පළමු ලෝක යුද්ධය අතරතුර සෝම් නදී සංග්‍රාමය ආරම්භ වූයේ 1916 ජූලි 1 වන දා යි​. එදින බ්‍රිතාන්‍ය යුධ ඉතිහාසයෙහි විනාශකාරී ම දිනය ලෙස ඉතිහාසගත ව තිබෙනවා. බ්‍රිතාන්‍ය 4 වන හමුදාවට මෙම සටනේ දී විශාල වැඩ කොටසක් පැවරුණා. සටනේ පළමු දිනය අවසන් වනවිට බ්‍රිතාන්‍ය සේනාංකයන්ගේ මියගිය​, තුවාල ලද, හෝ අතුරුදහන් වූ පිරිස 57,470ක් වුණා. ඉන් 19,240ක් මියගිය හමුදා සාමාජිකයන් වුණා.

සැලසුම

බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ හමුදා සෝම් නදී ප්‍රදේශයේ ප්‍රහාරක මෙහෙයුමක් සැලසුම් කරන ලද්දේ 1915 දෙසැම්බර් 5 වන දා පවත්වන ලද ෂැන්ටිලි හමුවේ දී කරන ලද සාකච්ඡා මත පදනම්ව යි. බටහිර පෙරමුණේ මිත්‍ර හමුදාවල ප්‍රධානීන් අතර වූ මෙම සාකච්ඡාවල දී ප්‍රංශ අණදෙන නිලධාරී ජෙනරල් ජෝසෆ් ජොෆ්‍රෙ සඳහන් කළේ 1915 සැප්තැම්බර් 25 වන දා දියත් කළ ෂැම්පේන්, ආර්ටුවා, සහ ලූස් ප්‍රහාරවලින් සාර්ථකත්වයක් ලැබුණ නමුත් වෙඩි බලය ප්‍රමාණවත් නොවීමෙන් තීරණාත්මක ජයග්‍රහණයක් අත්කරගත නොහැකි වූ බව යි. මේ අනුව අවශ්‍ය පමණට වෙඩි බලය එක්රැස් කරගැනීම සඳහා කාලයක් අවශ්‍ය බව සඳහන් කළ ඔහු, අවම වශයෙන් මාස තුනක්වත් ඒ සඳහා අවශ්‍ය බව කියා සිටියා​. නමුත් ඊට වඩා කල් අවශ්‍ය බව පසු ව නිගමනය කරන ලදින් 1916 ජූලි මුල දී ප්‍රහාරය එල්ල කිරීමට තීරණය කරනු ලැබුණා.

සෝම් නදී සංග්‍රාමය (The Independent)

මුලින් සැලසුම් කරන ලද ආකාරයෙන් සෝම් නදී සටන් පෙරමුණේ දකුණුදිග ප්‍රදේශයේ ප්‍රංශ ඩිවිෂන 40ක් විසින් ද උතුරුදිග ප්‍රදේශයේ බ්‍රිතාන්‍ය ඩිවිෂන 25ක් විසින් ද ප්‍රහාරයන් එල්ල කිරීමට නියමිත ව තිබුණා. නමුත් 1916 පෙබරවාරියේ දී ජර්මන් හමුදා විසින් වර්ඩාන් හි මෙහෙයුම ආරම්භ කිරීම හේතුවෙන් ප්‍රංශ හමුදාවලට සෝම් හි පෙරමුණට දායක කළ හැකි වූයේ ඩිවිෂන 16ක් පමණයි. එයින් ද පළමු දිනයේ දී සටනට එක් කෙරුණේ ඩිවිෂන පහක් වැනි ප්‍රමාණයක්.

