විශිෂ්ට බිතුසිතුවම් දකින්න තෙල්දෙණියේ බඹරගල යන්න

“බඹරගල රජ මහා විහාරය” නමින් ප්‍රසිද්ධව තිබෙන ලෙන් විහාරය මහනුවර දිස්ත්‍රික්කයේ තෙල්දෙණියට නුදුරුව පිහිටා තිබෙන ඓතිහාසික පුදබිමක්. කොළඹ සිට මහනුවර මයියංගනය මාර්ගයේ දිගන රජවැල්ල නගරයට පැමිණ, එතැන් සිට වැවේගම පාරේ කිලෝ මීටර 4ක් ගමන් කරන විට විහාරයට යන මාර්ගය වම් පසින් හමුවෙනවා. එතැන් සිට කිලෝ මීටර දෙකක් ගමන් කළ විට බඹරගල රජමහා විහාරයට ළඟාවිය හැකියි. මහනුවර සිට මේ වෙත දුර කි. මී. 21ක් පමණ වෙනවා.

විහාර බිම

විහාර බිමේ නූතන වාහල්කඩ –  antiquitysl.com-Ruwan Herath

ඈතින් විහාරය පිහිටා ඇති කඳුගැටය අලංකාරව දැකගත හැකියි. බඹරගල කන්දේ ගල්කුළු බහුල වටපිටාවක පිහිටි මේ ලෙන් විහාරය ඉතා සුන්දර ඉසව්වක අත්දැකීම විඳගැනීමට ඉඩ සලසන පූජනීය ස්ථානයක්. විහාර බිමට නුදුරින් පැතිර යන්නේ වික්ටෝරියා ජලාශයේ ජල කඳ යි. වන වදුලෙන් පිරුණු කඳුගැට දැන් ජලාශයේ පාවෙන දූපත් කුට්ටි ලෙස දැකගත හැකි වෙනවා.

බඹරගල ගැන රචිත ජනකවි දුම්බර ජනකවි අතර හමුවෙනවා. මේ ජන කවියා මේ විහාරය දැකි අයුරු යි:  

උඩිස්පත්තුවේ වෙල මැද තිබෙන ගල

පලිස්පත්තුවේ ලැබුණයි නම ද ගල

කලක් පවතින්ට මැද මහනුවර ගල

වදින්නට යමු තෙල්දෙණියේ බඹරගල

පැරණි ජනාවාසයක්

විහාර කන්ද ඈතට – Kusumsiri Wiajayawardhana

පැරණි බෙදීම් අනුව බටහිර පාත දුම්බර පලිස්පත්තු කෝරළේ පිහිටි මේ විහාරය උඩරට සම්ප්‍රදායේ බිතුසිතුවම් සුරැකි වටිනා පූජනීය ස්ථානයක් ලෙස සැලකෙනවා. මෙහි ඉතිහාසය උඩරට ජනාවාස වීමේ මුල් යුගයට අයත් බව ලෙන්වල පිහිටි ක්‍රි. පූ. යුගයට අයත් ලෙන්ලිපි සාක්ෂ්‍ය දරනවා. ඒ අනුව පෙනෙන්නේ තෙල්දෙණිය අවට කඳුකර කලාපය මෙරටට බුදුදහම ලැබුණු කාලයේ පටන්ම ගොවි ජනතාවක් වාසය කළ පෙදෙසක් බව යි.

උඩරට බිතුසිතුවම්

ලෙන තුළ මකර තොරණ – Kusumsiri Wiajayawardhana

මහනුවර සම්ප්‍රදායට අයත් බිතුසිතුවම් දැකිය හැකි දෙගල්දොරුව, මැදවල, සූරියගොඩ වැනි විහාර අතරට බඹරගලත් අයත් වෙනවා. මෙය උඩරට ආගමික ප්‍රබෝධයක් ඇති කළ කීර්ති ශ්‍රී රාජසිංහ (1747- 1782)  යුගයේ දී අංගසම්පූර්ණ ලෙන් විහාරයක් කළ බව සඳහන් වෙනවා. ඒ බව තහවුරු කරන කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් ප්‍රදානය කළ සන්නස් ද විහාරය සතු යි. ඒ සඳහා මුල් වී තිබෙන්නේ රඹුක්වැල්ලේ රතනජෝති නාහිමියන් බව බඹරගල තඹ සන්නසේ මෙසේ සඳහන් වෙනවා. 

විදර්ශනාධුරයෙහි අනුනායකත්වයට පැමිණියා වූ රඹුක්වැල්ලේ රතනජෝති ස්වාමින් විසින් දුම්බර පලිස්පත්තුව බඳ බඹරගලේ ගල්ලෙනක් තිබෙන බව දැක..

