පළමු ලෝක යුද්ධයේ සමාරම්භක වෙඩි මුරය – ෆ්‍රාන්ස් ෆර්ඩිනන්ඩ් ඝාතනය

මහා ගින්නක් ඇවිලීමට එක ගිණි පුපුරක් ප්‍රමාණවත්. ඒ වගේම තමයි ලෝකයේ සිද්ධ වෙලා තියෙන මහා ඛේදවාචක බොහොමයක් අාරම්භ වෙන්න හේතු වෙලා තියෙන මූලික කාරණය බොහෝම කුඩා එකක්. කාලයක් තිස්සේ එකතු වන අමනාපකම් සමහර විට තනි කෙනෙක් හෝ කීප දෙනෙක් ගත්ත වැරදි තීරණයක් නිසා පුපුරා ගොස් මහා විනාශයක් සිදු වෙන්න පුළුවන්. පළමු වෙනි ලෝක යුද්ධය ආරම්භ වුණේත් මෙවැනිම සුළු සිද්ධියක් නිසා.

ලෝක යුද්ධයේ ආරම්භයට හේතු වුණේ ගැටවරයෙක් බොහොම සාමාන්‍ය අර්ධ ස්වයංක්‍රීය පිස්තෝලයකින් එල්ල කළ වෙඩි පහර දෙකක් බව හිතන්නවත් පුළුවන්ද? ක්‍රි.ව 1914 ජුනි 28 වෙනි දින සර්බියානු ගැටවරයෙක් වෙන ගැව්රිලෝ ප්‍රින්සිප් විසින් ඔස්ට්‍රි-හන්ගේරියානු ඔටුන්න හිමි මහාදිපාද ෆ්‍රාන්ස් ෆර්ඩිනන්ඩ් හා එම මැතිණිය  සරජේවො නුවරදී වෙඩි තබා ඝාතනය කරනු ලබනවා. මේ සිද්ධියෙන් ආරම්හ වන ක්‍රියාදාමයක ප්‍රතිඵලයක් හැටියට පළමු ලෝක යුද්ධය ඇති වෙන්නේ මෙයට සම්බන්ධ වුණු අනෙක් සාමාජිකයන්ටවත් හිතා ගන්නටවත් බැරි විදියටයි.

කවුද මේ ෆ්‍රාන්ස් ෆර්ඩිනන්ඩ්?

ෆ්‍රාන්ස් ෆර්ඩිනන්ඩ් ඔස්ට්‍රි- හන්ගේරියන් රජ පෙළපතේ පුරුකක්. ඔහු 1900 වසරේදී සොෆී නම් රාජකීය නොවන තරුණිය විවාහ කරගන්නවා. මේ කරුණ නිසා හා තවත් නරක හැසිරීම් නිසා ඔහු ගැන එතරම් ප්‍රසාදයක් නෑදැයින් අතර හා රදළ පවුල්වල තිබී නෑ. පෞද්ගලිකව ඔහුත් සර්බියානුවන්ව සැළකුවේ ඌරන්,හොරුන්, මිනීමරුවන් හා තක්කඩින් ගණනට දමලයි.

ෆ්‍රාන්ස් ෆර්ඩිනන්ඩ් හා සොෆී ආර්යාව (history-jokes.tumblr.com)

පසුබිම සකස් වීම

බර්ලින් කොංග්‍රසය 1878 දී සර්බියාව නිදහස් රාජ්‍යයක් හැටියට පිළිගන්නවා. බොස්නියානු සර්බියානුවන් සිහින දකින්නේ තමන්ද සර්බියාව හා එක් වීමටයි. නමුත් එම සිහින බොඳ කරමින් ඔස්ට්‍රි – හන්ගේරියානු අධිරාජ්‍යය යටතේ තිබෙන බොස්නියාව ඇතුළු කොටසක් නිදහස් කරනු වෙනුවට ෆ්‍රාන්ස් ෆර්ඩිනන්ඩ් ෆෙඩරල් පාලනයක් සහිත තුන් වැනි උප රාජ්‍යයක් අැති කිරීමට පිඹුරුපත් සකස් කරනවා. එයින් සිදුවන්නට යන්නේ සර්බියාව හා එකතු වීමට තමන්ට තිබෙන අවස්ථාව අහිමි වීම බව බොස්නියානුවන් වටහා ගන්නා අතර ෆර්ඩිනන්ඩ් තමන්ට සළකන ආකාරය පිළිබඳ අප්‍රසාදයත් එයට එකතු වී ඔවුන් ඔහු ගැන ඇති කරගන්නේ බද්ධ වෛරයක්.

