බරීස් ගදුනෝෆ්, රුසියානු ඉතිහාසයේ සුවිශේෂී චරිතයක්. එතරම්ම උසස් පවුලක උපත නොලැබූ නමුත්, ඔහු සාර් පදවියට ද පත් වුණා. ඔහු දක්ෂයකු බවට විවාදයක් නැහැ. එහෙත්, ඔහු පාලකයකු ලෙස එතරම් වාසනාවන්ත වූයේ නැහැ. එමෙන්ම, ඔහුගේ මරණයෙන් පසු රුසියාව ඉතා අස්ථාවර තත්ත්වයකට පත් වුණා.

රුසියාවේ සාර් පදවියට පත් වූ ඉවාන් ග්‍රොස්නි හෙවත් බිහිසුණු ඉවාන් පිළිබඳ අපි මීට පෙර විස්තර කළා. ඉවාන් 1584 දී මියගියේ රට අස්ථාවර වීමේ අවදානමට හෙළමින්. එම අවස්ථාවේ රුසියාව ස්ථාවරව තබාගැනීමේ වගකීම පැටවුණේ බරීස් ගදුනෝෆ් වෙත යි.

කියවන්න: රුසියාවේ පළමු සාර්වරයා- හතරවන ඉවාන්

කෙසේ වෙතත්, ගදුනෝෆ්ගේ බලය වැඩිකලක් පැවතුණේ නැහැ. බලය තහවුරු කරගෙන වසර කිහිපයකින් නොසිතූ දෙසකින් ඔහුගේ බලයට තර්ජනයක් මතු වෙද්දී එයට මුහුණ දීමට සුදුසු තැනක ඔහු සිටියේ නැහැ.

ටාටාර් උරුමය

බරීස් ගදුනෝෆ්ගේ පරම්පරාව ඕර්තඩොක්ස් ක්‍රිස්තියානි ධර්මයට හැරුණ ටාටාර් කුමාරයකු වූ චෙට්ගෙන් පැවතෙනවා. රුසියාවේ සුප්‍රසිද්ධ දේවස්ථානයක් වන කස්ත්‍රොමා නගරයේ, ඉපතියේෆ් දේවස්ථානය ඉදිකළේ 14 වන සියවස ජීවත් වූ මෙම චෙට් නම් කුමාරයා යි.

ගදුනෝෆ් උපන්නේ 1551 වසරේ දී පමණ බව සැලකෙනවා. ඔහු 1570 දී ඉවාන් ග්‍රොස්නිගේ පුද්ගලික ආරක්ෂක බලකාය වූ අප්‍රීච්නික් හා එක් වුණා. ගදුනෝෆ් මෙම අප්‍රීච්නික් බලකායෙහි නායකයාගේ දියණිය හා විවාහ වීමත් සමග ඔහුගේ බලය ඉහළ ගියා.

ඉවාන්, ඉවාන් ඉවානොවිච් සහ ෆියෝතර්

බරීස් ගදුනෝෆ්, ඉවාන් ග්‍රොස්නි සමග සමීප සබඳතාවක් ඇති කරගන්නට ඇතැයි සිතිය හැකියි. 1580 දී ඉවාන් ග්‍රොස්නි සිය බාල පුත්‍රයා වූ ෆියෝතර්ගේ බිරිඳ ලෙස ගදුනෝෆ්ගේ බාල සහෝදරිය ඉරිනා ගදුනවා තෝරාගත්තා.

ඉවාන් ග්‍රොස්නි (Viktor Vasnetsov)

1581 දී ඉවාන් ග්‍රොස්නිගේ වැඩිමහල් පුත්‍රයා වූ ඉවාන් ඉවානොවිච්ට ඉවාන් ග්‍රොස්නි විසින් පහර දෙන අවස්ථාවේ ගදුනෝෆ් එතැන සිටි බව ඇතම් පුරාවෘත්තයන් කියා සිටිනවා. ඉවාන් ග්‍රොස්නිව වළක්වන්නට ගදුනෝෆ් උත්සාහ කරද්දී ඔහුට ද පහර වැදුණ බවක් ද කියවෙනවා. එහෙත්, මෙම සම්පූර්ණ සිද්ධියම පුරාවෘත්තයක් පමණක් විය හැකියි.

