මෙම ලිපිය ආරාධිත රචකයෙකු විසින් ලියැවුණකි.ඔබටත් අප හා ලිපි ලිවීමට අවශ්‍ය නම්, අපගේ ආරාධිත රචක කරළියට පිවිසෙන්න.

දෙවන ලෝක යුධ සමයේ දී හිට්ලර් නම් ඒකාධිපති පාලකයා යුදෙව්වන් සංහාරය කරමින් ලොව පුරා භීෂණය පැතිරූ ආකාරය පිළිබඳ අප කවුරුත් දනී. එම විනාශය පෙන්නුම් කෙරෙන ප්‍රධාන සාක්ෂ්‍යයක් ලෙස බෙල්සන් වධකාගාරය හැඳින්විය හැකියි. ජර්මනියේ කෙලී නගරයෙන් පිටත බර්ගන්-බෙල්සන් ගාල් කඳවුර සංකීර්ණය 50,000ක් දෙනා සිය දිවියේ අවසානය දුටු මාරක සිහිවටනයකි. මීට පෙර ලිපියක සඳහන් වූ ඈන් ෆ්‍රෑන්ක් සමග ඇගේ සහෝදරිය වූ මාර්ගෝ ෆ්‍රෑන්ක් මිය ගියේ එහිදී ය. 1945 අප්‍රියෙල් 15 වන දින මිත්‍ර හමුදාවන් විසින් කඳවුර නිදහස් කරගැනීමෙන් පසුව පවා, හිටපු සිරකරුවන් 13,000ක් විවිධ සංකුලතා නිසා මියගියහ.

ඇතුළුවීමේ දොරටුව හා පසුව සවිකරන ලද පුවරුව (photo by: isurvived.org)

බෙල්සන් වධකාගාරයේ ආරම්භය

1935 වසරේ දී බර්ගන් නගරයේ බෙල්සන් ගම්මානය අසල එකල ජර්මනියේ විශාලතම හමුදා කඳවුර ගොඩනැගුනි. හමුදා කඳවුර ඉදිකළ කම්කරුවන්ගේ බැරැක්ක කඳවුරේ වැඩ අවසන් වූ පසු භාවිතයෙන් අතහැර දැමෙන අතර 1939 දී ඒවා යුධ සිරකරුවන්ගේ සිර කඳවුරක් ලෙස භාවිතය ඇරඹිණි. මෙය යුදෙව්වන් ගාල් කළ වධ කඳවුරක් බවට පත්වන්නේ 1943 දී ය. පළමුව “සිවිල් වැසියන් සමාරෝධක කඳවුර”ක් ලෙස නම්කළ මෙය පසුව නම් කෙරුනේ “රැඳවුම් කඳවුර”ක් ලෙසිනි.

ගෑස් උඳුනක් (photo by: gettyimages.com)

නාසි ජර්මනියේ ගාල් කඳවුරු පද්ධතිය කළමනාකරණය කිරීම භාරව සිටි SS කාර්යයාලය විසින් එහි සිරකරුවන් වර්ග කිරීම සඳහා බර්ගන්-බෙල්සන් කඳවුර තුළ වෙනම කොටස් පහක් පිහිටුවන ලදී. කඳවුරේ කිසි විටෙක ගෑස් කුටි නොතිබුණ ද, එය වසංගත රෝග, තදබදය, සහ සාගින්නෙන් පෙළුණු, දරුණු මරණ අනුපාතයන්ගෙන් යුත් ස්ථානයක් විය. කඳවුර පුරා පැතිර ගිය ටයිපස් (කහ උණ), ක්ෂයරෝගය, සාගින්න, සහ වධහිංසා හේතුවෙන් පිරිමින්, කාන්තාවන්, සහ ළමුන් මියගියේ දහස් ගණනිනි.

බර්ගන්-බෙල්සන් සැකැස්ම

"නේවාසික කඳවුර" සහ "සිරකරුවන්ගේ කඳවුර" යන දෙකම 1943 අප්‍රේල් සිට 1945 අප්‍රේල් දක්වා ක්‍රියාත්මක විය. "නේවාසික කඳවුර" විවිධ උප කඳවුරුවලින් සමන්විත වූ අතර ඒවායින් ඇතැමෙක් "විශේෂ කඳවුර", "සාමාන්‍ය කඳවුර", "තරු කඳවුර", සහ "හංගේරියානු කඳවුර" ලෙස නම් කර තිබුණි. එම කඳවුරු ජාතියට හෝ වර්ගයට අනුව බෙදා හුදෙකලා කර තිබූ අතර, කටු කම්බි රැහැන් යොදා වට කර තිබුණි.

