1944 වසර යනු දෙවන ලෝක යුද්ධය දරුණුවටම ක්‍රියාත්මක වූ වසරක් ලෙස හැඳින්විය හැකියි. සෝවියට් දේශයේ රතු හමුදාව නැගෙනහිර පෙරමුණ ඔස්සේ දරුණු ප්‍රහාර එල්ල කරමින් ජර්මනිය දෙසට වේගයෙන් ඇදී එන්නේ මෙම කාල සිමාවේ දී යි. ඒ වගේම නාසි හමුදාව ද එම ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර එල්ල කරමින් තම බලය රැක ගැනීමේ දැඩි පරිශ්‍රමයක යෙදෙනවා.

1944 වසරේ ජූලි මාසයේ දී ඇමෙරිකාව බ්‍රිතාන්‍ය ඇතුළු අනෙකුත් මිත්‍ර පාර්ශවය ප්‍රංශය හරහා ජර්මනිය දෙසට ගමන් කිරීමේ නව පෙරමුණක් නිර්මාණය කරනවා. බටහිර පෙරමුණ ලෙස හඳුන්වන මෙම යුධ පෙරමුණ සිය පළමු සටන ලෙස 1944 වසරේ ජූලි 6 වන දා ප්‍රංශයේ නොර්මැන්ඩි වෙරළට ආක්‍රමණය කරනවා. ප්‍රංශයේ සිටි ජර්මානු නාසි භටයන් හා මිත්‍ර පාර්ශවය අතර ඉතා දරුණු ගැටුම් නොර්මැන්ඩි සටනේ දී ඇති වෙනවා. 

අලුත් ආර්ථික හා මූල්‍ය ක්‍රමයක අවශ්‍යතාව 

දෙවන ලෝක යුද සමයේ සමතලා වූ ලන්ඩන් නගරයේ කොටසක්, යුරෝපයේ නගර බොහෝමයකට මේ ආකාරයෙන් ජර්මානු ගුවන් ප්‍රහාර එල්ල වී තිබුණා. (guim)

දෙවන ලෝක යුද්ධයත් සමග යුරෝපා රටවල් ආර්ථික වශයෙන් දැඩි පසුබෑමකට ලක් වී පවතිනවා. ඊට අමතරව බලවත් රටවල් සියල්ලම ස්වාර්ථය පමණක් උදෙසා වන වගකිම් විරහිත ආර්ථික හා මූල්‍යමය ප්‍රතිපත්තියක නිරත වීම දකින්න ලැබෙනවා.

මේ නිසා අන්තර්ජාතික වශයෙන් ප්‍රධාන රටවල් සියල්ලටම එකඟ විය හැකි ආර්ථික හා මූල්‍යමය ක්‍රමවේදයක් ස්ථාපනය කළ යුතු බවට කාලයක් තිස්සේ යම් කතිකාවතක් ගොඩනැගෙනවා. මේ ඔස්සේ පොදු මුදල් ඒකකයක් නිර්මාණය කර ආනයන අපනයනයේ දී විනිමය අනුපාතය නිවැරදිව තීරණය කිරීම යන ප්‍රධාන කරුණ මුල් කරගනිමින්, එම කාලයේ ලෝකයේ සිටි බලවත් ජාතින් සමුළුවක් පැවැත්වීමට තීරණය කරනවා.

ඇමෙරිකාවේ පැවති බ්‍රෙට්න් වුඩ්ස් සමුළුව (Bretton Woods Conference)

මවුන්ට් වොෂින්ටන් හෝටලය (worldbank)

ඉහත අරමුණු මුල් කරගනිමින් මිත්‍ර රටවල් 44ක ආර්ථික විශ්ලේෂක නියෝජිතයන් හා රාජ්‍ය ත්‍රාන්තිකයන්ගේ සහභාගිත්වයෙන්, 1944 වසරේ ජූලි 1 වන දා ඇමෙරිකාවේ නිව් හැම්ප්සයර් ප්‍රාන්තයේ (New Hampshire) කැරොල් නගරයේ බ්‍රෙට්න් වුඩ්ස් හි ආරම්භ වෙනවා. සමුළුව පැවැත්වෙන්නේ බ්‍රෙට්න් වුඩ්ස් හි මවුන්ට් වොෂින්ටන් හෝටලයේ දී යි.

බ්‍රෙට්න් වුඩ්ස් සමුළුව ජූලි 1 වන දා සිට 22 වන දා දක්වා පැවැත්වෙන අතර, මිත්‍ර රටවල් 44 නියෝජනය කරමින් නියෝජිතයන් 730ක් පමණ සහභාගී වෙනවා. මෙහි දී ඇමෙරිකා එක්සත් ජනපදය නියෝජනය කරමින් එවකට සුප්‍රසිද්ධ ආර්ථික විශ්ලේෂකයන් කිහිපදෙනෙකු සමුළුව සඳහා සහභාගී වෙනවා. ඇමෙරිකානු මහා බැංකුව වන ඇමෙරිකානු ෆෙඩරල් සංචිත බැංකුවේ (Federal Reserve) අධිපතිවරයා, එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම්වරයා හා සහකාර භාණ්ඩාගාර ලේකම්වරයා ද සහභාගී වෙනවා. මෙම සමුළුවේ දී ඇමෙරිකාව නියෝජනය කරමින් වඩා සාධනීය කාර්යභාරයක් ඉටුකරන්නේ සහකාර භාණ්ඩාගාර ලේකම්වරයා වූ හැරී ඩේක්ස්ටර් වයිට් (Harry Dexter White) විසිනුයි.

