මූගල් අධිරාජ්‍යයේ ආරම්භකයා වූ සහීර්-උද්-දීන් මුහම්මද් බාබර්

මූගල් අධිරාජ්‍යය සියවස් තුනකට ආසන්න කාලයක් ඉන්දියාවේ ප්‍රබල රාජ්‍යයක්ව පැවතියා. එය 1526 දී ස්ථාපිත කරන ලද්දේ මධ්‍යම ආසියාවේ ඉපිද, එහි තමන්ට හිමි වූ රාජ්‍යය අහිමි වී එම ප්‍රදේශය අතැර දමා පැමිණි අයකු විසිනුයි. ඔහු නමින් සහීර්-උද්-දීන් මුහම්මද් බාබර් වූ අතර බාබර් ලෙස ලෝක ප්‍රසිද්ධ යි.

බාබර් උපන්නේ මධ්‍යම ආසියාවේ ෆර්ඝානා ප්‍රදේශයේ දී 1483 වසරේ යි. ඔහුගේ පියා වූ උමර් ෂයික් මිර්සා ෆර්ඝානාවේ පාලකයා වුණා. වයස එකොළහේ දී පියාගේ ඇවෑමෙන් බාබර් එහි පාලකයා බවට පත් වුණා.

මෙකල මධ්‍යම ආසියාව විවිධ රාජ්‍යයන්‍ට කැඩී නිරන්තර යුධ කෝලාහල මැද පැවති ප්‍රදේශයක් වුණා. ඊට හේතු වූයේ ටිමූර් (ටැමර්ලේන්) විසින් ගොඩනැගූ අධිරාජ්‍යය 1405 දී සිදු වූ ඔහුගේ මරණින් පසු කැබලි වීම යි. මෙහි විවිධ ප්‍රදේශයන්හි වූ පාලකයන් බොහෝ දෙනා ටිමූර්ගෙන් පැවතෙන්නන් වූ අතර ඒ හේතුව නිසාම ඒ සැම අයකුම ටිමූර්ගේ අධිරාජ්‍යය යළි ගොඩ නගන්නට සිහින දැක්කා. බාබර් ද එවැන්නෙක්.

ටිමූර්ගේ අගනුවර වූ සමර්කන්ඩ් නගරය මෙකල පාලනය කළේ බාබර්ගේ පියාගේ වැඩිමහල් සහෝදරයා වූ අහමද් මිර්සා විසින්. ලාබාල බාබර් පළවා හැර ෆර්ඝානාව තම පාලනයට නතු කරගැනීමට අහමඩ් මිර්සා කල්පනා කළා. එහෙත් 1495 දී සිදු වූ ඔහුගේ හදිසි අභාවයෙන් පසු බාබර්ට සමර්කන්ඩ් අල්ලාගැනීමට හැකි වුණා.

මෙම අවස්ථාවේ බාබර්ගේ බලය ඉහළ ගියත්, වෙනත් ආකාරයේ උවදුරු ඔහුට හරහට සිටියා. ඔහු අසනීප වූ අවස්ථාවක රදළවරු ෆර්ඝනාවේ පාලකයා ලෙස ඔහිගේ සහෝදරයා පත් කරගත්තා. ඔහුව සමර්කන්ඩ් නගරයෙනුත් පළවා හරිනු ලැබුණා. ඔහු යළි එම නගරය අල්ලාගත් නමුත් ෂයිබානි ඛාන් විසින් මෙහෙයවූ උස්බෙක්වරුන්ගේ නැගීම හමුවේ යළි සමර්කන්ඩ් අහිමි වුණා. කලක් රාජ්‍යයක් නොමැතිව කඳුකර පෙදෙස් හි සැඟවුණු ජීවිතයක් ගෙවන්නත් ඔහුට සිද්ධ වුණා.

කාබුල් හි පාලකයා

ෂයිබානිගේ බලය හේතුවෙන් අකමැත්තෙන් වුණත් බාබර්ට සමර්කන්ඩ් සිහිනය අත හැරීමට සිදු වුණා. එහෙයින් ඔහු අවධානය යොමු කළේ කාබුල් වෙත යි. ෂයිබානි ඛාන් විසින් පළවා හරින ලද ඇතැම් පිරිස් ද ඔහු හා එක් වූයෙන් බාබර්ට තරමක හමුදාවක් ගොඩනංවා ගන්නට පුළුවන් වුණා. ඔහු 1504 දී කාබුල් අල්ලාගත්තා.

ෂයිබානිගේ බලය හේතුවෙන් තවමත් තමන්ට සමර්කන්ඩ් ලබාගත නොහැකියැ යි වටහාගත් බාබර් ඉන්දියාව දෙසට අවධානය යොමු කළා. ඔහු මීළඟ වසර කිහිපයේ දී දෙවරක් ඒ දෙසට ගමන් කර ආපසු හැරී ආවා. මේ අතර හීරත් අල්ලාගත් ෂයිබානි කන්දහාර් දෙසට බලය පැතිරීමට ගත් උත්සාහය පිළිබඳ බාබර් අවධානය යොමු කරන්නට වුණා.