එකල පැවති යුධ සැලසුම අනුව මූලික කාලතුවක්කු ප්‍රහාරයකින් සතුරු පෙරමුණ විනාශ කර පාබල හමුදා යවා එම ප්‍රදේශ අල්ලාගැනීමට උත්සාහ කිරීම බටහිර පෙරමුණේ ප්‍රහාරක මෙහෙයුමක ආරම්භක පියවර වුණා. මෙහි දී ප්‍රහාරකයාගේ බලාපොරොත්තුව වූයේ කාලතුවක්කු ප්‍රහාර විසින් සතුරු අගල්වල කටුකම්බි වැටවල්, ශක්තිමත් ස්ථාන පමණක් නොව ප්‍රතිවාදී කාලතුවක්කු සහ දුම්රිය මාර්ග විනාශ වනු ඇති බව යි. සෝම් නදී සංග්‍රාමයට ද පෙර එම අරමුණින් විශාල කාලතුවක්කු ප්‍රමාණයක් පෙරමුණ කරා රැගෙන එනු ලැබුණා. සංඛ්‍යාත්මක ව බ්‍රිතාන්‍ය පෙරමුණේ කාලතුවක්කු 1537ක් වූ අතර, ඉන් 467ක් බරැති අවි වුණා.

සෝම් නදී සංග්‍රාමය වැදගත් වීමට තවත් එක් හේතුවක් වූයේ පළමු ලෝක යුද්ධය ආරම්භ වූ පසු බ්‍රිතාන්‍ය යුධ ලේකම් කිචනර් සාමි විසින් ගොඩනගන ලද ස්වෙච්ඡා හමුදාව මූලිකත්වය ගත් බටහිර පෙරමුණේ පළමු සටන මෙය වීම යි.

කාලතුවක්කු ප්‍රහාරයේ අසාර්ථකත්වය

මෙය විශාල කාලතුවක්කු සාන්ද්‍රණයක් වූ නමුත් සටන් පෙරමුණෙහි පළලට සාපේක්ෂ ව එය ප්‍රමාණවත් වූයේ නැහැ. බ්‍රිතාන්‍ය හතරවන හමුදාවේ අණදෙන නිලධාරී හෙන්රි රෝලින්සන් අදහස් කළේ පටු පෙරමුණක ප්‍රහාරය එල්ල කිරීම වුව ද බ්‍රිතාන්‍ය කාර්ය සාධන හමුදාවේ අණ දෙන නිලධාරී ජෙනරල් ඩග්ලස් හේග් වඩා පළල් පෙරමුණක ප්‍රහාරය දියත් කළ යුතු බව යි.

කටුකම්බි වැටවල් අතරින් ඇදෙන බ්‍රිතාන්‍ය සේනා (Illustrated London News)

එමෙන්ම භාවිතා කරන ලද උණ්ඩවලින් තුනෙන් දෙකක් පමණ ෂ්‍රැප්නල් වර්ගයේ උණ්ඩ වූ අතර, ඒවායෙන් කොන්ක්‍රීට් වැනි දෙයින් ශක්තිමත් කරන ලද ස්ථාන බිඳ දැමිය හැකි වූයේ නැහැ (ෂ්‍රැප්නල් උණ්ඩවලින් සිදු වූයේ වෙඩි උණ්ඩය වෙතින් කුඩා ප්‍රමාණයේ උණ්ඩ රැසක් විහිදී යාම යි). තව ද​, සෝම් නදී ප්‍රහාරයට පෙර එල්ල කරන ලද කාලතුවක්කු ප්‍රහාරය සඳහා යොදාගත් උණ්ඩවලින් සියයට තිහක් පමණ නොපිපුරුණු බව විශ්වාස කෙරෙනවා.

පාබල හමුදා ප්‍රහාරය ඇරඹීමට පෙර​, 1916 ජූනි 24 වන දා කාලතුවක්කු ප්‍රහාරය ඇරඹුණා. පාබල ප්‍රහාරය ඇරඹීමට නියමිතව තිබුණේ ජූනි 29 වන දා යි. නමුත් අයහපත් කාලගුණය හේතුවෙන් එය ජූලි 1 වන දා තෙක් කල් දමනු ලැබුණා. නමුත් වැඩි වූ දින දෙක සඳහා අමතර කාලතුවක්කු උණ්ඩ ලැබුණේ නැහැ. එහෙයින් ද කාලතුවක්කු ප්‍රහාරයේ තීව්‍රතාව අඩුව ගියා.