බ්‍රිතාන්‍ය නියෝජනය කරමින් ආ කණ්ඩායමට නායකත්වය දෙන්නේ එවකට ලොව ප්‍රකටව සිටි ආර්ථික විද්‍යාඥයෙක් වූ ජෝන් මෙනාඩ් කේන්ස් (John Maynard Keynes). සෝවියට් දේශයේ නියෝජිතයන් ද මේ සඳහා සහභාගී වූ අතර විප්ලවයෙන් පසු කොමියුනිස්ට් ක්‍රමයකට හැඩගැසුණු සෝවියට් දේශය සමුළුවේ දී, ඇමෙරිකාව හා බ්‍රිතාන්‍ය පරයා තම රටට වාසි ලබාගැනීමේ අරමුණෙන් පසු වෙනවා. ඒ සඳහා ඔවුන් රන් ආකරවලින් ලබාගත් ආර්ථික ශක්තිය තුරුම්පුවක් ලෙස භාවිතා කිරීමට උත්සාහ කරනවා.

සිතූ ආකාරයටම සාර්ථක නොවූ බ්‍රෙට්න් වුඩ්ස් සමුළුව 

ජෝන් මෙනාඩ් කේන්ස් සෝවියට් නියෝජිතයා සමග (worldbank)

සමුළුවේ දී ප්‍රධාන වශයෙන් රටවල් සියල්ලට පොදු අන්තර්ජාතික මුදල් ඒකකයක් ගැන කතාබහට ලක් වූ අතර ඇමෙරිකාව හා බ්‍රිතාන්‍යය ද ඒ සඳහා සිය කැමැත්ත පළ කරනවා. බ්‍රිතාන්‍ය විසින් ඒ සඳහා Bancor නම් මුදල් ඒකකයක් යෝජනා කළ අතර, ඇමෙරිකානුවන් ඒ සඳහා යෝජනා කරන්නේ Unitas නම් මුදල් ඒකක යි. කෙසේ නමුත්, අවසානයේ දී පොදු මුදල් ඒකකයක් නිර්මාණය කිරීමේ ක්‍රියාවලිය සාර්ථක වන්නේ නෑ. නමුත්, විනිමය අනුපාත සම්බන්ධයෙන් යම් යම් එකඟතාවලට පැමිණීමට හැකියාව ලැබෙනවා.

සමුළුව (britannica)

අන්තර්ජාතික මූල්‍ය ආර්ථික හා වෙළඳ කටයුතු නියාමනය කිරීම සඳහා ගෝලීය වශයෙන් ආයතන දෙකක් බිහි වීම මෙම සමුළුව ඔස්සේ සිදුවෙනවා. ඒ හේතුවෙන් සමුළුව සම්පූර්ණ ලෙස අසාර්ථක වූ බව සඳහන් කළ නොහැකි යි. එම ආයතන දෙක බ්‍රෙට්න් වුඩ්ස් ආයතන නමින් පසුව ස්ථාපනය වෙනවා. බ්‍රෙට්න් වුඩ්ස් ආයතන වන්නේ 1945 වසරේ දී ඇමෙරිකාවේ වොෂින්ටන් DC හි දී ස්ථාපනය වූ ලෝක බැංකුව (International Bank for Reconstruction and Development) හා අන්තර්ජාතික මූල්‍ය අරමුදල යි (International Monetary Fund). දෙවන ලෝක යුද්ධයෙන් පසුව ඇමෙරිකා එක්සත් ජනපදය යුරෝපයේ ආර්ථිකය නගාසිටුවීමට ක්‍රියාත්මක කළ මාෂල් සැලැස්ම (Marshall Plan) සඳහා ද මෙහි දී ඇති වූ එකඟතා බල පෑ බව සඳහන් වෙනවා.

IMF (cigionline)

1971 වසරෙන් පසුව බ්‍රෙට්න් වුඩ්ස් විනිමය අනුපාත ක්‍රමය සම්පුර්ණයෙන්ම අතහරින අතර, මේ වන විට එහි දී ගත් කිසිදු ක්‍රියාමාර්ගයක් ලෝකයේ ක්‍රියාත්මක වන්නේ නෑ. නමුත්, බ්‍රෙට්න් වුඩ්ස් ආයතන දෙක මේ වන තුරු ක්‍රියාකාරී මට්ටමේ පවතිනවා. ආරම්භයේ දී එම ආයතන දෙක පිළිබඳව ලෝකයේ ම ප්‍රසාදය හිමි වූවත්, වර්තමානය වන විට තෙවන ලෝකයේ රටවල් සම්බන්ධව එම ආයතන ගන්නා ක්‍රියාමාර්ග හේතුවෙන් යම් යම් විවේචන ද හටගෙන තිබෙනවා. 

කවරයේ පින්තූරය- fortune.com

මූලාශ්‍රයයන්: 

Britannica.com

Worldbank.org