කුමාරදාස රජු මහා කවි කාලිදාසගේ දර සෑයට පිනූ බතලගොඩ

බතලගොඩ රාජධානිය, කොළඹ සිට කිලෝමීටර 114ක් දුරින් පිහිටි බතලගොඩ කුරුණෑගල දඹුලු පාරේ හමුවන අලංකාර පුරාණ වැවකින් ද ඓතිහාසික සිහිවටන රාශියකින් ද සමන්විත ස්ථානයක්. කුමාරදාස රජු කාලිදාස කවියාගේ සොහොනට පැන සියදිවි නසාගත්තේත් බතලගොඩ දී බව ජන විශ්වාසයයි. නමුත් අප අතරින් වැඩිදෙනෙකු මේ කරුණු ගැන නොදන්නා නිසා මේ අවට සංචාරය කිරීමට වැඩි උනන්දුවක් නැහැ. සැඟව ගිය එම පුරාණ රාජධානිය ගැන විමසා බැලීමට ගත් උත්සාහයක් තමයි මේ.

වයඹ පුරාණ ශිෂ්ටාචාරය

දැදුරුඔය ගලා බසී- silumina.lk

බතලගොඩ අයත් වන්නේ වයඹ පළාත හරහා ගලාබස්නා දැදුරුඔය නිම්නයට යි. අතී­ත­යේදී ජජ්ජර නදිය ලෙසින් හැඳි­න්වුණු දැදුරු ඔය ආශ්‍රි­ත­ව පැරණි ජනා­වාස පැවති බවට සාධක රාශියක් තිබෙනවා. ජනා­වාස පැති­රී­ යාම සම්බ­න්ධ­යෙන් පවසන ක්‍රි.පූ. 2 – ක්‍රි.ව. 2 අතර කාල­යට අයත් ශිලා ලේඛන දැදුරු ඔය නිම්නයේ ස්ථාන ගණ­නා­ව­කින් හමු වී තිබෙනවා. ප්‍රදේ­ශයේ පෞරා­ණික ශිලා ලේඛන කිහි­ප­යක අඹ­න­ගර, අඹ­තොට, මුක­ළු­ගම හා නෙල­ගම යන ස්ථාන නාම සඳ­හන්. මෙවැනි ග්‍රාම නාම­ව­ලින් පැහැ­දිලි වන්නේ ඒ වන විට මෙම නිම්නයේ ස්ථාවර ජනා­වාස බිහිව තිබුණු බවයි. ක්‍රිස්තු පූර්ව යුගයේ අව­සා­න­ භා­ගය වන විට දැදුරු ඔය ආශ්‍රි­තව බිහි වුණු ‘අම්බ­ට්ඨ­කෝළ’ නම් ජන­ප­ද­යක් පිළි­බඳවත් තොර­තුරු සඳ­හන් වෙනවා. 

බතලගොඩ

බතලගොඩ වැව සහ පරණ නුවර පිහිටීම- trisinhala.blogspot.com

මහාවංශයේ බදලත්ථල, බදලත්ථිලි ආදි පාලි වචනවලින් මේ ගම හඳුන්වා තිබෙනවා. දඹදෙණි යුගය වනවිට ද බදලගොඩ නුවර ලෙසින්ම පැවති එය ගම්පොළ යුගය වන විට අලුත් බදලගොඩ සහ පරණ බදලගොඩ ලෙසින් ප්‍රදේශ දෙකක් බවට පත්වී තිබෙන බව පූජාවලි සහ ලංකාතිලක සෙල්ලිපිවල එන සඳහන්වලින් පැහැදිලි වෙනවා. දැදුරු ඔයට යාබදව පිහිටි මෙම ප්‍රදේ­ශයට අතී­ත­යේදී “පරණ නුවර”ලෙසින් ද භාවිත වී තිබෙනවා. කුමා­ර­දාස හෙවත් කුමාර ධාතුසේන රජු (ක්‍රිව 513-522) මේ නුවර තාව­කා­ලික වාස­ස්ථා­න­යක් ලෙස තෝරා­ගෙන බළකොටුවක් තනගෙන වාසය කර තිබෙනවා. ඔහු සිය ප්‍රාණසම මිත්‍රයා වූ මහා කවි කාලිදාසගේ සොහොනට පැන සියදිවි නසාගත්තෙත් මෙම නගරයේ දී බව ජනප්‍රවාදවල පැවසෙනවා. 

