සියවසක් සපිරෙන, “කළු වෝල් ස්ට්‍රීට් සංහාරය”

1921 මැයි මාසයේ 31 වනදාත්, ජූනි පළමුවනදාත් අතර 18 පැයක් තුළ දී “කළු වෝල් ස්ට්‍රීට්” මිහිපිට අපායක් බවට පත්වුණා. කඩ සාප්පු, නිවාස කුඩු පට්ටම් වෙමින් ගිනි ගනිමින් දැවැන්ත කළු දුමාරයක් මුළු නගරයම වසා ගත්තා. කාල වර්ණ සමෙන් යුත් නිසල මිනිස් සිරුරු සිය ගණනක් තැනින් තැන විසිරී තිබුණා. සෑම දෙසින්ම ඇසුණු මිනිස් විලාප හඬ වෙඩි ශබ්ද අතරේ මැකී ගියා. තොරතුරු බොහොමයක් ඉතිහාසයෙන් සඟවමින් එක්සත් ජනපද ඉතිහාසයේ දරුණුම ජාතිවාදී සමූලඝාතනයක් එසේ සිදුවුණා. දැන් එයින් වසර 100ක්ම ගෙවී අවසන්. මියගිය අයගේ පවුල් වෙනුවෙන් සාධාරණයක් ඉටු කිරීමට ප්‍රජාතන්ත්‍රවාදය ගැන උදම් අනන ඔවුන් තවමත් අසමත් වී තිබෙනවා. තවමත් පරීක්ෂණ සිදුවන “කළු වෝල් ස්ට්‍රීට් සංහාරය” ගැන තොරතුරු මේ ලිපියෙන් කියවීමට ඔබට පුළුවන්.

කළු වෝල් ස්ට්‍රීට් 

ඇමෙරිකාවේ ඔක්ලහෝමා ප්‍රාන්තයේ නගරයක් වන ටල්සාහි, “ග්‍රීන්වුඩ් දිස්ත්‍රික්කය” නම් ප්‍රදේශය පිහිටා තිබෙනවා. මෙය වහල්භාවයෙන් නිදහස් වූ කළු ඇමරිකානුවන් බහුලව වාසය කළ ප්‍රදේශයක්. වෙළඳාමේ නියුතු කළු ඇමෙරිකානුවන් 10,000ක් විතර 1920 ගණන්වල දී මෙහි වාසය කළා. ටල්සා නගරය, එකල ලෝකයේ තෙල් සඳහා අගනුවර විදිහට යි හැඳින්වුණේ. පළමු ලෝක යුද්ධයෙන් ඇතිවූ ඉහළ තෙල් ඉල්ලුම නිසා මේ කාලයේ දී ග්‍රීන්වුඩ්වලත් යහමින් වෙළඳාම් කටයුතු සිදුවුණා. ප්‍රධාන වීදියක පෙනුම ගත්ත ග්‍රීන්වුඩ් ප්‍රදේශය; සිනමා ශාලා, රූපලාවන්‍යාගාර, අවන්හල්, තැබෑරුම්, ඖෂධහල්, සහ සිල්ලර කඩ ආදී හැම වර්ගයේම කඩ සාප්පුවලින් සමන්විත වුණා. “වෝල් ස්ට්‍රීට්” යනුවෙන් හඳුන්වන, වාණිජ්‍ය වෙළඳාමේ මූලස්ථානය වැනි පෙදෙසක් ඇති බව ඔබ අසා ඇතිනේ. ඉතින් ග්‍රීන්වූඩ් දිස්ත්‍රික්කය කළු ජාතිකයින්ගේ සාර්ථක ව්‍යාපාරයන් කොතරම් තිබුණා ද කිව්වොත්, මේ ප්‍රදේශය හැඳින්වුණේ “කළු වෝල් ස්ට්‍රීට්” එක නමින්.

