ශ්‍රී ලංකාවේ මැතිවරණ බල ප්‍රදේශ අංක 3- බොරැල්ල

1959 වසරේ දී වෝල්ටර් තල්ගොඩපිටිය කොමිසම විසින් සිදුකළ සීමා නිර්ණයෙන් පසුව උතුරු කොළඹ ආසනයෙන් කොටසක් වෙන් වී බොරැල්ල ආසනය නිර්මාණය වුණා. මුල් යුගයේ දී එක්සත් ජාතික පක්ෂය සහ ලංකා සමසමාජ මෙම ආසනය ජයග්‍රහණය කිරීම සඳහා කරට කර සටන් කළා. නමුත්, 1977 වසරේ දී සිදුවුණු දැවැන්ත බල පෙරළියෙන් පසුව බොරැල්ල ආසනය එක්සත් ජාතික පක්ෂයේ බලකොටුවක් වුණා. 

1947-1977 මහා මැතිවරණවල දී මෙම ආසනයේ ජනමතය හැසිරුණු හැටි 

1947 වසරේ සිට 1977 වසර දක්වා ශ්‍රී ලංකාව තුළ මහා මැතිවරණ පවත්වනු ලැබුවේ සරල බහුතර ඡන්ද ක්‍රමය යටතේ යි. එම ක්‍රමය යටතේ පැවැත්වුණු මහා මැතිවරණවල දී බොරැල්ල ආසනය වැඩිම වාර ගණනක් ජයග්‍රහණය කළේ එක්සත් ජාතික පක්ෂයේ එම්. එච්. මොහොමඩ් නම් අපේක්ෂකයා යි.

1960 මාර්තු මහා මැතිවරණය 

1960 මාර්තු මැතිවරණයේ දී බොරැල්ල ආසනය ජයග්‍රහණය කිරීම සඳහා සිව්කොන් සටනක් පැවතුණා. නමුත්, අවසානයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂක ඩැනිස්ටර් ද සිල්වා පරාජය කළ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක ආර්. බී. ලෙනෝරා බොරැල්ල ආසනය නියෝජනය කරමින් මැතිසබයට පිවිසුණේ වැඩි ඡන්ද 1,759ක් ලබාගනිමින්.

ආර්. බී. ලෙනෝරා (එක්සත් ජාතික පක්ෂය)- ඡන්ද 7,261

ඩැනිස්ටර් ද සිල්වා (ශ්‍රී ලංකා නිදහස් පක්ෂය)- ඡන්ද 5,502

එච්. ඒ. ද. ඇස් ගුණසේකර (ලංකා සමසමාජ පක්ෂය)- ඡන්ද 3,914

එම්. ඇස්. අබුබකර් (මහජන එක්සත් පෙරමුණ)- ඡන්ද 3,748

1960 ජූලි මහා මැතිවරණය 

1960 ජූලි මහා මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ආර්. බී. ලෙනෝරා තරග වදින විට, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කළේ ඩැනිස්ටර් ද සිල්වා යි. එම මහා මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ලංකා සමසමාජ පක්ෂය, සහ කොමියුනිස්ට් පක්ෂය අතර නිතරග ගිවිසුමක් ක්‍රියාත්මක වීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයාට වාසිදායක වුණා. එම නිසා ඩැනිස්ටර් ද සිල්වා එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක ලෙනෝරාව පරාජය කරමින් බොරැල්ල ආසනය ජයග්‍රහණය කළේ වැඩි ඡන්ද 2,719ක් ලබාගනිමින්.