 කුමාරදාස නොහොත් කුමාරධාතුසේන මේ රජතුමා කවියට ඉතාමත් ළැදි අයෙක්. රජතුමා සංස්කෘත පාලි ආදී භාෂා පිළිබඳ හොඳ නෛපුණ්‍යතාවක් තිබූ බවද ප්‍රචලිතයි. ඒ නිසාම ඔහු අතින් ඉතා අගනා කාව්‍ය කෘතියක් වු “ ජානකීහරණය” ලියවුණ බව සාහිත්‍ය වංශ කථ‍ාවේ සඳහන්. මෙම රජුගේ අභාවය පිළිබඳව පැරණි පොත පතේ නොයෙක් අයුරින් සඳහන් වී ඇතත්, දැනට පිළිගත හැකි මුඛ පරම්පරාගත කථාවක්  අනුව එය ප්‍රේම සම්බන්ධතාවක්  හේතුවෙන් සිදු වූවක්. “පැරකුම්බා සිරිත” හි දැක්වෙන මේ කවිය ඒ සඳහා යම් ඉඟියක්.

වෙහෙර දසටක් පුරා කරවා දස අටක් මහ වැව් බැඳී

වසර එකදා බිසෙව්අබිසෙස් මහනුවම් තෙමඟුල් යෙදී

ඇජර කිවියර පිනින් ජනකීහරණ ඈ මහ කව්      බැඳි

කුමරදස් රද කාලිදස් නම් කිවිඳුහට සියදිවි        පිදී

පොළොන්නරු යුගයේ දී පළ­මු­වෙනි විජ­ය­බාහු රජු මෙම ප්‍රදේ­ශයේ තිබුණු සොළී බළ­කො­ටු­වක් යට­ත්කරගෙන තිබෙනවා. විජයබාහු රජ කාලයේ දක්ඛිණ දේශ සීමාවේ මුර­පො­ළක් ලෙස බද­ල­ත්ථ­ලිය පැවති අතර, සංඛ නම් සෙන්ප­තියා එහි වාසය කර තිබෙන බව මහාවංශය සඳහන් කරනවා. කල්‍යා­ණ­වතී රැජින (ක්‍රි.ව. 1202-1208) බත­ල­ගොඩ අසල පණ්ණ­සා­දයේ සංඝා­රා­ම­යක් කරවා ඇති බවත් මහාවංශයේ සඳහන් වෙනවා. බත­ල­ගොඩ වැව ආස­න්නයේ ඇති කල්‍යාණවතී රැජනගේ සෙල් ලිපි­යක එම ප්‍රදේ­ශය හඳුන්වා තිබෙන්නේ ‘මංග­ල­පුර’ ලෙසයි.

බත­ල­ගොඩ වැවේ සොරොව්වල පැරණි ගඩොල්වලින් හෙන්රි පාකර් නිගමනය කරන්නේ එය මුහුර්ත ක්‍රිස්තු පූර්ව යුගයේ ඉදිකළ පුරාණම වැවක් බවයි. වැව් බැම්මේ තිබෙන පුවරු ලිපි­යෙන් කල්‍යා­ණ­වතී රැජන මෙම ප්‍රදේ­ශයේ කළ සංව­ර්ධන කාර්ය­යන් පිළි­බඳ තොර­තුරු ලබා­ගත හැකියි.

පරණ නුවර

බතලගොඩ වැව -facebook

කුරුණෑගල – දඹුල්ල පාරේ බතලගොඩ නමින් හැඳින්වෙන වැවක් වර්ෂ 1890-1900 දක්වා කාලයේ බ්‍රිතාන්‍ය පාලන සමයේදී  ඉංජිනේරු හෙන්රි පාකර්ගේ  අධීක්ෂණය යටතේ  පිළිසකර කර තිබෙනවා.  ඒ ගැන ඔහු ලංකාව පිළිබඳව ලියූ පොතේ සඳහන් කරනවා. එම වැවට සැතපුමක් පමණ දුරින් දැදුරු ඔය අසබඩ “පරණ නුවර” ලෙසින් හැඳින්වූ නටබුන් සහිත පෙදෙසක් හමුවෙනවා.  පාකර් පවසන පරිදි බළකොටුවක ලක්ෂණ විද්‍යමාන කරමින් එම ස්ථානය තුන් පැත්තකින් උස් පස් බැමිවලින් වට වී තිබී ඇති අතර පුළුල් දිය අගල්ද ඒ වන විටත් ඔහුට දැකගැනීමට හැකි වී තිබෙනවා. දැදුරු ඔයේ බෑවුම් සහිත ඉවුර එහි එක් සීමාවක් ලෙස ස්වභාවිකවම ආරක්ෂාව සපයා ඇති බැවින් බටහිර දෙසින් එක් බැම්මක් පමණයි තිබී ඇත්තේ. බළකොටුවට දකුණු දෙසින් ඔය ඉවුරේ තිබූ කුඩා විහාරයක් සහ දාගැබක් පිළිබඳවද ඔහු සඳහන් කරනවා.  

ගඟට නුදුරුව දිගට පැතිරී යන පටු කුඹුරු යායකට යාබද ගොඩබිම ඔස්සේ විහිද ගිය ඒ පුරවරයෙහි භූමි ප්‍රමාණය අවිනිශ්චිතය. පුරවරයට අවශ්‍ය සේවාවන් සැපයූ විවිධ තරාතිරම්වලට අයත් ශිල්පීන් සහ කම්කරුවන් වාසය කළ ගම්මාන ඒ නගරය වටා පිහිටා තිබුණේය. ඒ ගම්වල අද දක්වාත් කම්මල්කරුවන්, බෙරකරුවන්, රජක ආදී ඒ ඒ කුලවල අනුප්‍රාප්තිකයෝ වාසය කරති. බලකොටුවට දකුණු දෙසින් ගංඉවුර අසබඩ කුඩා දාගැබක් සහ විහාරයක් ද විය.( පුරාණ ලංකාව- හෙන්රි පාකර්, පරි. සිරි නිස්සංක පෙරේරා).

කල්‍යාණවතී රැජනගේ සෙල්ලිපිය- amazing lanka.com- Ashan Geeganage

මෙතරම් වැදගත් පුරාවිද්‍යාත්මක ස්ථානයක් ගැන 1900 දී පාකර් කළ ගවේෂණයෙන් පසු කිසිම විද්වතෙකු අවධානය යොමු නොකිරීම නිසා එය විනාශයට පත්වෙමින් තිබෙන බව 2006 දී මෙම ස්ථානය පිළිබඳව ගවේෂණය කළ ඊ. එම්. සරත් ඒකනායකගේ සටහනකින් පැහැදිලි වෙනවා:

 අද තත්ත්වය

මෙම බළකොටුව පිහිටා ඇති ප්‍රධාන බිම්කොටස වර්තමානයේ අක්කර 80 නමින් හැඳින්වෙන පෞද්ගලික බිම් පෙදෙසකි. එහි ඇති සම්පූර්ණ බිම් ප්‍රමාණය අක්කර 110කි. දැනට එහි අක්කර 30ක් පමණ කැබලිකොට විකුණා ඇත. මෙයට ආසන්නයේ දැදුරුඔය බඩ පෞද්ගලික ඉඩමක නටබුන් වූ දාගැබ් ගොඩැල්ලක් ඇත. එම දාගැබ නිදන් හොරුන් හාරා තිබේ. එය ඇත්තේ දැදුරුඔයත් කොස්පොතු ඔයත් එකට එක්වන දෙමෝදරට ආසන්නව ය. ආරාමයකට අදාළ ගොඩනැගිලි යයි සැලකිය හැකි ගල්කණු කිහිපයක් ද  මෙම දාගැබේ නටබුන් අසල දක්නට ඇත. මෙම ස්ථානයට පහළින් දැදුරුඔය හරහා ඉදිවුණු පැරණි ගල්පාලමක නෂ්ටාවශේෂ ඉතිරිව පවතී ( දිවයින 2007 ජනවාරි 24).

