බතලේගල කන්ද: රාවණ රජුගේ ගල්වූ බතල අලේ

ඔබ කොළඹ සිට මහ­නු­වර දෙසට ගමන් කරන්නේ නම් කඩු­ග­න්නාව කන්ද නගි­න­විට දකුණු පසින් බත­ලේ­ගල නම් අලංකාර කඳු ශිඛ­රය නෙත ගැටෙන අන්දම මතක ඇති. ඈතට සීගිරියට සමාන ව පෙනෙන නිසා සමහරු මේ කන්දට කියන්නේ පුංචි සීගිරිය කියලයි. කඩුගන්නාව කන්ද නැගලා ප්‍රපාතය දෙසට නෙත් යොමු කරද්දී, මෑතින් දෙවනගල පර්වතයත් ඈතින් බතලේගල කන්දත් අලංකාරව පේනවා.

මේ කන්ද ඈතින් බලද්දි පේන්නේ හරියට පොතක් තියෙනවා වගේ. මේ නිසා සුද්දෝ මේ කන්දට කිව්වේ “බයිබල් රොක්“ කියලා. ඒ කියන්නේ හරියට බයිබලයක් තියලා තියෙනවා විදිහට ඔවුන් මේ දර්ශනය දුටු නිසා.

 කඳු තරණය කරන පිරිසක්- youtube.com

පිහිටීම

මාවනැල්ලට නුදුරු හත්ගම්පොළට ආසන්න ව තමයි මේ කන්ද පිහිටා තිබෙන්නේ. මේ සුන්දර හුදෙකලා කන්ද දශක කිහිපයකට ඉහතදී තරණය කළේ ගම්වැසියන් සහ සොබාදහමට කැමති පිරිස් පමණයි. ලියුම්කරු ද ඒ කාලයේ දුෂ්කර මාර්ගයක කන්ද නැග්ගා. අද වනවිට ‘බත­ලේ­ගල බෞද්ධා­ලෝක මහා විහා­රය’ නමින් පන්සලක් ආරම්භ කර ඇති නිසා වෙසක්, පොසොන් කාලෙට මේ කන්ද නගින්න විශාල පිරිසක් එනවා. ඒ වගේම කන්දට නගින කඳු මාර්ගයක ද තරමක් දුරට පිළිසකර කර තිබෙනවා.
2 අවට කඳු වන ඌරාකන්ද හා රාස්සව කන්ද – travel for education facebook page
උතුරෙන් සරදියෙල් සිටි “උතුවන්කන්ද ද” ද, දකුණින් “සාමසර” කන්ද ද , නැ‍ඟෙනහිරින් “අම්බුළුවාව” කන්ද ද , බටහිරින් “ඌරා කන්ද ද යන කඳු වලට මැදිව තමයි පෙට්ටියක හැඩය ගත් බතලේගල පිහිටා තිබෙන්නේ. කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක ප්‍රදේශයේ පිහිටා ඇති බතලේගල මුහුදු මට්ටමේ සිට අඩි 2600 ක පමණ උසකින් යුතු වෙනවා.

බතලේගල කන්ද මුදුනේ වන පර්වතය පමණක් අඩි 540ක්. මෙම කන්ද පැරණි බෙදීම් අනුව අයත් වන්නේ හතර කෝරළේ ගල්බඩ කෝරළේට යි. මාවනැල්ලට චතුරස්‍රාකාරව පෙනෙන කන්ද, කඳු පාමුල ළං වන විට පේන්නේ ත්‍රිකෝණාකාර පර්වතයක් විදිහට යි. කන්ද මුදුන ආසන්නයට ම ගම්මාන පැතිර තිබෙනවා. කන්දේ තැනින් තැන හෙල්මළු ක්‍රමයට තැනු කුඹුරුත් දකින්න ලැබෙනවා. අඹ, කෝපි, කරාඹු, මැංගුස්, දෙහි, ගම්මිරිස්, කොස්, කෙසෙල් වැනි ගස්වලින් පිරි ගෙවතු කන්දට යන පාර දෙපස දකින්න ලැබෙනවා.

 අතරමග වනාන්තරය- travel with uma.com

ගමන් මඟ

කෑගල්ල සිට බතලේගල දක්වා ලංගම බස්රථයක් ද ගමන් කරනවා. එහි ගමන් කරන්නේ නම් හත්ගම්පොල හන්දියෙන් බැස අතුරු පාරක් ඔස්සේ මඳ දුරක් ගොස් කඳු තරණය ඇරඹිය යුතු යි. මාවනැල්ල සිට හත්ගම්පොළට දුර කිලෝ මීටර 13ක්. එහි සිට කඳු මුදුනට තවත් කිලෝ මීටර දෙකහමාරක් විතර යන්න ඕනෑ. කන්දේ අනෙක් පැත්තේ තිබෙන බුළුගම්මන හරහා එන්නේ නම් කිලෝ මීටර 4ක් දුර පයින් ගමන් කළ යුතු වෙනවා.
මේ බතලේගල ගැන කියවෙන ප්‍රකට ජන කවියක්:
‘‘අලට කන්න බැරි අල­ගල්ලේ     කන්ද
බතට කන්න බැරි බත­ලේ­ගල     කන්ද
හුනට කන්න බැරි හුන්න­ස්ගිරි    කන්ද
මෙකඳු තුනට නායක සමනොළ කන්ද‘‘

