ප්‍රංශ හමුදා වියට්නාමයේදී ලැබූ දරුණු පරාජය – ඩියෙන් බියෙන් ෆූ සටන

අතීතයේ සිටම චීනයේ, ජපානයේ හා ප්‍රංශයේ ආක්‍රමණ වලට හසු වූ වියට්නාමය දෙවන ලෝක යුද්ධය අවසන් වීමත් සමඟම නැවතත් ප්‍රංශයේ ආක්‍රමණයට ලක් වීම පිළිබඳව පසුගිය ලිපි දෙකකින් ඔබ වෙත ගෙන ආවා.

ව නුවෙන් ග්යැප්ගේ (Võ Nguyên Giáp) අණ දීම මත ක්‍රියාත්මක වූ වියට් මින් ගරිල්ලා භටයන්ගේ දක්ෂතාව මෙන්ම වියට්නාමයේ සිටි French Far-East Expeditionary Corps (CEFEO) නම් ප්‍රංශ හමුදා බළකායට ගරිල්ලන් පරාජය කිරීමට දීර්ඝ කාලීන සැලැස්මක් නොමැති වීම හේතුවෙනුත් 1946 වසරේ සිට 1954 වසර වන තුරු  දෙපාර්ශවය අතර සටන් ඇවිලී යනවා.

මේ වන විට ප්‍රංශයට ඇමරිකානු සහය ද, ගරිල්ලන්ට චීන හා රුසියානු සහය ද හිමි වී තිබූ බැවින් දෙපාර්ශවයම යුධ අවි වලින් හොදින් සන්නද්ධව සිටිනවා. වියට් මින් ගරිල්ලන් පරාජය කිරීම සඳහා ඔවුන්ගේ සියළුම සැපයුම් මාර්ග අවහිර කළ යුතු වූ බැවින්, 1954 වසරේදී ලාඕසය දේශ සීමාව අසළ පිහිටි ඩියෙන් බියෙන් ෆූ නිම්නය (Dien Bien Phu) ආක්‍රමණය කරමින් වියට් මින් ගරිල්ලා හමුදාව පරාජය කිරීමට ප්‍රබල මෙහෙයුමක් දියත් කිරීමට ප්‍රංශ හමුදා විසින් තීරණය කරනවා. එය ඉන්දු-චීන යුද්ධයේ විශාලතම ප්‍රංශ මෙහෙයුම මෙන්ම ඔවුන් ආසියාතික රටක ලැබූ විශාලම පරාජය ද වෙනවා.

ඩියෙන් බියෙන් ෆූ ආක්‍රමණය කිරීමේ අවශ්‍යතාව

ජෙනරාල් හෙන්රි නවාර් (Getty Images)

ගරිල්ලන් හමුවේ දිගින් දිගටම ලබන පරාජය හේතුවෙන් 1953 වසරේ මැයි මාසයේදී පළමු ඉන්දු-චීන සටන සදහා නායකත්වය දීමට ප්‍රංශ රජය විසින් ජෙනරාල් හෙන්රි නවාර් (Henri Navarre) පත්කර එවන අතර ඔහු විසින් වියට් මින් සංවිධානයේ සැපයුම් මාර්ග පිළිබඳව විශාල අධ්‍යයනයකින් පසුව උතුරු වියට්නාමයේ ලාඕසය දේශ සිමාවේ ප්‍රංශ කදවුරක් ඉදිකර ඒ ඔස්සේ වියට් මින් ගරිල්ලන්ගේ සැපයුම් නවතා දැමීමට සැළසුම් කරනවා.

“ඔපෙරේෂන් කාස්ටර්” ඔස්සේ ඩියෙන් බියෙන් ෆූ වෙත ළඟා වීම  

ප්‍රංශ හමුදාවේ ස්ථානගත වීම (Wikimedia Commons)

