Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඇමතිවරයකු ගෙදර යැවූ තරුණිය – ක්‍රිස්ටීන් කීලර් සහ ප්‍රොෆියුමෝ සිද්ධිය​

1961 ජූලි 8 වන දා එංගලන්තයේ බකිංහැම්‍ෂයර් කෝරළයේ ක්ලිව්ඩන් වතුයායේ නිවෙසක​ පිහිනුම් තටාකය අසල සාදයක් පැවෙත්වෙමින් තිබුණා. මෙම වතුයායේ අයිතිකරු වූයේ ඇස්ටර් සාමිවරයා යි. ඔහු එම සාදය පැවැත්වෙන ස්ථානයට තම අමුත්තන් කිහිප දෙනෙකු සමග පැමිණෙමින් සිටියා. සාදය දෙසින් පැමිණි ප්‍රීතියෙන් සිනහසෙන හඬ කියා සිටියේ එහි ඉතා විනෝදජනක සැඳෑ එකමුතුවක් පැවැත්වෙමින් තිබුණ​ බව යි.

ඇස්ටර් සාමි සිය අමුත්තන් සමග පිහිනුම් තටාකය අසලට පැමිණෙද්දී ඔවුන් දුටුවේ එහි ස්නානය කරමින් සිටි තරුණියක නිරුවතින් එයින් පිටතට එන අයුරු යි. අමුත්තන් දැක ඇය කලබලව සිය නාන ඇඳුම සොයද්දී ඇය සමග සිටියවුන් එය ඇගෙන් ඈතට විසි කළා. ඇය එය අල්ලා ගැනීමට දිව යන අතර අසල වූ තුවායක් රැගෙන සිරුර වසාගත්තා.

එදින සවස එම විහිළුව හේතුවෙන් සිනහ වෙමින් විනෝද වූ පිරිසගෙන් කවරකුවත්, එම සිදුවීම 20 වන සියවසෙහි බ්‍රිතාන්‍යය කැළඹූ දරුණුම ලිංගික ආන්දෝලනයෙහි පළමු ජවනිකාව බව සිතන්නට නැතිව ඇති.

එදින සවස ඇස්ටර් සාමි සමග පැමිණි අමුත්තන් අතුරින් අයෙකු වූයේ එවකට බ්‍රිතාන්‍ය යුධ ලේකම් ජෝන් ප්‍රොෆියුමෝ යි. පිහිණුම් තටාකය අසල වූ සාදය සංවිධානය කර තිබුණේ අස්ථි චිකිත්සකයකු වූ ස්ටීවන් වෝර්ඩ් විසින්. වෝර්ඩ්ගේ සේවය ඇස්ටර් සාමි විසින් ලබාගෙන තිබුණ අතර ඊට කලගුණ සැලකීමක් ලෙස තම වත්තෙහි නිවෙසක් භාවිතා කිරීමට ඔහු විසින් වෝර්ඩ්ට ඉඩ දී තිබුණා. නාටිකාංගනාවක වූ කීලර් එම සාදයට ගෙන්වාගෙන තිබුණේ වෝර්ඩ් විසින්.

ක්ලීව්ඩන් වත්ත සහ එහි ප්‍රධාන නිවස​ (National Trust)

1961 ජූලි මාසයේ ක්‍රිස්ටීන් හමුවී ඇය පිළිබඳ උනන්දුවක් ඇති කරගත් ප්‍රොෆියුමෝ ස්වල්ප දිනෙකින් නැවත ඇය සමග සබඳතාව ඇති කරගත්තා. ඔවුන් අතර වූ සම්බන්ධය ඇත්තෙන්ම වැඩි කලක් පැවතියේ නැහැ. ඇතැමුන් විශ්වාස කරන පරිදි එය සති කිහිපයකින් නිම වූ අතර උපරිම වශයෙන් දෙසැම්බරය දක්වා එම සම්බන්ධය පැවතියා.

ප්‍රොෆියුමෝගේ මේ සම්බන්ධය පුද්ගලික කරුණකට වඩා එහා නොයන්නට ඕනෑ තරම් ඉඩ තිබුණා. නමුත් එසේ නොවූයේ, ජූලි මාසයේ පැවති සාදයට වෝර්ඩ්ගේ අමුත්තකු ලෙස සෝවියට් තානාපති නිලධාරියකු වූ යෙව්ගිනි ඉවනොෆ් ද සහභාගී වීම නිසා යි.

