Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මහා කාශ්‍යප ධාතු නිදන් කළ බෙන්තර ගලපාත පන්සල

දකුණේ බෙන්තොට පිහිටි ගලපාත විහාරය පූජනීයත්වයට පත් ව ඇත්තේ මහාකාශ්‍යප මහ රහත් හිමියන්ගේ දන්ත ධාතුව නිදන් කර ඇති ලංකාවේ පිහිටි එක ම පුද බිම ලෙස යි. වැඩිදෙනෙක් නොදන්නා ගලපාත වෙහෙරේ කතාව මේ වෙසක් සමයේ දැනගනිමු.

 විහාර බිම ඈතට – ape urumaya facebook page

පිහිටීම

කොළඹ සිට කිලෝ මීටර 64ක් දුරින් පිහිටි බෙන්තර හෙවත් බෙන්තොටට පැමිණ ගාලු පාරේ කහඹිලියාන කන්ද හන්දියෙන් ඇල්පිටිය පාරේ කිලෝ මීටර 2ක් ගමන් කර ආරච්චිමුල්ල හන්දියට පැමිණිය යුතු ය. එතැන සිට තවත් කිලෝ මීටර 1ක් ගමන් කළ විට ගලපාත විහාර බිමට අප පිවිසෙනවා. පැරණි බෙදීම් අනුව බෙන්තර වලල්ලාවිටි කෝරළයට අයත් මේ විහාර බිම පොළොන්නරු හා දඹදෙණි යුගවල දී අයත් වුණේ පස්යොදුන් කෝරළයට යි. දඹදෙණි රාජ යුගයේ දී මේ බිම රාජ අනුග්‍රහය ලත් භූමියක් වුණා. ජනකවියා ඒ බව පවසා ඇත්තේ මෙලෙසයි:

‘‘බෙම්තොට ගම වටකර බැඳි තොරණා

තැන තැන වලු මල් පස තුරු රඳනා

තුන් යම ගිතෙලින් පුද කළ පහනා

නන් විසිතුරු වැඩ කළ ඒ නරනා‘‘

විහාරයේ දාගබ – Dhammadana facebook page

 මහා කාශ්‍යප ධාතු

දේවානම් පියතිස්ස රජු සමයේ තනන්නට ඇතැයි ජනප්‍රවාදයේ කියවෙන මේ මහා විහාරය ගලපාත විහාරය, ගලතුරුමූලය, සේලාන්තර මූලය, බෙන්තොට විහාරය යන නම්වලින් ද හඳුන්වනවා. මහා කාශ්‍යප රහතන් වහන්සේ පරිනිර්වාණයෙන් පසුව සිරුර තැන්පත් කළේ  උතුරු ඉන්දියාවේ කුක්කුටසම්පාත පර්වතය තුළ යි.     බුදුන් වහන්සේ පරිනිර්වාණයෙන් පසුව ශාසන භාරකාරත්වය ලැබ සිටියේ මහා කාශ්‍යප හිමියනුයි. පළමු ධර්ම සංගායනාවේදී මූලිකත්වය ගෙන කටයුතු කළෙත් උන්වහන්සේ යි.  

උන් වහන්සේගේ දන්ත ධාතුන් වහන්සේ නමක් දඹදිවින් අනුරාධපුරයට වැඩම කරවා තිබෙනවා. ඒ   ගැමුණු රජුගේ පාලන කාලයේදී යි. එක් රහතන් වහන්සේ නමක් එම දළදා වහන්සේ මහත් ගෞරවයෙන් යුක්තව බෙම්තොට සමීපයේ පිහිටි ගලපාත විහාරයට වැඩම කරවා තිබෙනවා. මහා කාශ්‍යප ධාතූන් වහන්සේ මෙහි වැඩමවූ බව මහාවංශය, පූජාවලිය යන ඓතිහාසික පොත්වලත් සඳහන් වෙනවා.

ඒ පුවත දැන ගත් ගැමුණු මහරජතුමා එහි අංග සම්පූර්ණ විහාරයක් බඳින ලෙස දන්වා එවකට රුහුණු ප්‍රාදේශීය පාලකයා වූ  සිය සොහොයුරු සද්ධාතිස්ස කුමරු එහි පිටත් කර තිබෙනවා. අනුරාධපුර යුගයේ දීම සංවර්ධනය වූ මේ වෙහෙර, පළාතේ ප්‍රකට පුදබිමක් බවට පත් වුණා.

