Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඔටෝමන් සුල්තාන් ටිමූර්ට පරදියි

කොසොවෝ හි දී 1389 වසරේ දී සිදු වූ සටනින් පසු ඔටෝමන් සුල්තාන් බවට පත් වූ බෙයසිඩ්, මීළඟ දශකයක පමණ කාලය තුළ බෝල්කන් කලාපයේ සිය බලය තහවුරු කරගත්තා. 1402 වන විට ඔහු කොන්ස්තන්තිනෝපලයට තර්ජනය කරමින් සිටියා. මෙම අවස්ථාවේ බටහිරින් පැමිණි තර්ජනයක් හේතුවෙන් බෙයසිඩ්ට නැවත සුළු ආසියාව වෙත අවධානය යොමු කිරීමට සිදුවුණා.

කියවන්න​: ඓතිහාසික 1389 කොසොවෝ සටන

ඔහුට මෙසේ තර්ජනය කළේ මධ්‍යම ආසියාවේ එවකට වූ දැවැන්තම අධිරාජ්‍යය ගොඩනගමින් සිටි ටිමූර් හෙවත් ටැමර්ලේන් නම් පාලකයා යි. ටිමූර් සහ බෙයසිඩ් අතර වසර කිහිපයක් තිස්සේ ලියුම් ගනුදෙනු වූ නමුත්, ඔවුන් අතර එකඟත්වයක් ගොඩනගාගත නොහැකි වීමෙන් මෙම යුද්ධය හටගත්තා.

ටිමූර්

1336 දී මධ්‍යම ආසියාවේ මොංගොල් ගෝත්‍රයක උපන් ටිමූර් සටනට දක්ෂ අයකු වුණා. වයස 22 වන විට සිය ගෝත්‍රයේ නායකත්වයට පත් වූ ඔහුගේ පාදයක් එකල සිදු වූ සටනකින් හානියට පත් වුණා. එහෙයින් ඔහු කොර ගසන්නා යන අර්ථය ඇති “ලේන්” යන නම පටබැඳුණා. ටැමර්ලේන් ලෙස ඔහු බටහිර රටවල ප්‍රකටව සිටින්නේ මෙම කරුණ නිසා යි.

මෙම සමයෙහි මොංගොල් අධිරාජ්‍යය කැබලි වී තිබුණා. ඉරානය සහ අවට ප්‍රදේශ පාලනය කළ ඉල්ඛානේටය ද සී සී කඩව තිබුණා. විවිධ යුධ නායකයන් තම බලය වර්ධනය කරගැනීමට එකිනෙකා හා සටන් වැදුණා. ටිමූර් ඔවුන් අතරින් සාර්ථක වූයෙන් 1370 වන විට මධ්‍යම ආසියාවේ ප්‍රබලම පාලකයා බවට පත් වුණා.

ටිමූර්. M. ගෙරසිමෝෆ්ගේ ප්‍රතිනිර්මාණය (Wikimedia Commons)

1380 දශකයේ මුල් භාගය තුළ ටිමූර් ඉරානයෙහි සිය බලය ව්‍යාප්ත කළා. ඉන්පසු ඔහුගේ බලය කොකේසස් ප්‍රදේශයන් දෙසට ද පැතිරුණා. පැරණි මොංගොල් අධිරාජ්‍යයේ අනුප්‍රාප්තිකයා ලෙස තමන්ව සැලකූ ඔහු එම අධිරාජ්‍යය යළි නිර්මාණය කිරීමට වෙහෙසුණා.

ටිමූර් එකිනෙකට පරස්පර විරෝධී අදහස් තිබූ අයෙක්. එක් අතකින් ඔහු කලාවට අනුබල දුන්නා. අනෙක් අතින් ඔහු සිය යුද්ධවල දී ඉතා ප්‍රචණ්ඩ වුණා. තමන්ට එරෙහි වූ නගර බිමට සමතලා කළ ඔහු මරා දමන ලද නගරවාසීන්ගේ හිස් කබල්වලින් කඳු නිර්මාණය කළා. ඔහුට එරෙහි වීම එතරම් නුවණැති ක්‍රියාවක් වූයේ නැහැ.