කඳවුර ඇතුළත (photo by: iwm.org.uk)

සමූල ඝාතන පිළිබද දත්ත වාර්තාවලට අනුව, “තරු කඳවුර” හි සිරකරුවන් ඩේවිඩ්ගේ කහ පැහැති තරු ඇඳීමට බල කෙරුණු, බන්ධනාගාර නිල ඇඳුම් රහිත කාණ්ඩයක් විය. බටහිර රාජ්‍යයන් සමග ජර්මානු සිරකරුවන් වෙනුවට හුවමාරු කර ගැනීමට අදහස් කෙරුණු සිරකරුවන්, සහ මධ්‍යස්ථ රටක පුරවැසියන් වූ යුදෙව්වන් ද මෙහි රඳවා තිබුණි. 

බර්ගන්-බෙල්සන් හි සිරකරුවන්

බර්ගන්-බෙල්සන්හි ජනගහනය බහුලවම යුදෙව්වන්ගෙන් සමන්විත විය. ඉතිරි කණ්ඩායම් අතරට දේශපාලන සිරකරුවන්, යුද සිරකරුවන්, අහිකුණ්ඨකයින් (රොමානි) සහ සමාජවාදීන් ඇතුළත් විය. අවසාන කාණ්ඩයට මූලික වශයෙන් නාසි ජර්මානු සමාජයට නුසුදුසුයැ යි සැලකෙන ඕනෑම කෙනෙකු ඇතුළත් විය.

නැගෙනහිරින් සෝවියට් හමුදා සහ බටහිරින් මිත්‍ර හමුදා යන දෙඅංශයේම යුද ජයග්‍රහණයන් මත බර්ගන්-බෙල්සන් සිරකරුවන්ගේ සංඛ්‍යාවේ තියුණු වැඩිවීමක් දක්නට ලැබුණි. 1944 අග භාගයේ සහ 1945 මුල් භාගයේ දී පෙරමුණු දෙකටම ආසන්න කඳවුරු ඉවත් කිරීමත් සමග නාසීන්ට ඔවුන් ඝාතනය නොකළ පුද්ගලයින් රැඳවීම සඳහා ඉතිරිව තිබුණේ ස්ථානයන් කිහිපයක් පමණක් වූ අතර, ඔවුන් බොහෝ විට බර්ගන්-බෙල්සන් වෙත යැවුනි. නිදසුනක් වශයෙන්, ෆ්‍රෑන්ක් සහෝදරියන් 1944 දී අවුෂ්විට්ස් සිට බර්ගන්-බෙල්සන් වෙත ගෙන යන ලද අතර එහිදී ඈන් ෆ්‍රෑන්ක් මිය ගියා ය. බර්ගන්-බෙල්සන් නිර්මාණය කර තිබුණේ සිරකරුවන් 10,000ක් රඳවා තබා ගැනීම සඳහා නමුත් 1945 වන විට එය හය ගුණයකින් වැඩි විය.

මළසිරුරු ලොරිරථ මඟින් රැගෙන ඒම (photo by: allthatsinteresting.com)

වේදනාකාරී වූ කඳවුරු ජීවිතය

යුද්ධයේ අවසන් සමය වෙද්දී නව රැඳවියන්ගෙන් බොහෝ දෙනෙකු කාන්තාවන් වූ අතර, යුධ සිර කඳවුරක් ලෙස භාවිතා කරමින් සිටි උතුරු කොටස විසුරුවා හැර “විශාල කාන්තා කඳවුර” පිහිටුවීමට සිදුවිය. 1945 ජනවාරියේ සිදු වූ මෙම අමානුෂික ප්‍රතිසංවිධානය මඟින් යුරෝපයෙන් ඉවත් කරන ලද ගාල් කඳවුරුවලින් කාන්තාවන් දහස් ගණනක් මෙහි රැස් කරන ලදී. 1944 දී මෙම කඳවුරේ කාන්තාවන් 8,700 සිට 30,000 දක්වා ඉහළ ගියේ ය. ෆ්ලොසෙන්බර්ග්, ග්‍රෝස්-රොසෙන්, රවෙන්ස්බක්, නියුවෙන්ගම්, මෞතවුසෙන්, සහ බුකන්වාල්ඩ් ගාල් කඳවුරුවල සහ විවිධ කම්කරු කඳවුරුවල සිටින කාන්තා සිරකරුවන් දහස් ගණනක් බෙල්සන් වෙත පිටුවහල් කෙරිණි. 1945 පෙබරවාරි වන විට කුසගින්නෙන් පෙළෙන සිරකරුවන් 22,000ක් බැරැක්කවල සහ වසංගතයන්ගෙන් පිරි උප කඳවුරුවල වාසය කළ අතර අප්‍රේල් වන විට සිරකරුවන් 60,000කට වැඩි පිරිසක් ඒවායේ විය. 1945 මුල් භාගය වන විට සිරකරුවන් දින ගණනක් කුසගින්නේ බවත්, ඔවුන්ට නරක තත්ත්වයන් යටතේ පිසින ලද, බොහෝ විට කුණු වන අමුද්‍රව්‍ය භාවිතා කරන ලද අර්තාපල් සුප් පමණක් ලබා දී ඇති බවත් සඳහන් විය.