ඔයේ ජලය යට පාලමේ තිබුණු බව සැලකිය හැකි ගල්කණු කැබලි 80කට අධික සංඛ්‍යාවක් තිබෙන බව ද නිරීක්ෂණය වී තිබෙනවා. එම ස්ථානයෙන් එගොඩ ගම හඳුන්වන්නේ අම්බලම්පිටිය කියායි. දැදුරුඔයේ බටහිර සීමාවේ සිට දඹුලු පාරේ කිරිවවුල දක්වා ප්‍රාකාරයක නටබුන් ද දැකිය හැකි බව සරත් ඒකනායක සඳහන් කරනවා. එය දළ වශයෙන් සැතපුම් දෙකහමාරක දිගකින් යුක්තයි. පරණ නුවර බළකොටුවේ පැරණි ගඩොල් අදටත් හමුවුණත් පැරණි ගොඩනැගිලිවල නටබුන් නම් වර්තමාන ඉදිකිරීම් නිසා විනාශ වී ගොසින්.

වැව

වැවේ තවත් දසුනක් – facebook

නටබුන් ව තිබූ වැව හෙන්රි පාකර් ප්‍රතිසංස්කරණය කරන විට එහි විශාලත්වය අක්කර 470ක්ව පැවතුණා. වැව් බැම්ම් දිග සැතපුම් එකහමාරක් වුණා.  වැව් බැම්ම උස්සා කළ ප්‍රතිසංස්කරණයෙන් පසු එහි ජලතලය අක්කර 625ක් දක්වා විශාලව පැතිර තිබෙනවා.  ඒ වන විට වැව් බැම්ම තුන් වතාවක් කැඩී ගොස් පිළිසකර කර තිබුණු බවට සලකුණු හමු වූ බව පාකර් සඳහන් කරනවා.

1994 දී බතලගොඩ වැව යළිත් ප්‍රතිසංස්කරණයට ලක්කළ අතර වැවේ ජල ධාරිතාව තවත් ඉහළ නැංවීම ද සිදුවුණා. ඒ අනුව අද වන විට වැවෙන් වගාකරන ඉඩම් ප්‍රමාණය කුඹුරු අක්කර 7634ක් වෙනවා.

සෙල්ලිපි

කල්‍යාණවතී සෙල්ලිපියේ සමීප දසුනක්- amazing lanka.com- Ashan Geeganage

මෙම ස්ථානයෙන් හමුවූ 10 වන සියවසට අයත් ගෙවී ගිය ටැම් ලිපියක් ගැන ද පාකර් සඳහන් කරනවා. නැවත වර්ෂ 1931 දී එම ස්ථානයට ගිය පරණවිතානට මෙම ලිපිය හමුවී නැති අතර ඔහුට කිසිවෙකු පවසා තිබුණේ එය වැව පත්ලේ ඇති බවත්, වැවේ වතුර අඩු වන කාලයට පමණක් එය දැකගැනීමට හැකි බවත් කියායි. නමුත් එම සෙල්ලිපිය ඊට පසු හමුවී නැහැ.