ඔස්ට්‍රි -හන්ගේරියානු රජ පෙළපතේ මේ හිතුවක්කර ක්‍රියාදාමය නිසා බොස්නියාව තුළ කැරලිකාර කණ්ඩායම් ඉස්මතු වෙනවා. ‘කලු හස්තය’ කියන්නේත් මේ වගේ ගොවියන්ගේ දූ පුතුන් එකතු වෙලා හදාගන්නා ලද සර්බියානු කණ්ඩායමක්. මේ ගැන ඉව වැටුණු රජ පෙළපත ප්‍රදේශයේ ආරක්ෂාව තර කරන්න කටයුතු කරනවා.

පළමු ලෝක යුද්ධ සමයේ කළු හස්තයේ සාමජිකයන් (pinterest.com)

ඝාතනය සැලසුම් කිරීම

1914 ජුනි මාසයේදී බොස්නියාවේ හමුදා පුහුණුවක් අධීක්ෂණය සඳහා එහි ගොස් පැමිණීමට ෆර්ඩිනන්ඩ් සැලසුම් කරනවා. එය කණ වැකුණු ‘කළු හස්තය’ ට අයත් තරුණයන් කිහිපදෙනෙක් ඔහුව ඝාතනයට සැලසුම් අඳිනවා. ගැව්රිලො ප්‍රින්සිප්, ට්‍රිෆ්කෝ ග්‍රබෙzස් හා නෙඩෙල්කෝ කැබ්‍රිනොවික් යන තිදෙනා සර්බියාවේ බෙල්ග්‍රේඩ් නුවරට ගොස් අත්බෝම්බ 6ක්, අර්ධ ස්වයංක්‍රීය පිස්තෝල 4ක් හා සයනයිඩ් කරල් සිය ‘කළු හස්ත’ සාමාජිකයන්ගෙන් ලබා ගන්නේ මේ සඳහාමයි. යම් පුහුණුවක්ද සර්බියාවේදී ලබා ගන්නා ඔවුන් නැවතත් බොස්නියාවට පැමිණෙන්නේ සර්බියාව පැත්තෙන් ලැබෙන ආධාර මධ්‍යයේ.

ගැව්රිලෝ ප්‍රින්සිප් (inyourpocket.com)

සැලසුම් ක්‍රියාත්මක කිරීම

ෆර්ඩිනන්ඩ් ආදිපාද තුමා සැළසුම් කරගත් පරිදි ජුනි 23 වනදා සිය බිරියත් කැටුව බොස්නියාවට පිටත් වෙනවා. ඒ වන විටත් රහස් ඔත්තු අංශ ඔහුට ජීවිත තර්ජන ගැන අනතුරු හඟවා තිබුණත් ඔහු ඒවා ඒ තරම් කණකට ගත්තේ නැහැ. අාදිපාද ‍යුවල බොස්නියා-හෙර්සෙගොවිනාවේ සරජේවො නුවරට පැමිණි විට තරහ මරහ පසෙක තබමින් එහි ජනතාව ඉතා විනීතවත්, සන්තෝෂයෙනුත් ප්‍රතිචාර දක්වන බවක් පෙනෙන්නට තිබුණා. මෙය ෆර්ඩිනන්ඩ් ගේ සතුටට හේතු වූ අතර චාරිකාවේ අවසාන දිනට පෙර දින වන තුරු සියල්ල සතුටුදායක අන්දමින් සිදු වුණා.

ඔයින් මෙයින් ජුනි 28 වෙනිදාට හිරු උදා වුණා. සැලසුම් කරගත් පරිදි නැවතී සිටි ස්ථානයේ සිට කෙටි දුම්රිය ගමනකින් පසු සරජෙවො නුවරට ලඟා වූ අාදිපාද යුවල වහළය රහිත විවෘත කාරයකට නැඟ ගත්තේ චාරිකාවේ අවසාන හමුදා ඛණ්ඩ නිරීක්ෂණය සඳහා යාමේ අදහසින්. ඔවුන් ඉදිරියෙන් සාමාන්‍යයෙන් තවත් කාරයක පුහුණු හමුදා නිලධාරීන් 6 දෙනෙක් ආරක්ෂාව සඳහා ගමන් කිරීම සිරිත වුවත් මෙම දින කුමක් හෝ හේතුවක් නිසා සිටියේ එක් අයෙක් පමණයි. ඊට අමතරව සාමාන්‍ය පොලිස් භටයන් තිදෙනෙක් සිටියා. ඇත්තෙන්ම නිසි බලධරයින් ආරක්ෂාව ගැන අධි තක්සේරුවක හිටි බවක් පෙනෙන්න තිබුණා.