ඩියෙන් බියෙන් ෆූ ප්‍රදේශයේ ස්ථානගත වීම සඳහා කාස්ටර් නම් ගුවන් මෙහෙයුම (Operation Castor) ඔස්සේ ප්‍රංශ පැරෂුට් සොල්දාදුවන් 1953 වසරේ නොවැම්බර් 20 සිට 22 වන දින දක්වා ගොඩ බැස්සවීම සිදු කරන අතර පළමු දින ගොඩ බැසිමේදී වියට් මින් භටයන් හා ප්‍රංශ සොල්දාදුවන් අතර ගැටුමක් හට ගන්නවා. ගොඩ බසින පැරෂුට් බළකා භට පිරිස​, ප්‍රංශ හමුදා කාලතුවක්කු ඩිවිෂනයේ ද සහය ඇතිව, එම සටනේදී වියට් මින් ගරිල්ලන්ව​ එම ප්‍රදේශයෙන් පළවා හැරීමට සමත් වෙනවා. මෙම සටනේදී වියට් මින් ගරිල්ලා භටයන් 115ක් පමණ ජිවිතක්ෂයට පත්වෙන අතර මිය ගිය ප්‍රංශ සොල්දාදුවන් ගණන 16ක් ලෙස සටහන් වෙනවා.

දින තුනක් තිස්සේ පැවති මෙහෙයුමෙන් අනතුරුව ප්‍රංශ හා වියට්නාම් ජාතික හමුදාවේ 2000ක පමණ භට පිරිසක් මෙන්ම යුධ අවි විශාල ප්‍රමාණයක්ද ගුවන් මගින් ගෙන්වා ගැනීමට හැකියාව ලැබෙනවා. මෙම ප්‍රදේශයේ දෙවන ලෝක යුධ සමයේ ජපන් හමුදා විසින් භාවිතා කළ ගුවන් පථ කිහිපයක්ම අලුත්වැඩියා කර සකසා ගැනීමට ප්‍රංශ ඉංජිනේරු සෙබළුන් ක්‍රියා කිරීම හේතුවෙන් සැපයුම් වේගවත් කිරීමට හැකියාව ලැබෙනවා.

ඔපෙරේෂන් කාස්ටර් (Pinterest)

සති කිහිපයකින් අනතුරුව මෙම ප්‍රදේශයේ විශාල කඳවුරක් නිර්මාණය කිරීමට ප්‍රංශ හමුදා සමත් වෙනවා. එහි වර්ග කිලෝමීටර් 5ක භූමි ප්‍රදේශයක් තුළ වෙන් වෙන් වශයෙන් කඳවුරු 9ක් ඉදිවෙනවා. ඉන් පසුව තවත් 15 000 ක ප්‍රංශ භට පිරිසක් හැනොයි සිට ඩියෙන් බියෙන් ෆූ කදවුර කරා ගෙන ඒමට ජෙනරාල් හෙන්රි නවාර් විසින් කටයුතු කරනවා.

ඩියෙන් බියෙන් ෆූ සටන සඳහා ප්‍රංශ හමුදාවේ  සුදානම

ඩියෙන් බියෙන් ෆූ කඳවුරට යාමට සුදානම් වන ප්‍රංශ පැරෂුට් භටයන් (civilianmilitaryintelligencegroup.com)

ඩියෙන් බියෙන් නිම්නය තුළ විශාල පරිමාණයේ ප්‍රංශ කඳවුරක් ගොඩ නැංවීම තුළින් ලාඕස දේශ සීමාව හරහා සිදුවන ගරිල්ලා සැපයුම් නැවැත්විය හැකි මෙන්ම වියට් මින්වරුන්  විශාල ප්‍රමාණයේ කඳවුරකට පහර දීමට තරම් නිර්භීත නොවන බවයි ප්‍රංශ හමුදා ජෙනරාල්වරයාගේ අදහස වන්නේ.

කඳවුර වෙත ළඟා වීම සඳහා ඉතා පටු මාර්ගයක් පිහිටි අතර කඳවුර වටා ඝන වනාන්තරයෙන් වට වූ විශාල කඳු වළල්ලක් ද පිහිටා තිබුණි. කඳවුර පිහිටා තිබූ මිටියාවතට ගරිල්ලා භට පිරිසක් ළඟා වේ නම් කල්තියා හදුනාගැනීමට ඉතාමත් පහසු වූ අතර ගුවන් මගින් ප්‍රංශ හමුදාවට අවශ්‍ය ප්‍රධාන සැපයුම් සිදු කෙරුණා.

කඳවුර කදු වලින් වට වී හුදෙකලාව පිහිටීම කාලතුවක්කු ප්‍රහාර සඳහා කදිම ඉලක්කයක් වූ නමුත් යල් පැන ගිය රයිෆල් සමඟ සටනට පැමිණෙන වියට් මින් ගරිල්ලන් සතුව කාලතුවක්කු හෝ ගුවන් යානා නාශක මිසයිල මෙන්ම නවීන රුසියානු රොකට් ලෝන්චර් ඇතැයි යන්න ජෙනරාල් හෙන්රි නවාර් විසින් අනුමාන නොකිරීම​ ඔහු සිදු කළ බරපතළ ම වරද ලෙස සදහන් කළ හැකිය.