බ්‍රිතාන්‍ය පාබල ප්‍රහාරය

ජූලි 1 වන දා උදෑසන 7ට සටන් පෙරමුණ වෙත එල්ල වූ කාලතුවක්කු ප්‍රහාරය තීව්‍ර වුණා. ඉන් අඩ පැයකට පසු බ්‍රිතාන්‍ය සේනා සතුරු අගල් කරා ඇදී ආවා. ජර්මන් අගල් විනාශ වී ඇතැ යි ඔවුන් බලාපොරොත්තු වූ නමුත් බොහෝ ස්ථානයන් හි මැෂින් තුවක්කුකරුවන් ආරක්ෂිත ව සිටියා. එක පෙළට එන බ්‍රිතාන්‍ය සේනා ජර්මානුන්ට ඉතා ම පහසු ඉලක්ක බවට පත් වුණා.

මෙකල බ්‍රිතාන්‍ය හමුදා සැකැස්ම වූයේ එක පෙළට හමුදාවන් ඉදිරිය බලා ගමන් කිරීම යි. මෙය පැරණි උපක්‍රමයක් වූ අතර මැෂින් තුවක්කුවේ ආගමනයත් සමග එය යල්පැනගිය ක්‍රමයක් ව තිබුණා. නමුත් පළමු ලෝක යුද්ධයේ දී බොහෝ අවස්ථාවන් හි දී බටහිර පෙරමුණෙහි දිස්වූ පරිදි සෙන්පතියන් උපක්‍රමිකව තවමත් සිටියේ 19 වන සියවසෙයි. එහි ප්‍රතිඵලය වූයේ දහස් ගණනක් සොල්දාදුවන් නිරපරාදේ දිවි අහිමි කරගැනීම යි.

යුධ අගලක සිටින සෙබළෙක් (The Historic UK)

බ්‍රිතාන්‍ය පෙරමුණට සාපේක්ෂ ව ප්‍රංශ හමුදා ප්‍රහාරයන් එල්ල වූ ප්‍රදේශයේ දී ඔවුන් සාර්ථක වී තිබුණා. නමුත් බ්‍රිතාන්‍ය පෙරමුණේ දී පළමු දිනය තුළ බොහෝ සේනාංක සම්පූර්ණයෙන් ම අසාර්ථක වුණා.

සෝම් නදී සංග්‍රාමය නොවැම්බර් 18 වන දා තෙක් ඇදී ගිය අතර විවිධ සටන් ගණනාවක් ඒ අතර සිදු වුණා. පළමු දිනයේ පරාජය පසෙක තිබිය දී බ්‍රිතාන්‍යයන් දිගටම ජර්මන් පෙරමුණ වෙත පහර දුන්නා. යුධ පෙරමුණේ මිත්‍ර හමුදා තරමක් ඉදිරියට ගිය නමුත් ඊට ඔවුන් විශාල ජීවිත ප්‍රමාණයකින් වන්දි ගෙව්වා.

සෝම් නදී සංග්‍රාමයේ අමතර ප්‍රතිඵලයක් ලෙස වර්ඩාන් සංග්‍රාමයේ දී ප්‍රංශයට වාසිදායක තත්ත්වයක් නිර්මාණය වීම සැලකිය හැකියි. එම සටන් බිමේ ජර්මානුන් අතට පත් වූ ප්‍රදේශ සියල්ලක් ම පාහේ ආපසු ප්‍රංශ හමුදා විසින් අල්ලා ගත්තා.

කවරයේ පින්තූරය: සෝම් නදී සංග්‍රාමයෙන් වැටුණු සෙබළුන් සඳහා ඉදි වූ සුසානභූමියක් (Getty Images)

මූලාශ්‍රයයන්: