රාවණ කොඩියයි;දඬුමොණරෙයි සැඟවූයේ බොල්තුඹේද?

සමනොළ කඳු මුදුන මැදිකරගෙන සමන් දේවාල හතරක් පිහිටා තිබෙනවා. ඒ රත්නපුර මහා සමන් දේවාලය, මහියංගන මහා සමන් දේවාලය, දැරණියගල මහා සමන් දේවාලය සහ බලංගොඩ-බොල්තුඹේ මහා සමන් දෙවොල යි. ඉතා සුන්දර කඳුකර වටපිටාවක වනාන්තරවලට පසුබිම් ව මෙම දේවාල පිහිටා තිබෙනවා. මෙය රත්නපුර දිස්ත්‍රික්කයේ, ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටයි අයත් වන්නේ. මේ දේවාලයට ම පමණක් සීමා වූ රාවණ ජනප්‍රවාදය ඇතුළු කතා පුවත් හා සිරිත් රාශියක් අපට හමුවෙනවා.
බලංගොඩ සිට පින්නවල හරහා බගවන්තලාව තෙක් වැටී ඇති මාර්ගයේ කිලෝ මීටර 14ක් පමණ ගිය විට ඓතිහාසික බොල්තුඹේ සමන් දේවාලයට පැමිණීමට ඔබට පුළුවන්. එයට නුදුරින් පිහිටියේ මීටර 1800කට වඩා උසකින් ඇදී යන දෙතනගල නිවුන් කඳු මුදුන යි. දෙතනගල කඳුවැටිය පාමුල වෙල්යායක් ඉස්මත්තේ උස්බිමක පිහිටි බොල්තුඹේ සමන් දේවාලය මෙරට ඉපැරණි දේවාලවලින් එකක්. ඉතා සුන්දර වටපිටාවක පිහිටි ඓතිහාසික පුවත් රැසක් සඟවා ගත්, එයට ම ආවේණික පූජා විධි සහිත පූජනීය ස්ථානයක් ලෙස මෙය සැලකිය හැකියි.

දේවාල බිම ඈතට- lakpura.com

ඉතිහාස කතා

මේ අසල දෙතනගල කන්දේ සිදුවුණා යැයි කියන රාම – රාවණ යුද්ධය සිහිවීම පිණිස මෙහි තැනවූ කුඩා දේවාලයක පුරාණයේ සිට පුද පූජා පවත්වාගෙන පැමිණි බව කපුරාලගේ යාතිකාවේ කියැවෙනවා. පසුව සීතාවක රාජසිංහ රජු මෙහි දේව ප්‍රාසාද, සිංහාසන මණ්ඩප ආදී ගොඩනැගිලි ද කරවා ගම්බිම් ආදියත් පුදා සබරගමු සතර මහා සමන් දේවාලයට ඇතුළත් දොවොලක් කළ බව රත්නපුර සබරගමු දේවාලයේ පැරණි ලිපිවල සඳහන් වෙනවා. සබරගමු මහ සමන් දේවාලයට පෘතුගීසි පර සතුරු ආක්‍රමණයක් සිදුවුවහොත් එහි ඇති වටිනා දෑ ආරක්ෂා සහිත ව තැබීමට යි, මෙම දේවාලය සීතාවක රාජසිංහ රජු කරවා තිබෙන්නේ.
රාජසිංහ රජුගේ අභාවයෙන් පසු සබරගමුව ආක්‍රමණය කළ පෘතුගීසින් රත්නපුර සමන් වෙහෙර සහිත දේවාලය සම්පූර්ණයෙන් ම විනාශ කර, 1618 දී ඒ මත ඔවුන්ගේ බළකොටුව තනා ගත්තා. එම විනාශයට කලින් රාජසිංහ රජුගේ දුරදක්නා නුවණ නිසා එහි තිබූ වටිනා හැමදෙයක් ම ගෙන ගොස් බොල්තුඹේ දේවාලයේ තැන්පත් කළ හෙයින් ඒවා ආරක්ෂා වී තිබෙනවා.

දික්ගේ ගොඩනැගිල්ල- travelsrilankaphotos.blogspot.com

මෙම දේවාලය 1886 පෙබරවාරි 10 වැනිදා නැරඹූ එච්. වේස් ලියූ වාර්තාවක මෙසේ සඳහන්ව තිබෙනවා:
‘දේවාලයේ දික්ගෙයට පිවිසෙන ප්‍රධාන දොරටුව ඉතා ආකර්ෂණීය ය. කළුවර ලීයෙන් තැනූ උළුවස්සේ මතුපිට දාරය දිගේ කැටයම් කළ ඇත් දළ පටි සවි කොට තිබේ. ඊට පිටතින් හැම පැත්තේ ම තුනී පිත්තල පටි අල්ලා ඇත. ආණ්ඩුකාර උතුමාණන් රත්නපුරයට පැමිණි විට ආරක්ෂක ස්ථානයක් ලෙස මෙම ස්ථානය භාවිත කර තිබේ.’

මෙම වාර්තාවට අනුව රන් බේසමක් වැනි භාජනයක් මෙන්ම දුනු හා ඊතල යන භාණ්ඩ 1888 මැයි 21 දා ඔහු නැවත ගොස් එය සෝදිසි කරද්දීත් තිබුණු බවත්, ඒ වන විට දේවාලය අතිශයින් අබලන් ව පැවති බවත් වේස් සඳහන් කරනවා. –සුදු දිසාපතිවරුන් දුටු සබරගමුව- සිසිර මලලසේකර

 දෙවොල් බිමේ විහාරය- travelsrilankaphotos.blogspot.com

බොල්තුඹේ දෙවොලට අයත් පැරණි භාණ්ඩ තැන්පත් කර තිබූ කෞතුකාගාරයේ දොර ජනේල කඩා පිවිසුණු පිරිසක්, එහි තිබූ පෞරාණික භාණ්ඩ රැසක් සොරාගෙන ගොස් ඇතැ යි 2019 දී වාර්තා වුණා. සෙමරයක කැටයම් සහිත ඇත්දළ මිටක්, පෞරාණික මුදු දෙකක්, පෞරාණික ඔටුන්නක්, කරඬුව සහ වසර දහසකට වඩා පැරණි මකර තොරණක තිබූ ඉපැරැණි බුදු පිළිම දෙකක් සොරාගෙන ඇති බවට වාර්තා වුණා.

 දේවාලයේ ඇති රාවණ කොඩියේ අනුරුවක්- eatuwawa.blogspot.com

රාවණ ජනප්‍රවාද

රාවණ රජුගේ කොඩිය හා දඬු මොණර යන්ත්‍රය මෙම පූජා භූමිය තුළ තැන්පත් කර ඇති බව දේවාල ඉතිහාසයේ මෙන්ම ප්‍රදේශයේ පැතිරි ජනප්‍රවාද ගණනාවක ම පැවසෙනවා. රාම – රාවණා ගැටුමේ දී රාම කුමාරයා විදි ඊතල පහරකින් රාවණා රජු මියගිය බවත්, ඊතල පහරේ සැරට රාවණා රජුගේ හිස වලවේ ගඟ ආසන්නයේ තියෙන ඕලු ගංතොට ප්‍රදේශයේ වැටුණු බවත් සඳහන්. ඔහුගේ හිස සුන් කවන්ධය බොල්තුඹේ දේවාලය පිහිටා තියෙන බිමට වැටුණු බවත් පැවසෙනවා. හීයකින් විද රාවණ රජු නැසීම පිණිස රාම කුමරුන් දුනුදිය ඇදීමට වෙරගත්තේ දේවාලය අසල ඇති දෙතනගල පර්වතයේ කඳු දෙකට දෙදන සිරකර ගනිමින් බවත් පැරණි කතාවල පැවසෙන කාරණයක්.

