Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අධිෂ්ඨානයෙන් හා කැපවීමෙන් උදා කරගත් “ඩන්කර්ක් හාස්කම”

මනුෂ්‍ය වර්ගයා විසින් තමන්ගේ යුද බලය සහ බල තණ්හාව නොමඳව ප්‍රකට කළ යුගයක් ලෙස දෙවන ලෝක යුද සමය හඳුන්වන්නට පුළුවන්. මානව ඉතිහාසයේ නොමැකෙන කළු පැල්ලමක් බඳු වූ 1939 හා 1945 අතර යුගය යුද ගැටුම් හා සාගතය වැනි හේතු සාධක ගණනාවක් නිසා පුද්ගලයින් මිලියන අසූවකට වඩා වැඩි දෙනෙකුට මරු කැඳ වූ යුගයක්.

යුදෙව් ජාතිකයින් ඇතුළු සිවිල් වැසියන් මිලියන ගණනකට අමතරව, මේ කාල වකවානුව තුළ ඇමරිකාව, ප්‍රංශය, රුසියාව ඇතුළු මිත්‍ර පාර්ශව හමුදාවන්ගේ මෙන්ම නාසි ජර්මනියේ, ඉතාලියේ සහ ජපානයේ හමුදාවන්ගේ සොල්දාදුවන් සහ හමුදා නිලධාරීන් රැසක් යුද පිටියේදී මිය ගියා. යුරෝපය පුරා ගොඩ බිම සහ විවිධ දේශ සීමාවන් ආසන්නයේ පමණක් නොව, උඩු ගුවනේ මෙන්ම සාගරයේත් යුද ගැටුම් නොමදව පැවතුණු යුගයක් ලෙස මේ යුගය අවිවාදයෙන්ම පිළිගැනෙනවා.

එවැනි යුද ගැටුමක් අතරතුරදී, ඉතා කල්පනාකාරීව සහ අප්‍රතිහත ධෛර්යයෙන් යුතුව ක්‍රියා කොට මිත්‍ර පාර්ශවයන්ගේ හමුදා සොල්දාදුවන් විශාල සංඛ්‍යාවකගේ දිවි බේරා ගන්නට හැකි වූ, හාස්කමක් වැනි සිදුවීමක් ලෙසින් අදටත් පිළිගැනෙන අමතක “ඩන්කර්ක්”හි ගැටුම හෙවත් “The battle of Dunkirk” පිළිබඳව roar.lk පාඨක ඔබට කියන්නටයි මේ සූදානම.

“ඩන්කර්ක්”හි ගැටුම හෙවත් “The battle of Dunkirk”

www.haikudeck.com

දෙවන ලෝක යුද්ධයට මුල පුරමින් 1939 ඇරඹි සටන් වලට නව ජවයක් ලබා දෙමින් බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය එක්ව නාසි ජර්මනියට එරෙහිව යුද්ධ ප්‍රකාශ කළේ ජර්මානු හමුදා විසින් පෝලන්තය ආක්‍රමණය කිරීමෙන් අනතුරුවයි. 1940 වසරේදී ජර්මානු හමුදා භට පිරිස් ප්‍රංශය ආක්‍රමණය කිරීමේ මෙහෙයුම් දියත් කළ අතර, බෙල්ජියමේ රැකවල් ලා සිටි බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ හමුදා භට පිරිස් කොටු කර ඔවුන්ට ප්‍රහාර එල්ල කරන්නටත් ජර්මනිය කටයුතු කළා. මෙසේ කොටු කරගන්නා ලද ප්‍රංශ සහ බ්‍රිතාන්‍ය හමුදා භටයින් ප්‍රංශයේ ඩන්කර්ක් තොටුපොලෙහි මුහුදු වෙරලාසන්නයේ කොටු වී සිටියේ 1940 වසරේ මැයි මස දිනකදීයි.