මෙම සමූහ මිනීවළේ සිටින බොහෝ දෙනා කාන්තාවන් සහ ළමුන් ය (photo by: allthatsinteresting.com)

සනීපාරක්ෂක තත්ත්වයන් සම්බන්ධයෙන් ගත්කල, බර්ගන්-බෙල්සන්හි වැසිකිළි ඉතා අවම වූ අතර එහි තත්වයට ප්‍රමාණවත් තරම් ජල සැපයුමක් ද නොමැති විය. මෙම ආහාර හා ජල හිඟය, අඩු සනීපාරක්ෂාව, සහ තදබදයෙන් පිරි බැරැක්ක, පාලනය කළ නොහැකි වසංගතයන් පැතිරීමට තුඩු දුන්නේ ය. අතීසාරය, ටයිපොයිඩ් උණ, ටයිෆස්, සහ ක්ෂයරෝගය බර්ගන්-බෙල්සන්හි බැරැක්ක පුරා පැතිරුණි. එනිසා මරණ අනුපාතය සිඝ්‍රයෙන් ඉහළ ගියේ ය. 1945 මිත්‍ර පාක්ෂිකයින් මුදා ගැනීමට පැමිණීමට මාස කිහිපයකට පෙර ඈන් ෆ්‍රෑන්ක් ඇතුලු දස දහස් ගණනක් ජනයා අවාසනාවන්ත ලෙස මිය ගියහ.

ඈන් හා මාගෝ ෆ්‍රෑන්ක් සහෝදරියන් සිහිවීමට නිර්මාණය කර ඇති ස්මාරකයක් (photo by: New Historian)

 

මිත්‍ර හමුදාවන් විසින් යටත් කර ගැනීම

බ්‍රිතාන්‍ය හමුදා 1945 අප්‍රියෙල් 15 වන දින බර්ගන්-බෙල්සන් ගාල් කඳවුරට ඇතුළු වූහ. නමුත් දැඩි ලෙස රෝගී වූ සිරකරුවවෝ 13,000කට වැඩි පිරිසක් කඳවුර මුදාගැනීමෙන් පසුව මිය ගියහ. වසර දෙකක කාලයක් තුළ, 1943 මැයි සිට 1945 අප්‍රේල් 15 දක්වා කාලය තුළ, සිරකරුවන් 36,400ත් 37,600ත් අතර ප්‍රමාණයක් ද, සමස්ථයක් වශයෙන්, බර්ගන්-බෙල්සන් ගාල් කඳවුරේ මිනිසුන් 50,000ක් පමණ ද මිය ගොස් තිබුණි.

බ්‍රිතාන්‍යයන් විසින් සිරකරුවන් කඳවුරෙන් ඉවත් කිරීම අවසන් කළ විට, ටයිෆස් පැතිරීම නැවැත්වීම සඳහා ඔවුහු ඒ බිම පුළුස්සා දැමූහ.

 

බ්‍රිතාන්‍ය හමුදා 1945 අප්‍රියෙල් 15 වන දින මුදාගත් පිරිසක් (photo by: theholocaustexplained.org)

අවාසනාවකට මෙන්, කඳවුරේ එස්.එ.ස් බලධාරීන් සහ පිරිස් පිළිබඳ ලිපි ලේඛන සහ තොරතුරු විනාශ කිරීමට නාසීන් සමත්ව තිබේ.

බර්ගන්-බෙල්සන් පිරිස් සඳහා පශ්චාත් යුධ නඩු

බර්ගන්-බෙල්සන්හි පළමු අණදෙන නිලධාරියා වූයේ ඇඩොල්ෆ් හාස් ය. 1943 වසන්තයේ දී ඔහු සිය වැඩ කටයුතු ආරම්භ කළ අතර 1944 දෙසැම්බරයේ දී ජොසෙෆ් ක්‍රාමර් ඔහු වෙනුවට පත් කරන ලදී.

බර්ගන්-බෙල්සන් කඳවුර (photo by: allthatsinteresting.com)

බර්ගන්-බෙල්සන් කඳවුරේ පැවැති කාලය පුරාම එස්එස් බලධාරීන්ගේ සංඛ්‍යාව සහ තනතුරු වෙනස් වූ අතර, ඒ බොහෝ තොරතුරු හිතාමතාම විනාශ කෙරුණත්, 1945 පැවැත්වුණු නඩු වරයන්හි දී එයින් 48 දෙනෙකු නඩු විභාගයට භාජනය විය. මින් දහනවදෙනෙකු වැරදිකරුවන් වූ අතර විවිධ සිර දඩුවම් නියම විය. විනිශ්චය සභාව 14 දෙනෙකු නිදොස් කොට නිදහස් කළේ ය. කෙසේවෙතත්, ක්‍රෙමර් සහ තවත් 10 දෙනෙකුට 1945 දෙසැම්බර් 12 වන දින මරණ දඬුවම ලදී.

කවරයේ පින්තූරය – බර්ගන්-බෙල්සන් සිහිවටනය (tripadvisor.ie)

මූලාශ්‍රයයන්: