Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඉතිහාසය ව්‍යාකූල කළ සුරූපී මිසර රැජන: නෙෆර්ටිටි

ලෝකය ම දන්නා ටුටන්කාමුන් පාරාවෝගේ නැන්දණිය හෙවත් බිරියගේ මව ලෙස හැඳින්වෙන්නේ නෙෆර්ටිටි රැජන යි. ව්‍යාකූල වූ ඓතිහාසික කථා ගොන්නක් නෙෆර්ටිටි රැජන හා බැඳී පවති යි. ඉතිහාසය මුලින් ම ප්‍රශ්න කරන්නේ ඊජිප්තුවේ පාරාවෝ පරපුර පැවතෙන්නේ පිටසක්වළ ලෝකයකින් ද යන්න යි.

සැකයට හේතු

පැරණි ඊජිප්තු ශිෂ්ටාචාරය, වසර 5000 ක් පමණ ඈත අතීතයට දිව යයි. එය අදටත් කුතුහලය දනවන කරුණකි. ඔවුන් ඉදි කළ පැරණි ඊජිප්තු පිරමීඩ; විද්‍යාඥයන්, විද්වතුන්, පුරාවිද්‍යාඥයන්, ඉතිහාසඥයන් සහ න්‍යායවාදීන් අතර සෑම විට ම දැවෙන මාතෘකාවක් වී ඇත. ඊජිප්තුවරුන් වසර දහස් ගණනකට පෙර මෙවැනි ව්‍යුහය ගොඩ නඟා ඇත්තේ කෙසේ ද? කුමන තාක්ෂණය භාවිතයෙන් ද? සහ කෙතරම් කාලයකින් ද? යන්න නූතන විද්‍යාත්මක සමාජයට අදට ද ඇදහිය නොහැකි කරුණකි.

ගීසා හි මහා පිරමීඩය – www.worldatlas.com

ඊජිප්තු පිරමිඩවල කෙතරම් නිරවද්‍ය මානයන් තිබේ ද යත් නවීන දියුණු තාක්‍ෂණයක සහායයක් නොමැතිව ඒවා තැනීමට නොහැකි තරම් ය. ඔවුන් එවැනි දැවැන්ත ජ්‍යාමිතික රූප හැඩ තල ගොඩ නඟා ගත්තේ කෙසේ ද? සාමාන්‍ය මිනිසුන් අදහන දෙවිවරුන්ට සම්පූර්ණයෙන්ම වෙනස් දෙවිවරු බොහෝමයක් ඊජිප්තුවරු සමඟ සිටියහ. හොරස් – උකුසු හිසක් ඇති මිනිසා, අයිසිස් – රජුගේ ආරක්ෂකයා, අනුබිස් – මළවුන්ගේ ආරක්ෂකයා, සොබෙක් – කිඹුල් හිස ඇති මිනිසා, සෙත් – හඳුනා නොගත් සත්ව හිස ඇති මිනිසා සහ තවත් බොහෝ විස්මිත දෙවිවරුන්ට ඔවුහු නමස්කාර කළහ.

අසාමාන්‍ය ලෙස පිටුපසට නෙරා ඇති හිස සහිත පාරාවෝ සහ නෙෆර්ටිටි රැජන – www.ancient-origins.net

 

ක්‍රිස්තු පූර්ව 14 වැනි සියවසේ ඊජිප්තුවේ අක්නාටෙන් රජුගේ හිස වෙනස් හැඩයක් ගත් බව ඉතා පැහැදිලි ව පෙනේ. ඔහුගේ හිස පිටුපසට නෙරා ඇත. එක්කෝ ඔවුන් රජවරුන් ලෙස සංකේතවත් කරන ඔටුන්නක් හෝ හිස් ආම්පන්නයක් පැළඳීම නිසා එවන් හැඩයක් මතු ව ඇතැයි නිගමනය කළ හැකි ය. නැතහොත් ඔවුන්ගේ හිස් එසේ පිහිටා ඇත යන්න නිගමනය කළ හැකි ය. ඔහුගේ බිරිය නෙෆර්ටිටි රැජනට ද අසාමාන්‍ය ලෙස විශාල, නෙරා ඇති හිසක් හා දිගටි හිස් කබලක් තිබූ බව ද නිරීක්ෂණය කළ හැකි ය.