ජෝන් ප්‍රොෆියුමෝ

කොන්සර්වේටිව් පාක්ෂිකයකු වූ ජෝන් ප්‍රොෆියුමෝ 1940 දී අතුරු මැතිවරණයකින් පාර්ලිමේන්තුවට තේරී පත්වන විට ඔහුගේ වයස අවුරුදු 25ක් පමණ යි. එහෙයින් ඔහු එම පාර්ලිමේන්තුවේ ලබාලම මන්ත්‍රීවරයා වුණා. දෙවන ලෝක යුධ සමයේ දී රාජකීය යුධ හමුදාවෙහි සේවය කළ ඔහු 1944 දී නෝර්මැන්ඩි ගොඩබැසීමට ද සහභාගී වුණා. 1945 දී ඔහු නැවත මැතිවරණයට ඉදිරිපත් වුව ද එවර ඔහු කම්කරු පක්ෂ අපේක්ෂකයකුට පරාජය වුණා. ප්‍රොෆියුමෝ නැවත පාර්ලිමේන්තුවට තේරී පත් වූයේ 1950 දී යි. 1951 දී කොන්සර්වේටිව් පක්ෂය බලයට පත් වූ පසු ඔහු පාර්ලිමේන්තුවෙහි ප්‍රකට මන්ත්‍රීවරයකු වුණා. 1960 දී ඔහු යුධ කටයුතු පිළිබඳ ලේකම් ධුරයට පත් කෙරුණා.

ප්‍රොෆියුමෝ සහ වැලේරි හොබ්සන් (Daily Mail)

ප්‍රොෆියුමෝ හිටපු නිළියක වූ වැලේරි හොබ්සන් සමග 1954 දී විවාහ වුණා. ඔවුන්ට 1955 දී පුතෙකු ලැබුණා. ඩේවිඩ් ප්‍රොෆියුමෝ නම් වන ඔහු නවකතාකරුවෙක්. වැලේරිගේ පළමු විවාහයෙන් ඇයට දරුවන් දෙදෙනකු සිටියා.

රාජ්‍ය රහස්

මෙකල බ්‍රිතාන්‍යයේ හැරල්ඩ් මැක්මිලන්ගේ රජය රාජ්‍ය රහස් පිටවීම පිළිබඳ ආන්දෝලනයන් කිහිපයකටම මුහුණ දෙමින් සිටියා. මේ අතර 1962 ඔක්තෝබරයේ දී කියුබානු මිසයිල අර්බුදය හේතුවෙන් ඇමරිකාව සහ සෝවියට් දේශය යුධ වදිනු ඇතැ යි යන අවදානමක් ද ඇති වුණා.

රාජ්‍ය රහස් පිළිබඳ රජය විවේචනය කරන්නන් අතර පෙරමුණේ සිටියේ ජෝර්ජ් විග් නම් කම්කරු පක්ෂ මන්ත්‍රීවරයා යි. 1962 නොවැම්බර් 11 වන දා විග්ට අභිරහස් දුරකතන ඇමතුමක් ලැබුණා. එයින් කියැවුණේ ඔහු අනෙකුත් සිද්ධීන් පසෙකලා ප්‍රොෆියුමෝ පිළිබඳ සෙවිය යුතු බව යි. මෙම ඇමතුම කවරෙකු විසින් ලබාදුන්නේදැ යි හෙළිදරව් වූයේ නැහැ. ඇතැමුන් විශ්වාස කරන්නේ බ්‍රිතාන්‍ය රජය තුළ අර්බුදයක් ඇති කිරීම සඳහා රුසියානු ඒජන්තයකුම මෙසේ ඇමතීමක් ලබා දෙන්නට ඇති බව යි.

විග් සහ ඔහුගේ සහචරයින් ප්‍රොෆියුමෝ පිළිබඳ හාරා ඇවිස්සීමට වුණා. කීලර් පිළිබඳ තොරතුරු අනාවරණය කරගැනීමට ඔවුන් සමත් වුණා.

ලුවිස් මෝර්ලි විසින් 1963 දී ගත් කීලර්ගේ ඡායාරූප එකතුවෙන් එකක් (Lewis Morley)

ප්‍රොෆියුමෝ හඳුනාගෙන ටික කලකට පසු කීලර් බටහිර ඉන්දීය දූපත්වලින් පැමිණි සංගීතකරුවකු වූ ගෝර්ඩන් නමැත්තා සමග සබඳතාවක් ඇතිකර ගත්තා. නමුත් එය ද වැඩිකල් පැවතියේ නැහැ. කීලර් පවසන පරිදි ඔහු විටෙක ප්‍රචණ්ඩ ලෙස හැසිරුණා. ඇය ඔහු හැරගොස් තවත් බටහිර ඉන්දීය දූපත් වාසියකු සහ හිටපු නාවිකයකු වූ ජොනී එජ්කෝම් සමග සබඳතාවක් ඇතිකර ගත්තා. එහි ප්‍රතිඵලය ලෙස ගෝර්ඩන් සහ එජ්කෝම් අතර ගැටුමක් ඇති වූ අතර එහිදී ගෝර්ඩන් තුවාල ලැබුවා.

එජ්කෝම් ද ප්‍රචණ්ඩ අයුරින් හැසිරුණ හෙයින් කීලර් ඔහු ද හැරගියා. ඇයව මුණගැසීමට ඇය සිටි නිවසට පැමිණි ඔහු, ඊට අවසර නොලද තැන එම නිවස වෙත වෙඩි තැබුවා. මෙම සිද්ධියෙන් ස්වල්ප කලකට පසු කීලර් තම පැරණි සබඳතා පිළිබඳ යම් යම් අය සමග පවසා තිබුණා. ඒ අනුව කම්කරු පක්ෂ මන්ත්‍රී විග්ට මේ පිළිබඳ දැනගැනීමට ලැබුණා.