මිත්‍ර හමුදාවන්ගේ සොල්දාදුවන් ලක්ෂ හතරක් පමණ දෙනා වට කරගෙන ජර්මානු භටයින් පෙළ ගැසී සිටියේ ප්‍රති ප්‍රහාර එල්ල කිරීමට අණ ලැබෙන තුරුයි. මිත්‍ර හමුදා භට කණඩායම මෙන් හරියටම දෙගුණයක් ජර්මානු සොල්දාදුවන් එහි රැඳී සිටීම නිසා මිත්‍ර පාර්ශවයන්ට තම ජීවිත ගැන පවා තිබුණේ අවිශ්වාසනීය තත්වයක්. නමුත්, ඉතා ඉක්මන් තීරණයකට එළඹුණු බ්‍රිතාන්‍ය හමුදාවන් තීරණය කළේ හැකි තරම් නාවික හමුදාවේ නැව් යවා මෙම සොල්දාදුවන් නැවත බ්‍රිතාන්‍යයට ගෙන්වා ගැනීමටයි. නමුත් ඩන්කර්ක් වෙරලේ පිහිටීම සහ වඩදිය බාදිය තත්වයන්ගේ වෙනස් වීම් නිසා නාවුක හමුදාවන්ට එතැනට ළඟා වීම පහසු වූයේ නැහැ. කෙසේ හෝ තම සොල්දාදුවන්ගේ ජීවිත බේරා ගැනීමේ අධිෂ්ඨානයෙන් පසු වූ ඩන්කර්ක් මෙහෙයුමේ බලධාරීන් වහාම නිවේදනයක් නිකුත් කළේ සිවිල් ජනතාව වෙතයි.

ධීවර කටයුතු වල නියැලෙන පෞද්ගලික බෝට්ටු අයිතිකරුවන් 700කගෙන් පමණ බ්‍රිතාන්‍ය හමුදාව සහ නාවුක හමුදාව උපකාර ඉල්ලා සිටියේ මෙම සොල්දාදුවන් නැවත නිරුපද්‍රිතව ගෙන්වා ගැනීමටයි. තොටුපොලේ පටු ස්ථාන හරහා පහසුවෙන් ගොස්, වඩදිය පහරටද මුහුණ දී මෙම සොල්දාදුවන් බේරාගැනීමට එම යාත්‍රා හිමිකරුවන් සිය කැමැත්ත පළ කර සිටීම සෑම දෙනාගේම සිත් සැනසීමට හේතුවක් වුණා. ඉල්ලා සිටියේ බෝට්ටු 700ක් පමණක් වුවත්, අවසානයේදී බෝට්ටු 1,200ක් පමණ මෙම මෙහෙයුම සඳහා පැමිණීම හේතුවෙන් භට පිරිස් මුදවාගැනීමේ කර්තව්‍යය තව තවත් පහසුවක් බවට පත්වුණා.

මේ බෝට්ටු පෙළ පසු කළෙක හැඳින්වූයේ “The little ships of Dunkirk” හෙවත් ඩන්කර්ක් හි කුඩා බෝට්ටු යන නමිනුයි. මේ යාත්‍රා පෙළ සුරැකීමේ සංගමයක් අදටත් “The Association of little ships of Dunkirk” නමින් පවතින්නේ මිත්‍ර හමුදා භටයින් විශාල ප්‍රමාණයක් ඉතාමත් අර්බුදකාරී අවස්ථාවකට මුහුණ පා සිටී අවස්ථාවකදී ඔවුන්ගේ පිහිටට පැමිණි මේ යාත්‍රා පෙළ සුරැකීමේ සහ, ඒවාට මෙන්ම ඒවායේ හිමිකරුවන්ටද ගෞරවය දැක්වීමේ අරමුණෙනුයි.

ඉවත් කිරීමේ මෙහෙයුමට සහයට පැමිණි කුඩා නැව්

warisboring.com

ඩන්කර්ක් ඉවත් කිරීමේ මෙහෙයුම හෙවත් Dunkirk Evacuation Mission හැඳින්වූයේ ඩයිනමෝ මෙහෙයුම (Operation Dynamo) ලෙසිනුයි. පුරා දින නවයක් මුළුල්ලේ පැවති මේ මෙහෙයුම මගින් බ්‍රිතාන්‍ය සොල්දාදුවන් ලක්ෂ දෙකක් පමණ ඩන්කර්ක් බිමෙන් මුදවා ගන්නට බ්‍රිතාන්‍ය හමුදාවන්ට සහ කුඩා බෝට්ටු සහ නැව් හිමියන් හට හැකියාව ලැබුණා. එපමණක් නොවෙයි, ප්‍රංශ සොල්දාදුවන් ඇතුළු මිත්‍ර පාර්ශව හමුදාවන්ගේ සොල්දාදුවන් එක්ලක්ෂ පනස්දහසකට ආසන්න ප්‍රමාණයකුත් මෙහිදී මුදාගනු ලැබුවා. බ්‍රිතාන්‍යයෙන් පමණක් නොවෙයි, බෙල්ජියමෙන් සහ නෙදර්ලන්තයෙන්ද කුඩා නැව් සහ බෝට්ටු හිමියන් මේ මුදවා ගැනීමේ මෙහෙයුම සඳහා පැමිණියේ සැබවින්ම මෙම සොල්දාදුවන් නැවත තම මව් රටවල් කරා ගෙන යෑමේ චේතනාවෙනුයි. මේ අපූරු සුසංයෝගය නිසාම මුලින් සොල්දාදුවන් 30,000ත් 45,000ත් අතර ප්‍රමාණයක් මුදවා ගන්නට සැලසුම් කොට තිබුණු මෙහෙයුමෙන්, අවසානයේ සොල්දාදුවන් තුන්ලක්ෂ පනස්දහසක් පමණ බේරාගන්නට මග සැලසෙනවා. ඩන්කර්ක් මෙහෙයුම හාස්කමක් ලෙසින් හැඳින්වෙන්නේ ඒ නිසයි.