1814 දී උඩරටට ඉංග්‍රීසි තර්ජන එල්ල වූ අවස්ථාවේ දළදා වහන්සේ මහනුවරින් රහසිගතව පිට කළ අතර, ඒ අවස්ථාවේ දින කිහිපයක් බඹරගල විහාරයේ ද සඟවා තැබූ බව බඹරගල තුඩපතේ සඳහන්.

ලෙන් විහාරය – lakrooec.blogspot.com     

විහාරයේ බිතුසිතුවම් ගැන කලා විචාරක සිරි ගුණසිංහ සහ එල්. ටී. පී. මංජු ශ්‍රී මෙසේ සඳහන් කර තිබෙනවා:

මෙහි තිබෙන සිතුවම් මහනුවර සම්ප්‍රදායට අයත් වන ඉතාමත්ම ඉස්තරම් සිත්තම් කොටසක් බව නිසැක නමුත්, ඒවා කණගාටුදායක ලෙස විනාශ වී හෝ එසේත් නොමැති නම් කෘමීන් හානිකොට ඇති බව පෙනේ. අනෙක් ස්ථානවල මෙන් නොව බිත්තිවල පට රෙදි යොදා ඒ මත චිත්‍ර ඇඳ තිබේ. මල් මෝස්තර හා සතුන්ගේ රූප අප මෙතෙක් දැක ඇති ඉතා ඉස්තරම් මට්ටමේ සිතුවම්වලින් සමහරකි

(ශ්‍රී ලංකාවේ විහාර බිතුසිතුවම් පිළිබඳ සමීක්ෂණ වාර්තාව)

විහාර බිතුසිතුවම් – Kusumsiri Wiajayawardhana

මෙහි සිතුවම් කීර්ති ශ්‍රී යුගයේ දී මුලින්ම කරවූවත්, දෙගල්දොරුවේ සිතුවම් කළ දෙවරගම්පල සිල්වත් තැනගේ පරපුරේ ශෛලියට අයත් ඒවා නොවන බව යි පේන්නේ. දෙගල්දොරුවේ සිතුවම්වල මුහුණු රවුම් වන අතර මෙහි මුහුණු හතරැස් ආකාරයක් ගන්නවා.

ලෙන් විහාරය

ලෙන තුළ දාගැබ – Kusumsiri Wiajayawardhana

කඳු පාමුල සිට විහාරය දක්වා පියගැට පෙළක් සකස් කර තිබෙනවා. එය මෑතක දී සම්පූර්ණයෙන් අලුත්වැඩියා කර තිබෙන්නේ වටේ ප්‍රාකාර සහ පහන් කණු ද සහිතව යි. පියගැට පෙළ මඳ දුරක් නගින විට බෑවුමේ සංඝාවාස ගොඩනැගිල්ල දැකගත හැකියි. කඳු බෑවුමේ තැනිබිමක් වැනි ස්ථානයක තැනූ ලෙන් විහාරය පසුකාලීනව අලුත්වැඩියා කර තිබෙනවා. අද එහි දකින්න ලැබෙන්නේ රටඋළු සෙවිලි කළ පියස්සක්. ලෙන් විහාරය වටා පියස්සක් ඉදිකර ආලින්දයක් වැනි කොටසක් ද සකස්කර තිබෙනවා. ආලින්දයේ ලෙන් පියස්ස යට කුඩා දාගැබක් ද දැකගත හැකියි. මහනුවර යුගයේ සමහර විහාරවල මෙසේ කුඩා දාගැබ් ඉදිකිරීමේ සිරිතක් පැවතී තිබෙනවා.

මෙම විහාර ලෙනට අමතරව තවත් කටාරම් කොටූ ලෙන් කිහිපයක්ම කන්දේ පිහිටා තිබෙනවා. දැන් ඒවා භාවිත කරන්නෙ නම් නැහැ. ලෙන් විහාරය අසල සිට කඳු මුදුනට ගමන් කිරීමට අඩිපාරක් තිබෙනවා. අවශ්‍ය නම් කඳු මුදුනට ගොස් අවට සුන්දරත්වය දැකගැනීමටත් පුළුවන්.

විහාර මන්දිරය

බුද්ධ ප්‍රතිමා – lakrooec.blogspot.com

විහාරයට පිවිසෙන දොරටුව ආරුක්කු හැඩැතියි. එයට ඉහළින් මකර තොරණක් පිහිටා තිබෙනවා. මකර රූපවලට ඉහළින් දේව රූප සිත්තම් කර තිබෙනවා. මකර තොරණ දෙපස පිටත බිත්තියද සිතුවම්වලින් යුක්ත යි. අසල ලෙන් වියන සරසා තිබෙන්නේ නෙළුම් මල් මෝස්තරවලින්.