 හත්ගම්පොළට කන්ද ත්‍රිකෝණාකාරව පෙනෙන අයුරු- tripadvisor.com

විදේශිකයන් දුටු බතලේගල

යුරෝපීය ජාතිකයන් මහනුවර රාජධානියට ගමන් කළ රජ මාවත වැටී තිබුණේ බතලේගල කන්ද පාමුලින්. ඔවුන් අවිස්සාවේල්ල රුවන්වැල්ල හරහා ඇවිත් අලුත්නුවර පසුකරලා තමයි උඩරටට ඇතුළු වුණේ. මේ ගමනෙ දි ඔවුන් බතලේගල කන්ද ලස්සනට දැක්කා. ‘යොහාන් වුල්ෆ්ගැන්ග් හෙයිඩ්ට්’ (Johann Wolfgang Heydt) නම් ජර්මානු ජාතිකයා ක්‍රිස්තු වර්ෂ 1744 දී ජර්මන් බසින් Heydt’s Ceylon නමින් පොතක් ලිව්වා. මේ ලේඛකයා පැරණි කොළඹ නුවර පාර ඔස්සේ මහනුවරට යන්නේ ලන්දේසි තානාපති දානියෙල් අග්‍රීන් සමඟ යි. හෙයිඩ්ට්ගේ සිත් ඇද බැඳ ගත් කන්දක් තමයි බතලේගල. ඔහු බතලේගල කන්දේ චිත්‍රයක් ඇඳ තම පොතට ඇතුළත් කළා. ඔහු ඒ සිත්තම නම් කරන්නේ Coffin Rock (මිනී පෙට්ටි කන්ද) කියල යි.

ක්‍රිස්තු වර්ෂ 1796 දී ඉංග්‍රිසීන් ලංකාවේ මුහුදුබඩ පෙදෙස් යටත් කර ගත් පසු කන්ද උඩරටට තානාපති ඇන්ඩෘ යටතේ දූත පිරිසක් යවනවා. මෙම දූත පිරිස අතර සිටි ‘මැහෝනි’ගේ වාර්තාවේ ඔහු බතලේගල කන්ද ගැන ලියන්නේ සීනි කැටයක හැඩය (Sugar Loaf Form) ඇති කන්දක් ලෙස යි.

 කඳු මුදුනේ කුඩා දාගැබ- travel for education facebook page

මෑත ඉතිහාසය

1956 දී බණ්ඩාරනායක රජයේ සංස්කෘ­තික ඇමැ­ති ව සිටි ජය­වීර කුරුප්පු හෙලිකොප්ටරයකින් කඳු මුදුනට ඇවිත් දාගබක් තැනීමට මුල්ගල තැබුවා. එදා ගම්වැ­සි­යන් එක­තු­වෙලා මේ කඳු මුදුනේ ශ්‍රී මහා බෝධින් වහ­න්සේගේ අංකු­ර­යක් රෝප­ණය කරලා සති පිරි­තක් ද කියල තිය­නවා. එවකට මලියදේව සංචාරක සමාගමේ ඇම්. ඇල්බට් සහ කෑගල්ල චාල්ස් බස් සමාගමේ කේ. පී. පියදාස මෙහි බෞද්ධ විහාරයක් ආරම්භ කිරීමට මුල් වූ බව පැවසෙනවා. පසු­කා­ලී­නව නිසි නඩ­ත්තු­වක් නැතිව මෙම ස්ථානය පරි­හා­නි­යට පත් වෙලා තිබෙ­නවා.

1947 දි ඉඩම් පන­තින් මෙම භූමිය ආග­මික ස්ථාන­යක් ආරම්භ කරන්න පුළු­වන් විදි­යට පව­රලා දීලා තිය­නවා. හිටපු අග්‍රා­මාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩා­ර­නා­යකගේ උප­දෙස් පරිදි එම භූමි භාගය ලබා­ගන්න හැකි වූ බව පැවසෙනවා.

 විහාර බිම – travel for education facebook page

 

1976 දී පමණ බතලේගලට පැමිණි අර­ණා­යක හත්ග­ම්පළ ශ්‍රී මහ බෝධි විහා­රයේ විහා­රා­ධි­පති හුංග­ම්පළ සිරි­ර­තන හිමි­යන් කඳු මත කුඩා දාගබක් තනා බෞද්ධ මධ්‍ය­ස්ථා­න­යක් ඉදි­කි­රී­මට පිය­වර ගත්තා. ටික කලකින් එය පාළුවට ගියත් මෑතක දී යළිත් ඒ හාමුදුරුවන් මුල් ව විහාරය පවත්වාගෙන යනවා.
මෙහි සංඝා­වාස ගොඩ­නැ­ඟිල්ලක්, බෝධි­ වෘක්ෂයක්, කුඩා බුදු මැඳු­රක් ඉදි ­කර තිබෙනවා. වර්ෂ 1997 දී එව­කට විදු­ලි­බල හා බල­ශක්ති ඇමැ­ති­ව­ර­යාව සිටි අනු­රුද්ධ රත්වත්තේ මුල්වී කඳු මුදුනට විදුලි ආලෝ­කය ලබා දී තිබෙනවා.