ආලෝකයේ වේගය

මීට වසර 3000කට පෙර කිසිවකු තුළ පෘථිවිය ගෝලයක් බවට කිසිදු හෝඩුවාවක් නොතිබූ කාලයේදීත්, මිසරවාසීහු ආලෝකයේ වේගය ගැන දැන සිටියහ. ආලෝකයේ වේගය තත්පරයට මීටර් 299,792,458ක් වන අතර මහා පිරමීඩයේ භූගෝලීය ඛණ්ඩාංක 29.9792458°N වේ. ඔවුන් මෙය දැනගත්තේ කෙසේද? ඔවුන් මහා පිරමීඩ ගොඩනඟන්නේ නම්, එය ආලෝකයේ නිශ්චිත වේගයට පැමිණෙන පෘථිවියේ නිශ්චිත ලක්ෂ්‍යය එය වන බව ඔවුන්ට තේරුම් කළේ කවුරුන් ද? ඔවුන්ට මෙතරම් තාක්ෂණික නිරවද්‍යතාවක් තිබිය හැක්කේ කෙසේ ද? ඔවුන් පිටසක්වළ ජීවීන් ද? ඔවුන් මිහිපිට ජීවත් වූ පිටසක්වළින් පැමිණි දෙවිවරුන් ද?

සුප්‍රසිද්ධ නෙෆර්ටිටි රැජනගේ උඩුකය ප්‍රතිමාව – mymodernmet.com

 

නෙෆර්ටිටි රැජන පිළිබඳ ඓතිහාසික පසුබිම

ඒ කාරණය එසේ තබා එවන් පසුබිමක ජීවත්වූ නෙෆර්ටිටි රැජන පිළිබඳ ඓතිහාසික පසුබිම මේ සඳහා විමසා බැලීම ඉතා වැදගත් කරුණක් වෙයි. නෙෆර්ටිටි යනු ආසන්න වශයෙන් ක්‍රිස්තු පූර්ව 1353 සිට 1336 දක්වා පාලනය කළ ඊජිප්තු පාරාවෝ අක්නාටන්ගේ (කලින් IVවන අමෙන්හොටෙප්) ප්‍රධාන භාර්යාව වූවා ය. නයිල් ගඟේ පාලකයා සහ දෙවියන්ගේ දියණිය ලෙස හැඳින්වෙන නෙෆර්ටිටි පෙර නොවූ විරූ බලයක් ලබා ගත් අතර පාරාවෝට සමාන තත්වයක් ඇයට හිමි ව තිබූ බව විශ්වාස කෙරේ. අක්නාටන්ගේ පාලනයේ දොළොස්වන රාජකීය වසරෙන් පසු නෙෆර්ටිටි ගැන බොහෝ මතභේද පවතී. 

අක්නාටන්ගේ නව ප්‍රාන්තයේ, හිරු දෙවියන් කේන්ද්‍ර කරගත් ආගම තුළ ඔහු සහ නෙෆර්ටිටි ප්‍රාථමික පළමු යුවළ ලෙස නිරූපණය විය. නෙෆර්ටිටි ඇගේ සුන්දරත්වය නිසා ඊජිප්තුව පුරා ද ප්‍රසිද්ධ විය. ඇගේ දිගු, හංස හැඩැති බෙල්ල ගැන ඇය ආඩම්බර වූ බව කියන අතර ශාකසාර භාවිතයෙන් ඇය තමන්ගේම වේශ නිරූපණ ක්‍රමවේදයක් නිර්මාණය කළා ය. ඇය බොහෝ විට පැළඳූ නෙෆර් නමින් හැඳින්වෙන දිගටි රන් පබළු වර්ගයක් සමඟ ඇගේ නම බැඳී තිබිණි. ඇය විවිධ නම්වලින් ඉතිහාසය පුරා හැඳින්වෙන අතර, පරම්පරාගත කුමරිය (Hereditary Princess), කරුණාවේ ආර්යාව (Lady of Grace),  ආදරයේ මිහිර (Sweet of Love), භූමි දෙකේ ආර්යාව (Lady of the Two Lands), ප්‍රධාන රජුගේ බිරිය (Main King’s Wife), සියලුම කාන්තාවන්ගේ ආර්යාව (Lady of all Women) වැනි යෙදුම් ඒ අතර විය.

