අඩ පැයක වැස්සක උපකාරයෙන් බ්‍රිතාන්‍යයන් බෙංගාලය අල්ලාගත් අයුරු

සියවස් ගණනක් තිස්සේ බෙංගාලය ඉන්දියාවේ වැදගත් ම ප්‍රදේශයක් වනවා. දහ අටවන සියවසේ දී මෙහි පාලනය පිළිබඳ ව එහි පාලකයා සහ බ්‍රිතාන්‍යය අතර සටනක් ඇති වුණා. එහි දී බ්‍රිතාන්‍යයන් ජයග්‍රහණය කළ අතර, ඊට උපකාර වූ සාධකයන්ගෙන් එකක් වූයේ පැය භාගයක කාලයක් පැවති වැස්සක් බව යි ඉතිහාසය පවසන්නේ. බෙංගාලයේ ඉරණම තීරණය වූ ප්ලැසී සටනේ දී මෙම වර්ෂාපතනය තීරණාත්මක සාධකයක් බවට පෙරළුණා.

නමුත් එම ජයග්‍රහණය තනිකර ම වර්ෂාව මත සිදුවූවක් නොවේ. බ්‍රිතාන්‍ය හමුදා මෙහෙය වූ රොබර්ට් ක්ලයිව්ගේ හැකියාව​, බෙංගාලයේ පාලකයා වූ නවාබ් සිරාජ් අද්-දවුලාගේ සෙන්පතීන් සමග ක්ලයිව් ඇති කරගත් රහසිගත එකඟතාව මෙන්ම, සිරාජ් අද්-දවුලාගේ විශ්වාසවන්ත සෙන්පතීන් කිහිපදෙනෙකු සටනෙහි මුල් අවස්ථාවල දී මරණයට පත් වීම මෙහි දී වැදගත් කරුණු වුණා. එමෙන්ම වර්ෂාව සඳහා බෙංගාලීන් සූදානමින් නොසිටීම වර්ෂාවේ වරදක් නොව බෙංගාලීන්ගේ වරදක් බව අමුතුවෙන් කිවයුතු නැහැ.

කළු කුහරයේ අපරාධය

බ්‍රිතාන්‍ය පෙරදිග ඉන්දියා වෙළෙඳ සමාගම බෙංගාලයේ වෙළෙඳ කටයුතු ආරම්භ කළේ 17 වන සියවසේ දෙවන භාගයේ දී යි. එකල බෙංගාලය මූගල් ඉන්දියාවේ පළාතක් වුණා. මේ අනුව මූගල් පාලකයන්ගේ අවසරය මත බ්‍රිතාන්‍යයන් වෙළෙඳ කටයුතු ඇරඹූ අතර, 1696 දී ඔවුන් වර්තමාන කොල්කටාවේ පිහිටි ෆෝර්ට් විලියම් බලකොටුව ඉදිකළා. මීට සමගාමී ව ප්‍රංශයින් ද චන්දනගර් හි බලකොටුවක් ඉදිකළා.

දහ අටවන සියවස මුල් කාලයේ දී මූගල් ඉන්දියාවේ අභ්‍යන්තර ගැටුම් වර්ධනය වූ අතර, බෙංගාලයේ නවාබ්වරයා සම්පූර්ණයෙන් ම පාහේ ස්වාධීන පාලකයෙකු බවට පත් වුණා. නාමික ව ඔහු තවමත් මූගල් අධිරාජයාට යටත් වුව ද, මූගල් පාලනය තව දුරටත් බෙංගාලයට බලපෑවේ නැහැ.

ප්ලැසී සටනට පෙර ක්ලයිව්. “සටන් කරම් ද​? පලා යම් ද​?” (T.H. Mannerhow. Illustration by Allan Stewart)

1756 දී 23 හැවිරිදි සිරාජ් අද්-දවුලා, බෙංගාලයේ නවාබ් තනතුරට පත් වුණා. මෙකල ෆෝර්ට් විලියම් හි ආරක්ෂක සංවිධාන සවිමත් කිරීමෙහි බ්‍රිතාන්‍යයන් යෙදී සිටියා. සිරාජ් අද්-දවුලා එම ක්‍රියාකාරකම් නවතන ලෙස දැන්වූවා. මේ අතර නවාබ්වරයාගේ පාලනයෙන් පලා ආ නිලධාරීන්ට බ්‍රිතාන්‍යයන් ආරක්ෂාව සපයන බවට චෝදනා කෙරුණා.