සරජෙවො නුවර හා මිල්ජකා නදිය අද (viator.com)

මේ අතර තරුණ රහස් සංවිධාන සාමාජිකයන් තිදෙනා ඇතුළු සහචරයින් පිරිසක් වැඩ පටන් ගෙන තිබුණා. ගමන් මාර්ගය කලින් ප්‍රසිද්ධ කර තිබුණු නිසා ඝාතන සැලසුම ඇඳගැනීමට ඔවුන්ට ඉතා පහසු වුණා.ඈත මහ ආදිපාදතුමාගේ කාරය එනු දුටු කැබ්‍රිනොවික් එය තහවුරු කරගෙන අත්බෝම්බයක් කාරය යටට විසි කරනවා. නමුත් දෛවෝපගතව එය කාරය යටින් රෝල් වී පුපුරා යන්නේ ආරක්ෂාව සඳහා ගිය වෙනත් කාරයක් යටදී. මෙම පිපිරීම නිසා හමුදා සොල්දාදුවන් දෙදෙනෙක්ට හා පාරේ ගමන් කළ කිහිප දෙනෙක්ට තුවාල සිදු වුණා.

උත්සාහය ව්‍යර්ථ වූ තැන කැබ්‍රිනොවික් බොහෝ දුරට හිඳී තිබූ මිල්ජකා නදියට පැන සිය දිවි නසා ගැනීමට තවත් අසාර්ථක වූ උත්සාහයක් ගත්තත් පොලීසිය එය වළක්වා ඔහුව අත් අඩංගුවට ගන්නවා. ඔහුගේ කණ්ඩායමට අයත් තවත් දෙදෙනෙක්ට එම වේලාවේදී ෆර්ඩිනන්ඩ් ඝාතනය කිරීමේ හොඳ අවස්ථාවක් තිබුණත් ඒ එකෙකුටවත් එය කිරීමට සිත දැඩි කරගන්නට බැරි වෙනවා.

මේ අතර ෆර්ඩිනන්ඩ් වේලාවේ හැටියට පුදුම සහගත හා මෝඩ තීරණයක් ගනන්වා. ඉක්මනින්ම සරජෙවො නගරයෙන් ඉවත් වී යනු වෙනුවට ඔහු සිය ගමන දිගට කරගෙන යාමට තීරණය කරන්නේ මදක් අධිතක්සේරුවෙන්. මෙම තීරණය ඔහු නොගත්තා නම් පළමුවන ලෝක යුද්ධය ඇති වන්නේ නෑ.

බෝම්බ ප්‍රහාර වලින් බේරීම සඳහා ඔහු යෝජනා කරන්නේ වේගයෙන් රිය ධාවනය කිරීමයි. ඔහුගේ අණට අනෙක් අයට කීකරු වීමට සිදු වෙනවා. කැරලිකාර කණ්ඩායම තම ඝාතන තැත අකුලා ගන්නට තීරණය කරන තත්වයක් තිබුණත් ඔවුනට මඳක් ඈතින් ස්ථානගත වී සිටි ප්‍රින්සිප්ට ඒ බව පවසන්නට අවස්ථාවක් එන්නේ නෑ. අන් සියළු දෙනා අසාර්ථකව සිටියත් දැඩි අධිෂ්ඨානයෙන් ෆර්ඩිනන්ඩ් ට වෙඩි තැබීමට අවස්ථාව එන තුරු ඔහු වීථියේ පසෙකට වී මාන බලනවා.

අවසානයේ ෆර්ඩිනන්ඩ්ගේත් ලෝකයේත් අවාසනාවට ගමනේ අවසානයට ආසන්න මොහොතක ප්‍රින්සිප්ට ගොදුර ඩැහැගැනීමට අවස්ථාව උදා වෙනවා. එක දිගටම වේගයෙන් ගිය රථයේ වේගය මඳක් අඩාල වෙන්නේ යම් බාධාවක් සිදු වූ නිසා. වැරදීමකින් ෆර්ඩිනන්ඩ්ගේ රථ පෙළපාලියේ ඉදිරියෙන්ම ගිය රථ තුන වැරදි අතුරු මාර්ගයකට හැරවෙනවා. මේ තුන නියම මාර්ගයට ගැනීමට ආපස්සට ගන්නට සිදු වන අතර දෛවෝපගතව මෙය සිද්ධ වෙන්නේ ප්‍රින්සිප් නතර වී සිටි ස්ථානය අසලමයි.

ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් ඔහු සිය පිස්තෝලය ඉවතට ගෙන ෆර්ඩිනන්ඩ්ට හා ආර්යාවට වෙඩි දෙකක් තබනවා. මහ ආදිපාද තුමාගේ ගෙල පසාරු කරගෙන ඉලක්කගත උණ්ඩය ගමන් කරන අතර ආර්යාවගෙ උදරයට වෙඩි වදිනවා. මේ වෙඩි උණ්ඩ දෙකම අාදිපාද යුවලට මාරාන්තික තුවාල අැති කරනවා.

වෙඩි තැබූ පසු ප්‍රින්සිප් ව අත් අඩංගුවට ගනිමින් (inyourpocket.com)

මිනිත්තු කිහිපයක් ඇතුළත ආදිපාදතුමා හා ආර්යාව මරණයට පත් වන අතර ප්‍රින්සිප්ව පොලිස් අත් අඩංගුවට ගනු ලබනවා.  මරණ දඬුවම සඳහා  මේ 19 හැවිරිදි ගැටවරයා වයසින් මුහුකුරා ගොස් නැති නිසා ඔහුට ලැබෙන්නේ 20 අවුරුදු සිර දඬුවමක්. කොහොම වුණත් වයස අවුරුදු 23ක් ගත වෙද්දී ඔහු තමන් නිසා ඇරඹුණු පළමු ලෝක යුද්ධය අවසන් වන්නටත් පෙර ක්ෂය රෝගය වැළඳී මිය යනවා.

සිද්ධියෙන් ගිනිගත් මුළුමහත් ලෝකය.

මේ වන විටත් යම් යම් ප්‍රශ්න උද්ගත වෙමින් තිබූ යුරෝපය මේ ඝාතනයත් සමඟ කඩි ගුලක් සේ ඇවිස්සෙනවා. ඔස්ට්‍රියා – හන්ගේරියා රාජ්‍යය ජර්මනියේ සහාය පතන්නේ සර්බියාවට එරෙහිව යුධ ප්‍රකාශ කරන්නටයි. සර්බියාව සිද්ධිය සාකච්ඡා මාර්ගයෙන් සමථයකට පත් කර ගැනීමට උත්සාහ කළත් ඔස්ට්‍රියා – හන්ගේරියාව ජූලි 28 වැනිදා එනම් සිද්ධිය සිදු වී හරියටම මාසයක් ගත වෙද්දී සර්බියාවට එරෙහිව යුධ ප්‍රකාශ කරනවා.

එයින් සතියකට පසු ජර්මනිය, රුසියාව, ප්‍රංශය, බෙල්ජියම, මොන්ටිනීග්‍රෝව සහ මහා බ්‍රිතාන්‍යයත් මේ යුද්ධයට ඈඳෙනවා. තවත් නොබෝ කලෙකින් ඇමෙරිකා එක්සත් ජනපදය වැනි රටවලුත් මෙයට සම්බන්ධ වෙලා සැබෑ ලෝක යුද්ධයක් අාරම්භ වෙනවා.

(airfix.com)

ෆර්ඩිනන්ඩ් ආදිපාද තුමා අධිතක්සේරුවෙන් ගත් වැරදි තීරණයත්. ප්‍රින්සිප්ගේ පිස්තෝලයෙන් නිකුත් වූ මුණිස්සම් 2කත් නිසා ඇවිලෙන පළමු ලෝක යුද්ධය 1918 නොවැම්බරයේ අවසන් වන්නේ ලක්ෂ 90 ක හමුදා භටයිනුත් ඒ හා සමාන ප්‍රමාණයක සාමාන්‍ය ජනතාවකගේත් ජීවිත බිල්ලට අරගෙනයි.

1 කවරයේ ඡායාරූපය (www.pinterest.com)

මූලාශ්‍ර

  1. history.com
  2. telegraph.co.uk

Related Articles