ඩැනිස්ටර් ද සිල්වා (ශ්‍රී ලංකා නිදහස් පක්ෂය)- ඡන්ද 11,409

ආර්. බී. ලෙනෝරා (එක්සත් ජාතික පක්ෂය)- ඡන්ද 8,690

බොරැල්ලට අතුරු මැතිවරණයක් 

1963 වසරේ දී එවකට බොරැල්ල මන්ත්‍රීවරයාව සිටි ඩැනිස්ටර් ද සිල්වා මියගියා. එලෙස ඔහු හදිසියේම මියයාම නිසා බොරැල්ල ආසනය සඳහා අතුරු මැතිවරණයක් පැවැත්වුණේ 1964 වසරේ ජනවාරි 18 වැනිදා යි. එම කාලසමය වන විට ලංකා සමසමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය, සහ මහජන එක්සත් පෙරමුණ එකතු වී වාමාංශික එක්සත් පෙරමුණ නමින් නව දේශපාලන සන්ධානයක් පිහිටුවා තිබුණා. එලෙස වමේ පක්ෂ එකතු වී සිටි මොහොතක පැවති මෙම අතුරු මැතිවරණය සඳහා එම සන්ධානයෙන් තරග වැදුණේ ලංකා සමසමාජ පක්ෂය නියෝජනය කළ විවියන් ගුණවර්ධන යි. එහි දී එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක ආර්. බී. ලෙනෝරා සහ විවියන් ගුණවර්ධන අතර තියුණු සටනක් පැවතුණත්, අවසානයේ දී විවියන් බොරැල්ල අතුරු මැතිවරණය ජයග්‍රහණය කළේ වැඩි ඡන්ද 486ක් ලබාගනිමින්.

විවියන් ගුණවර්ධන (ලංකා සමසමාජ පක්ෂය)- ඡන්ද 12,592

ආර්. බී. ලෙනෝරා (එක්සත් ජාතික පක්ෂය)- ඡන්ද 12,106

1965 මහා මැතිවරණය

1965 මහා මැතිවරණය ආසන්න වන විට ජනරැල්ල එක්සත් ජාතික පක්ෂය දෙසට හැරෙමින් තිබුණා. එම මහා මැතිවරණයේ දී එම්. එච්. මොහොමඩ් එක්සත් ජාතික පක්ෂයෙන් බොරැල්ල අසුනට තරග කරන විට ඔහුගේ ප්‍රතිවාදියා වුණේ ලංකා සමසමාජ පක්ෂයේ විවියන් ගුණවර්ධන යි. එහි දී විවියන් ගුණවර්ධනට වඩා වැඩි ඡන්ද 1,692ක් ලබාගත් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක එම්. එච්. මොහොමඩ්, බොරැල්ල අසුන නැවතත් සිය පක්ෂයට දිනා දුන්නා. 

එම්. එච්. මොහොමඩ් (එක්සත් ජාතික පක්ෂය)- ඡන්ද 14,910

විවියන් ගුණවර්ධන (ලංකා සමසමාජ පක්ෂය)- ඡන්ද 13,218

එම්. එච්. මොහොමඩ් (fastnews.lk)

1970 මහා මැතිවරණය

1970 මහා මැතිවරණයේ දී එම්. එච්. මොහොමඩ් සුපුරුදු ආකාරයට බොරැල්ල අසුනට තරග කරන විට විවියන් ගුණවර්ධන දෙහිවල-ගල්කිස්ස ආසනයට තරග වැදුණා. එම නිසාම බොරැල්ල ආසනයට ලංකා සමසමාජ පක්ෂයෙන් තරග කළේ 1965 මහා මැතිවරණයේ දී මොරටුව ආසනයට තරග කර පරාජය වුණු කුසලා අබේවර්ධනය නම් අපේක්ෂිකාව යි. එම මහා මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය අන්ත පරාජයක් ලබන විට ඔවුන්ට බොරැල්ල ආසනයත් අහිමි වුණා. ඒ අනුව කුසලා අබේවර්ධන විසින් එම්. එච්. මොහොමඩ්ව පරාජය කරමින් මැතිසබයට පිවිසියේ වැඩි ඡන්ද 592ක් ලබාගනිමින්.