 නූතන පිළිම ගෙයි අලංකාරය- mihithuru.lk

දෙවැනි පැරකුම් රජු (1236-1270)

දඹදෙනි යුගයේ රජ කළ දෙවැනි පරාක්‍රමබාහු රජ සමය දක්වා මහා කාශ්‍යප ධාතූන් තැන්පත් කර තිබූ බව සැලකෙන්නේ ගලපාත විහාරයේ ධාතූ මන්දිරයේ යි. දෙවැනි පැරකුම් රජු විහාරයට පැමිණි අවස්ථාවේ දී වැඩි ආරක්ෂාව සඳහා මහා කාශ්‍යප ධාතූන් වහන්සේ විහාරයේ ස්තූපය තුළ නිදන් කර ඇති බව මහාවංශයේ 85 වැනි පරිච්ඡේදයේ සඳහන් වෙනවා.

පූජාවලියෙත් මේ තොරතුරු ලියා තිබෙනවා. තෙදිනක් ධාතු පූජා පැවැත් වූ ඒ රජු යොදුනක් දිග පොල් උයනක් ද විහාර නඩත්තුවට පූජා කර තිබෙනවා. මේ අවස්ථාව දැක්වෙන සේ ඇඳි ඉතා අලංකාර විශාල සිතුවමක් ගලපාත රාජමහා විහාරයේ මෑත අතීතයට අයත් ආනන්ද ප්‍රතිමාල විහාර ගෙයි දකින්න ලැබෙනවා.

විහාර බිමේ සුන්දරත්වය – Mahamegha.lk

කුරුණෑගල යුගය

කුරුණෑගල යුගයේ රජකම් කළ සතරවැනි පණ්ඩිත පරාක්‍රමබාහු රජු ( 1302- 1326 ) ද මහා කාශ්‍යප ධාතූන් වහන්සේට බොහෝ පුද සත්කාර පවත්වා තිබෙන බව සඳහන්. මේ රජතුමා බුදුන් වහන්සේගේ වම් දන්ත ධාතූන් වහන්සේට පුද සත්කාර කළ යුතු ආකාරය දක්වමින් ඒ සඳහා වෙනම නීති මාලාවක් සහිත දළදා සිරිත පොත ලියවා තිබෙනවා. ඒ පොතේ අවසානයට මහා කාශ්‍යප ධාතූන් වහන්සේට ද පුද සත්කාර කළ යුතු ආකාරයත් විස්තර කර තිබෙනවා.  

මෙසේ ලක්වැසි සිංහල මහ රජදරුවන් ඇතුළු සැදැහැති බෞද්ධ ජනයාගේ වන්දනාවටත්, මහත් වූ ගෞරවාදරයටත් පත් මහා කාශ්‍යප ධාතූන්   වැඩ සිටින බෙන්තර ගලපාත රාජමහා විහාරයට පෘතුගීසී ආක්‍රමණ කාලයේ  ප්‍රහාර දෙකක් එල්ල කර විනාශ කර තිබෙනවා.

මුහුදු තීරය කොල්ලකාගෙන පැමිණි පෘතුසීන් 1565 දී  ගලපාත රාජමහා විහාරයට පැමිණ විහාරාරංග කඩා බිඳ වටිනා සම්පත් අරගෙන යනවා. යළිත්  වතාවක් පැමිණි පෘතුගීසින් විහාරගෙවල්, සංඝාවාස ඇතුළු මේ ස්ථානයේ සියලූ ගොඩනැඟිලි ගිනිබත් කර තියෙනවා. ඒත් දාගබට කිසිදු හානියක් සිදු ව නැති බව පැවසෙනවා. 

කැටයම් සහිත ගල් උළුවස්ස – dinamina.lk

මෑත ඉතිහාස කතා

මෙයට වසර දෙසීයකට පමණ පෙර නටබුන් ව පැවති  ස්තූපය පිළිසකර කළ බව සඳහන් වෙනවා. විහාර භූමියේ තැනින් තැන පුරාණ පිළිම ගෙවල් ආදියට අයත් ගල්කණු, මුරගල් ආදිය දක්නට පුළුවන්.  ස්තූපය සමීපයේ පැරණි කොරවක්ගල් දෙකක් පිහිටා තිබෙනවා.  අතීතයේ මහා කාශ්‍යප ධාතූන් තැන්පත් කර තිබූ ධාතූ  මැදුරේ නටබුන් ද විහාර භූමියේ තවමත් දැකගත හැකි යි. අද එහි දක්නට ඇත්තේ කුඩා ගල්තලාවකුත්, ගල්කණු කිහිපයකුත් පමණ යි.