 සාමසර කන්දේ නාය ගිය තැන කඳු මුදුනට පේන අයුරු- sl travel vibes

 

බතලේගල ගැන තොරතුරු සොයන විට ඒ වටා ගෙතී ඇති ඇති අපූරු ජනකතාවක් අපට හමුවුණා. ඒකත් කියවල ම බලන්න:

“බලගතු රාස්සයෙකු වූ රාවණ රජ්ජුරුවො දිනක් දඩකෙළියට ගියා. ඒ යන ගමනේ දි ඌරෙක් බතල අලයක් කමින් සිටිනු රජ්ජුරුවො දැක්කා. ආහාර ගන්නා වෙලාවට සතුන් මැරීම කරන්නේ නැහැ. රජ්ජුරුවෝ සතාට තමා පැමිණි බව දැන්වීමට දුනුදිය ඇද්දා. සද්දෙට ඌරා දුවන්න ගත්තා. දුවන ඌරාට විදි හීයෙන් ඌ එතැන ම මැරී වැටුණා. දුවන ඌරාට නොවිද බලා සිටි පරිවාර රකුසකු පිළිබඳ කෝපයට පත්වූ රජ්ජුරුවෝ ඔහුටත් හීයකින් විද්දා. ලේ පෙරමින් මැරී වැටුණු රාක්ෂයාගෙන් අස්වූ ලෙයින් තෙත් වූ පෙදෙස අස්මඬල වුණා. රජ්ජුරුවෝ ඌරාගේ මස් නොකන ලෙස පිරිසට අණ කර ඌරා කන්දක් වන්නටත්, බතල අලය ගලක් වන්නටත් අධිෂ්ඨාන කළා. ඌරා ඌරාකන්ද බවටත්, බතල අලය බතලේගල බවටත් පත් වුණා.”

 බතලේගල පව්ව පාමුල සිට- wikipedia.org

 

අවට සුන්දරත්වය

බතලේගල ගැන විස්තර ඓතිහාසික මූලාශ්‍රවල අපට හමුවන්නේ නැහැ. ඒත් බතලේගලට ආසන්නට පිහිටි වාකිරිගල පර්වතය පළමුවන විජයබාහු රජ සමයේ ආරක්ෂක බළකොටුවක් ලෙස භාවිත වුණු තැනක්. කන්ද උඩට ගියා ම හතර වටෙන් ම වටවූ කඳු වලලු අතර අප අතමංවූ ස්වභාවයක් සිතට එනවා. දැඩි සුළඟක් ද කඳු මුදුන හරහා නිතර හමා යනවා.

අසුපිනි ඇල්ල, රාස්සව කන්ද, අම්බුළුවාව, අලගල්ල කඳුවැටිය, උතුවන් කන්ද වැනි තැන් මෙහි සිට පැහැදිලි ව බලාගන්නට ඉඩ ලැබෙනවා. මේ කඳු පර්වතයේ උතුරු බෑවු­මට වන්නට දෝනා­වක් පිහිටා ඇති අතර ගල්ලෙන් කීප­යක් ද දැක­ ගත හැකි යි. පර්වතය පාමුල සිට කුඩා වන පෙතක් ද පිහිටා තිබෙනවා.

 අවට කඳු වන ඌරාකන්ද හා රාස්සව කන්ද – travel for education facebook page

පර්වතය මුදුනේ පැතිර තිබෙන්නේ තණ පඳුරු සහිත තරමක තැනිතලාවක්. පස් තට්ටුව යටින් පර්වතය සැමතැන ම පැතිර ඇති නිසා ඒ මත ලොකු ගස් වැවී නැහැ. මීටර 850ක් පමණ මෙම තැනිතලාව දිග යි. පළලින් නම් ඉතා අඩු යි. එය මත මානා, ඉලුක් වැනි තණ වර්ග වැවී තිබෙනවා. පර්වතය මත තැනිතලාවෙන් කොටසක බෞද්ධ විහාරස්ථානය ඉදිකර තිබෙනවා.

බතලේගලට පැමිණෙන සංචාරකයන් දමා ඇති ප්ලාස්ටික් බෝතල්, හිස් මත්පැන් බෝතල්, විවිධ බයිට් වර්ග ගෙනගිය පොලිතීන්, ප්ලාස්ටික් කෝප්ප වැනි අපද්‍රව්‍ය තැනින් තැන දැකගත හැකිවීම නම් මේ සුන්දර පරිසරය විනාශ කිරීමක්.

කවරයේ ඡායාරූපය - කඳු අතර තේජාන්විත බතලේගල - redd it

මුලාශ්‍ර:
ශ්‍රී ලංකාවේ තෙත් කලාපීය වනාන්තර- කුසුම්සිරි විජයවර්ධන
dinamina.lk

Related Articles