අභිරහස් සම්භවය

නෙෆර්ටිටිගේ මූලාරම්භය ගැන එතරම් පැහැදිලි විග්‍රහයක් නැත. නෙෆර්ටිටිගේ මව්පියන් කවුදැයි නිශ්චිතව ම නොදනී. නමුත් සාමාන්‍යයෙන් ඇය ටූටන්කාමුන්ගෙන් පසුව පාරාවෝ බවට පත් වූ ආයිගේ දියණිය බව විශ්වාස කෙරේ. සමහර සාක්‍ෂිවලින් පෙනී යන්නේ ඇය අක්මිම් නගරයේ සිට පැමිණි බවත්, ඇය ආයි නම් උසස් නිලධාරියකුගේ දියණියක් හෝ ලේලිය බවත් ය. වෙනත් මත මගින් යෝජනා කර ඇත්තේ ඇය උපත ලැබුවේ විදේශ රටක, එනම් සමහරවිට සිරියාවේ විය හැකි බව යි.

නෙෆර්ටිටි සහ අක්නාටන්ගේ ප්‍රතිමාව- mymodernmet.com

 

විවාහය සහ පසුකාලීන ජීවිතය

නෙෆර්ටිටි, IIIවන අමෙන්හොටෙප්ගේ පුත් IV වන අමෙන්හොටෙප් සමඟ විවාහ වූ නිශ්චිත දිනය නොදන්නා නමුත් එය ක්‍රිස්තු පූර්ව 1357 දී පමණ සිදුවී ඇතැයි අනුමාන කෙරේ. ඔවුන් විවාහ වන විට ඇයට වයස අවුරුදු 15 ක් වූ බව විශ්වාස කෙරෙන අතර එය අක්නාටන් සිංහාසනයට පත්වීමට පෙර සිදුවූ බවක් කියැවේ.

ඓතිහාසික වාර්තාවලට අනුව, නෙෆර්ටිටිට; මෙරිටාටන්, මෙකෙටාටන්, අන්ඛෙස්-එන්-පා-ආටන්, නෙෆර්නෙෆරුආටන්-ටෂෙරිට්, නෙෆර්නෙෆරුරේ සහ සෙටෙපෙන්රේ යන නම්වලින් හැඳින්වූ අක්නාටන්ට දාව ඉපදුණු දියණියන් හය දෙනෙක් සිටියහ. ඇයට උපන් පිරිමි දරුවන් පිළිබඳ කිසිදු සටහනක් හමු නොවන අතර ඔවුන්ගේ දියණියක වන අන්ඛෙසේනමුන් අවසානයේ ඊජිප්තුවේ පාලකයා බවට පත් වූ ඇගේ අර්ධ සොහොයුරා වන ටූටන්කාමුන් සමඟ විවාහ වී ඇත.

අක්නාටන්, නෙෆර්ටිටි සහ ඔවුන්ගේ දියණියන් තිදෙනා – mymodernmet.com

 

සූර්ය දෙවියන්ට නමස්කාර කිරීම

ඊජිප්තුවේ බහුදේවවාදී ඇදහීම තුළ වඩාත් වැදගත් දෙවියා සහ නමස්කාරයට සුදුසු එකම තැනැත්තා ලෙස සැලකුණේ ආටෙන් හෙවත් සූර්යයා ය. IV වන අමෙන්හොටෙප් පාරාවෝ සහ නෙෆර්ටිටි රැජන පුරාණ ඊජිප්තුවේ “පැරණි පාලනයෙන්” තවදුරටත් වෙන් වී අමර්නා නමින් නව අගනුවරක් ගොඩනඟා ගෙන ඔවුන්ගේ නව ඒකදේවවාදී ආගමත් සමඟ සූර්ය දෙවියා වූ ආටෙන්ට නමස්කාර කිරීම ආරම්භ කිරීමටත් එම සංස්කෘතිය ජනගත කරන්නටත් පටන් ගත්හ. IV වන අමෙන්හොටෙප් දෙවියන්ට ගෞරව කිරීම සඳහා ඔහුගේ නම අක්නාටන් ලෙස වෙනස් කළේ ය.