නවාබ්වරයාගේ තර්ජන බ්‍රිතාන්‍යයන් සැලකූයේ නැහැ. මෙහි ප්‍රතිඵලය වූයේ සිරාජ් අද්-දවුලා විසින් බලකොටුවට පහර දී එය අල්ලා ගැනීම යි. ඔහු බ්‍රිතාන්‍ය සිරකරුවන් 164 දෙනෙකු කළු කුහරය නම් වූ කුඩා කුටියක ගාල් කළා. මින් 143ක් මියගිය බව පැවසෙනවා.

ක්ලයිව්ගේ හමුදාව​

කල්කටාවේ සිද්ධිය මදුරාසියට වාර්තා වූ පසු කල්කටාව යළි අල්ලා ගැනීම සඳහා මදුරාසියේ දී හමුදාවක් රැස් කරනු ලැබුණා. මෙහි නායකත්වයට පත් කරන ලද්දේ තරුණ නිලධාරියකු වූ රොබර්ට් ක්ලයිව් නමැත්තා යි.

ක්ලයිව් 1740 දශකය අග දී සහ 1750 දශකය මුල දී වසර කිහිපයක් තුළ ඉන්දියානු සටන් කිහිපයක් ම මෙහෙයවා කීර්තියක් දිනාගත් අයෙකු වුණා. ඉන්පසු නැවත බ්‍රිතාන්‍යයට පිටත් ව ගිය ඔහු ඉන්දියාවේ දී එක් රැස් කළ ධනය කාබාසිනියා කරගත්තා. පාර්ලිමේන්තු මැතිවරණය සඳහා කළ අසාර්ථක වූ මැතිවරණ ව්‍යාපාරයක් ඔහුගේ ධනයෙන් කොටසක් නාස්ති කළා. මේ අනුව 1755 දී ක්ලයිව් නැවත ඉන්දියාවට පැමිණියා.

විශාල යුධ නැව් හතරකින් සහ තවත් නැව් කිහිපයකින් යුතු හමුදාවක් මදුරාසියෙන් පිටත් වූයේ 1756 ඔක්තෝබර් 16 වන දා යි. මොවුන් ෆෝර්ට් විලියම් නැවත අල්ලාගත් අතර, ඊට ඉහළින් වූ හූග්ලි නගරයත් අත්පත් කරගත්තා. මේ අවස්ථාවේ නවාබ්වරයා යළි එම ප්‍රදේශය කරා පැමිණියා.

1757 පෙබරවාරියේ දී ක්ලයිව් නවාබ් සිරාජ් අද්-දවුලාගේ කඳවුරට කෙළින් ම පහර දුන්නා. මෙය ඉතා නිර්භීත සහ භයානක මෙහෙයුමක් වුණා. උදෑසන මීදුම ඔහුට උපකාර කළ නමුත්, මීදුම තුරන් වනවිට තමන් සිටි ස්ථානය සතුරු සේනාංකයට විවෘත වන බව ක්ලයිව් වටහා ගත්තා. ඒ අනුව ඔහු පහර දෙමින් පසුබැස්සා.

මේ අවස්ථාවේ නවාබ්වරයා චන්දනගර් හි ප්‍රංශ ජාතිකයන් සමග සන්ධානයක් ඇති කර ගත්තා. මේ වන විට යුරෝපයේ ප්‍රංශය සහ බ්‍රිතාන්‍යය යුද්ධයකට පැටලී සිටියා. බෙංගාලයේ නවතම තත්ත්වය දුටු ක්ලයිව් තම නෞකා ද සමග චන්දනගර් වෙත පහර දී එය අල්ලා ගත්තා.

නවාබ්වරයාගේ ප්‍රධාන සේනාධිපතියා වූ මීර් ජෆාර් සමග එකඟත්වයක් ඇති කරගැනීම සඳහා බ්‍රිතාන්‍යයන් සාකච්ඡා ආරම්භ කළේ මේ අවස්ථාවේ දී යි. කෙසේ නමුත් අවසාන සටන සිදුවන අවස්ථාව වන තුරුත් මීර් ජෆාර් නවාබ්වරයාට ද්‍රෝහී වේ ද යන්න පිළිබඳ ස්ථිර තහවුරු කිරීමක් බ්‍රිතාන්‍යයන්ට ලැබී තිබුණේ නැහැ.