විහාරය ඇතුළත දොරටුව වම් පැත්තේ කල්පිත පක්ෂීයෙක් වන සරපෙන්ද පක්ෂියාගේ සම්පූර්ණ අංග ලක්ෂණ දැක්වෙන චිත්‍රයක් දැකගත හැකියි. සූවිසි විවරණය, සස ජාතකය, වෙස්සන්තර ජාතකය යන ජාතක කතා ද මෙහි බිත්තිවල ඇඳ තිබෙනවා. ලෙන් වියන අලංකාර කර තිබෙන්නේ බුද්ධ රූප, නාරිලතා මල්, ලියවැල් රටා, පක්ෂි රූපවලින්. මේ සිත්තම් බොහෝ දුරට කුළුපැහැ ගැන්වී තිබෙනවා. ඒ පුරාණයේ පහන් දැල්වීම නිසා යි. චිත්‍ර සඳහා අවශ්‍ය සුදු පාට මකුළු මැටි ලබාගෙන තිබෙන්නේ මාතලේ කන්දපල්ල කෝරළේ පිටවල ගමෙන් බව පැවසෙනවා. චිත්‍රවලට වයිති වශයෙන් යොදන දුම්මල කොත්මලේ වටද්දර ගමෙන් සපයාගෙන තිබෙනවා.

සැතපෙන බුදු පිළිමය -tripadvisor.com

ප්‍රධාන බුදු පිළිමය වන්නේ දහඅට රියන් සැතපෙන බුදු පිළිමය යි. එය දියරැල් ආකාරයේ සිවුරකින් යුක්ත යි. එයට පසෙකින් හිඳි බුදු පිළිම තුනක් පිහිටා තිබෙනවා. මේ පිළිමවලට රන්වන් පාට ආලේප කර තිබෙනවා.   

සෙල්ලිපි

විහාර බිමේ ලෙනක් – Kusumsiri Wiajayawardhana

විහාර ලෙනේ කටාරමට ඉහළින් එක් සෙල්ලිපියක් පිහිටා තිබෙනවා. අනෙක් සෙල්ලිපි දෙක කඳු බෑවුමේ ලෙන්වල කොටා තිබෙනවා. මෙම සෙල්ලිපි ක්‍රි. පු. 2- 1 සියවස් අතරට අයත්. මෙහි පළමුවන සෙල්ලිපියෙහි සඳහන් පොකනි නාග රජු කියන්නේ ප්‍රාදේශීය පාලකයෙකු බව යි පේන්නේ.

1 පචින රඣ නගයහ ඣය බමණ කොඣර කධිතය උපශික දතය ලෙණෙ

අර්ථය: ප‍්‍රාචීන නාග රජුගේ බිසව වූ ද කොජ්හර බමුණාගේ දියණිය වූ ද උපාසිකා දත්තාගේ ලෙන

2 උතරගුත තෙරහ ලෙණෙ මනපදශනෙ කොලිගමහි තුබෙ කලතෙහි එකෙ ලෙණෙ චිතනගරහි පශදෙ තෙරහ දනෙ

අර්ථය: උත්තරගුත්ත තෙරුන්ගේ මනාපදස්සන ලෙන ය. කෝලියග‍්‍රාමයේ ථූපයක්ද කලත ග‍්‍රාමයේ එක් ලෙනක් ද චිත‍්‍ර නගරයේ ප‍්‍රාසාදයක් ද තෙරුන්ට පූජා කෙරේ.

3 පරුමක අනුරදශ දනෙ ශිල පශදෙ ශගයෙ දිනෙ

අර්ථය: ප්‍රමුඛ අනුරාදගේ පූජාව යි. ශිලා ප‍්‍රාසාදය සංඝයාට දුනි.

10 විහාරයට වික්ටෝරියා ජලාශය පෙනෙන අයුරු- lakrooec.blogspot.com 

විහාර මන්දිරය ඉදිරිපිට බටහිර දෙසට දිගින් පනස් රියනක් වන මෑතක දී තැනූ මණ්ඩපයක් ද, ඊට මඳක් ඔබ්බෙන් අනුරාධපුර ජය ශ්‍රී මා බෝධීන්වහන්සේගේ ශාඛා බෝධියක් ද දක්නට ලැබෙනවා.

ආශ්‍රිත මූලාශ්‍රයයන්:

සිරිලක දළදා මාලිගා- කුසුම්සිරි විජයවර්ධන

ශ්‍රී ලංකාවේ විහාර බිතුසිතුවම් පිළිබඳ සමීක්ෂණ වාර්තාව- සිරි ගුණසිංහ, එල්. ටී. පී. මංජු ශ්‍රි පරි. මහින්ද සෝමතිලක

Inscriptions of Ceylon- Vol. 1 Part 1 Paranavitana

Cover –බඹරගල සැතපෙන පිළිමය -Kusumsiri Wiajayawardhana

Related Articles