greenwood in 1921
1921 දී ග්‍රීන්වුඩ් දිස්ත්‍රික්කය/Tulsa Historical Society

ඔක්ලහෝමා ප්‍රාන්තයේ කූ ක්ලක්ස් ක්ලෑන් කල්ලියේ (KKK) ක්‍රියාකාරිත්වය උච්චතම අවධියට පත්වන්නේ 1920 දශකයේ අවසාන කාලයේ යි. 1919 දී සිදුවූ “රතු ගිම්හානය” නමින් හැඳින්වෙන සිදුවීම් මාලාවේ දී පවා කළු ජාතිකයින් 100 ගණනක් රට පුරා මියය,න නමුත්, කළු වෝල් ස්ට්‍රීට් ප්‍රදේශයට ඉන් එතරම් බලපෑමක් සිදුවන්නේ නැහැ. ඒ වෙනුවට 1921 වෙද්දී මෙම ප්‍රදේශය සිය වෙළඳාමේ උපරිමය දියුණුවකට එනවා. නමුත් ඒ සශ්‍රිකත්වය පවතින්නේ එක් සුළු සිදුවීමක් වනතෙක් පමණ යි.

කියවන්න: ‘කළු ජාතිකයින්ට භීෂණය ගෙන ආ, කූ ක්ලක්ස් ක්ලෑන්

සංහාරයකට තුඩුදුන් සිදුවීම

1921, මැයි 30 වනදා ග්‍රීන්වුඩ්හි ඩ්රෙක්සෙල් නම් ගොඩනැගිල්ල තුළ දී කළු ඇමෙරිකානු තරුණයෙකු සහ සුදු ජාතික තරුණියක අතර යමක් සිදුවනවා. 19 හැවිරිදි ඩික් රෝව්ලන්ඩ් සපත්තු ඔප දමන්නෙක්. ඔහු මෙම ගොඩනැගිල්ලේ සෝපානයට නැග තිබෙනවා. එය ක්‍රියාකරවූයේ 17 හැවිරිදි සාරා පේජ් නම් තරුණිය යි. රෝව්ලන්ඩ්  සෝපානයට ඇතුළුවීමේ දී හෝ, එය තුළ දී හෝ සිදුවූ සිදුවීම් ගැන පැහැදිලි වාර්තාවක් නැහැ. නමුත් සෝපාන ක්‍රියාකරවන්නිය කෑගැසූ බවත්, සෝපානයෙන් එළියට පැනදිවීම සිදුවුණු බවත් වාර්තා වෙනවා. තරුණයාත් එම අවස්ථාවේ සෝපානයෙන් පැන ඉවතට දිවගොස් තිබෙනවා. අසල කඩයක සේවය කළ සුදු ජාතික සේවකයෙක් තරුණියගේ උදව්වට පැමිණ තිබෙනවා. ඔහු පවසන ආකාරයට තරුණයා විසින් තරුණිය ලිංගික අඩත්තේට්ටමට ලක් කිරීමට තැත්කර තිබෙනවා. මෙහි සත්‍යාසත්‍යතාව කෙසේ වුවත්, සෑම තැනම පැතිරී යන්නේ මෙම කතාව යි.

 

Drexel building and newspaper article
ඩ්රේක්සල් ගොඩනැගිල්ල සහ සිදුවීම පිළිබඳ පුවත්පත් වාර්තාව/tulsaworld

 

පසුදින, එනම් මැයි 31 වනදා, ඩික් රෝව්ලන්ඩ් අත්අඩංගුවට ගෙන අධිකරණයට පමුණුවනවා. නමුත් එහිදී සාරා පේජ් ඩික් රෝව්ලන්ඩ්ට එරෙහිව චෝදනා ගොනු කිරීම ප්‍රතික්ෂේප කරනවා. ඒ, අඩන්තේට්ටම් කිරීමක් හෝ වෙනත් අනිසි යමක් සිදු නොවූ බව පවසමින්. නමුත් ප්‍රාදේශීය පුවත්පතක් මෙම සිදුවීම වාර්තාකර තිබුණේ “සෝපනයේ දී තරුණියකට අඩන්තේට්ටම් කළ කල්ලා අල්ලාගැනේ” යනුවෙනි. මෙය සුදු ජාතීන් වෙත කළ උසිගැන්වීමක් වුණා. මේ හේතුවෙන් එදින බොහෝ සුදු ජාතිකයින් අධිකරණ භූමියට පැමිණ තිබුණා. නීතිමය පියවර නොගෙන ඩික් රෝව්ලන්ඩ් එල්ලා මැරීමට යන බවක් ආරංචි වූ කළු ජාතිකයින් සුළු පිරිසක් ද අධිකරණ භූමියට පැමිණියා (මේ අනීතික එල්ලා මැරීම හැඳින්වුණේ “lynching – ලින්චින්” යනුවෙන්). ඔවුන් බොහෝ දෙනා පළමු ලෝක යුද්ධයේ දී සටන් කළ අය වීම නිසා, ඔවුන් සතුව ආයුධ ද පැවතියා. ඔවුන් සහ සුදු ජාතික පිරිස් අතර ඇති වූ බහින්බස්වීම් දුරදිග යාමෙන් අවසානයේ දී දරුණු ගැටුම් ඇතිවුණා. නමුත් සුදු ජාතිකයින්ගේ වැඩි පිරිස් බලය හමුවේ කළු ඇමෙරිකානුවන් අසරණ වුණා.