බාබර් රාජසභාවේ සිටින අයුරු දැක්වෙන පසුකාලීන මූගල් චිත්‍රයක් (Public Domain)

කන්දහාර් වෙත පහර දුන් නමුත් ෂයිබානි එහි බලය තහවුරු නොකර යළි හැරී ගියා. ඒ පර්සියාවේ පාලකයා විසින් එල්ල කළ තර්ජනය නිසා යි. 1510 දී පර්සියානුවන් විසින් ෂයිබානි ඛාන් මරා දැමුණා.

මෙම අවස්ථාවේ බාබර්ගේ සමර්කන්ඩ් සිහිනය යළි ඇවිළුණා. එමෙන්ම ඔහු 1511 දී ෆර්ඝානා, සමර්කන්ඩ් ආදී ප්‍රදේශ ගණනාවක් අල්ලාගෙන ටිමූර්ගේ අධිරාජ්‍යය ගොඩනැගීමේ සිහිනය අර්ධ වශයෙන් හෝ සඵල කරගත්තා. නමුත් ස්වල්ප කලකින් උස්බෙක්වරුන් එල්ල කළ අභියෝගය හමුවේ බාබර් සමර්කන්ඩ් අතැර ගියේ නැවත නොඑන්නම යි. සටනින් පැරද, සෙබළුන් විසින් ද අතැර දමන ලද බාබර් කඳුකර මාර්ග ඔස්සේ අපහසුවෙන් කාබුල් කරා පැමිණියා.

දිල්ලිය අරමුණු කරගැනීම​

මීළඟ වසර කිහිපය, එනම් 1515-1518 සමයේ, ඔහු කාබුල් ප්‍රදේශයේ සාපේක්ෂව විවේකී කාලයක් ගත කළා. එකල ඔහු තම බලය එහි තහවුරු කරගත්තා. දැන් ඔහුගේ පැහැදිලි ඉලක්කය වූයේ ඉන්දියාව යි. බාබර් ඒ සඳහා හමුදා රැස් කිරීමට වුණා.

මෙකල උතුරු ඉන්දියාව පාලනය කළේ දිල්ලි සුල්තාන් රාජ්‍යයේ අවසන් පාලකයා වූ ඊබ්‍රහීම් ලෝදි යි. කලක් ප්‍රබල රජ්‍යයක්ව තිබුණු දිල්ලි සුල්තාන් රාජ්‍යය මේ වෙද්දි පරිහානියට පත් වෙමින් පැවතුණා. මේ අතර බාබර් සිය බලය වර්ධනය කරගනිමින් සිටියා. බදක්ෂානය අල්ලාගත් ඔහු එහි පාලනයට සිය වැඩිමහල් පුත් හුමායුන් පත් කළා. කන්දහාර් අල්ලාගෙන එහි පාලනය තවත් පුතකු වූ කම්රාන් වෙත භාර කළා.

මෙසේ බාබර් දිල්ලිය දෙස නෙත් යොමා සිටිය දී ඔහුට එදෙසට එන ලෙස තිදෙනකුගෙන් ආරාධනා ලැබුණා. ඔවුන් නම් පන්ජාබයේ දෞලාත් ඛාන්, අලා-උද්-දීන් හෙවත් අලාම් ඛාන් සහ මේවාර් හි රානා සංඝ යි. ඊබ්‍රහීම් ලෝදි විසින් පන්ජාබයේ පාලනයෙන් ඔහුව ඉවත් කිරීමේ අවදානමක් තිබීම දෞලාත් ඛාන් බාබර්ට එක් වීමට හේතු වුණා. දෞලාත් මෙන්ම අලාම් ඛාන් ද දිල්ලියේ පාලනය අල්ලාගැනීමට බලාපොරොත්තු වුණා. මේ අතර රාජ්පුත්වරුන්ගේ ප්‍රබලයකු වූ රානා සංඝ බලාපොරොත්තු වූයේ ඊබ්‍රහිම් ලෝදිගේ පරාජය යි.

1524 දී බාබර් ඉන්දියාවට පැමිණ පන්ජාබය අල්ලාගත්තා. ඔහු එය දෞලාත් ඛාන්ට නොව වෙනත් නායකයකු වෙත පැවරුවා. එයින් දෞලාත් ඔහු හා අමනාප වුණා. මේ අතර​, අලාම් ඛාන් දිල්ලිය අල්ලාගත් විට පන්ජාබය නිල වශයෙන් බාබර් වෙත පවරා දීමට කැමති වුණා. නමුත් මේ අවස්ථාවේ බාබර්ට දිල්ලිය බලා යාමට හැකි වූයේ නැහැ. යළිත් සංවිධානය වී සිටි උස්බෙක්වරුන් ඔහුට තර්ජනය කිරීම හේතුවෙන් ඔහු බටහිර දෙසට​ ගමන් කළේ තම හමුදාවෙන් කොටසක් අලාම් ඛාන් වෙත තබමින්.