ටිමූර් එදිරිව බෙයසිඩ්

කොකේසස් ප්‍රදේශයේ බලය පැතිරූ පසු ටිමූර්ගේ පාලන ප්‍රදේශ සුළු ආසියාවට සමීප වුණා. මේ අතර නැගෙනහිර සුළු අසියානු ප්‍රදේශයන් හි වූ කුඩා තුර්කික් රාජ්‍යයන් වෙත බෙයසිඩ් තම අණසක පැතිර වූවා. මේ අනුව මෙම ප්‍රබලයින් දෙදෙනාගේ බල ප්‍රදේශ එකිනෙක හමුවුණා.

දෙදෙනා අතර එදිරිවාදිකම් වැඩිදියුණු වීමට බලපෑ තවත් කරුණක් වූයේ එකිනෙකාගේ යුධ මෙහෙයුම් හේතුවෙන් සිය බලය අහිමි වූ පාලකයින් අනෙකාගේ සරණ සොයා යාම යි. මේ අනුව නැගෙනහිර සුළු ආසියාවේ තුර්කික් බේවරුන් (Bey) ඇතමෙක් ටිමූර් වෙත යද්දී, ඉරානයේ ඇතැම් පාලකයන් බෙයසිඩ් වෙත පැමිණියා.

බෙයසිඩ් (Public Domain)

කෙසේ වෙතත්, තවත් මුස්ලිම් පාලකයකු හා යුධ වැදීමට ටිමූර් එතරම් කැමැත්තක් දැක්වූ බවක් පෙනෙන්නේ නැහැ. මේ අනුව මේ දෙදෙනා එකිනෙකා හා ලියුම් ගනුදෙනු සිදුකළා. මෙහි දී එකඟත්වයක් කරා පැමිණීම කෙසේ වෙතත්, එකිනෙකාට වහසි බස් කියාගැනීම නම් සිදුවුණා.

1400 සිට ටිමූර්, ඔටෝමන් ප්‍රදේශ වටලන්නට වුණා. ජෝර්ජියාව සහ ආර්මේනියාව වෙත තම අණසක පැතිර වූ ඔහු, ඉන්පසු සිරියාවට කඩා වැදුණා. ඊජිප්තුවේ සහ සිරියාවේ බලය හිමිව තිබූ මැමලුක් සුල්තාන්වරුන්, ඔටෝමන්වරුන් හා සම්බන්ධ වීම වැළැක්වීම ඔහුගේ අරමුණ වුණා. සිරියාව අල්ලාගත් පසු, 1401 අග දී ටිමූර්, ඔටෝමන් පාලනය යටතේ වූ සිවාස් වෙත ගමන් කළා.

උපක්‍රමික වටලෑම

මෙම අවස්ථාවේ බෙයසිඩ් සිටියේ කොන්ස්තන්තිනෝපල් වටලමින්. එම යුධ ව්‍යාපාරය අතරමඟ නවතා දැමූ ඔහු අන්කාරා දෙසට පැමිණියා. 1402 ජූනි මාසයේ දී ඔහු අන්කාරා වෙත ළඟා වුණා.

මෙයින් පසු සිදුවූයේ ටිමූර් විසින් උපක්‍රමිකව කළ හමුදා මෙහෙයවීම් හමුවේ බෙයසිඩ් අපහසුවේ වැටීම යි. ටිමූර්, සිවාස්වලින් නැගෙනහිරට සිය ප්‍රධාන සේනාංකය සමග පසුබැස්සා. එම ප්‍රදේශ ටිමූර් විසින් විනාශ කරනු ඇතැ යි බෙයසිඩ් වටහා ගත්තා. මේ අනුව ඔහු අන්කාරාවලින් පිටත් වූයේ සිවාස් අසලට පැමිණෙන අදහස සහිතව යි. එහෙත් ඔහු කෙලින්ම සිවාස් වෙත පහර දීමෙන් වැළකුණා. ඒ වෙනුවට ඔහු කළේ වනගත පෙදෙසක කඳවුරු බැඳගැනීම යි. එවන් ප්‍රදේශයක ටිමූර්ගේ අසරු දුනුවායන්ට ක්‍රියාත්මක විය නොහැකි වූ හෙයින් එය බෙයසිඩ්ට වාසිදායක වුණා.