එක්සත් ජනපදයේ සිදුවූ මෙවැනිම අනීතික, සුළු ජාතික එල්ලා මැරීමේ සිදුවීමක් ගැන කියවන්න: ‘ලියෝ ෆ්‍රෑන්ක් සිරෙන් පැහැරගැනීම හා ඝාතනය

 

buildings on fire in greenwood
ගිනිගෙන දැවෙන නිවාස, පල්ලි ඇතුළු ගොඩනැගිලි/vox

කළු වෝල් ස්ට්‍රීට් සමතලා වෙයි

අධිකරණ භුමියේ සිදුවූ කෝලාහලය ග්‍රීන්වුඩ් දිස්ත්‍රික්කය කරා පැමිණෙනවා. සිය ගණන් සුදු ජාතිකයින් ආයුධ රැගෙන පැමිණ, දකින දකින කළු ජාතිකයින්ට වෙඩි තබන්නටත්, කළු වෝල් ස්ට්‍රීට්හි කඩ සාප්පු ගොඩනැගිලි කොල්ල කෑමටත්, ඒවා ගිනි තැබීමටත් පටන් ගන්නවා. ගොඩනැගිලි එකින් එක අවසන් කරමින් සුදු ජාතිකයින් ඉදිරියට ඇදෙනවා. ග්‍රීන්වුඩ් වැසියන් තම දිස්ත්‍රික්කයේ සීමාව වන රේල් පාරෙනුත් එපිටට පසු බසිනවා. ඔවුන්ගෙන් සමහරක් තුවක්කු අතැතිව සටන් කිරීමට කටයුතු කළත්, සුදු ජාතිකයින් ගණනින් ඉහළ වීම හේතුවෙන් එය සාර්ථක වන්නේ නැහැ. මෙම සංහාරය පැය 18ක් පමණ එක දිගටම පැවැත්වෙනවා.

newspaper article
මියගිය අය පිළිබඳ පුවත්පත් වාර්තාකරණය/BillMoyers

සිද්ධියෙන් මියගිය ගණන වාර්තා කිරීම ප්‍රාදේශීය පුවත්පත්වලින් හරියාකාරව සිදුකරන්නේ නැහැ. එක් පුවත්පතක් පළමුව තම ප්‍රධාන සිරස්තලය ලෙස වාර්තාකර තිබුණේ සටන්වලින් සුදු ජාතිකයින් දෙදෙනෙකු මියගිය බව පමණ යි. පසුව, කළු ජාතිකයින් මියගිය ප්‍රමාණය 30ත් 100ත් අතර විවිධ සංඛ්‍යාවන් වශයෙන් විවිධ පුවත් වාර්තාකර තිබුණා. නමුත් අදටත් එහි නිශ්චිත සංඛ්‍යාවක් නැහැ. කළු ජාතිකයින් 300ක් පමණ මෙම සංහාරයේ දී මියගිය බවට යි බොහෝ දෙනා විශ්වාස කරන්නේ. 800ක් පමණ පිරිසක් ඉන් තුවාල ලබා තිබෙනවා.

