මෙම ලිපිය ආරාධිත රචකයෙකු විසින් ලියැවුණකි.ඔබටත් අප හා ලිපි ලිවීමට අවශ්‍ය නම්, අපගේ ආරාධිත රචක කරළියට පිවිසෙන්න.

ලංකාවේ විශාල බෝධිසත්ව ප්‍රතිමා අතර විශිෂ්ට පිළිමයක් ලෙස හැඳින්වෙන වැලිගම බෝසත් ප්‍රතිමාව පුරාණයේ බෝධිසත්ව වන්දනාව ප්‍රචලිතවීම ගැන අපට සාධක සපයනවා. කුෂ්ට රෝගය සුවපත් වූ රජෙක් ලෙස ජනප්‍රවාදයේ එන මෙම පිළිමයට අදත් සමහරුන් මල් පහන් පූජා කරන බව පේනවා.

ගමන් මඟ

මාතර සිට ගාල්ල දෙසට යන විට වැලිගම නගරය අසල  තානායම හන්දියෙන් වම් පසට ඇති මාර්ගයකින් ටික දුරක් ගමන් කිරීමෙන් පසුව පාරේ දකුණු පස දුම්රිය මාර්ගයට නුදුරින් පිහිටි කුෂ්ටරාජගල අවලෝකිතේශ්වර බෝධිසත්ව ප්‍රතිමාව වෙතට ළඟාවිය හැකි යි. මාතර සිට ගාල්ල දෙසට කිලෝ මීටර 19ක් දුරින් තමයි මේ ස්ථානය පිහිටා තිබෙන්නේ.

දඹේගොඩ අවලෝකිතේශ්වර පිළිමය- Nishan, anjelfire.com

බෝධිසත්ව වන්දනාව

අප රටෙන් කුඩා ප්‍රමාණයේ සිට විශාල ප්‍රමාණය දක්වා බෝධිසත්ව ප්‍රතිමා හමුවෙලා තිබෙනවා. මේවායිනුත් විශාල ප්‍රමාණයේ බෝධිසත්ව ප්‍රතිමා ලෙසට  පවතින්නේ බුදුරුවගල පිහිටි බෝධිසත්ව ප්‍රතිමා, දඹේගොඩ අවලෝකිතේශ්වර ප්‍රතිමාව, ඔක්කම්පිටිය දඹේගොඩ පිළිමය සහ වැලිගම කුෂ්ටරාජගල අවලෝකිතේශ්වර ප්‍රතිමාව යි. 

 සෑම බෝධිසත්වයකුට ම මුද්‍රාවක්, වාහනයක් මෙන් ම සංකේතයක් ද වෙන් ව තිබෙනවා.  බෝධිසත්වයන් අතරින් අවලෝක්තිශේවර හා මංජු ශ්‍රී යන බෝසත්වරුන් ප්‍රමුඛත්වයේ ලා සලකන අතරම මීළඟට බුද්ධත්වයට පත්වන්නේ යයි සැලකෙන මෛත්‍රය බෝසතුන්ට විශේෂත්වයක් හිමිවෙනවා. 

කුෂ්ටරාජගල පිළිමය - facebook

 

බෝධිසත්ව සංකල්පය ආරම්භ වූයේ මහායාන දහමේ  ආරම්භයත් සමඟ යි.  ක්‍රිස්තු වර්ෂ දෙ වැනි සියවසේ පමණ ඉන්දියාවේ හා අවට ප්‍රදේශයන්හි මේ ඇදහීම ඇරඹී පසුව ලොව වෙනත් රටවලට ද ව්‍යාප්ත වී තිබෙනවා.‍ මහායාන බුදු සමයෙහි ප්‍රධාන තැනක් ගන්නා බෝධිසත්ව සංකල්පය යටතේ වඩාත් ජනප්‍රියත්වයට පත් ව ඇත්තේ අවලෝකිතේශ්වර බෝධිසත්ව වන්දනාව යි.  ආසියාතික රටවල් රාශියකට එම ඇදහීම පැතිර ගොස් තිබෙනවා.  ලංකාවේ දකුණු පළාතේ බෝධිසත්ව ඇදහීම ප්‍රචලිතව පැවති බව වැලිගම, බුදුරුවගල, ඔක්කම්පිටිය දඹේගොඩ, සිතුල්පව්ව වැනි තැන්වලින් ලැබෙන අවලෝකිතේශ්වර බෝධිසත්ව ප්‍රතිමාවලින් පේනවා.

 පිළිමය නරඹන පිරිසක්- srilankadreamtours.com

කුෂ්ටරාජගල

වැලිගම මුහුදට නුදුරු ස්ථානයක කළු ගලක ඇතුළට හෑරූ විවරයක් තුළ තමයි මේ ප්‍රතිමාව නෙළා තිබෙන්නේ.  වැලිගම වරාය පුරාණ නැව් තොටක් ලෙස පැවතුණා. එම වරාය සහ වෙරළ තිසර, පරෙවි සහ කෝකිල සංදේශ කවීන්ගේ වර්ණනාවට ලක්වුණා. කල්‍යාණි ශිලා ලිපිවල දැක්වෙන්නේ බුරුම නැව් මෙහි නැංගුරම් දැමූ බවයි. මහාවාලුකාගම ලෙස පුරාණයේ හැඳින්වූ වැලිගම 12 වන සියවස වන විට වඩාත් ප්‍රකටව පැවතුණා.

වැලිගම බෝසත් පිළිමයේ උස මීටර් 3 සෙන්ටි මීටර් 83ක්. (අඩි 12ක පමණ) උරහිස් දෙක අතර පළල සෙන්ටි මීටර් 103ක් වන අතර බෙල්ලේ අර්ධ වට ප්‍රමාණය 41ක්. ජනප්‍රවාද පවසන්නේ  කුෂ්ට රෝගයකින් පෙළුණු වෙනත් රටකින් පැමිණි රජ කුමාරයකු  මෙරට දී එය සුවපත් කර ගැනීමට බාරයක් වී එය ඔප්පු කිරීමට තමුන් නිරූපණය කරමින් මෙය  ඉදිකර වූ බව යි.   ඔහු මෙම ස්ථානයේ එක දිගට මාස තුනක් නැවතී සිටිමින් තැඹිලි පමණක් ආහාරයට ගනිමින් ගත කළ නිසා රෝගය සුව වූ බවද එම ජනප්‍රවාදවල සඳහන් වෙනවා.

 පිළිමය කොටා ඇති පර්වතය- 22weligambay.com

 

ලංකාවේ මහායාන ප්‍රතිමා ගැන පර්යේෂණයක් කළ මහාචාර්ය නන්දසේන මුදියන්සේ සඳහන්  කර ඇත්තේ පිළිමය නෙළා ඇති ගලේ ස්වාභාවික ව තැනින් තැන තිබෙන ළා පැහැති පැල්ලම් නිසා මෙම ජනප්‍රවාද බිහිවන්නට ඇති බව යි. මේ ප්‍රතිමාව ගැන අධ්‍යනය කළ විද්වතුන් පිළිමයෙන් නිරූපණය වන්නේ රජකු හෝ රජ කුමරුවකු ය යන මතය බැහැර කරන  අතර එය මහායාන බෝධිසත්ව පිළිමයක් බව අවිවාදිත ව පිළිගෙන තිබෙනවා.

 ප්‍රතිමාව වෙනත් කෝණයකින්- sarath wijayathilake- lakpura.com

පිළිමය හඳුනා ගැනීම

මෙහි දැක්වෙන්නේ කුමන බෝධිසත්වයකුගේ පිළිමය ද යන්න පිළිබඳව නම් විද්වතුන් අතර මුල් කාලයේ එක් මතයක් පැවතුණේ නැහැ. මේ පිළිබඳ ව 1925 දී පමණ අදහසක් දක්වන ආචාර්ය ඒ.නෙල් ට අනුව මෙයින් නිරූපණය වන්නේ සිංහනාද අවලෝකිතේශ්වර බෝධිසත්වයන්. දේශීය ජනප්‍රවාදය හා මනාව ගැළපීමක් දක්වමින් සිංහනාද අවලෝකිතේශ්වර යනු සියලු රෝග විශේෂයෙන් කුෂ්ට රෝග නිවාරණය සම්බන්ධයෙන් ප්‍රචලිත බෝධිසත්වයකු වශයෙන් සැලකෙනවා. තවත් මතයක් වන්නේ මෙම පිළිමය නාථ දෙවිඳුන්ගේ බව යි. අවලෝකිතේශ්වර සහ නාථ යනු එකම බෝධිසත්වවරයෙක් යන මතයක් ද කලක පටන් විද්වතුන් අතර පවතිනවා.

 බෝසත් පිළිමයේ හිසෙහි බුදු රූ - wikipedia.org

මෙම පිළිමයේ හිස් පළඳනාවේ ධ්‍යානි බුදු පිළිම 4ක් පෙනෙන්නට ඇති අතර හිස පසු පසින් තවත් පිළිමයක් ඇති ලෙස සාමාන්‍යයෙන් විශ්වාස කෙරෙනවා.මෙම බෝසත් පිළිමය හඳුනා ගැනීමට උපකාරී වුණේ ජටාවේ එම බුද්ධ රූප යි.

 මහාචාර්ය නන්දසේන මුදියන්සේ ද මෙම පිළිමය සිංහනාද අවලෝකිතේශ්වර ලෙස පවසනවා. ධ්‍යානි බුද්ධ රූප සමාධි ඉරියව්වෙන් ඇති බැවින් ඒවායින් අමිතාභ ධ්‍යානි බුදුවරයා නිරූපිත බවත් ඔහු නිගමනය කර තිබෙනවා.  අමිතාභ යනු මහායාන සංකල්පවලට අනුව ධ්‍යානි බුදුවරයන්ගේ ආදිතමයා යි. එසේ ම බෝධිසත්ව අවලෝකිතේශ්වරගේ ආධ්‍යාත්මික ගුරුවරයා ලෙස සැලකෙන්නේත් අමිතාභ බුදුන් වහන්සේ යි. මහාචාර්ය සෙනරත් පරණවිතානයන් ද මුල් කාලයේ මෙය අවලෝකිතේශ්වර පිළිමයක් ලෙස හඳුනාගෙන තිබෙනවා.