කුසලා අබේවර්ධන (ලංකා සමසමාජ පක්ෂය)- ඡන්ද 16,421

එම්. එච්. මොහොමඩ් (එක්සත් ජාතික පක්ෂය)- ඡන්ද 15,829

1977 මහා මැතිවරණය

මෙම මහා මැතිවරණය එළඹෙන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ වමේ පක්ෂ අප්‍රසාදයට ලක්ව තිබුණා. එම නිසාම බොරැල්ල ආසනය ජයග්‍රහණය කිරීම සඳහා ඉදිරියෙන්ම සිටියේ එක්සත් ජාතික පක්ෂයෙන් තරග කළ එම්. එච්. මොහොමඩ් නම් අපේක්ෂකයා යි. එවැනි වටපිටාවක පැවති මහා මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට විශිෂ්ට ජයග්‍රහණය හිමි වන විට එම්. එච්. මොහොමඩ්, වැඩි ඡන්ද 10,012ක් ලබාගනිමින් බොරැල්ල අසුන ජයග්‍රහණය කර තිබුණා.

එම්. එච්. මොහොමඩ් (එක්සත් ජාතික පක්ෂය)- ඡන්ද 19,824

ඩග්ලස් පෙරේරා (ශ්‍රී ලංකා නිදහස් පක්ෂය)- ඡන්ද 9,812

ධර්මසේන කුරුකුලසූරිය (ලංකා සමසමාජ පක්ෂය)- ඡන්ද 2,304

1989-2015 මහා මැතිවරණවල දී මෙම ආසනයේ ජනමතය හැසිරුණු හැටි 

1989 වසරේ සිට මේ දක්වා පැවති සෑම මහා මැතිවරණයක්ම ක්‍රියාත්මක වුණේ සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ යි. එම ක්‍රමය යටතේ පැවැත්වුණු මහා මැතිවරණ 7 දී ම බොරැල්ල ආසනය ජයග්‍රහණය කිරීමට සමත් වුණේ එක්සත් ජාතික පක්ෂය යි. නමුත්, එලෙස මහා මැතිවරණ ජයග්‍රහණය කළ අවස්ථාවල දී එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිල බොරැල්ල ආසනය තුළ 60% ඉක්ම වූ ඡන්ද ප්‍රතිශතයක් වාර්තා කළේ 2015 මහා මැතිවරණයේ දී පමණයි. එම මහා මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිල 66.23%ක ඡන්ද ප්‍රතිශතකයක් රඳවා ගන්නා විට, එක්සත් ජනතා නිදහස් සන්ධානය රඳවා ගත් ඡන්ද ප්‍රතිශතය සටහන් වුණේ 27.08%ක් ලෙස යි.  

ජනාධිපතිවරණවල දී මෙම ආසනයේ ජනමතය හැසිරුණු හැටි 

1982 වසරේ සිට 2019 වසර දක්වා පැවැත්වුණු ජනාධිපතිවරණ අටෙන් 7ක දී ම බොරැල්ල ආසනය ජයග්‍රහණය කළේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිල යි. එහි දී ඔවුන්ගේ පාර්ශවය බොරැල්ල ආසනය පරාජය වුණේ 1994 ජනාධිපතිවරණයේ දී පමණ යි. එසේම එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිලේ අපේක්ෂකයෙකු ජනාධිපතිවරණයක දී බොරැල්ල ආසනය තුළ ඉහළම ඡන්ද ප්‍රතිශත වාර්තා කර තිබෙන්නේ 1982 සහ 2015 ජනාධිපතිවරණවල දී යි. ඒ, 2015 වසරේ දී මෛත්‍රීපාල සිරිසේන වාර්තා කළ 66.97% ඡන්ද ප්‍රතිශතය සහ 1982 වසරේ දී ජේ. ආර්. ජයවර්ධන වාර්තා කළ 62.93%ක ඡන්ද ප්‍රතිශතය යි. 

ජේ. ආර්. ජයවර්ධන (daily news)

කවරයේ ඡායාරූපය- Roar සිංහල 

Related Articles