dead bodies
මිය ගිය කළු ජාතිකයින්ගේ සිරුරුවලින් කිහිපයක්/vox

ග්‍රීන්වුඩ් දිස්ත්‍රික්කයේ සිදුවූ දේපළ විනාශයත් සුළුපටු එකක් නොවේ. සැබවින්ම එය සම්පූර්ණ විනාශයක් බව කිවයුතු යි. ප්‍රදේශයේ සිනමා ශාලා දෙකම, පුස්තකාල ගොඩනැගිල්ල, රෝහල සහ පල්ලි 22ක් ඇතුළු සියල්ල සුදු ජාතිකයින් විසින් ගිනි තබා විනාශ කෙරුණා. ගිනි නිවීම් සඳහා පැමිණුනු භටයින් ද සුදු ජාතිකයින් විසින් බිය ගන්වා පලවා හැර තිබෙනවා. කඩ සාප්පු, අවන්හල් ආදිය පොළවට සමතලා වුණු අතර, නිවාස 1256ක් ද ගිනි තබා විනාශකර තිබුණා. තවත් නිවාස 215ක් ගිනි තැබිම්වලට ලක් නොවී ඉතිරිවී තිබුණත්, ඒවා කොල්ලකෑම්වලට ලක් වූ ඒවා යි.

මෙහි දේපළ විනාශය පමණක්, එකල මුදලින් සමස්තයක් ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 1.5 – 2ක් පමණ වන බවට යි වාර්තා වී ඇත්තේ. මෙය වර්තමානයේ හැටියට නම් ඩොලර් මිලියන 25ක පමණ හානියක්. ග්‍රීන්වුඩ් දිස්ත්‍රික්කය දින දෙකක් ගිනිගත් බව කියවෙනවා. දිස්ත්‍රික්කය පුරාවට යුධ නීතිය ක්‍රියාත්මකකර, ඇමෙරිකානු හමුදා සොල්දාදුවන් පවා යොදවනවා. 6000ක පමණ පිරිසක් අත්අඩංගුවට ගැනෙනවා. ඒ අතර කළු ජාතිකයින් රැසක් ද සිටි බව යි වාර්තා වන්නේ. ඉන්පසු සංහාරය අවසන් වන නමුත් ඒ වෙද්දී ග්‍රීන්වුඩ් දිස්ත්‍රික්කය නටඹුන් ගොඩක් බවට පත්වී හමාර යි.

 

total destruction in greenwood
ග්‍රීන්වුඩ් දිස්ත්‍රික්කය මුළුමනින්ම විනාශ වී ඇති අයුරු /bloomberg

නැවත නැගී සිටි ග්‍රීන්වුඩ් වැසියන්

ඩික් රෝව්ලන්ඩ්ට එරෙහිව ගොනුකර තිබූ චෝදනා සියල්ල ඉවත් කිරීමට සංහාරයෙන් පැය ගණනකට පසු තීරණය වුණා. පොලීසිය කරුණු දක්වමින් සඳහන්කර තිබුණේ ඔහු විසින් “පේජ්” නමැත්තියගේ කකුල පෑගීම ඇයගේ කෑගැසීමට හේතුවූ බව යි. සංහාරය නිමවන තුරු රෝව්ලන්ඩ්ව ආරක්ෂිතව තබාගැනීමට පොලිසිය කටයුතු යොදා තිබුණා. නමුත් පසුදිනයේ දී ඔහු නිදහස් කිරීමෙන් පසු රෝව්ලන්ඩ් ප්‍රදේශයෙන් පිටවගොස් ඇති අතර, නැවත කිසිදිනෙක ග්‍රීන්වූඩ් වෙත පැමිණ නැහැ.

සංහාරයෙන් දිවි ගලවාගත් කළු ජාතිකයින් දහස් ගණනක් තාවකාලික කුඩාරම්වලට වී මාස ගණනක් ගත කළා. ෆෙඩරල් රජයෙන් දිස්ත්‍රික්කය නැවත ඉදිකිරීම සඳහා ආධාර ලැබුණේ නැහැ. විශේෂයෙන්ම ටල්සා නගරයේ පාලනය විසින් ග්‍රීන්වුඩ් නැවත ඉදිකිරීම දිගින් දිගටම වැලැක්වීමට කටයුතු කරනු ලැබුවා. මේ නිසා ජනතාවට තම නිවාස සිය ශ්‍රමයෙන් සහ මුදලින් ඉදිකර ගැනීමට සිදුවුණා. ඔවුන් නගරය හැරදා නොගොස් එහිම රැඳී සිටිමින් නැවතත් ග්‍රීන්වුඩ් ගොඩනැගුවා. මේ සඳහා වසර ගණනක් ගතවුවත්, 1930 -1940 ගණන් වන විට පෙර තිබූ තත්ත්වයටත් වඩා එය දියුණු කරන්නට ඔවුන් සමත් වුණා.