පෙරහරට සැරසෙන දේවාලය- toursm.sg.gov.lk

අවට ජනතාව හිස සුන් රාවණාගේ කඳ කොටස විශාල පස් ගොඩක් දමා වැසූ බවත්, එම ස්ථානය බහලතුඹ නමින් ව්‍යවහාර ව, පසුව බොල්තුඹේ වුණා කියලත් විශ්වාසයක් පවතිනවා. රාවණා රජතුමාගේ රුවක් තියෙන කොඩියක් මේ දේවාලයේ වගේ ම සොරගුණේ, උග්ගල් අලුත් නුවර දේවාලවල පෙරහරවල දී රැගෙන යනවා. මේ ප්‍රදේශයෙන් ඊතල හැඩයේ ලෝහ කැබලි හමු වන බව පැවසෙන අතර, ඒවා රාම – රාවණා යුද්ධයේ දී වැටුණු ඊතල බවට යි ගැමියන්ගේ මතය.
රාවණා කපොල්ල, සීතා ලෙන, සීතා ගල, රාවණ කන්ද, කුමරි කොටුව වැනි රාවණ කතාවට සම්බන්ධ තවත් ස්ථාන බොල්තුඹේ දේවාලය ආසන්නයේ පිහිටා තිබෙනවා.

 දේවාලයේ දැව කැටයම්- – eatuwawa.blogspot.com

සුදු ඒජන්තගේ අපහාසය

දේවාලයේ අභ්‍යන්තරයේ තැන්පත් කර ඇති රාවණා රථය හා රාවණා රජුගේ කොඩිය සාම්ප්‍රදායික චාරිත්‍රවලට අනුව කිසිවකුටත් පෙන්වන්නේ නැහැ. 1900 වසරේ මුල් භා⁣ගයේ රත්නපුර දිස්ත්‍රික් සුදු එජන්තවරයකු දේවාල භූමිය වෙත පැමිණ දේවාලයේ හාස්කම් සමච්චලයට ලක් කරමින් කියා ඇත්තේ “උඹලාගේ රාවණ කොඩියේ හාස්කම පුළුවන්නම් පෙන්නපල්ලා” කියායි. දේවාලයේ රාජකාරීකරුවන් රාවණ කොඩිය පිටතට ගත් පසු, ගිනිගහන අව්ව නැති වී ගොස් මුළු පළාත ම කළුවර වී මොරසූරන වැස්සක් ඇදහැලී පළාත ම ගංවතුරින් යට වී තිබෙනවා. සුදු එජන්තවරයාත් දේවාල බිමේ කොටු වී තිබෙනවා. ඔහු ආපසු ගොස් ඇත්තේ දින දෙකකින් ඉක්බිති ගංවතුර බැසගිය පසුව යි.

 

7දේවාලය පිටුපසින් දිස්වන දෙතනගල – travelsrilankaphotos.blogspot.com

රාජකාරි

දේවාලයේ කටයුතුවලට පුරාණයේ පටන් ම රාජකාරි පංගු 58ක් වෙන්කර පවතිනවා. මෙගොඩ වලේබොඩ, බොල්තුඹය යන නින්දගම්වල එම රාජකාරීකරුවන් වාසය කරනවා. ඒ සඳහා ඉඩම් වෙන්කර තිබුණ ද, මෑතක් වන විට බොහෝ ඉඩකඩම් දේවාල රාජකාරියට අහිමි වී ඇති බව යි පැවසෙන්නේ. ඒ නිසා ඒවා කුලියට කරගැනීමට සිදු ව තිබෙනවා. සබරගමු දේවාලයට අයිති හුනුවල දෙයියන්වෙල නම් වෙල් යායෙන් මේ දේවාලයේ අලුත් සහල් මංගල්‍යය සඳහා පළමුවෙන් ම කරල් කපාගෙන යන්නට එන රාජකාරීකරුවන්ට, රත්නපුර සමන් දේවාලයේ රාජකාරීකරුවන් ආහාර පාන ආදියෙන් සංග්‍රහ කිරීම පුරාණයේ පටන් පැවතෙන සිරිතක්.