කීලර් සමග ප්‍රොෆියුමෝ සහ ඉවානොෆ් යන දෙදෙනාම සබඳතා පවත්වාගන ගිය බවට සැක පළවීමත් සමග කීලර් හරහා ඉවානොෆ් රාජ්‍ය රහස් ලබාගත්තේදැ යි සැක මතුවුණා.

මේ අතර වෙඩි තැබීමේ සිද්ධිය පිළිබඳ නඩුව ඇරඹුණා. එහි ප්‍රධාන සාක්කිකාරියක වූ කීලර් අධිකරණයට පැමිණියේ නැහැ. මේ අතර ප්‍රොෆියුමෝ පිළිබඳ කටකතා ද පැතිරෙමින් තිබුණා. කීලර්ගේ අතුරුදහන්වීම සමග මේ කටකතා තවත් පැතිරෙන්නට වුණා.

නමුත් ඇත්ත වශයෙන්ම ඇය ස්පාඤ්ඤය වෙත ගොස් සිටියා. එහි සිට ඇය තම කතාව පුවත්පතකට පැවසුවා. කම්කරු පක්ෂය මේ පිළිබඳ කුමක් කරන්නේදැ යි විවාද කරන අතර 1963 මාර්තු 21 වන දා විග් පාර්ලිමේන්තුවේ දී මේ පිළිබඳ ප්‍රශ්නයක් නැගීමත් සමග මෙම ආන්දෝලනය පුපුරා ගියා.

විග් විසින් ප්‍රශ්නය නගන ලද්දේ ස්වදේශ කටයුතු ලේකම් හෙන්රි බෘක් වෙතින්. බෘක් මේ පිළිබඳ කිසිවක් දැන සිටියේ නැහැ. ප්‍රොෆියුමෝ ද එවන් සම්බන්ධයක් තමා හා කීලර් අතර නොවූ බව කියා සිටියා.

වෝර්ඩ් සහ කීලර් (Getty Images)

මේ අතර වෝර්ඩ්ගේ කටයුතු පිළිබඳ බලධාරීන් පරීක්ෂණ ආරම්භ කළා. කීලර්ගෙන් ද ප්‍රශ්න කරන ලද අතර ඇය ප්‍රොෆියුමෝ පිළිබඳ වූ සබඳතා පිළිබඳ කියා සිටියා. ඔහු විශාල ආදායමක් ලබාගත්තේ කෙසේ ද යන ප්‍රශ්නය මෙහිදී විමසනු ලැබුවා. දිනෙන් දින ප්‍රොෆියුමෝ වටලමින් කරුණු ගොඩනැගෙන්න වුණා.

ජූනි 5 වනදා ප්‍රොෆියුමෝ සිය ඇමති ධුරයෙන් ඉල්ලා අස්වන බව නිවේදනය කළා. ඉන් දින තුනකට පසු වෝර්ඩ්ව අශීලාචාර ලෙස මුදල් ඉපයීමේ චෝදනා මත අත් අඩංගුවට ගැනුණා. මේ අතර බ්‍රිතාන්‍ය ජනමාධ්‍ය ද දරුණු ලෙස ප්‍රොෆියුමෝට සහ වෝර්ඩ්ට පහර දෙන්න වුණා. වෝර්ඩ් යනු ලිංගික දඩයම්කරුවකු බවත් ඔහු සෝවියට් දේශයෙන් මුදල් ලබාගත් බවත් මතයක් ගොඩනැගුණා.

වෝර්ඩ්ට එරෙහි නඩු විභාගය අතර ඔහු නිදිපෙති විශාල ප්‍රමාණයක් ගෙන දිවි නසාගත්තා. මේ අතර ප්‍රොෆියුමෝ දේශපාලනයෙන් ඉවත්ව ගියා. ඩෙනිංග් සාමි විසින් කළ පරීක්ෂණයකින් පසු ප්‍රොෆියුමෝ රාජ්‍ය රහස් පිට නොකළ බව නිගමනය කෙරුණා. ප්‍රොෆියුමෝ ඉන්පසු පුණ්‍ය කටයුතුවලට වැඩි අවධානයක් යොමු කළා.

අගමැති හැරල්ඩ් මැක්මිලන් 1963 ඔක්තෝබරයේ දී රෝගී වීම හේතුවෙන් අගමැති ධුරයෙන් ඉල්ලා අස්වුණා. ඉන් වසරකට පසු පැවති මැතිවරණයේ දී 13 වසරක් පැවති කොන්සර්වේටිව් පාලනය බිඳ වැටුණා. එම මැතිවරණ ප්‍රතිඵලයට ප්‍රොෆියුමෝ සිද්ධිය ද බලපෑ බව විශ්වාස කෙරෙනවා.

Cover Image: ක්‍රිස්ටීන් කීලර් (The Independent)

මූලාශ්‍රයයන්:

  • Spies and Spymaster by Roger Boar and Nigel Blundell
  • The Profumo Affair (Crime Inc. Episode 4)

Related Articles