tents of refugees
සංහාරයෙන් පසු සුන්බුන් අතරේ තමන්ගේ අහිමිවූ දෑ සොයන ජනතාව – පහතින් දැක්වෙන්නේ ඔවුන් මාස ගණනක් විසූ කුඩාරම් සමුහයක්/Oklahoma Historical Society

සංහාරය යට ගැසීමටත් ජාතීන් බෙදීමටත් කටයුතු සිදුවෙයි

1921 ජූනි පළමුවෙනිදා සිදුවූ සිදුවීම්වලට අදාළ තොරතුරු සහ වාර්තා නගරයේ ලේඛනවලින් ඉවත් කිරීමට පාලනය විසින් කටයුතු කර තිබුණා. ඩ්රේක්සල් ගොඩනැගිල්ලේ සෝපානයේ දී සිදුවූ සිදුවීමට අදාළ පුවත්පත් ලිපිය පවා නගරයේ පුස්තකාල ලේඛනවලින් ඉරා ඉවත්කර තිබෙනවා. නමුත් සිදුවීමට අදාළ ඡායාරූප සහිත තැපැල්පත් බොහොමයක් තවමත් සුරක්ෂිතව පවතිනවා. මෙම තැපැල්පත් 1921න් පසු භාවිතා වුණේ සුදු ජාතිකයින්ගේ බලය පෙන්වීම සඳහා යි. එසේම ඔවුන්ගේ ජාතිවාදී ක්‍රියාවල සැමරුම් වශයෙන් ද ඔවුන් ඒවා ළඟ තබාගෙන තිබුණා. නමුත් අද වන විට ඒවා මෙම සංහාරයේ තරම පෙන්වීමට මහඟු උපකාරයක්. මෙම තැපැල්පත්වල ඇති ඡායාරූප සෑම එකකම පාහේ සඳහන් වන්නේ “ටල්සා හි ජාතිවාදී කෝලාහලය” යන නම යි. එම නම යොදාගැනීමෙන්, සත්‍ය සිදුවීම යම් තරමකට වසන් කරනවා. එය ඉතිහාසය වෙනස් කරවීමට කරන ලද උත්සාහයක් බව යි ජාතිවාදයට විරුද්ධ බොහෝ දෙනා පෙන්වා දෙන්නේ.

postcards
සුදු ජාතිකයින් බෙදාහැරි තැපැල්පත්/Greenwood Cultural Center

එසේම 1921 සංහාරය පිළිබඳව ඇමෙරිකාවේ හෝ ඔක්ලහෝමා ප්‍රාන්තයේ පමණක් හෝ පාසල්වල ඉතිහාසය විෂය යටතට ඉගැන්වීමක් සිදුවූයේ නැහැ. එම නිසා කල්යත්ම එය ක්‍රමයෙන් අමතක වෙමින් පැවතුණා. සංහාරයෙන් දශක ගණනක් යනතුරුත් මියගියවුන් උදෙසා කිසිම සැමරුමක් හෝ සංවිධානය නොකිරීමට නගර පරිපාලනය වගබලා ගත්තා.

ග්‍රීන්වුඩ් නැවත ඉදිකිරීමෙන් පසුවත් එහි ජනතාවට වෙනත් ආකාරයකින් බලපෑම් කරන්නට පාලකයින් කටයුතු කළා. එහි එක් පියවරක් වන්නේ ප්‍රාන්ත අතර “ආර්ථික ඒකාබද්ධතාවය” ඇති කිරීම යි. මෙය සිදුවිය යුතු දෙයක් වුවත්, මෙමඟින් පාලන තන්ත්‍රයේ බලාපොරොත්තුව වූයේ කළු ජාතිකයින් වැඩි වශයෙන් ජීවත්වන ප්‍රාන්තවලින් පිටතට ඩොලර් ගලා යාමට සැලැස්වීම බව ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙනවා. එමඟින් ඒවායේ මූල්‍ය පදනම අවබෝධ කරගැනීමත්, පීඩා පැමිණවීමත් සිදු කිරීම පාලනයට පහසුවනවා.