දේවාල භුමිය – lakpura.com

දේවාල භුමිය

දේවාල බිමට ඇතුළු වී පියගැට 15ක් තරණය කළ විට දඬුගල නම් ස්ථානය හමුවෙනවා. එතැන් සිට වේදිකාව දිගේ ගිය විට හේවිසි මණ්ඩපය පිහිටා තිබෙනවා. එයට යාව දැකගත හැක්කේ දේවාලයේ දිග්ගෙය යි. දේවාල ගොඩනැගිල්ලට දකුණු පසින් දාගැබ, බෝධි වෘක්ෂය සහ විහාරය පිහිටා තිබෙනවා. උඩමළුවේ කුඩා පත්තිනි දේවාල ගොඩනැගිල්ලක් ද පිහිටා තිබෙනවා. පහත මළුවේ දේව රථය නවත්වන ස්ථානයත්, සිංහාසන ගොඩනැගිල්ලත් දැකගත හැකියි.

පෙරහරේ දේවාභරණ වැඩමවන රථය- eatuwawa.blogspot.com

අලි ඇතුන් නැති පෙරහර

බොල්තුඹේ සමන් දේවාලයේ වාර්ෂික ව ඇසළ පෙරහර මංගල්‍යය සෑම වසරක ම අගෝස්තු මාසයේ පවත්වනවා. ඊට අමතර ව අවුරුදු කාර්තිය, ඉල්මහ කාර්තිය යන මංගල්‍ය ද පැවැත්වෙනවා. පෙරහරට ඊට ම ආවේණික වුණු චාරිත්‍ර රාශියක් දැකගත හැකියි. හැම පෙරහරක ම ආකර්ෂණීය ම අංගය වන්නේ පෙරහරේ ගමන් කරන අලි-ඇත් පන්තිය යි. මේ දේවාලයේ පෙරහරට කවදාවත් අලි-ඇතුන් සහභාගී කරගන්නේ නෑ. අලි ඇතුන් දේවාල භූමියට රැගෙන ආ විට සන්සුන් කරන්න අමාරු විදිහට කුලප්පු වෙන බවට විශ්වාසයක් පැතිර තිබෙනවා. දේවාලයේ කරඬුව වැඩමවන්නේ තුන්මල් කූඩුව නම් අටල්ලක තබා මිනිසුන්ගේ කර මතින්. මෙම පෙරහරේ පන්දම් රැගෙන යන්නෙත් නැහැ. ඒ වෙනුවට පහන් පැල නම් වූ ආලෝකය ලබාදෙන ක්‍රමයක් යොදාගන්නවා.

 වැඩසිටින මාලිගය- travelsrilankaphotos.blogspot.com

දේවාලයේ රථය, ලෝහ වර්ගයකින් තුන්මහල් ගෙයකට සමාන ව නිමකර තිබෙන්නක්. රෝද නොමැති එහි වටේට හංස පූට්ටු කැටයම් කර තිබෙනවා. එහි බර හොණ්ඩරයක් පමණ බවයි පැවසෙන්නේ. දිය කැපීමෙන් පසු දවුල්කරුවකු, තම්මැට්ටම්කරුවන් දෙදෙනකු හා කොඩි අතින් ගත් දෙදෙනකු දේවාලය වටා බෙර වයමින් දිවයනවා. මෙයින් ජයග්‍රහණය කරන පුද්ගලයාට බස්නායක නිලමේවරයා හා ප්‍රධාන කපු මහතා විසින් යම් ත්‍යාගයක් පිරිනමනු ලැබීම සුවිශේෂී සිරිතක්. රාම-රාවණ යුද්ධය සංකේතවත් කිරීම පිණිස එම තරගය පවත්වන බව යි පැවසෙන්නේ. 

කවරයේ ඡායාරූපය-facebook.com

මූලාශ්‍ර:
සබරගමුව වංශ කථාව 2 වෙළුම, සබරගමුව පළාත් සභාව
සබරගමුවේ පැරණි ලියවිලි (1942) -කිරිඇල්ලේ ඥානවිමල හිමි
සුදු දිසාපතිවරුන් දුටු සබරගමුව- සිසිර මලලසේකර

Related Articles