රජු සහ බිසව පූජකවරුන් බවත්, සාමාන්‍ය පුරවැසියන්ට ආටෙන් වෙත ප්‍රවේශය ලබා ගත හැක්කේ ඔවුන් හරහා පමණක් බවත් ජනයා තුළ ක්‍රමික විශ්වාසයක් ඔවුහු ගොඩනැංවූහ. අමෙන්හොටෙප්ට අනුරූපීව නෙෆර්ටිටි, ඇගේ නම නෙෆර්නෙෆරුආටන් නෙෆර්ටිටි ලෙස වෙනස් කළා ය. ක්‍රිස්තු පූර්ව 1353 දී පමණ තීබ්ස්හි සිංහාසනයට පත් වූ විට, IV වන අමෙන්හොටෙප් සහ නෙෆර්ටිටි ඊජිප්තු සමාජය තුළ විශාල වෙනස්කම් කිරීමට පටන් ගත්හ. ඔහු ඊජිප්තුවේ තිබූ ආගමික වත්පිළිවෙත් නවතා, සම්ප්‍රදායික දෙවොල් වසා දමා, ඔහුගේ සහ නෙෆර්ටිටිගේ ප්‍රියත ම දෙවියා වූ ඇටන්ට පක්ෂ ව, කලින් ඇදහූ අමුන් දේව වන්දනාව ඉවත් කළේ ය.

ආටෙන්, ආගමික ජීවිතයේ කේන්ද්‍රස්ථානය බවට පත් කළ අතර අමුන්ගේ නම් සහ රූප අපකීර්තියට පත් කෙරිණි. අමෙන්හොටෙප් පාරාවෝ සිය පළමු වසර තුළ ලක්සෝර් අසල කර්නාක් දේවාල සංකීර්ණයේ ඇටන් සඳහා දේවාල මාලාවක් ඉදි කළේ ය. ඊජිප්තු විද්‍යාඥ ජේම්ස් ඇලන් ඇතුළු ඉතිහාසඥයන් විශ්වාස කරන්නේ මෙම වෙනස අමෙන්හොටෙප් පාරාවෝ සහ නෙෆර්ටිටි යටතේ බලය තහවුරු කර ගැනීමේ  දැඩි අභිලාශය සහ ආශාව නිසා සිදු කළ  බව යි. මෙම ආටෙන් ආගමික සංස්කෘතිය පිහිටුවීමේදී නෙෆර්ටිටි රැජන ක්‍රියාකාරී භූමිකාවක් ඉටු කළා ය. නව ආගම සඳහා ඇයගේ නිරපේක්ෂත්වය පෙන්වීමක් ලෙස නෙෆර්ටිටි සමහර විට මෙතෙක් ඊජිප්තුව පාලනය කළ බලවත් ම කාන්තාවන්ගෙන් කෙනෙක් බව ප්‍රදර්ශනය කරවීමට ඇයගේ ස්වාමිපුරුෂයා බොහෝ වෙහෙස මහන්සි වී ඇත. පුවරු කිහිපයක ම, ඇය පාරාවෝ කෙනෙකුගේ ඔටුන්න පැළඳ සිටින ආකාරය හෝ සටනේදී ඇගේ සතුරන්ට පහර දෙන ආකාරය පෙන්නුම් කරයි.

ඉතිහාසයේ ව්‍යාකූලබව

නෙෆර්ටිටි රැජන සහ ඇගේ සැමියා වන පාරාවෝ අක්නාටන් ඊජිප්තුවේ දේශපාලන හා ආගමික පසුබිම ප්‍රතිව්‍යුහගත කළ බැවින්, කීර්තිමත් නෙෆර්ටිටි රැජන පුරාණ ඊජිප්තුව පුරා රජ කළේ දැවැන්ත සංස්කෘතික පෙරළියක් පැවති කාලයකදී ය. ඇය ඊජිප්තු රාජ්‍ය බලය තුළ කාන්තාවක් ලෙස පෙර නොවූ විරූ බලයක් ද ලබා ගත්තා ය. අක්නාටන් සහ නෙෆර්ටිටි පුරාණ ඊජිප්තු ඉතිහාසයේ ධනවත් ම කාල පරිච්ඡේදය ද පාලනය කළහ. ඔහුගේ පාලන සමයේදී, අමර්නා හි නව අගනුවර ඊජිප්තුවේ වෙනත් ඕනෑම යුගයකට වඩා වෙනස් කලාත්මක වර්ධනයක් අත්කර ගත්තේ ය. ඇය බලවත් බිරියක් වූවා ය.