තවත් පියවරක් වශයෙන් ඔවුන් 1950-60 කාලයේ දී “නාගරික ප්‍රතිසංස්කරණ” ගෙන ආවා. මෙහිදී සිදුවුණේ ප්‍රාන්ත අතර ගමනාගමනය සඳහා මංතීරු 8ක මාර්ග සැකසීම යි. ඒවා ඉදිවූයේ නගර හරහා බැවින් බොහොමයක් ප්‍රදේශ මාර්ගයෙන් දෙපසට බෙදී වෙන් වුණා. ග්‍රීන්වුඩ් දිස්ත්‍රික්කය හරහා ද ඉදිකළ මෙවැනි මාර්ග මඟින් ජනතාව එක්වීම යම් ආකාරයකින් සීමා කෙරුණා. මෙම මාර්ග ව්‍යාපෘති නිර්මාණය වුණේ ග්‍රීන්වූඩ් සහ කළු ජාතීන් පමණක් ඉලක්ක කරගෙන නොවෙයි. චිකාගෝ, ඩිට්‍රොයිට්, ඩර්හැම්, බ්‍රොන්ක්ස් සහ ලොස් ඇන්ජලීස් යන නගරවල කළු ජාතීන් සහ වෙනත් වර්ණ ජාතීන් ද (ස්පාඤ්ඤ, ආසියානු, හවායි) සංවර්ධකයින්ගේ ඉලක්ක වුණා.

සංහාරයේ පින්තුරයක් අඩංගු තවත් පැරණි තැපැල්පතක්/National Museum of African American History and Culture

 

සංහාරයෙන් වසර සියයකට පසු

මෙම දරුණු සංහාරය සිදුවී සියවසක් ගතවී ඇතත් අදටත් එම ප්‍රදේශයේ ජනතාවට විශාල ප්‍රශ්නයක් ඉතිරි වී තිබෙනවා. ඒ, සංහාරයෙන් මියගිය අය මිහිදන් කෙරුණේ කොහේදැ යි කියා යි. ප්‍රදේශයේ සුසාන භූමියේ ඇත්තේ දෙදෙනෙකු වෙනුවෙන් ඉදිකළ ස්මාරක පමණ යි. මියගිය සෙසු අය පිළිබඳව කිසිදු සඳහනක් කිසිම තැනක ඇත්තේ නැහැ. 1996 දී, එනම් සංහාරයෙන් වසර 75කට පසු, මිය ගිය අයවලුන් සිහිකරමින් පළමු සැමරුම පැවැත්වුණා. ඒ, සුදු ජාතික කණ්ඩායම් එදා ගිනිබත් කළ එක් දේවස්ථානයක් වූ මවුන්ට් සයොන් බැප්ටිස් දේවස්ථානයේ සහ ග්‍රීන්වුඩ් සංස්කෘතික මධ්‍යස්ථානයේ සිට යි.

එම සැමරුමෙන් පසු 1997 දී නගර පරිපාලනය විසින් සංහාරය පිළිබඳව සෙවීමට කොමිසක් පත්කරනු ලැබුවා. එම කොමිසම නම් වුණේ “1921 ජාතිවාදී කෝලාහලය පිළිබඳ කොමිසම” නමින්. එම කොමිසම විසින් සංහාරයෙන් දිවිගලවාගෙන ඒ වන විටත් ජීවතුන් අතර සිට බොහෝ දෙනාගේ ඇසින් දුටු සාක්ෂ්‍ය සහ ප්‍රකාශ ලබාගත්තා. ඒවා බොහොමයක් වීඩියෝ පටිගතකිරීම් ලෙසින් ලබාගැනීම සිදු වුණා. නමුත් එම පරීක්ෂණ එතරම් දුරකට ගමන් කළේ නැහැ.