කියවන්න​: සාර් ඉවාන් සහ ඔහුගේ පුත්‍රයාගේ ආන්දෝලනාත්මක චිත්‍රය

කෙසේ වෙතත්, ඉවාන් ඉවානොවිච් දින කිහිපයක් තුළ මියගියා. ඔහුගේ මරණය බරීස් ගදුනෝෆ් බලයට ගෙන ඒමට ඍජුවම දායක වුණා. මක්නිසා ද යත්, ඔහුගේ සහෝදරියගේ ස්වාමියා වූ ෆියෝතර් සිහසුන හිමි කුමරු බවට පත් වීම නිසා යි.

බරිස් ගදුනෝෆ් හා ෆියෝතර් රොමානෆ්

පළමුවන ෆියෝතර්, 1584 දී සාර් බවට පැමිණියේ ඉවාන් ග්‍රොස්නි මියගිය පසු යි. ඉවාන් ග්‍රොස්නි එක් පසෙකින් රුසියාවේ භූමිය පුළුල් කර තිබුණත්, අනෙක් පසින් අභ්‍යන්තර හා බාහිර ගැටුම් මඟින් රුසියාව දුබල කර තිබුණා. මේ ගැටළුවලට මුහුණ වීමට ශක්තියක් ෆියෝතර් සතු වූයේ නැහැ. ඔහු වෙනුවෙන් රාජ්‍ය කටයුතු සිදුකළේ බරිස් ගදුනෝෆ් විසින්.

1598 දී ෆියෝතර් මියගියේ දරුවන් නොමැතිව යි. එවිට සිහසුන පිළිබඳ තරගයක් ඇති වුණා. එහි ඉදිරියෙන්ම සිටියේ ගදුනෝෆ් සහ තවත් ෆියෝතර් කෙනෙක්. ඔහු තමයි ෆියෝතර් රොමානෆ්.

පළමුවන ෆියෝතර් (Public Domain)

ෆියෝතර් රොමානෆ් යනු ඉවාන් ග්‍රොස්නිගේ පළමු භාර්යාව වූ අනස්තාසියා රොමනෝවාගේ සහෝදරයාගේ පුත්‍රයෙක්. මේ නෑදෑකම මත ඔහුට රජකම සඳහා අයිතිය ප්‍රකාශ කරන්න පුළුවන් වුණා. එහෙත්, එවකට රුසියාවේ පාර්ලිමේන්තුව වූ සෙම්ස්කි සබෝර් විසින් ගවුනෝෆ් සාර් ලෙස තෝරාගැනුණා.

ස්වල්ප කලෙකින් ගදුනෝෆ් තම ප්‍රතිවාදියා වූ රොමානෆ්ගේ පවුලෙන් පළි ගත්තා. ෆියෝතර්ට​ සහ ඔහුගේ බිරිඳට පූජකයින් වන්නට බල කෙරුණා. ඒ අනුව ඔවුන් ෆිලරෙත් හා මාර්තා බවට පත් වුණා. ෆියෝතර් රොමානෆ්ගේ සහෝදරයින් සිව්දෙනාගෙන් තිදෙනකු ඝාතනය කෙරුණා; නැත්නම් මරණයට පත් වුණා. ඉතිරි වූ එකම සහෝදරයා වූයේ ඉවාන් රොමානෆ්. ෆියෝතර්ගේ පුත්‍රයා වූ මිහායිල් නැන්දණියකගේ භාරයට පත් කෙරුණා.

ව්‍යාජ දිමිත්‍රි

නමුත්, රොමානෆ්වරුන්ගේ දේශපාලන උප්පරවැට්ටි නිමා වී තිබුණේ නැහැ. මේ අවස්ථාවේ ෆියෝතර් උපයෝගී කරගත්තේ දිමිත්‍රි ඉවානොවිච් කුමරුගේ කතාපුවත යි.