මෙහි තිබී හමු වූ පුවරු ලිපියකින් වැදගත් ඓතිහාසික තොරතුරු රාශියක් හෙළිදරව් වුණා. එය පොළොන්නරුවේ කල්‍යාණවති රැජනගේ කාලයට අයත්.  අභා සලමෙවන් කල්‍යාණවතී ලෙසින් හැඳින්වෙන නිශ්ශංකමල්ල රජතුමාගේ බිසවක වූ පසුව ක්‍රිස්තු වර්ෂ 1202 දී පොළොන්නරුවේ රාජ්‍යත්වයට පත් කල්‍යාණවති රැජිනගේ පස්වන රාජ්‍ය වර්ෂයේදීයි මෙම ලිපිය කොටවා තිබෙන්නේ. චූඩාමණී නමැති අධිකාරිවරයා, ඔහුගේ බල ප්‍රදේශය වූ මායා රාජ්‍යයේ මධ්‍ය දේශයට අයත් බදලගොඩ හෙවත් මංගල පුර වැව පිළිසකර කිරීම ගැන එහි විස්තර වෙනවා.  ඒ අසල වූ ලක්විජය සිඟු සෙනෙවි විසින් කරවන ලද, ඒ වන විට අබලන් වී භික්ෂූන් වහන්සේ නොමැතිකමින් අතහැර දමා තිබූ  සෙනෙවිරත් පිරිවෙන  පිළිමගෙය පිළිසකර කර දාගැබට කංචුකයක් ද කරවා මහා සංඝයාට පවරා දීම පිළිබඳවත් එහි විස්තර කෙරෙනවා. එම විහාරයේ කටයුතු උදෙසා සොතෙමුණින් නම් කුඹුරෙන් අමුණු හතරක අස්වැන්නත් පිරිනමා තිබෙනවා.

සෙල්ලිපියේ විස්තර සඳහන් පුවරුව- amazing lanka.com- Ashan Geeganage

පරණවිතාන දකින විට වැව් සොරොව්වට ඔබ්බෙන් බෝක්කුවක තාප්පයට මේ පුවරු ලිපිය සවිකර තිබුණා.  පසුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ  මේ වන විට වැව් කණ්ඩිය මත ආරක්ෂිත වැටක්ද සහිතව වහලයක් සහිත මණ්ඩපයක තැන්පත් කර තිබෙනවා. වර්තමාන බතලගොඩ වැව පිහිටි ප්‍රදේශය පොළොන්නරු යුගය වන විටද බදලගොඩ ලෙසින් හඳුන්වා ඇති බවයි සෙල්ලිපියෙන් පැහැදිලි වන්නේ.

පාකර් අලුත්වැඩියා කළ වැවේ සොරොව්ව – amazing lanka.com- Ashan Geeganage

 

පාකර් සඳහන් කරන බළකොටුව පිහිටි ස්ථානයට ඉන් දශක කිහිපයකට පසු පුරාවිද්‍යා කොමසාරිස් ලෙස මහාචාර්ය සෙනරත් පරණවිතාන  යන විටද එය පෞද්ගලික හිමිකරුවෙකුට අයත් පොල් වගාවක් ලෙස පැවති බව සඳහන් වෙනවා. පැරණි අඟලේ සිතියම්වල එය සදහන් වන්නේ පරණගම්පිටිය ලෙසින්. දිය අගල් සහ එහි සීමාව දක්වන පස් බැමි ලෙස හඳුනාගත හැකි තැන් දැනටද එම ස්ථානයේ Google Map පරික්ෂා කළ විට දැක ගත හැකියි.  දිය අගලේ සලකුණුද තවමත් හමුවෙනවා. මෙම ඓතිහාසික ස්ථානය තවදුරටත් විනාශ වීමට පෙර  පුරාවිද්‍යා ගවේෂණයක් වහාම කළ යුතු බව අපගේ හැඟීමයි.

Cover Picture:  - බතලගොඩ වැවේ සැඳෑ සුන්දරත්වය -wikipedia.org

මූලාශ්‍ර:

*trisinhala.blogspot.com

*පුරාණ ලංකාව - හෙන්රි පාකර්, පරිවර්තනය: සිරි නිස්සංක පෙරේරා

*දැදුරුඔය ගලා බසී- silumina.lk

*එක මලකට පෙම් කළ කුමාරදාස රජු හා කාලිදාස කවියා - ධර්මරත්න තෙන්නකෝන් -  silumina.lk

Related Articles

Exit mobile version