ඔක්ලහෝමා ප්‍රාන්ත අධ්‍යාපන දෙපාර්තමේන්තුවට අනුව 2009 සිට මෙම සංහාරය පිළිබඳ තොරතුරු ඔක්ලහෝමා ඉතිහාස පොත්වලට ඇතුළත්කර තිබෙනවා. නමුත් 2012 වන විට සංහාරය පිළිබඳ සිදුවීම පෙළපොත්වල අඩංගු නැති බව පවසමින් සහ ඒවා යළි පෙළපොත්වලට එකතු කරන ලෙස යෝජනා කරමින් ප්‍රාන්ත සෙනෙට් සභාව වෙත පනතක් ද ඉදිරිපත් කෙරුණා.

viola fletcher
107 හැවිරිදි වියෝලා ෆ්ලෙචර්/cnn

1997 දී කොමිසමට ප්‍රකාශ ලබාදුන් අය සියල්ලම වාගේ අද වන විට ජීවතුන් අතර නැහැ. නමුත් එම මිනිස් සංහාරයෙන් දිවි ගලවාගත් එක් කාන්තාවක් පමණක් ජීවතුන් අතර සිටිනවා. නමින් වියෝලා ෆ්ලෙචර් වන මෙම 107 හැවිරිදි කාන්තාව 1921 සංහාරය හමුවේ සහ ඉන් පසුව ටල්සා නගරයේ සහ ඇමෙරිකානු පරිපාලනයේ ක්‍රියාකලාපයට එරහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ සටනේ ඉදිරියෙන්ම සිටිනවා. ඔවුන්ගේ අඛණ්ඩ වැඩපිළිවෙල හේතුවෙන් 1997 පත්කළ කොමිසමේ නම පවා 2018 දී වෙනස් කළා. එය දැන් හැඳින්වෙන්නේ “1921 ජාතිවාදී සංහාරය පිළිබඳ කොමිසම” නමින්.

 

excavation process
2020 ඔක්තොම්බරයේ දී, මිහිදන් කළ සිරුරු සොයා කැණීම් කටයුතු සිදුවූ අයුරු /cnn

මෙම සටනට නැවත ජීවයක් දීමට සමත් වුණු තවත් සිදුවීමක් වන්නේ, 2019 දී ටල්සාහි නගරාධිපතිධුරයට පත්වූ ජී.ටී. බයිනම් විසින් සංහාරය පිළිබඳව නැවත පරීක්ෂණ ආරම්භ කිරීම යි. මේ වන විට 1997 දී ලබාගත් වීඩියෝ සාක්ෂ්‍ය මත පදනම්ව සහ නවීන රේඩාර් තාක්ෂණය යොදාගනිමින් මිහිදන් කළ සිරුරු පිළිබඳව තොරතුරු සෙවීම සිදුවනවා. මේ සඳහා සංස්කෘතික නිරීක්ෂකයින්, ඉතිහාසඥයින්, අධිකරණ වෛද්‍යවරුන්, මානව විද්‍යාඥයින්, සහ විවිධ තාක්ෂණික ශිල්පීන් රැසක් සහභාගී වනවා. ඔවුන් මේ වන විට ස්ථාන කිහිපයක කැණීම් කටයුතු ද සිදු කරනවා. එම ස්ථානවල තිබී සිරුරු කොටස් හමුවුවහොත් DNA පර්යේෂණ යොදාගනිමින් මියගිය අයගේ ඥාතීන් සොයාගනු ඇති. ඉන්පසු මියගිය අයට නිසි ගෞරව හිමිවනු ඇති. මේ සියල්ල සඳහා තව වසර ගණනක් ගතවනවා. වසර ගණනකින් වුවත් එවන් සංහාරයක් ආපසු හරවන්න මේ කිසිවෙකුටත් නොහැකි වුවත්, සාධාරණය වෙනුවෙන් සටන් කිරීම අගය කළ යුතු යි.

කවරයේ පින්තූරය - history.com

තොරතුරු vox.com, bloomberg.com, edition.cnn.com, history.com, සහ tulsaworld.com ඇසුරෙන්

Related Articles