ඩන්කර්ක් බිමෙන් බේරාගත් සොල්දාදුවන් වහාම බ්‍රිතාන්‍යය රැක ගැනීමට සටන් කළ යුතුව තිබුණා. ඔවුන්ට ඉන් මිදීමට නොහැකි වූවා නම් හිට්ලර්ගේ හමුදාවට ඉතා පහසුවෙන් බ්‍රිතාන්‍යයට ඇතුළු වී යුරෝපය පුරා මුළුමුනින්ම සිය ආධිපත්‍යය පතුරුවාලන්නට අවස්ථාව ලැබීමට ඉඩ තිබුණා. බ්‍රිතාන්‍ය සොල්දාදුවන් 68,000ක් පමණ දෙනා ඩන්කර්ක් බිමේදී සිය දිවි පිදුවත්, දිවි බේරාගෙන නැවත පැමිණි භටයින් සිය රාජකාරිය නැවත නිසි පරිදි ඉටු කළේ ඔවුන්ගේ ජීවිත පූජාවන්ටද සාධාරණයක් ඉටු කරමිනුයි.

චර්චිල්ගේ දේශාභිමානී  ප්‍රකාශය

yesterday.uktv.co.uk

වෝල්ටර් ලෝර්ඩ් නැමති ඇමරිකානු රචකයා විසින් “The miracle of Dunkrik” නමින් කෘතියක් ද මේ සිදුවීම ඇසුරින් ලියා තිබෙනවා. නිව්යෝක් ටයිම්ස් ග්‍රන්ථ දර්ශකයේ පවා මුල් තැන ගෙන ඇති මේ කෘතිය ප්‍රබන්ධයක් නොව, ඩන්කර්ක් සටනේ සත්‍ය සිදුවීම පෙළ වාර්තාමය අයුරින් ලියා දක්වා ඇති කෘතියක්.

සැබවින්ම ඒ මොහොතේ ජර්මානු හමුදාවන් ප්‍රති ප්‍රහාර එල්ල කරන්නට ප්‍රමාද වීම මිත්‍ර පාර්ශවයන් හට ආශිර්වාදයක් බඳු විය. කුමන හෝ ප්‍රමාද දෝශයක් හේතුවෙන් නාසි හමුදාවන්ට එම ප්‍රහාර දියත් කිරීමට ප්‍රමාද වීම හේතුවෙන්, මිත්‍ර පාර්ශව හමුදාවන්ගේ සොල්දාදුවන් රැසකගේ දිවි අහිමි වන්නට තිබූ අවස්ථාව වියැකී ගියා. එය එසේ නොවුනා නම් ඩන්කර්ක් සටන් බිම පිළිබඳව ලියැවෙන මේ ලිපියත් මීට වඩා හාත්පසින්ම වෙනස් එකක් වන්නටත් ඉඩ තිබුණා.

කෙසේ හෝ තම දිවි බේරාගෙන නැවතත් සිය මව් රට කරා පැමිණුනු බ්‍රිතාන්‍ය සොල්දාදුවන් සහ ප්‍රංශ සොල්දාදුවන්වත් බ්‍රිතාන්‍ය වැසියන් විසින් නැවත පිළිගනු ලබන්නේද ඉමහත් හරසරින් යුතුවයි. තම රට වෙනුවෙන් දිවි නොතකා කැප වුණු වීරයින් පිරිසක් ලෙස ඔවුන්ව හඳුන්වන්නට මේ වැසියන් පෙළඹීම මේ සොල්දාදුවන්ගේ දුක් දොම්නස් අමතක කරවන්නට හේතුවක් වන්නටත් ඇති.