ප්ලැසී සටන

1757 ජූනි මාසයේ දිනෙක රොබර්ට් ක්ලයිව්ගේ 3000ක පමණ වූ හමුදාව ප්ලැසී (ඉන්දියානු නාමය පලාෂි) හි පිහිටි නවාබ්වරයා දඩයමෙහි යන විට නවාතැන් ගන්නා නිවසක් අත්පත් කරගත්තා. ඔවුන් ඒ සඳහා හූග්ලියේ අතු ගංගාවක් තරණය කර පැමිණියා. මෝසම් වැසි හේතුවෙන් ගංගාවෙහි ජල මට්ටම ඉහළ යමින් තිබූ අතර, ළඟ එන සටන පරාජය වුවහොත් සමස්ථ හමුදාව ම කොටු වී විනාශ වීමේ පැහැදිලි හැකියාවක් තිබුණා.

නවාබ්ගේ කාලතුවක්කු (Richard Caton Woodville Jr.)

1757 ජූනි 23 වන දා උදෑසන හිරු නැගෙද්දී ක්ලයිව් ඉදිරියේ දිස් වූයේ දැවැන්ත හමුදාවක්. සමස්ථ බෙංගාල හමුදාව 50,000ක් පමණ වන්නට ඇතැ යි විශ්වාස කෙරෙනවා. මෙයින් 35,000ක් පමණ පාබල සේනාංක වූ අතර, ඔවුන් මෑතක දී ලද වැටුප් හේතුවෙන් සතුටුදායක තත්ත්වයක සිටියා. නවාබ්වරයාගේ අශ්වාරෝහක සේනාව 15,000ක් වුණා. ඒ අතර වයඹදිග ඉන්දියාවේ පතාන් ගෝත්‍රිකයන් ද වුණා. කාලතුවක්කු 50ක් මෙම සේනාංකය සතු වූ අතර, ඒවා බොහොමයක් ස්ථානගත කර තිබුණේ ජංගම වේදිකාවල යි. පොළව මට්ටමෙන් අඩි හයක් පමණ උස වූ මෙම වේදිකා ගොනුන් විසින් ඇදගෙන යනු ලැබුණා. සින් ෆ්‍රේ විසින් මෙහෙය වූ 50 දෙනෙකුගෙන් යුත් ප්‍රංශ කාලතුවක්කු බල ඇණියක් ද සිරාජ් අද්-දවුලාගේ සේනාංක අතර වුණා.

ක්ලයිව්ගේ සේනාංකයට බටහිරින් ඔවුන් තරණය කළ නදිය ගලා ගිය අතර, දකුණින් වූයේ නවාබ්වරයාට අයත් අඹ වනයක්. මේ අවස්ථාවේ ක්ලයිව් අමුතු තීරණයක් ගනිමින් අඹ වනයෙන් ද ඔබ්බට සිය කාලතුවක්කු බලකායක් ගෙන ගියා.

උදෑසන 8ට ප්‍රංශ කාලතුවක්කු බලකාය සිය ප්‍රහාරය ඇරඹුවා. ක්ලයිව්ගේ බල ඇණිය වෙත පහර දෙන ලද අතර, ඔවුන් වහ වහා අඹ වනය වෙත පසු බැස්සා. හවිට්සර් වර්ගයේ තුවක්කු කිහිපයක් පමණක් ඔවුනගේ මුල් ස්ථානයන් හි රැඳී සිටියා.

බ්‍රිතාන්‍ය කාලතුවක්කු ප්ලැසී හි දී (Public Domain)

සුළු වෙලාවකට පසු නවාබ්ගේ කාලතුවක්කු අඹ වනයට පහර දෙන්නට වුණා. නමුත් එහි සැඟ ව සිටි ක්ලයිව්ගේ සේනාංකවලට තරමක ආරක්ෂාවක් එයින් ලැබුණා. කාලතුවක්කු ප්‍රහාර හමුවේ අඹ වනය කෙමෙන් විනාශ වන්නට පටන් ගත්තා.