දිමිත්‍රි ඉවානොවිච් යනු සාර් ඉවාන් ග්‍රොස්නිගේ අවසන් විවාහයේ පුත්‍රයා යි. ඔහු ද ගදුනෝෆ්ට තර්ජනයක් වන්නට ඉඩ තිබුණ අතර ඔහුව ඝාතනය කෙරුණා. මේ කුමරුට අපස්මාරය වැළඳුණු බවත්, පිහියක් අත තිබූ විටෙක රෝගය උත්සන්න වීමෙන් ඔහු තමන්ටම වැරදීමෙන් ඇනගත් බවත් නිල වශයෙන් නිවේදනය කෙරුණා. එහෙත්, ගදුනෝෆ් ඔහුව මැරවූ බව සාමාන්‍ය විශ්වාසය වුණා.

බරීස් ගදුනෝෆ් (Public Domain)

මින් ස්වල්ප කලකට පසු දිමිත්‍රි මියගියේ නැති බවට රාවයක් රුසියාවේ පැතිර යන්නට වුණා. මෙම රාවය පැතිර වූයේ රොමානෆ්වරුන් බව යි සැලකෙන්නේ. රටේ පැවති අස්ථාවරත්වය සහ ගදුනෝෆ් ද රෝගී වීම වැනි කරුණු මත, බෙහෙවින් ඇද වැටෙමින් තිබුණු රුසියානුවන්ට මෙය අලුත් බලාපොරොත්තුවක් වුණා.

මේ අතර අභිරහස් පුද්ගලයකු දිමිත්‍රි නමින් පෙනී සිටියා. ඔහු කාගේ කවුරුන්දැ යි කිසිවකුත් තහවුරු කරගෙන නැහැ. පෝලන්තයේ උපකාරයෙන් කුඩා හමුදාවක් ගොඩනගාගත් ඔහු, 1605 මාර්තුවේ දී රුසියාවට කඩා වැදුණා. ගදුනෝෆ්ගේ විරුද්ධවාදී බෝයාර්වරුන් සාර්වරයාට එරෙහිව ජනතාව උසිගන්වන්න පටන් ගත්තා. ජනතාව බදු ගෙවීම ද නැවැත්වූවා.

ගදුනෝෆ් හා දිමිත්‍රි අතර සටනක් සිදුවීමට පෙර සාර්වරයා මොළයේ ලේ ගැලීමකින් මියගියා. ඔහුගේ පුත්‍රයා සාර් ලෙස පත් කළ ද, ඔහුව ඝාතනය කෙරුණා. දිමිත්‍රි ඉවානොවිච් නමින් පෙනී සිටි තැනැත්තා මොස්කව් වෙත ඇතුල් වුණා.

කෙසේ වෙතත්, දිමිත්‍රිගේ පැමිණීමෙන් රුසියාවේ අස්ථාවරත්වය අවසන් වූයේ නැහැ. ඒ වෙනුවට සිදුවුණේ රට තවත් අස්ථාවර වීම යි. එම සමය "කරදරකාරී කාලය" ලෙස රුසියානු ඉතිහාසයෙහි හැඳින්වෙනවා. 1613 දී එම සමය අවසන් වූයේ කලින් සඳහන් වූ මිහායිල් රොමානෆ් සාර් ලෙස පත් වීමෙන්.

බරීස් ගදුනෝෆ්ගේ කතා පුවත අලෙක්සන්දර් පුෂ්කින් විසින් නාට්‍යයකට නැගූ අතර​, පසු කාලයක මෝදස්ත් මූසර්ග්ස්කි විසින් එම නාට්‍යය අනුසාරයෙන් ඔපෙරාවක් ද නිර්මාණය කළා.

කවරයේ ඡායාරූපය: මිහායිල් කසාකොෆ් "බරීස් ගදුනෝෆ්" ඔපෙරාවේ ප්‍රධාන චරිතය රඟ දක්වමින් (Dmitri Yusupov)

මූලාශ්‍රයයන්:

  1. The Romanovs. The History of the Russian Dynasty - Episode 1. Documentary Film. Babich-Design
  2. The Romanovs (1613-1918) by Simon Sebag Montfiore