අලාම් ඛාන් දිල්ලිය බලා ගමන් ගත්තේ එම නගරය අල්ලා ගතහොත් එහි කීර්තිය තමන්ට තනිව ලැබෙන බව දැනගෙන යි. එහෙත් ඔහු ඊබ්‍රහීම් ලෝදි හමුවේ පරාජය වී ආපසු බාබර්ගේ පිහිට සොයාගෙන පැමිණියා.

බාබර් මීළඟ වරට ඉන්දියාවට පැමිණියේ 1526 මුල දී යි. මෙවර ඔහු දිල්ලිය කරා යාමට හොඳ සූදානමකින් යුතුව පැමිණියා. මුලින්ම පන්ජාබයේ දී දෞලාත් ඛාන්ගේ හමුදාවක් පරාජය කළ හෙතෙම ඉන් අනතුරුව දිල්ලිය දිශාවට​ ගියා. මෙම අවස්ථාවේ ඊබ්‍රහීම් ලෝදි සිය හමුදාව රැගෙන පානිපත් තැනිතලාවට පැමිණියා.

පළමු පානිපත් සටන (Ambrose Dudley)

1526 අප්‍රේල් 21 වන දා සිදු වූ පළමු පානිපත් සටන ඉන්දීය ඉතිහාසයේ තීරණාත්මක සටන් කිහිපයෙන් එකක්. මෙම සටන සඳහා සහභාගී වූ සේනාංකවල ශක්තිය පිළිබඳ විවිධ අනුමානයන් පවතිනවා. එහෙත් ඊබ්‍රහීම් ලෝදිට 50,000 – 100,000ක් අතර සේනාංකයක් සිටි බවත්, බාබර්ට ලෝදි තරම් සෙනග නොසිටි බවත් පෙනී යනවා. ලෝදිගේ හමුදාවේ මූලික පදනම වූයේ ඇත් සහ අසරු සේනා යි. බාබර් සතුව කාලතුවක්කු විස්සක් තිබුණ අතර අත් තුවක්කු දැරූ සෙබළුන් සහ අසරු දුනුවායන් ද ඔහුට සිටියා.

ලෝදි තමා සේනාංක සැකසුවේ පළමු පෙළ ඇතුන්, දෙවන පෙළ අසරුවන් සහ තෙවන පෙළ පාබල සේනා ලෙසයි. ඔහු සිය අතපත්තු හමුදාව (පුද්ගලික ආරක්ෂක සේනාංකය​) සමග පසුපසින්ම සිටියා.

බාබර් සිය හමුදාව සඳහා කරත්ත සපයාගෙන තිබුණ අතර ඒවා එකිනෙක හා සම්බන්ධ කර තිබුණා. බාබර්ගේ හමුදාව කරත්ත​ පිටිපසින් ආරක්ෂිත ලෙස රැඳී සිටියා. එම රථ එකිනෙක හා සම්බන්ධ කර තිබුණේ හිස් ඉඩ සහිතව යි. කාලතුවක්කු ඒ ස්ථාන පිටිපසින් රඳවා තිබුණා. ලෝදිගේ සේනා ඉදිරියට එද්දී මෙම කාලතුවක්කු ක්‍රියාත්මක වුණා. ඒවායේ හඬ හේතුවෙන් කලබල වූ ඇතුන් පළා යද්දී ලෝදිගේ සේනාංකවල ක්‍රමානුකූල ස්වභාවය බිඳ වැටුණා.

බාබර්ගේ අසරු හමුදා දිල්ලි සේනාංකය දෙපසින්ම වට කරන්නට පටන් ගත්තා. එවිට ඉදිරිපසින් සහ දෙපැත්තෙන් ලෝදිගේ සේනා වටකරනු ලැබුණා. මෙහිදී එල්ල වූ ප්‍රහාරවලින් ඊබ්‍රහිම් ලෝදි ද මරණයට පත්ව ඔහුගේ සේනා බරපතල ලෙස හානියට පත්ව විනාශ වුණා. ජයග්‍රාහී බාබර් දිල්ලිය කරා ගමන් ගත්තා.

1526 අප්‍රේල් 26 වන දා දිල්ලියේ ප්‍රධාන දේවස්ථානයේ දී බාබර් ඉන්දියාවේ පාද්‍ෂා හෙවත් අධිරාජයා ලෙස ප්‍රකාශයට පත් කෙරුණා. නමුත් ඔහු උපක්‍රමිකව වඩා වැදගත් වූ අග්‍රා නගරය සිය අගනුවර කරගත්තා.