අමර්නා හි ආටන් දෙවොල – rawi-magazine.com

නෙෆර්ටිටි ඔහුගේ පාලන සමයේ ආරම්භයේ සිටම අක්නාටන්ගේ හිතවත් බිරිය නොහොත් මහා රාජකීය බිරිය වූවා ය.  එහි කලාව රාජකීය යුවළ ශක්තිමත්, ආදරණීය සම්බන්ධතාවක් ඇති අය බවත්  නිරූපණය කරයි. නෙෆර්ටිටි අශ්ව රථ පැදවීම, අක්නාටන් සමඟ චාරිත්‍රානුකූල ක්‍රියාවලට සහභාගී වීම සහ සතුරන්ට පහර දීම ඇතුළු විවිධ භූමිකා ද නිරූපණය කරයි..ඇය ආදරය හා පිළිකුල යන ද්විත්වයේ ම සංකේතය වූවා ය.

නෙෆර්ටිටි සහ අක්නාටන් පෙර නොවූ විරූ ධනයක් සහිත සමයක පුරාණ ඊජිප්තුව පාලනය කළ ද, ඔවුන්ගේ නව ආගම අධිරාජ්‍යය නොසන්සුන් කළේ ය. රැජන ලෙස, නෙෆර්ටිටිට ඇගේ චමත්කාරය සහ කරුණාව නිසා ඇතැම්හු ඇයට ආදරය කළහ. අක්නාටන්ගේ හිරුට නැඹුරු වූ ආගම තුළ ඇයගේ ක්‍රියාකාරී නායකත්වය හේතුවෙන් ඇය බොහෝ දුරට වෛරයට ද පාත්‍ර වූවා ය. එයට එක් හේතුවක් වන්නට ඇත්තේ ඇය ඊජිප්තු රාජ්‍ය පාලනය තුළ පාරාවෝ රජුට සමාන බලයකින් සම නායකත්වය ඉසිලූ නිසා විය හැකි ය. ඇය පාරාවෝ තරමට ම ඒ හා සමාන ව ම බලවත් වූවා ය. වෙනත් කිසිදු ඊජිප්තු රැජනකට එබඳු බලයක් තිබුණා යැයි සිතිය නොහැකි තරමට ඇය රාජ්‍ය බලය තුළ ඉස්මතු වූවා ය.

පාරාවෝගේ මරණයෙන් පසුව

ඉතිහාසය ව්‍යාකූල කරවන මත ගොඩනැගෙන්නේ පාරාවෝගේ මරණයෙන් අනතුරුව ය. ආගමික හා සංස්කෘතික වශයෙන් ඊජිප්තු ජනසමාජයට සැලකිය යුතු වෙනස්කම්වලට බලපෑම් කළත් සහ ඊජිප්තුව සම-පාලනය කළත්, නෙෆර්ටිටි හදිසියේ ම අතුරුදහන් වූවා ය. වසර 12 කට පසු ඇගේ ස්වාමිපුරුෂයා සමඟ ඊජිප්තුවේ මුලසුන දැරූ නෙෆර්ටිටි රැජන සියලු නිරූපණවලින් අතුරුදහන් විය. බොහෝ විද්වතුන් නිගමනය කර ඇත්තේ ඇය මිය ගිය බව වුව ද, ඇයට සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳ ව අද දක්වා ම ඉතිහාසඥයන් අතර සම්මුතියක් නොමැත .ඇතැමුන් සිතන්නේ ඇය සමහරවිට ප්‍රදේශය පුරා පැතිර ගිය වසංගතයකින් හෝ රාජකීය ප්‍රසාදයෙන් මිදී මිය ගිය බව ය. මෑත කාලීන න්‍යාය මෙම ප්‍රකාශය ප්‍රතික්ෂේප කර ඇත.

සමහරුන් විශ්වාස කරන්නේ ඇය තම සැමියාගේ මරණයෙන් පසු පාරාවෝ ලෙස රහසිගත ව සිටි බව ය. ව්‍යාජ රැවුළක් පැළඳගෙන, පිරිමියකු සේ වෙස්වලා ගෙන යම් කාලයක් ඇය පාරාවෝ ලෙස පෙනී සිට ඇත. ටුටන්කාමුන් පාරාවෝ ගේ කාලයේ නෙෆර්ටිටි ඔහුගේ රාජ්‍ය පාලනය තුළ ඔහු පිටුපස සිටි තවත් එක් බලයක් වූ බවටද ඉඟි ඇත. ඇය ටූටන්කාමන්ගේ බිරිය ගේ මව වීම එයට එක් හේතුවක් විය හැකි ය. මෙම න්‍යායට අනුව නෙෆර්ටිටිගේ ජීවිතය ටූටන්කාමුන් ගේ පාලන සමයේ 3 වන වසර වන විට අවසන් වන්නට ඇත. නෙෆර්ටිටි ඉතිහාසයෙන් නික්ම ගිය පසුව ටූටන්කාමන් අමර්ණාව අත්හැර දමා යළිත් අගනුවර සඳහා තීබ්ස් වෙත ආපසු ගිය අතර ඔහු ආටන් ඒක දේවවාදය යටපත්කොට සාම්ප්‍රදායික අමුන් නිල නමස්කාරයට නැවත පැමිණ ඇත. ඉතිහාසය පුරාවටම රාජ්‍ය බලය සඳහා ආගමික සංස්කෘතික බල හුවමාරුව මේ ආකාරයට පවතින්නට ඇතැයි ද, එය කෙතරම් තීරණාත්මක සාධකයක්දැයි ඉතිහාසය දෙස බලන විට සිතේ.

ටූටන්කාමුන්ගේ සොහොන් ගෙය –  www.howitworksdaily.com 

සොහොන් ගෙය තුළ සැඟවුණු දොරක්

2015 දී ඊජිප්තු විද්‍යාඥ නිකලස් රීව්ස් සහ පුරාවිද්‍යාඥ මැම්ඩෝ එල්ඩමාටි, ටූටන්කාමුන්ගේ සොහොන් ගෙය තුළ සැඟවුණු දොරක් ලෙස ඔවුන් විශ්වාස කරන යමක් සොයා ගත්හ. එහි ඇතුළත නෙෆර්ටිටිගේ මමිය රැඳවිය හැකි රහස් කාමරයක් ගැන කිසියම් ඉඟියක් තිබිණි. 2020 පෙබරවාරි මාසයේ දී නේචර් සඟරාවේ පළ වූ අධ්‍යයනයක් ටූටන්කාමුන් රජුගේ සොහොන්ගැබ වටා වූ බිම විනිවිද යන රේඩාර් (GPR) සමීක්ෂණයක් විස්තර කළේ ය. රජුගේ සොහොන් මාලිගාව තුළ විශාල, සැඟවුණු සොහොනක් ඇති බවට රීව්ස්ගේ න්‍යාය හා මෙම සොයාගැනීම් සැසඳිය හැකි විය. ඊජිප්තුවේ ලක්සෝර් හි චිකාගෝ විශ්ව විද්‍යාලයේ ඔරියන්ටල් ආයතනයේ ඊජිප්තු විද්‍යාඥ රේ ජොන්සන්, එල්ඩමාටිගේ ගොඩබිම විනිවිද යන රේඩාර් දත්ත හැඳින්වූයේ පැහැදිලිව ම ටුටන්කාමුන්ගේ සුසාන කුටියේ උතුරු බිත්තියේ අනෙක් පැත්තේ යමක් තිබෙන බව ය. එල්ඩමාටිගේ දත්තවලට අමතර ව, නෙෆර්ටිටිගේ දියණිය ටුටන්කාමුන් රජු සමඟ විවාහ වී සිටීම, ඇගේ දේහය ඔහුගේ සොහොන් මාලිගයේ තැන්පත් කර ඇති බව සිතීමට විශ්වසනීය ඉඩක් ලබා දෙන බව ය.

කවරයේ ඡායාරූපය- www.dailymail.co.uk

මූලාශ්‍ර:

www.history.com

www.biography.com

www.newdelhitimes.com

mymodernmet.com

www.ancient-origins.net

Related Articles