සටන සදහා වියට් මින් ගරිල්ලන්ගේ සුදානම

වියට් මින් ගරිල්ලන්ගේ කාලතුවක්කු (French Foreign Legion Information)

ගරිල්ලන්, ඩියෙන් බියෙන් ෆූ ප්‍රංශ යුධ හමුදා කඳවුර වටා ඇති කදුකර භූමියේ ස්ථාන ගත වන අතර ඒ සඳහා ඔවුන් දැඩි පරිශ්‍රමයක් දරනවා. ව නුවෙන් ග්යැප්ගේ අණදීම මත 50,000ක පමණ ගරිල්ලා භට පිරිසක් මෙම ප්‍රදේශයට කැදවන අතර ඔවුන් හැනොයි සිට ඉතාමත් රහසිගතව කිලෝමීටර් සිය ගණනක් දුර ගෙවා පැමිණෙනවා.

කැඳවන ලද සියළු ගරිල්ලා භට ඒකක කඳු මුදුන් වල ස්ථානගත කරන අතර රුසියාවෙන් හා චීනයෙන් ලැබුණු ලැබුණු  කාලතුවක්කු ඇතුළු සියලු බර අවි කදු මුදුන් කරා ඉතාමත් රහසිගතව ගෙන එනවා. වියට්නාම් සිවිල් වැසියන් බර අවි කොටස් කදු මුදුන් වෙත රැගෙන යෑමෙනුත්, කදු මුදුන් වලදී ඒවා නැවත එකලස් කිරීමෙනුත් වියට් මින් ගරිල්ලනට උපකාර කරනවා.

ඩියෙන් බියෙන් ෆූ සටන ඇරඹේ

කදු මුදුන් වල සිට ප්‍රහාර සඳහා සැරසෙන ගරිල්ලෝ (Getty Images)

1954 වසරේ මාර්තු 13 වනදා වියට් මින් ගරිල්ලන් විසින් කාලතුවක්කු යොදා ගනිමින් ප්‍රංශ කඳවුර භූමියේ උතුරු දෙසින් පිහිටි බෙයට්‍රිස් කඳවුර (‘Camp Beatrice’) වෙත දැඩි ප්‍රහාරයක් එල්ල කරන අතර ප්‍රංශ සෙබළුන් 400කට වැඩි පිරිසක් මරණයට පත්කරමින් පැය 12කින් එම කදවුර විනාශ කිරීමට වියට්මින් බළකායට හැකියාව ලැබෙනවා. ඉන් පසු ඩියෙන් බියෙන් ෆූ නිම්නයේ දෙපිරිස අතර සටන දිනෙන් දින වඩා දරුණු අතට හැරෙන අතර ගේබ්‍රියල් (Gabrielle), ඈන් මැරී (Anne-Marie) හා ලල් (Lull) යන ප්‍රංශ කඳවුරු සංකීර්ණයේ විවිධ ස්ථාන දිනෙන් දින බිඳ වැටෙනවා.

අප්‍රේල් මාසයේ මැද භාගය වන විට කඳවුරට භුමිය ඔස්සේ ළඟා විය හැකි මාර්ග ගරිල්ලන් විසින් විනාශ කිරීම හා ප්‍රහාර හමුවේ ගුවන්පථ විනාශ වීම හේතුවෙන් සැපයුම් සියල්ලම සිදු වන්නේ පැරෂුට් මාර්ගයෙන් පමණයි. ඒවා ද ඔවුන්ට නියමිත ස්ථාන වලට පතිත කරවීමට නොහැකි වෙනවා.