උදෑසන කාලතුවක්කු ප්‍රහාරවලින් බ්‍රිතාන්‍යයන්ට එක් වාසියක් අත්වුණා. නවාබ්ගේ ප්‍රධානම සෙන්පතියෙකු වූ මීර් මදාන්, කාලතුවක්කු ප්‍රහාරයකින් බරපතල ලෙස තුවාල ලැබුවා. පැය කිහිපයකට පසු ඔහු මියගියා.

පසුපසින් සහ පැත්තෙන් ක්ලයිව්ගේ හමුදා වටලමින් සිටි නවාබ්ගේ හමුදා එම පැතිවලින් ද පහර දුනි නම් ක්ලයිව් පරාජය වීමට ඉඩ තිබුණා. නමුත් එම හමුදා ප්‍රහාරයක් එල්ල කළේ නැහැ. මෙම හමුදා මෙහෙයවූයේ මීර් ජෆාර්, යාර් ලුතුෆ් ඛාන්, සහ රායි දුර්ලාභ් යන තිදෙනා යි. ඔවුන් බ්‍රිතාන්‍යයන් සමග සබඳතා ගොඩනඟාගත් අය යි. ඔවුන් බලා සිටියේ සටන කොයි අතට හැරේ ද යන්න යි.

වර්ෂාව ඇද හැලුණේ එම අවස්ථාවේ යි. පැය භාගයක් පමණක් පැවතිය ද මෙය ධාරානිපාත වර්ෂාවක් වූ අතර, සටන් බිමම තෙත බරිත වුණා. ක්ලයිව් ඇතුළු බ්‍රිතාන්‍ය සේනාංකය ද සම්පූර්ණයෙන් ම තෙතබරිත ව තවත් පීඩනයට පත් වුණා. නමුත් මේ අවස්ථාවේ එක් වැදගත් වාසියක් ඔවුනට ලැබුණා. වැසි ඇද හැලෙද්දී ම​, බ්‍රිතාන්‍යයන් වහ වහා තම වෙඩි බෙහෙත් සහ උණ්ඩ ආවරණය කළා. බෙංගාලීන් සතු ව ආවරණ නොතිබුණ හෙයින් ඔවුනගේ වෙඩි බෙහෙත් තෙත බරිත වුණා. වැසි වැටෙද්දී ද බ්‍රිතාන්‍ය කාලතුවක්කු දිගටම පහර දුන් අතර, ඒ හේතුව නිසා බෙංගාලි අශ්වාරෝහක සේනාංක ද බ්‍රිතාන්‍යයන්ට පහර දුන්නේ නැහැ.

බෙංගාලි පාබල සේනා ප්‍රහාරයට යොමු වූ නමුත් ක්ලයිව් සිය කාලතුවක්කු බෙංගාලි ඇත් සේනාංක වෙත යොමු කළා. කලබලයට පත් වූ ඇතුන් සටන් පෙරමුණ අවුල් කළා.

මින්පසු බ්‍රිතාන්‍ය සේනාංක බෙංගාලි ඉදිරි පෙරමුණ වෙත පහර දුන්නා. ප්‍රංශ කාලතුවක්කු භටයින් තමන් රැඳී සිටි ස්ථානය දමා පලා ගියා. බ්‍රිතාන්‍ය සේනා පහර දෙන බව ඇසූ සිරාජ් අද්-දවුලා, සටන් පෙරමුණින් පලා ගියා.

මෙම සටනින් පසු සිරාජ් අද්-දවුලා අල්ලා ගන්නා ලද අතර, ඔහු ව​ මරණ දඬුවමට යටත් කෙරුණා. මීර් ජෆාර් බෙංගාලි නවාබ්වරයා බවට පත් වුණා. නමුත් ඔහු පාලනය කළේ බ්‍රිතාන්‍යයේ සහය මත යි. එහෙයින් රොබර්ට් ක්ලයිව් බෙංගාලයේ සැබෑ පාලකයා බවට පත් වුණා.

කවරයේ පින්තූරය: ප්ලැසී සටනින් පසු ක්ලයිෆ් සහ මීර් ජෆාර් හමුවෙති (Frances Hayman)

මූලාශ්‍රය​:

Maverick Military Leaders by Robert Harvey

Related Articles