නැගෙනහිර ඇන්ටෝලියාව සහ අවට ප්‍රදේශය (Wikimedia Commons)

ටිමූර් අවාසි සහගත භූමියක සටන් කිරීමට සූදානම් වූයේ නැහැ. සුළු ආසියාවෙන් ඉවත් වී පසුබැසීමට ද ඔහු සූදානම් වූයේ නැහැ. මේ අවස්ථාවේ ඔහු කළේ තම හමුදා බෙයසිඩ්ට රහසේ දකුණුදිගට ගෙන යාම යි. මෙය ඔහු සාර්ථක ලෙස සිදුකළ අතර​, බෙයසිඩ්ගේ හමුදාවන්ට නොදැනෙන තරම් ඈතින්, ඔවුන්ට දකුණු දිශාවෙන්, සුළු ආසියාවේ බටහිර දෙසට ටිමූර් සිය හමුදා ගෙන ගියා. බෙයසිඩ් සිතුවේ ටිමූර් සිය හමුදා රැගෙන නැගෙනහිරට යන්නට ඇති බව යි. ඔහු සිය හමුදාව රැගෙන සිවාස් ද පසුකර නැගෙනහිර දෙසට ගමන් කළා. සිදුවූයේ කුමක්දැ යි බෙයසිඩ් වටහා ගත්තේ ටිමූර් යළි උතුරු දෙසට හැරී අන්කාරා නගරය වටලෑමත් සමග යි.

අන්කාරා නගරය බේරාගැනීම සඳහා බෙයසිඩ් හැකි වේගයෙන් එදෙසට පැමිණියා. ඒ වන විට ද තෙහෙට්ටු වී සිටි ඔහුගේ හමුදාවට මෙම වේගවත් ගමන තවත් වෙහෙසකර වුණා.

ප්‍රතිවාදී හමුදා

ටිමූර්ට ප්‍රධාන වාසි දෙකක් මෙහි දී බලපෑවා. එක් අතකින් ඔහුගේ හමුදාව බෙයසිඩ්ගේ හමුදාවට වඩා විශාල වුණා. ටිමූර් 140,000ක් පමණ වූ පිරිසක් මෙහෙය වී යයි සඳහන් වනවා. බෙයසිඩ්ගේ හමුදාවේ වූයේ 85,000ක් පමණ වූ පිරිසක්. එමෙන්ම, ටිමූර්ට තිබුණු අනෙක් වාසිය නම් බෙයසිඩ්ගේ හමුදාව වෙහෙසට පත්ව සිටීම යි.

ටිමූර්ගේ සේනාව සාමාන්‍ය මොංගොල් සේනාංකයක් වුණා. එහි අශ්වාරෝහක දුනුවායන් ප්‍රධානම කොටස වූ අතර යුධ ඇතුන් පිරිසක් ද එම හමුදාවේ වුණා.

බෙයසිඩ් සතුව ජැනිසරි ඇතුළු වෘත්තීය සෙබළ පිරිසක් මෙන්ම කුලී හේවායන් ද ස්ටෙෆාන් ලසාරොවිච් නම් සර්බ් ප්‍රධානියා මෙහෙයවූ යුරෝපීය නයිට්වරුන්ගේ සේනාංකයක් ද වුණා.

ටිමූර් සිය අශ්වාරෝහක දුනුවායන් කොටස් හතරකට වෙන් කළා. ඉන් එක් කොටසක් සේනාංකය මධ්‍යයේ තැබූ ඔහු ඊට ඉදිරියෙන් යුධ ඇතුන් රැඳවූවා. තම වම් පසින් සහ දකුණු පසින් තවත් අසරු දුනුවායන් දෙකොටසක් තැබූ ඔහු, සිව්වන කොටස අතිරේක සේනාංකයක් ලෙස තබාගත්තා.

බෙයසිඩ්ගේ සේනාවේ මධ්‍යය ඉතා ශක්තිමත් වුණා. එහි ජැනිසරි මෙන්ම සෙෆාහි අශ්වාරෝහකයන් වුණා. ඔහුගේ වම් පසින් ලසාරොවිච්ගේ නයිට්වරුන් අසුන් පිට නැගී සිටියා. දකුණත පසින් ඇනටෝලියානු සහ ටාටාර් අසරුවන් වුණා.