අවලංගු කළ මෙහෙයුම “ඔපරේෂන් වොල්චර් ”

ප්‍රහාර හමුවේ කඩා වැටුණු ප්‍රංශ ගුවන් යානා (Getty Images)

ප්‍රංශ හමුදාව දිගින් දිගටම ලබන පරාජය හමුවේ ඇමරිකානු ගුවන් හමුදා සහය ඇතිව වියට් මින් යුධ පෙරමුණට න්‍යෂ්ටික බෝම්බ හෙළීම සඳහා “ඔපරේෂන් වල්චර්” (Operation Vulture) නමින් මෙහෙයුමක් ඇමරිකානු හමුදාව විසින් සැළසුම් කරන අතර එවකට ඇමරිකානු ජනාධිපතිවරයා මෙම මෙහෙයුමට එංගලන්තයේ සහය හිමි නොවීම හේතුවෙන් ක්‍රියාත්මක නොකර අවලංගු කර දැමීමට තීරණය කරනවා. යම් හෙයකින් මෙම මෙහෙයුම ක්‍රියාත්මක වූවා නම් යුද්ධයේ ප්‍රතිඵල සැළකිය යුතු අන්දමකින් වෙනස් වීමට ඉඩ තිබුණා.

ප්‍රංශ හමුදාවේ යටත් වීම

සටන් භූමිය (cn.nytimes.com)

ප්‍රංශ කඳවුර විනාශ කිරීම සදහා අවසන් පහර දීම සිදු වන්නේ මයි මාසයේ 7 වනදා යි. ඒ තද වැසි පවතින සමයකදීය. වියට් මින් ගරිල්ලන්ගේ අවසන් පහර දීමත් සමඟ ප්‍රංශ කඳවුර සම්පූර්ණයෙන්ම බිඳ වැටෙන අතර මෙම සටන සදහා වියට් මින් භටයන් 20,000ක් පමණ සහභාගී  වූ බවට වාර්තා වෙනවා. ඔවුන් විසින් සතුරු භටයන්ගේ මල සිරුරු 3000ක් පමණ සොයාගත් අතර එහිදී ප්‍රංශ හා වියට්නාම් ජාතික හමුදාවේ භටයන් 11,000ක් පමණ අත්අඩංගුවට ගනු ලබනවා. යුද්ධය අවසන් වන විට වියට් මින් ගරිල්ලන් ද  4000කට ආසන්න ප්‍රමාණයක් මරණයට පත් වී තිබෙනවා.

වියට් මින් බළකාය විසින් කඳවුරු භූමිය අත්පත් කරගැනීම (South China Morning Post)

මෙම සටනින් පසුව ප්‍රංශ රජය වියට්නාමය අත් හැරීමට තීරණය කරන අතර ඉන් පසුව පැවති ජිනීවා සමුළුවේ දී ඉන්දු-චීන යුද්ධය අවසන් වූ බව ප්‍රකාශ කරනවා. ඒ සමඟම ඉන්දු- චීන යුද්ධයට මුහුණ දුන් වියට්නාමය, ලාඕසය හා කාම්බෝජය නිදහස් රටවල් ලෙස නම් කරනවා.

ජිනීවා සමුළුවේ තීරණය මත වියට්නාමය උතුර හා දකුණ ලෙස කොටස් දෙකකට බෙදා වෙන් කරන අතර පසුව ජනමත විචාරණයකින් රටවල් දෙකට එක් විය හැකි බවත් ප්‍රකාශ කර සිටිනවා. පසුව දකුණු වියට්නාමයේ බටහිර හිතවාදී පාලනයක් නිර්මාණය වෙන අතර උතුරු වියට්නාමය හෝ චි මිං ගේ නායකත්වය යටතේ කොමියුනිස්ට් පාලනයක් නිර්මාණය වෙනවා.

යටත් වූ ප්‍රංශ සොල්දාදුවන් (Wikimedia Commons)

ප්‍රංශ ආක්‍රමණය එසේ නිම වූවත් 1955 නොවැම්බර් මාසයේදී නැවතත් උතුරු හා දකුණු වියට්නාමය අතර යුද්ධය ආරම්භ වෙනවා. මෙහිදී ඇමරිකානු සහය ඔවුන්ට හිතවත් දකුණු වියට්නාමයට හිමි වූ අතර වසර 20ක් පැවතෙන මෙම යුද්ධය අවසන් වන්නේ ඇමරිකානුවන්ට දරුණු පරාජයක් අත් කර දෙමින්. ඉතින් ඒ පිළිබඳව විස්තර රැගෙන තවත් ලිපියකින් හමුවෙමු.

කවරයේ ජායාරූපය – යටත් වූ ප්‍රංශ භට පිරිස් වියට් මින් ගරිල්ලන්ගේ ආරක්ෂාව මැද රැගෙන යන අයුරු (Wikimedia Commons)

Related Articles