ඩන්කර්ක් සටන් බිමෙන් සොල්දාදුවන් ඉවත් කර ගැනීමේ මෙහෙයුම ගැන බ්‍රිතාන්‍ය අගමැති වින්ස්ටන්ට් චර්චිල් පල කළ අදහස් බ්‍රිතාන්‍ය ජාතිකයින්ගේ බලාපොරොත්තු නැවතත් දල්වන්නට සමත් වූවක් වුණා. තම රාජ්‍යය පෙනෙන මානයටම යුද බිය පැමිණ තිබූ වේලාවක, ඩන්කර්ක් බිමෙන් තම සොල්දාදුවන් මුදවා ගැනීමට හැකි වීම මුළු මහත් බ්‍රිතාන්‍යයම රටක් වශයෙන් බලාපොරොත්තු ඇති කරගත් මොහොතක් ලෙසිනුයි අදටත් හැඳින්වෙන්නේ. චර්චිල් අගමැතිවරයා 1940 ජූනි 4 වන දින බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අමතමින් ප්‍රකාශ කළ එම අදහස් මුළු ජාතියේම බලාපොරොත්තු නැවතත් ගොඩනැගුවා.

“… අප කිසි විටෙක කිසි දෙයකට පසුබට නොවන්නෙමු, පසු නොබසින්නෙමු.. අප දිගින් දිගටම ප්‍රංශය තුළ සටන් වදින්නෙමු… සයුර මත ද සටන් වදින්නෙමු… ගොඩනැගෙන විශ්වාසයෙන් යුතුව අප අපගේ දිවයින සුරකින්නෙමු… අපගේ මුහුදු වෙරල සහ භූමි ප්‍රදේශ අප රැකගන්නෙමු.. මාර්ග දිගේ, කඳු මත හෝ අහසෙහි සටන් වැදීමට අපට හැකියාව ඇත… නමුත් අප කිසි විටෙකත් යටත් වන්නේ නම් නැත …”

www.pieuvre.ca

ඩාක් නයිට් චිත්‍රපට ත්‍රිත්වය, ඉන්සෙප්ශන්, ඉන්ටර්ස්ටෙලර් වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කළ හොලිවුඩ් හි සුපිරි සිනමා අධ්‍යක්ෂ ක්‍රිස්ටෝෆර් නෝලන් මේ කථාව සිනමා පටයකට නැගුවේ “Dunkirk” යන නමිනුයි. බැට් මෑන්හි බේන් ලෙසින් හා මැඩ් මැක්ස් ලෙසින් ජනාදරයට පත් ටොම් හාර්ඩි මෙන්ම ලොව සුපතල වන් ඩිරෙක්ශන් ගායක කණ්ඩායමේ හැරී ස්ටයිල්සුත් මේ චිත්‍රපටයට රංගනයෙන් සිය දායකත්වය දක්වනවා.

මේ වසරේ ජූලි මස ලොව පුරා තිරගත වීම ඇරඹූ ඩන්කර්ක් චිත්‍රපටය IMDB චිත්‍රපට දර්ශකයේ 8.2ක අගයකුත්, රොට්න් ටොමෑටෝස් වෙබ් අඩවියේ 92%ක ප්‍රේක්ෂක ප්‍රතිචාරත් මේ වන විට හිමි කරගෙන සිටිනවා.  ඇමරිකානු ඩොලර් මිලියන පන්සියයකට අධික මුදලක් වැය කොට තනා ඇති මේ චිත්‍රපටයට විචාරක පැසසුම් නොමදව ලැබී තිබෙනවා. යුද පිටියක වාතාවරණය කෙසේද, තම ජීවිතය බේරා ගන්නට සොල්දාදුවන් කොතරම් අරගල කරන්නේද යන්න මේම චිත්‍රපටය තුළ ඉතාමත් තාත්වික සහ සංවේදී ලෙස පෙන්වා තිබෙනා බව ඔවුන්ගේ ඒකමතික මතයයි.

www.dailymail.co.uk

කවරයේ ඡායාරූපය – http://www.realclearlife.com

තොරතුරු උපුටා ගැනීම – www.smithsonianmag.com , www.time.com ,  uktv.co.uk , warisboring.com , www.heavy.com , www.imdb.com වෙබ් අඩවි ඇසුරිණි.

Related Articles