සටනේ ප්‍රධාන හමුදා මෙහෙයවීම් (historical-quest.com)

ටිමූර්ගේ දකුණුපස වූ අශ්වාරෝහක දුනුවායන් බෙයසිඩ්ගේ වම්පස වූ සර්බ් හමුදා වෙත පහර දීමෙන් සටන ඇරඹුණා. අශ්වාරෝහක දුනුවායන් දෙවරක් මෙසේ පහර දුන් නමුත්, එම දෙවරම සර්බ් අසරුවන් එම ප්‍රහාර මැඩ පැවැත්වූවා. මේ අතර බෙයසිඩ්ගේ දකුණුපස වූ ටාටාර් සහ ඇනටෝලියානු සේනා වෙත ද ප්‍රහාරයක් එල්ල වුණා. ටිමූර් සිය හමුදාවේ මැද කොටසේ සිටි ඇතුන් හා අසරු දුනුවායන් බෙයසිඩ්ගේ හමුදාවේ මැද සිටි ජැනිසරි විශේෂ බලකාය දෙසට එව්වා.

මෙම අවස්ථාවේ සටන අනෙක්පස හැර වූ එක් ප්‍රධාන සිදුවීමක් වුණා. බෙයසිඩ්ගේ දකුණුපස වූ ටාටර් කුලී අසරුවන් ටිමූර්ගේ පැත්ත ගත්තා. එම කොටස මෙහෙයවූ සුලෙයිමාන් කුමරුට පසුබසින්න සිදුවුණා.

සර්බ් හමුදාවලට මෙහි දී දිගටම ප්‍රහාර එල්ල වුණා. ලසාරොවිච් දිගටම ප්‍රබල ලෙස ප්‍රතිරෝධය දැක්වූවා. මේ අතර සුලෙයිමාන්ගේ පසුබැසීමට ආධාර කිරීමටත් ඔහුගේ පිරිසක් යවනු ලැබුණා.

කෙසේ නමුත්, සිය පිරිස් බලය යොදාගෙන ටිමූර් බෙයසිඩ්ව පසුබස්වන්න පටන් ගත්තා. බෙයසිඩ් පළා යාමට උත්සාහ කළ අවස්ථාවේ ඔහුගේ අශ්වයාට ඊතල පහරක් එල්ල වී ඌ මැරී වැටුණා. බෙයසිඩ් ටිමූර්ගේ හමුදා විසින් අල්ලා ගැනුණා.

සටනින් පසු

බෙයසිඩ් මෙසේ සටන් බිමේ දී සතුරාට හසු වූ පළමු ඔටෝමන් සුල්තාන්වරයා බවට පත් වුණා. ඔහු මාස කිහිපයකට පසු මියගියා. මේ අතර ඔටෝමන් අධිරාජ්‍යය බෙයසිඩ්ගේ පුතුන් අතර සිවිල් යුද්ධයකින් අස්ථාවර වුණා.

සටනින් පසු බෙයසිඩ්, ටිමූර් හමුවට පැමිණවීම​ (Stanislav Chlebowski)

ටිමූර් සිය අවධානය චීනය දෙසට යොමු කළා. 1404 දී ඔහු චීන ආක්‍රමණයක් දියත් කළා. එහෙත් එම මෙහෙයුම් අතරතුර, 1405 පෙබරවාරියේ ඔහු මියගියා. ඉන්පසු ඔහුගේ අධිරාජ්‍යය ද කැබලි වුණා.

අන්කාරා සටනින් දිගුකාලීන වාසියක් ලැබුණේ කොන්ස්තන්තිනෝපල් නගරයට යි. එම නගරය තවත් පනස් වසරක් බිසන්ටියම් පාලනය යටතේ පැවතුණා. අන්කාරා සටන, ඉන්පසු ඇති වූ සිවිල් යුද්ධ සහ ක්‍රිස්තියානි ආක්‍රමණ නිසා ඔටෝමන්වරුන්ට 1453 තෙක් යළි නගරය අල්ලා ගැනීමට හැකි වූයේ නැහැ.

කියවන්න​: ඉතිහාසයේ මඟ වෙනස් කළ කොන්ස්තන්තිනෝපලය බිඳවැටීම

කවරයේ පින්තූරය: අන්කාරා සටන (gazeteaksam.com)

මූලාශ්‍රයයන්:

1. Battle of Ankara (Kings and Generals)

2. The Battle of Ankara 1402 (historical-quest.com)

Related Articles