ගලපාත විහාරයේ දාගබ අසල විශාල බුදුමැදුරු දෙකක් දකින්න ලැබෙනවා. එක් විහාරයක් උඩරට සම්ප්‍රදාය නිරූපිත පුරාණ විහාරය යි. අනෙක් විහාර ගෙය හඳුන්වන්නේ ආනන්ද ප්‍රතිමාලය යනුවෙනු යි. පුරාණ විහාරගෙය ඇතුළු ගර්භය හා පිටත ගර්භය යනුවෙන් ප්‍රධාන කොටස් දෙකකට බෙදිය හැකි යි. ඇතුළු ගර්භයේ දහ අට රියන් සැතපෙන බුද්ධ ප්‍රතිමාවක් පිහිටා තිබෙනවා.

පිළිමය තනා ඇත්තේ අඟල් 28 ක් තරම් උස් වූ ආසනයක් මත යි. සිවුරේ රැළි ඉතා සියුම් ලෙස දක්වා තිබෙනවා. ඇතුළු ගර්භයේ වම්පස තරමක් විශාල හිඳි බුදු පිළිමයක් තිබෙනවා.  සිරස්පත සහිත ඒ පිළිමයේ වම් අත පැත්තේ කුඩා හිටි බුදු පිළිමයක් ද තිබෙනවා. මේ පිළිමයට බෙහෙවින් ම සමාන වූ හිටි බුදු පිළිම හතරක් පිටත ගර්භයේ වම් අත පැත්තේ දැකගත හැකි යි.  මේ සියලු ප්‍රතිමා මහනුවර යුගයේ පශ්චාත් කාලීන කලා ලක්ෂණ පෙන්වයි.

විහාරයේ හිටි පිළිම – Kusumsiri Wijayawardhana

 නූතන විහාරය

පැරණි පිළිම ගෙයට වම්පසින් ආනන්ද ප්‍රතිමාලය නමින් හඳුන්වන නූතන විහාරය පිහිටා තිබෙනවා.  එහි වැඩ නිම කර ඇත්තේ 1959දි යි. එය ඉදිකරවා තිබෙන්නේ බෙන්තොට ආනන්ද ධර්මදර්ශී හිමියන් නිසා ආනන්ද ප්‍රතිමාලය නම එයට ලබා දී තිබෙනවා. ඒ තුළ ඇත්තේ නූතන කලා නිර්මාණ යි. විහාරයට පිවිසෙන විට වම් අත පැත්තේ වෙන ම කුටියක් තුළ තනා ඇති විෂ්ණු දේවාලයකි. මේ විහාරගෙය තුළ ද දහඅට රියන් සැතපෙන බුදු පිළිමයකි. මේ හැරුණු විට විශාල හිඳි පිළිමයක් මෙන් ම, හිටි පිළිම කිහිපයක් ද වෙයි.

පැරණී පිළිම ගෙය- ape urumaya facebook page

 රහස් උමඟ

ගලපාත විහාරය පිටුපස රහස් උමඟක් දක්නට ලැබෙන බව විශ්වාසය යි. මේ උමඟ කුමක්ද’යි කියා මෙතෙක් පැහැදිලි ව හඳුනාගෙන නැති අතර එය අවට පිහිටි පූජනීය තැන් වන  වනවාස විහාරය, බෙන් විහාරය, බෝධිමළුව විහාරය, උඩකොටුව විහාරය සම්බන්ධ කර පැවති බව පැවසෙනවා. අතීතයේ දී මේ විහාර සියල්ල ම ගලපාත විහාරයේ ම කොටස් වශයෙන් තමයි තිබී ඇත්තේ.

දෙවැනි පරාක්‍රමබාහු මහ රජතුමා මහා කාශ්‍යප ධාතූන් වහන්සේ වන්දනා කිරීමට ගලපාත විහාරයට පැමිණි විට විහාරය සමීපයේ එක් වත්තක තාවකාලිකව වාසල තනාගෙන සිටි බව සඳහන්. ඒ වත්ත පසුව ‘වාසලවත්ත’ යනුවෙන් ප්‍රකට වුණා. ඒ වත්ත ගලපාත විහාරයට නුදුරින් දක්නට තිබෙනවා. අදත් ඒ වත්ත ‘වාසලවත්ත’ යනුවෙන් හඳුන්වනවා.

ගලක් මත කෙටූ සෙල්ලිපිය- dinamina.lk

පර්වත සෙල් ලිපිය

මෙවැනි ඵෙතිහාසික වටිනාකමක් ඇති ගලපාත විහාරයේ පිහිටි ගිරිලිපිය  අඩි 9 අඟල් 9ක දිගින් හා අඩි 5ක් පමණ පළලින් යුක්ත යි. පර්වතය මත රූල් ගසා ලියා ඇති පේළි ගණන 28ක්. මේ ලිපියේ සමහර කොටස් කියවා ගත නොහැකි ආකාරයෙන් ගෙවී ගොස් තිබෙනවා.  මේ සෙල්ලිපිය ගැන සොයා බැලූ එච්.සී.පී. බෙල් මේ ලිපියේ කර්තෘත්වය II වැනි පරාක්‍රමබාහු රජුට අයත් යැයි උපකල්පනය කරනවා.

මේ ලිපිය පරීක්ෂා කළ මහාචාර්ය සෙනරත් පරණවිතාන මේ ලිපියේ කර්තෘත්වය පවරන්නේ I වැනි පරාක්‍රමබාහු (1153-1186) රජුට යි. පරණවිතානයන්ට පසු මේ ලිපිය සාර්ථකව කියවූ මහාචාර්ය සිරිමල් රණවැල්ල එහි කර්තෘත්වය II වැනි පරාක්‍රමබාහු (ක්‍රිස්තු වර්ෂ 1236-1270) රජුට අයත් කරනවා. ශිලා ලේඛනය ලියවා ඇත්තේ පස්යොදුන් රට පාලනය කළ ද්‍රවිඩාධිකාරී කහම්බල් කුළු මින්දල්. විහාරයට ඉඩකඩම් මෙන්ම වහලුන් පූජා කිරීම ගැන විස්තර මෙහි සඳහන්. වහලුන් 71 දෙනකුගේ නාම ලේඛනයක් ද ලිපියේ තිබෙනවා.

උළුවස්සේ ලංකාර කැටයම් – Kusumsiri Wijayawardhana

 ගල් උළුවස්සේ කැටයම්

විහාරයට පිවිසෙන කළුගල් පඩිපෙළ අසල අද පිහිටුවා ඇති අගනා කැටයම් සහිත ගල් උළුවස්ස කලකට පෙර වෙනත් ස්ථානයක නටබුන් ව තිබූ හින්දු දේවාලයකින් ගෙනෙන ලද්දක් විය හැකි බවයි මහාචාර්ය පරණවිතාන පවසන්නේ. ආචාර්ය චාල්ස් ගොඩකුඹුර සඳහන් කරන්නේ මෙය 14 වැනි සියවසට ( දඹදෙණි යුගයට) අයත් කලා නිර්මාණයක් බව යි. මෙහි විශේෂත්වය නම් අර්ධෝන්නත අයුරින් කැටයම් මතු කර දැක්වීම යි. ඉතා සියුම් ලෙස ගලෙන් මතුකර ඇති මේ කැටයම්වල මෘදංග බෙර වයන්නන්, නළඟනන්, ස්ත්‍රීන්, නාටිකාංගනාවන්, මල්වැල් දැකගත හැකි යි.

ගලපාත විහාරයේ සෙල්ලිපිය, විහාරයට පිවිසීමට තියෙන ගල් උළුවස්ස,  දාගැ පුරාවිද්‍යා ස්මාරක ලෙස මුලින් ම ප්‍රකාශ කළ අතර මෑතක දී සම්පුර්ණ විහාර භූමිය ම ආරක්ෂිත ස්මාරකයක් ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබෙනවා. මේ නිසා පිළිමගෙවල්වල කිසිම ප්‍රතිසංස්කරණයක් පවා කිරීමට අපහසු බව විහාරාධිපති සීගිරියේ අනෝම හිමියන් පවසනවා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ඒ ගැන දැනුම් දුන්නත් පිළිසකර කිරීම් නොසිදුවුණු බවයි උන්වහන්සේ පවසන්නේ.

කවරයේ ඡායාරූපය - ගලපාත වෙහෙර බිම ගුවනින්-namo buddhaya facebook page

මූලාශ්‍ර :

රජමහා විහාරාරාම- කුසුම්සිරි විජයවර්ධන

dinamina.lk

budusarana.lk

divaina.lk

Related Articles