පිළිමයේ ශෛලිය අනුව මෙය ගුප්ත සම්ප්‍රදායයේ  ලක්ෂණ පෙන්නුම් කරන බවත් ඒ අනුව මෙය 7- 8 ශතවර්ෂ වල ඉදි කළ එකක් ලෙස සැලකිය හැකි බවත් මහාචාර්ය නන්දසේන මුදියන්සේ පවසා සිටිනවා.

 ඉඟටියෙහි දෝතිය දැක්වෙන අයුරු - maps.me

පිළිමයේ විශේෂතා

නරඹන්නාට ඉතා ප්‍රසන්න හැඟීම් දනවන අලංකාර පිළිමයක් ලෙස මෙය හැඳින්විය හැකි යි. මෙම ප්‍රතිමාව සමභංග ඉරියව්වෙන් යුක්ත යි. දෙපා එකිනෙකට සමාන්තර ව ක්‍රමවත් ලෙස නිරූපණය කර තිබෙනවා.  රාජකීය වස්ත්‍රාභරණයන්ගෙන් සැරසී සිටින බෝධිසත්වයන්ගේ යටිකය සරසා ඇත්තේ දෝතියකින්.  පටි ත්‍රිත්වකින් සමන්විත අලංකෘත වළලු සහිත බඳ පටියකින් දෝතිය රඳවා තිබෙනවා.  

උඩුකයට කිසිදු වස්ත්‍රයක් නොමැති වුව ද නානාප්‍රකාර වූ ආභරණයන්ගෙන් උඩුකය සමන්විත යි. ගෙල වටා තිබෙන මාල සිරුරේ ඉදිරිපසට වැටී තිබෙනවා. එක් මාලයක් ලියවැල් රටාවලින් යුක්ත යි. දෙවැනි මාලය බෝල සහිත යි. එය මැද මකර මුඛයක් තිබෙනවා. දෑත ම වළලුවලින් සරසා තිබෙනවා. දකුණතින් විතර්ක මුද්‍රාව දැක්වෙන අතර  වමතින් කටකහස්ත මුද්‍රාව ද නිරූපිත යි. අඩවන් නෙත් සඟළකින් යුතු පිළිමය කරුණාබරිත බැල්මකින් යුක්ත යි. 

ඇඳුමේ විශේෂ ලක්ෂණ- Wikipedia.org

 

ඉඟෙහි දෝතිය උසින් සෙන්ටි මීටර 164ක්. එය නිරූපණය කර ඇත්තේ ඝන කපු රෙද්දක් විලස යි. ඉඟ පටිය දෙපස ද කට අයාගත් මකර මුඛ සහිත යි. දෙපාවලට වළලු දමා සිටින ලෙස නිරූපිත යි. දණහිස් මඳක් ඉදිරියට නෙරා තිබෙනවා.

මෙම අවලෝකිතේශ්වර බෝධිසත්ව පිළිමයේ ලක්දිව මෙතෙක් හමු වී ඇති කිසිදු අවලෝකිතේශ්වර බෝධිසත්ව පිළිමයක දක්නට නොලැබෙන සුවිශේෂි ලක්ෂණයක් නම් බෝධිසත්ව ප්‍රතිමාවේ ජටාවේ ඉහළින් එක් අමිතාභ ධ්‍යානී බුදු රුවක් වෙනුවට සමාධි රූ 4ක් මූර්තිමත් කර තිබීම යි. එම නිසා මෙම ප්‍රතිමාව මේ ආකාරයට බුදු රූ 4ක් ඇති මෙරට එක ම අවලෝකිතේශ්වර ප්‍රතිමාව ලෙස සැලකිය හැකි යි.  එම බුද්ධ රූප සියල්ල ආසනයක් මත සමාධි මුද්‍රාවෙන් වැඩ සිටිනවා. අවලෝකිතේශ්වර බෝධිසත්ව රූපවල ජටා මකුටයේ මෙම ධ්‍යානි බුදු රූ දැක්වීමේ සම්ප්‍රදායක් පවතිනවා.

මකුටයේ බුදු රූ සහිත නිසා කෙහෙරැලි මනාව පෙනෙන්නේ නැහැ. මකුටය මැද ඇති බුදුරුව දෙපස මකර මුඛ දෙකක රූකම් සහිත යි. නළල් පටයේ ඉදිරිපස කට අයාගත් මකර රටා දැකගත හැකි යි. කන්වලත් මකර කුණ්ඩලාභරණ දැකගත හැකි යි.

කවරයේ ඡායාරූපය-  කුෂ්ටරාජගල පිළිමය- sinhala.archaeology.lk

මූලාශ්‍ර:

පුරාවිද්‍යා සඟරාව- 1991,  6 වැනි කලාපය

Lankadeepa.lk

Nandasena Mudiyanse- Mahayana Monuments in Ceylon

trisinhala.blogspot.com