌ඩායමක්‌. ඔවුන් ඊජිප්තු ඉස්ලාමීය ජිහාඩ් සංවිධානයේ සාමාජිකයන් බව නඩු විභාගයේ දී හෙළි වෙනවා. නඩු විභාගයෙන් 300කට අධික ඉස්ලාමීය අන්තවාදී සාමාජිකයන් ප්‍රමාණයක් අත්අඩංගුවට පත්වෙන අතර ඝාතනයට ප්‍රධාන වරදකරු වූ කපිතාන් ඉස්‌ලාම්බුලි 1982 වසරේ අප්‍රේල් මාසයේ දී හිසගසා මරා දමනු ලබනවා.

කවරයේ ජායාරූපය - Reddit

මුලාශ්‍රයයන් - 
middleeastmonitor.com
aljazeera.com

Related Articles