පසු කාලීන සටන්

බාබර් දිල්ලියේ බලවත් වීමත් සමග රානා සංඝ ඇතුළු රාජ්පුත්වරුන් කලබල වුණා. ඔවුන් විශාල සේනාවක් එකතු කරගෙන සටනට පැමිණි අතර 1527 මාර්තු 16 වන දා සිදු වූ කාන්ව සටනින් ඔවුන් පරාජය වුණා. මෙහිදී ද බාබර්ගේ ජයග්‍රහණයට කාලතුවක්කු මහත් උපකාරයක් වුණා.

කාන්ව සටනේ පරාජයෙන් පසු රාජ්පුත්වරුන් නැවත ප්‍රතිසංවිධානය වීමට උත්සාහ කළා. මේ බව දැනගත් බාබර් රානා සංඝගේ ප්‍රබල ආධාරකරුවකු වූ මේදිනී රාඕ පරාජය කිරීම සඳහා චන්දේරි වෙත පැමිණියා. බාබර් බලාපොරොත්තු නොවූ පරිදි එම බලකොටුවේ පිටත කොටස් පහසුවෙන්ම අල්ලා ගැනීමට ඔහු සමත් වුණා. මෙයින් පසු චන්දේරි හි ජෝහාර් උත්සවයක් පවත්වනු ලැබ රාජ්පුත් කාන්තාවන් ගින්නට බිලි වුණා. එහි වූ පුරුෂයන් ද සතුරාට හසු නොවී දිවි නසාගත්තා. මෙම ක්‍රියාව බාබර් දැඩි ලෙස පිළිකුල් කළ බව පෙනී යනවා.

මූගල් අධිරාජ්‍යයේ සිතියමක්. කොළ පැහැයෙන් බාබර්ගේ මරණය වෙද්දී මූගල් අධිරාජ්‍යය පෙන්වන අතර ලා කහ පැහැති ප්‍රදේශය කාබුල් හි ඔහුගේ පාලන ප්‍රදේශය යි (Encyclopedia Britannica)

චන්දේරි හි සටන් නිමවී දින කිහිපයකට පසු 1528 ජනවාරි 30 වන දා රානා සංඝ මියගියා. සාමාන්‍යයෙන් විශ්වාස කෙරෙන්නේ ඔහුගේ යටත් ප්‍රධානීන් ඔහුට වස දුන් බව යි. බාබර් සමග සටනට යාම බලාපොරොත්තු තබාගත නොහැකි කාර්යයක් බව ඔවුන් විශ්වාස කළ ද රානා සංඝ දිගටම සටනක් සඳහා සූදානම් වීම ඊට හේතුව යි.

බාබර්ට අවසන් බරපතල අභියෝගය පැමිණියේ දිල්ලි සිහසුනට උරුමකම් කී සුල්තාන් මුහම්මද් ලෝදි වෙතින්. බෙංගාලයේ සුල්තාන් නස්රත් ෂා ඔහු සමග එක්වුණා. 1529 මැයි 6 වන දා ගෝග්‍රා සටනින් ඔවුන් පරාජය වුණා. මුහම්මද් ලෝදි මියගිය අතර බාබර් බිහාරය ද ඈඳා ගත්තා. බෙංගාල සුල්තාන්වරයා සහ බාබර් අතර සාම ගිවිසුමක් ඇතිවුණා.

මෙය බාබර්ගේ අවසන් සටන වූ අතර​, ඉන් වසර එකහමාරකට පසු 1530 දෙසැම්බරයේ දී ඔහු මියගියා. මුලින් අග්‍රා හි වළලන ලද ඔහුගේ සිරුර පසුව කාබුල් වෙත ගෙන ගොස් එහි වළලනු ලැබුණා.

බාබර් සටන්කාමියකු මෙන්ම සාහිත්‍යකරුවකු ලෙස ද ප්‍රකට යි. ඔහුගේ ස්වයං චරිතාපදානය වන බාබර්නාම යන කෘතිය ඔහු පිළිබඳ තොරතුරු බොහොමයක් ලැබෙන කෘතියක් වන අතර, අනවශ්‍ය ස්වයං වර්ණනා නොමැතිව ලියූ චරිතාපදානයක් ලෙස අගය කෙරෙනු ලබනවා. මීට අමතරව ඔහු කවියකු ලෙස ද යම් දස්කම් පෙන්වූවකු වනවා.

Cover Image: බාබර් (Public Domain)

මූලාශ්‍රයයන්

  • මූගල් ඉන්දියාව - ඩබ්ලිව්. එම්. කේ විජේතුංග
  • Two Battles of Panipat (Kings and Generals Youtube Channel)

Related Articles